සැමෝවන්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:19, 15 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Samoans). සැමෝවන් නොහොත් සමෝවා ජනතාව යනු දකුණු පැසිෆික් සාගරයේ පොලිනීසියාවේ දූපත් සමූහයක් වන සැමෝවන් දූපත්වල වෙසෙන සැමෝවා භාෂාව (Samoan language) කතා කරන ආදිවාසී පොලිනීසියානු (Polynesian) වර්ගයට අයත් ජනතාවයි. මෙම ජනතාව වාසය කරන දකුණු පැසිෆික් සාගරයේ පිහිටි දූපත් සමූහය ද සැමෝවා (Samoa) නමින් හැඳින්වේ. එය උපෝලු, සවායි සහ කුඩා දූපත් කිහිපයකින් සමන්විත වේ.

සැමෝවා ජනතාව හවායිවාසීන්ටත් නවසීලන්ත මඩ්රීන්ටත් බෙහෙවින් සමාන ය. අයිගා (Aiga) නමින් හැඳින්වෙන විශාල හවුල් පවුල සැවෝමා සමාජයේ මූලිකාංගයයි. එහි ප්‍රධානියා මටාසි නම් වෙයි. සියලු ඉඩ කඩම් ඔහු සතු ය. ඤාති සම්බන්ධතා තදින් බල පැවැත්වෙන මෙම සමාජයේ උත්පත්තියෙන් හෝ වඩා ගැනීමෙන් නෑ වන සියල්ල අයිගාවට අයත් වෙත්. මෙම ජනතාව අතර අලි, මුලෆෙල් යනුවෙන් ජන ප්‍රධානීහු දෙවර්ගයකි. මේ දෙවර්ගය ම ඔටායි නාමයෙන් හැඳින්විය හැකි ය. පවුලක් ඇතුළත ප්‍රධානත්වය ඡන්දය විමසීමෙන් නිශ්චය වේ. එහෙත් ප්‍රධානීන්ගේ පරම්පරාවට අයත් වීම, ජනප්‍රියභාවය, කථා චතුරත්වය ආදිය සුදුසුකම් ය.

චිරාගත සංස්කෘතිය තදින් බල පැවැත්වෙන නමුත් වර්තමාන සැමෝවන්වරු බොහෝ කොට ක්‍රිස්තු ලබ්ධිකයෝ ය. මුලින් ඔවුහු ස්වදේශික ජන ආගම් ඇදහූහ. සැමෝවන් භාෂාව දැනට භාවිත වන පැරණි ම පොලිනීසියන් භාෂාව ලෙස සැළකේ. එය ඔඩ්රි, හවාසීයන්, වොන්ගන් ආදී භාෂාවලට සමාන වේ.

සැමෝවාවරුන්ට සම්ප්‍රදායික පොලිනීසියානු සිරිත් විරිත්, භාෂාව සහ කලා ආකෘතීන් ඇතුළත් පොහොසත් සංස්කෘතික උරුමයක් ඇත. සාම්ප්‍රදායික සැමෝවා සමාජ ව්‍යූහය සංවිධානය වී ඇත්තේ අයිගා ලෙස හැඳින්වෙන විස්තීර්ණ පවුල් සහ සැමෝවා ජීවන රටාව ඇතුළත් ෆා සැමෝවා සංකල්පය වටා ය.

සමෝවාවාසීන් ප්‍රකට වන්නේ ඔවුන්ගේ ශක්තිමත් ප්‍රජාව පිළිබඳ හැඟීම, වැඩිහිටියන්ට ගරු කිරීම සහ සමීප පවුල් සබඳතා සඳහා ය. සාම්ප්‍රදායික සැමෝවා උත්සව, නැටුම් සහ සංගීතය ඔවුන්ගේ සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. සාම්ප්‍රදායික පච්ච (ටැටූස්=Tataus) කෙටීමේ පුරුද්ද සැමෝවන්ගේ වැදගත් සංස්කෘතික අංගයකි. පච්චා කෙටීම සංස්කෘතික හා අධ්‍යාත්මික වැදගත්කමක් දරයි. බොහෝ විට සමාජ තත්වය සහ ජයග්‍රහණ මෙයින් සංකේතවත් කරයි.

සැමෝවා අර්ථ ක්‍රමය පොල්, අල වර්ග, එළවලු හා පළතුරු වගාව මත රඳා පවතී. තරමක් දුරට ගවයන් ඇති කිරීම හා කිරි කර්මාන්තය පවතී. කොප්පරා, කොකෝවා හා කෙසෙල් ගෙඩි ප්‍රධාන වශයෙන් පිටරට යැවෙන භාණ්ඩ ය.

සැමෝවාවරුන්ගේ නිල භාෂාව සැමෝවා භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව ද බහුලව කතා කරන අතර එය නිල සහ අධ්‍යාපනික සන්දර්භයන්හිදී භාවිත වේ. මොවුන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානි ආගම අදහති. එහි විවිධ නිකායන් පවතින අතර විශාලතම නිකායන් අතරට සැමෝවාහි කොන්ග්‍රිගේෂනල් ක්‍රිස්තියානි පල්ලිය සහ රෝමානු කතෝලික පල්ලිය ඇතුළත් වේ.

සැමෝවාවරුන් වෙසෙන මෙම කොදෙව් පංතිය මුලින් ම සොයා ගන්නා ලද්දේ 1722 ජේකබ් රෝගිවීන් (Roggeveen) නමැති ඕලන්දක්කාරයා විසිනැ'යි කියනු ලැබේ. ඉන්පසු බටහිර ජාතිකයන් කීප විටක් ම එහි ගියපසු 1830 දී මිෂනාරිවරුන් දෙදෙනෙකු විසින් ක්‍රිස්තුධර්මය පිහිටුවන ලදි. 1839 දී චාල්ස් පීලික්ස් නමැති දේශසංචාරකයා විසින් මෙම දිවයින් මනින ලදි. 1878 දී ඇමරිකා එක්සත් ජනපදය එකල නිදහස් ව තිබූ සැමෝවන් රාජ්‍ය හා අත්සන් කළ ගිවිසුමකට අනුව සැමෝවානි පගෝ පගෝ වරායේ අඟුරු දැමීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමට ඇමෙරිකාවට බලය ලැබුණි. වෙ‍ෙළද ගිවිසුමක් ද අත්සන් කරන ලදි. ජර්මනිය හා බ්‍රිතාන්‍යය ද මෙම වාසි ලබා ගැනීමට යුහුසුලු වූයෙන් මෙම තුන් රාජ්‍යයන්ගේ සංගමයක් 1889 දී බර්ලින්හි දී පිහිටුවන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැමෝවා දූපත් එම තුන් රාජ්‍යයන්හි ආරක‍්ෂිත රටක් බවට පත්විය. එහෙත් මෙය සාර්ථක නුවූයෙන් 1899 දී කැඳවන ලද තවත් රැස්වීමක ප්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර සැමෝවන් දූපත් ඇමරිකාවට ද බටහිර දූපත් ජර්මනියට ද අයත් වන සේ බෙදා ගන්නා ලදි. බ්‍රිතාන්‍යය සැවෝමා දූපත්වලින් අයින් විය. දෙවන ලෝක යුද්ධය තෙක් බටහිර සැමෝවා දූපත් ජර්මනිය විසින් පාලනය කරන ලදි. 1914 දී නවසීලන්තය විසින් සැමෝවා දූපත් අල්ලා ගන්නා ලදි. 1920 දී ජාතීන්ගේ සංගමය විසින් එය නවසීලන්තයට පවරන ලදි. 1947 දී එය නවසීලන්ත පාලනයට යටත් දේශයක් බවට එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් ප්‍රකාශ කරන ලදි.

1950 දී ඇමෙරිකන් සැමොවාන් ජනගහනය 18,934ක් විය. 1951 දී බටහිර සැමෝවන් ජනගහනය 84,909ක් විය. ඇමෙරිකානු සැමෝවන් 1954 දී වයස 10ට වැඩි අයගෙන් 99%ක් උගතුන් යැයි කියන ලදි. බටහිර සැ‍මෝවාහි අධ්‍යාපන තත්වය මෙතරම් උසස් නොවේ. 1951 දී අවුරුදු 10න් ඉහළ අයගෙන් 14% අකුරු නූගතුන් ය.

2021 දී ඇමෙරිකන් සැමෝවාන් ජනගහනය 45,035ක් ද සැමෝවාන් ජනගහනය 218,764 ද ටොන්ගා ජනගහනය 106,017ක් ද වූහ.

2021 දී සැමෝවාවරුන්ගේ වැඩිහිටි සාක්ෂරතා අනුපාතය 99.1%කි. සැමෝවාහි වැඩිහිටි සාක්ෂරතා අනුපාතය 1991 දී 97.9% සිට 2021 දී 99.1% දක්වා ඉහළ ගියේ 0.39%ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකිනි.

මෙම ජාතීන්ගේ සංස්කෘතික විවිධත්වයට දායක වී ඇති අනෙකුත් රටවල, විශේෂයෙන් නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ සැමෝවා ප්‍රජාවන් සහ ඩයස්පෝරාවන් ද සිටින බව දැක ගත හැකි ය.

(කර්තෘ: එච්.ඇල්. සෙනෙවිරත්න: 1961)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සැමෝවන්&oldid=4192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි