ස්ටියරික් අම්ලය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:40, 19 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Stearic Acid). ඔක්ටාඩිකානොයික් අම්ලය (octadecanoic acid) ලෙස ද හැඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Stearic Acid). ඔක්ටාඩිකානොයික් අම්ලය (octadecanoic acid) ලෙස ද හැඳින්වෙන මෙය දිගු දාම සහිත වඩාත් පොදු සංතෘප්ත මේද අම්ලයයි. මෙහි අණුක සුත්‍රය C18H36O2 වන අතර සත්ව හා එළවළු මේදවල සංයුක්ත ආකාරයෙන් අඩංගු ව ඇත.

ස්ටියරික් අම්ලය ඒක භාෂ්මික අම්ලයකි. මෙහි අණුක සාරය 284.38 කි. ද්‍රවාංකය සෙ.690කි. තාපාංකය 2910 කි. වර්ණ රහිත ස්ඵටිකරූපී ඝනයකි. ව්‍යුහ සුත්‍රය CH3(CH2)16COOH වේ. ඊතරවල ඉතා හොඳින් ද මධ්‍යසාරයේ මද වශයෙන් ද ද්‍රාව්‍ය වේ. එහෙත් ජලයේ අද්‍රාව්‍ය ය.

ස්ටියරික් අම්ලය මිශ්‍ර ට්‍රයිග්ලිසරයිඩයක් ලෙස සත්ව මේද, කොකොවා තෙල් හා වෙනත් ඇතැම් එළවළු මේදවල අන්තර්ගත ය. මෙය සත්ව මේදවල වඩාත් බහුල ය. සූකර මේද හා ගව මේදවල බොහෝ විට 30% දක්වා අඩංගු ය. ඩිප්ටරොකාපේසීයා (Dipterocarpaceae) ගුටිෆෙරා (Guttiferac) හා සැපොටේසියා (sapotaccac) ශාක විශේෂයට අයත් බීජයන්හි මේදවල ද මෙම අම්ලය ඇත. ග්ලිසරයිඩයෙන් ස්ටියරික් අම්ලය ලබා ගැනීම පිණිස මේද සැපොනීකරණය හෝ අම්ල හයිඩ්‍රිජනීකරණය කරනු ලැබේ. වාණිජමය ලෙස ස්ටියරික් අම්ලය ලබා ගන්නේ සත්වමේද වඩා වැඩි උෂ්ණත්ව හා පීඩනවල දී ජලය සමඟ ප්‍රතික්‍රියා වීමට සැලැස්වීමෙන් හෝ ශාක තෙල් හයිඩ්‍රිජනීකරණය මගිනි. කාර්මික ස්ටියරික් අම්ලය ඇතැම් විට ස්ටියරින් (stearin) නමින් ද හැඳින්වේ. මෙය සාදනුයේ ටැලෝ (tallow) වලිනි. වෙනස් විය හැකි මිශ්‍රණයක් වූ මෙහි ආසන්න වශයෙන් ස්ටියරික් අම්ලය හා පාමිටික් අම්ලය සම ප්‍රමාණවලින් ද ඔලෙයින් අම්ලය කුඩා ප්‍රමාණයෙන් ද අන්තර්ගත ය. පිරිසිදු සිටියරික් අම්ලය කාබොක්සලික් අම්ලවලට ආවේණික රසායනික ප්‍රතික්‍රියා දක්වයි. මෙය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමඟ සෝඩියම් ස්ටීයරේට් සබන් සාදයි. (සබන් බ.) ස්ටියරික් අම්ලය ඉටිපන්දම් සෑදීමේ දී හා රබර් සංයුජනය (compounding) කිරීමේ දී විශාල වශයෙන් භාවිත කරයි. සබන්, විලවුන් වර්ග, සපත්තු පොලිෂ්, ස්නේහක හා ඖෂධ වර්ග සෑදීමේ දී මෙය භාවිත කරයි.

(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ: 1998)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ස්ටියරික්_අම්ලය&oldid=4234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි