සිංහල උපදේශ සාහිත්‍යය
'ඔවා, මහලුකම්, දැනුමැතිකම්' ආදී වශයෙන් හැඳින්වෙන උපදේශයන් පැරණි සිංහල ග්‍රන්ථයන්හි තැනින් තැන දක්නා ලැබේ. කව්සිළුමිණෙහි එන ගිහිගෙයි දොස් ද ගුත්තිල කාව්‍යයෙහි සඳහන් වන දුදන ගති ද එළු අත්තනගලුවංශයෙහි පෙනෙන නන්ද තෙරුන්ගේ අවවාද ද එවැනි උපදේශයෝ ය.
උපදේශය සිංහල රචකයන්ට අමුතු දෙයක් නොවුවත්, හුදු උපදේශයන් පමණක් වස්තු කොට ගෙන ගෙතුණු සිංහල ග්‍රන්ථ ඇත්තේ ස්වල්ප ගණනකි. මෙයින් සමහරක් ධර්මධර භික්ෂූන් විසින් ද සමහරක් උගත් ගිහියන් විසින් ද රචිත ය. ලෝකෝපකාරය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, දහම්ගැටය හා දහම්ගැට මාලාව මේ ගණයට අයත් වේ. පොතෙපතට ඇතුළත් නොවූ ජනකවි අතර ද සිංහල උපදේශ පද්‍ය රාශියක් දැකිය හැක. පාසල් සිසුන් සඳහා ලියැවුණු සිරිත් මල්දම ආදි කුඩා පද්‍ය පොත් සමූහයක් ද සිංහලෙහි ඇත.
පද්‍යයෙන් බැදුණු ලොකෝපකාරය මේ ග්‍රන්ථයන් අතර විශාතලම වෙයි. පද්‍ය 238කින් යුත් මෙය පිළිවෙළින් පාළි, සංස්කෘත, ප්‍රාකෘත, ද්‍රවිඩ යන භාෂාවන්ගෙන් ලියූ ධර්මපද, චාණක්‍ය, ශතක, ගාථාසප්තසති, තිරුක්කුරල් යන පොත්වලින් පෙරලා ගත් උපදේශ සංග්‍රහයකි. රණස්ගලු තෙර නම් භික්ෂු කෙනෙකු විසින් රචිත යැයි බොහෝ දෙනා විසින් පිළිගැනුණු මෙහි නියම කතුවරයා වීදාගම මෛත්‍රිය තෙරුන් බව පිළිගැන්මට ප්‍රබල සාධක පෙනේ. රජුන්, ඇමතියන්, ගුරුන්, දෙගුරුන්, ස්ත්‍රීන් ආදීන් ඇසුරු කළ යුතු අයුරු පෙන්වන මේ පද්‍ය සංග්‍රහයෙහි බොහෝ තැන ගම්බද උපමාවලින් අලංකාර වූ රසවත් ගී ඇතුළත් වේ.
දහසය වන සියවසෙහි විසූ අලගියවන්න මුකවෙටි නම් කවියා විසින් රචිත සුභාෂිතය ද ලෝක උපදේශ සංග්‍රහයකි. එළිසම පද්‍යයෙන් ලියවුණු එය 'දෙමළ සකු මගද' උපදේශ ග්‍රන්ථයන්ගෙන් පෝෂිත ය. ඉතා ව්‍යක්ත කාව්‍යයක් නොවන නමුත් මෙහි උපදේශ රාශියක් ගැබ් ව ඇත.
ලෝවැඬ සඟරාව ද වීදාගම හිමියන්ගේ කාව්‍යයකි. එළිසම පද්‍යයෙන් යුත් මෙය ලියන ලද්දේ 'සද්ධම්මෝපායන' නමැති පාළි පද්‍ය ග්‍රන්ථය සිංහල බසට නැඟීමෙනි. ආගමික සිංහල කාව්‍යයක් ලෙස ගිණිය හැකි මෙහි ද රසවත් සිංහල උපමා දක්නා ලැබේ. නූගතුන්ගේ පවා සිත් අදනා ලිහිල් බසින් රචිත වූ මෙහි සමාජය නිසි මගට යොමු කරවන උපදේශ රාශියක් අඩංගු වේ.
දහම්ගැටමාලාව ද වීදාගම තෙරුන්ගේ කෘතියක් ලෙස ඇතැම්හු පිළිගනිති. එළිසම පද්‍ය කාව්‍යයක් වන මෙහි සෑම පද්‍යයක් ම තේරවිල්ලකි. බුදුදහමට අයත් ඇතැම් ඉගැන්විම් සමඟ මෙහි ද ලෝක නීති සඳහන් වේ. අප්‍රකට අර්ථයක් ප්‍රකාශ කරනු සදහා විනෝද ජනක සිංහල පදයන් යොදා මෙය රචනා කොට ඇත. දහම්ගැටය ද මෙවැනි ම රචනාවකි. ගී පද්‍යයෙන් රචිත වූ එහි කර්තෘ අවිනිශ්චිත ය. සිංහල ජනකවි අතර දක්නා ලැබෙන උපදේශාත්මක පද්‍ය සියල්ලේ ම භාෂාව ලිහිල් ය. සිංහල ගැමියන් තමන්ගේ ජීවිතයන්ගෙන් උගත් දැනමිතිකම් බොහෝ ගණනක් මේ පද්‍යවල ගැබ් වී ඇත.
උපදේශ කාව්‍යයන්හි ප්‍රධාන ලක්‍ෂණය අර්ථාලංකාරයයි. එයට ලොකෝපකාරය, සුභාෂිතය ආදී සියලු ම උපදේශ කාව්‍ය සාක්‍ෂි දරයි. එසේම, ශබ්දාලංකාරය ද උපදේශ කාව්‍යයන්හි ප්‍රධාන ලක්‍ෂණයෙකි. සමහර පද්‍ය කියවන විට විනෝද රසය සිතට නැඟෙයි. උපදේශ පද්‍යයට නැඟුණේ කටපාඩමින් ඉගෙනීමේ පහසුව නිසාත් එමගින් එය සිත් තුළ තහවුරු කිරීමේ පහසුව නිසාත් විය හැකි ය. ප්‍රධාන වශයෙන් අවියත් ජනයාගේ යහපත සඳහා ලියැවුණු මේ උපදේශ කාව්‍ය සමූහය සිංහල සාහිත්‍යයෙහි අමුතු ම අංගයක් සේ සැළකිය හැකි ය.
(කර්තෘ: ඇම්.එච්. පීටර් සිල්වා: 1959)
(සංස්කරණය නොකළ)