ස්‍යාම වර්ණනාව
කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයෙහි ලංකාවේ සියම් නිකාය නමින් ප්‍රසිද්ධ සංඝ නිකායයේ ආරම්භයත් එය පිහිටුවා වදාළ සියම් රට උපාලි මහා ස්ථවීර ප්රමුඛ විංශද්වර්ග සංඝයා ලංකාවට වැඩම කරවාගෙන ඒමේ සම්පූර්ණ විස්තරයත් ඇතුළත් කොට විල්බාගෙදර රාළ නමැති නිලමෙවරයකු විසින් සම්පාදිත වාර්තාවෙකි. එකල සියම් රටෙහි (තායිලන්තයේ) පැවැති දර්ශනීය ස්ථාන පිළිබඳ තොරතුරු ද ගමන් විස්තරය ද එහි ඇතුළත් වෙයි.
මෙම වාර්තාවෙහි දින සටහන්, කාල වේලා ආදිය එවක ලක්දිව ව්‍යවහාරයෙහි පැවැති ශකවර්ෂයෙන් දක්වන ලද්දේ ය. ශාසන ප්රවෘත්ති ප්‍රකරණයක් යැයි කිය යුතු මෙය සියමට ගිය දූත පිරිසේ නිලමක්කාරයකු විසින් එදිනෙදා සිදු වූ තොරතුරු සඳහන් කිරීම් වශයෙන් ලියන ලදැයි සැලකේ. පොත ලියා තිබෙන්නේ එකල උඩරට පැවති කථා ව්‍යවහාරය අනුව ගිය බසිනි. කාලය ශකවර්ෂ 1672 (ක්‍රි.ව.1750) ය. සාමාන්‍ය මුද්‍රණ පිටු 40කින් යුත් පොත ක්‍රි.ව.1750 දී ප්‍රකාශයට පමුණුවා ඇත. අත් පිටපත්හි මඳ වශයෙන් වෙනස්කම් ඇති බව ද පැවැසේ. මේ ලේඛනයෙහි සියම් රටට ගිය දූත පිරිස මහනුවරින් පිටත් ව අයෝධ්යපුරට පැමිණීම දක්වා ද එයින් පිටත් ව පෙරළා මහනුවරට පැමිණීම දක්වා ද සියලු ගමන් විස්තරය ඇතුළත් වෙයි. එකල ලක්දිව කථා ව්‍යවහාරයෙහි පැවති බසින් ම මේ සටහන් ලියන ලද්දේ ය. එහෙයින් මහනුවර යුගයෙහි කථා ව්‍යවහාරය දැනගැනීමට ද මේ ග්‍රන්ථය උපකාර වෙයි.
සෙංකඩගල නුවර රාජධානිය කොටගෙන විසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලංකාවෙහි සිටි බෞද්ධ ප්‍රවෘජිතයෝ සැවො ම සාමණේරයෝ ම වූහ. උන්වහන්සේලා විමලධර්මසූරිය රජු කල රක්ඛඞ්ග දේශයෙන් කැඳවා ගන්නා ලද ස්ථවිරයන් අතින් පැවිද්ද ලත් භික්ෂු පරම්පරාවට අයත් වූහ. උන්වහන්සේලා අතුරෙන් ඉතා සිල්වතුන් කොට රාජසිංහ රජු පිළිගෙන සිටියේ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස ය. එහෙයින් රජුගේ සැලකිල්ල ඒ භික්ෂූන් කෙරෙහි බෙහෙවින් යොමු ව පැවතිණ.
ලංකාවේ එක ම උපසම්පන්න භික්ෂු නමකුදු නොවීම බුද්ධශාසනයෙහි පරිහානියට හේතු වන්නේ ය යනු සරණංකර හිමියන්ගෙන් අසා කම්පාවට පැමිණි රජුට බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කටයුතු කරන ආශාවක් උපණ. එය සරණංකර සාමණේරයන් වහන්සේගේ උපකාර ඇති ව කිරීමට ද සිතූ රජතුමා උපසම්පදා කර්මයට සුදුසු ස්ථවිරයන් ලබාගන්නා මාන සොයන්නට විය. ඒ අතර සියම් රට අයොධ්‍යා පුරයෙහි බුද්ධශාසනය පිරිසුදු ව පවත්නේ යැයි නායක ඕලන්ද නැව්කප්පිතකුගෙන් අසා දත් රජ එරට පරමධාර්මික රජු වෙතට ස්ථවිර භික්ෂු සංඝයා ඉල්ලා දූතයන් යවන්නට සිතුවේ ය. එ් අනුව එරට සංඝරාජ ප්රමුඛ ස්ථවිරවරයන්ට පිළිගැන්නීමට සිවුරු පිරිකරාදිය ද දී භික්ෂූන් වැඩමවා ගෙන ඒමට නිලමෙවරුන් පස්දෙනෙකු තෝරා ගති. පට්ටපොළ, ඇල්ලේපොළ යන මොහොට්ටාලවරු දෙදෙනා සහ ඊරියගම රාළ, විල්බා ගෙදර රාළ, ආයිත්නා ලියද්දේ රාළ යන නිලමවරු අයත් වූහ.
සෙංකඩගල නුවරින් පිටත් ව ත්‍රිකුණාමලයෙන් නැව් නඟින්නට ගිය මේ පිරිස වරායට ඇරලා ඒම පිණිස පින්නපාවේ දිශාව, අංගම්මන මොහොට්ටාල, මදාඩම්මල රටේරාළ, නිලාවතුරේ රාළ, උස්කිරියේ රාළ යන රදළවරු ද පිටත්කර යවන ලදහ. මේ ගමනේ මාර්ග විස්තරයත් ඔවුන් ඇසූ දුටු සියලු දේත් සියම් රටින් වැඩමකරවා ගෙන ආ විංශද්වර්ගික සංඝයාගේ නාමයනුත් රජතුමා උන්වහන්සේලා පිළිගත් අයුරුත් පසුව මහනුවර පුෂ්පාරාම විහාරයට වැඩමවා උපසම්පදා මංගල්‍යය කරවා සියම් නිකාය පිහිට වූ පරිදිත් මේ ග්‍රන්ථයේ වර්ෂ මාස වකවානු සහිත ව මැනවින් විස්තර වෙයි.
සියම් රට පරමධාර්මික රජතුමන්ගේ විධිවිධාන පරිදි වන්දනාවට ගිය දූත පිරිස සර්වඥයන් වහන්සේ සච්චබද්ධ පර්වතයෙහි පිහිටුවා වදාළ සිරිපදලස සියැසින් දැක වැඳ ලියා තිබෙන ඒ ස්ථානයෙහි වර්ගණාව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් තැනක් ගනී. ශාසන ඉතිහාසය සෙවීමෙහි ප්‍රයෝජනවත් මේ පොත මහනුවර රාජධානී සමයෙහි විශේෂයෙන් ම උඩරට පෙදෙසෙහි, භාෂා විලාසය හා විවිධ ප්‍රයෝග පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට ඉවහල් වේ.
විල්බාගෙදර මැතිතුමන් විසින් ස්වකීය සටහන් පොත මල්වතු විහාරයෙහි වැඩ විසූ තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන මහානායක තෙරණුවන් වෙත පිරිනමා "එහි පුනරුත්ති ආදී දෝෂ හැර මතු පවත්නා නියායෙන් පොතක් කළ මැනවැ"යි ආරාධනා කරන ලද්දේ ය. තිබ්බටුවාවේ තෙරණුවන් විසින් 'ස්යාමොපසම්යදාවත' නම් ග්‍රන්ථය රචනා කරන ලද්දේ මේ අයැදුම කොටගෙන ය. (ස්යාමෝපසම්යදාවත බ.)
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956: ඩී.සී. දිසානායක: 1956)
(සංස්කරණය නොකළ)