ඇඩම් ස්මිත්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:35, 27 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Adam Smith) (1723.06.16-1790.07.17). ස්කොට් ජාතික ආර්ථික විද්‍යාඥයකු මෙන් ම දාර්ශනිකයකු වූ මොහු ආචීර්ණ කල්පිතවාදී ආර්ථික විද්‍යාව (Thinking of Political Economy) පිළිබඳ මතයේ පුරෝගාමියකු වශයෙන් සැලකේ. ආර්ථික විද්‍යාව පිළිබඳ මොහු විසින් රචිත ලේඛන සහ ඉදිරිපත් කරන ලද සංකල්ප (Classical Economics, Free Market, Economic Liberalism, Division of Labour, Absolute Advantage, Invisible Hand) එම විෂය ක්ෂේත්‍රයෙහි වැඩි ම කාලයක් වඩාත් පුළුල් ලෙස බලපෑම් කිරීමට සමත් විය.

ස්කොට්ලන්තයේ එඩිම්බරාව (Edinburgh) අසල කර්ක්කැලඩිහි (Kirkcaldy) දී ස්මිත් උපත ලැබී ය. ස්මිත්ගේ පියා ද ඇඩම් ස්මිත් (පියා) නමැත්තෙකු වූ අතර ඔහු හියු කැම්බල් නම් ලන්ඩන් සාමිවරයාගේ පෞද්ගලික ලේකම් තනතුර දැරී ය. ඊට අමතර ව එම සාමිවරයා විසින් ස්මිත්ගේ පියා කකොඩ් තොටුපලෙහි තීරුබදු පාලන නිලධාරියෙක් වශයෙන් පත් කරන ලදි. කුඩා අවධියෙහි ම පියා මිය ගිය අතර ඉන්පසු ස්මිත් හදා වඩා ගත්තේ මව විසිනි.

කකොඩිහි නගර පාඨශාලාවෙහි මූලික අධ්‍යාපනය ලද ස්මිත් පසුව 1737-18 දක්වා ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ ය. ඇලෙක්සැන්ඩර් ඩන්ලොප් ඔහුට ග්‍රීක භාෂාව ඉගැන්නුවේ ය. රෝබට් සිම්සන්ගෙන් ඔහු උසස් ගණිතය ඉ‌ගෙන ගත්තේ ය. ඔහු කෙරෙහි වඩාත්ම බලපෑවේ ප්‍රැන්සිස් හච්සන්ගේ මතයන් ය. ඔහු පසුව ඉදිරිපත් කළ සිද්ධාන්තවල මෙකී බලපෑම පැහැදිල ව පෙනෙනු ඇත. ආචාරධර්ම හා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ හච්සන්ගේ අදහස්වලට ඇඩම් ස්මිත් සකස් කළ සිද්ධාන්තවලට කිට්ටු සමානකමක් දැක්වීය.

වර්ෂ 1740 ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ බැලියොල් විද්‍යාලයට සෙනල් ශිෂ්‍යත්වයක් (Snell Exhibition) ලබා ඇතුල් විය. 1746 වනතුරු ඔහු එහි අධ්‍යාපනය ලැබී ය. ආචාර විද්‍යාව හා දේශපාලන විද්‍යාවත් නූතන හා පැරණි භාෂා හැදෑරීමත් කෙරෙහි ඔහු සිත් යොමු කළේය.

1746 දී ඔහු නැවත ක'කොඩ් බලා පිටත් විය. හෙන්රි හෝම් කේම්ස් සාමිගේ යෝජනාවක් අනුව ඇඩම් ස්මිත් ඉංග්‍රීසී සාහිත්‍යය ද ආර්ථික කරුණු ද පිළිබඳ කථා කිහිපයක් ම පන්ති පවත්වා (1748-49 ) දුන්නේ ය. ස්වාභාවික ආර්ථික සිදූවීම් කෙරෙහි රජය මැදිහත්වීම ගැන ඇඩම් ස්මිත් දැඩි විරෝධය පළ කළේ ය. ඔහු ලත් ප්‍රසිද්ධිය නිසාදෝ 1751 දී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ තර්කශාස්ත්‍රීය මහාචාර්ය පදවියට (Chair of Logic) ඒකමතිකව ඔහු තෝරනු ලැබී ය. 1759 දී ආචාර ධර්ම ශාස්ත්‍රීය මහාචාර්ය පදවියට ඔහු පත්වුනි.

ඩේවිඩ් හියුම් (David Hume) නමැති සුප්‍රසිද්ධ දේශපාලන ශාස්ත්‍රයඥයා හා ඇඩම් ස්මිත් අතර තදබල මිත්‍රත්වයක් ඇතිවිය. ජේම්ස් වොට් නමැති නව නිපැයුම්කරුවාට (Inventor) ඔහු අනුග්‍රහය ලබා දුන්නේ ය. වෙළදාම පිළිබඳ වැදගත් සාකච්ජා පැවැත්වූ සමිතියක (Club) ඔහු සාමාජිකයෙක් විය. ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙන්දන්ගෙන් සමන්විත වුණු මේ සමිතිය කෙරෙහි තදබල බලපෑමක් ඔහු විසින් ඇති කරන ලදී. 1753 දී ඔහු "වාණිජ කටයුතු පිළිබඳ ලිපි" සම්බන්ධ දේශන පැවැත්වූයේ ය. ස්කොට්ලන්තයේ කලා ශිල්ප, විද්‍යාව, කාර්මික හා කෘෂිකාර්මික කටයුතු අනුග්‍රහ කිරීමේ සමිතියෙහි රැස්වීමක ඔහු මුලසුන හෙබවී ය. මෙහි දී ආර්ථික කටයුතු පිළිබඳ විෂය ගණනාවක් ම සාකච්ඡා කරන ලදී.

වර්ෂ 1759 දී ආචාර විධි පිළිබඳ සිද්ධාන්තය (Theory of Moral sentiments) යනුවෙන් පොතක් පළ කළේ ය.1752 තරම් ඈත කාලයක දී පවා නිදහස් වාණිජ ප්‍රතිපත්තියක් කෙරෙහි ඔහු දැඩි ආශාව දැක් වූ බව ඔහුගේ ජීවිත කථාව ලියු ඩියුගෝල්ඩ් ස්ටුවර්ට් (Dugold Stuvert) නමැති මිත්‍රයා පවසා ඇත.

වර්ෂ 1762 දී ග්ලාස්ගෝහි සෙනට් කවුන්සලය (Senates Academics) විසින් ඔහු වෙත ගෞරව උසස් නීතී උපාධියක් පිරිනමන ලදී. තරුණ බක්ලෙක් (Bucclench) ආදිපාදවරයාට ගුරුවරයෙකු වූ මහාචාර්ය පදවියෙන් අස් වී 1764 දී පැරීසිය බලා පිටත් විය. එහි දි ඔහු හොල්බෙක් (Hollbach), හෙල්වීෂස් (Helvetius), ටියුගෝ (Turgot), මොරලි (Morallet) කේනේ (Quesnay), නේකර් (Necker) ආදීන් සමඟ සිය අදහස් හුවමාරු කරගත්තේ ය. මොරලි සමඟ ඔහුගේ සම්බන්ධකම විශේෂයෙන් ම සමීප වූවක් විය. පසුව ස්මිත්ගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය වන 'ජාතීන්ගේ ධනය' ඉංග්‍රීසීයෙන් ප්‍රශංසාවට පෙරළුවේ මොහු ය. ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයින් ස්මිත්ගේ සිද්ධාන්තෙ කෙරෙහි ඇති කළ බලපෑම පිළිබඳව මත රාශියක් ම තිබුණි. ආර්ථික කටයුතු පිළිබඳ රජය විසින් පනවන ලද නෙයෙකුත් අවහිර කෙරෙහි ඔහු ඇති කරගත් දැඩි විරෝධය ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයින්ගේ බලපෑමෙන් ඇති වූවක් බව සමහරු කියති. ඔහු ග්ලාස්ගෝහි දුන් කථා පිළිබඳ වාර්තා ගණනාවක් ම එකතු කොට හැඳින්වීමක් සමඟ කැනන් නමැත්තෙකු විසින් 1763 දී පළ කරන ලදි. රජයේ මැදිහත්වීම පිළිබඳ ස්මිත්ගේ අදහස් පසුව ඔහු ඉදිරිපත් කළ සිද්ධාන්තවල පළවෙන අදහස් ම බව කැනන් පෙන්වා දෙයි. මේ කථා ඔහු දුන්නේ ප්‍රංශයට යෑමට පෙර ය. ශ්‍රම විභජනය, මුදල්, මිල හා වැටුප්වල වෙනස්කම් යන මේ සියල්ල ම පිළිබඳ ඇඩම් ස්මිත් ස්ථිර අදහස් ප්‍රංශයට යෑමට පෙර සකස් කරගෙන තිබුණු බව කැනන් පවසයි. ප්‍රංශයේ ඉහත කී පිසියෝක්‍රාට්වාදීන්ගේ ආශ්‍රයෙන් ඔහු ලබාගත් එක ම පාඩම වශයෙන් කැනන් සළකන්නේ ව්‍යාප්තිය සැකැස්මක් අනුව ඔහුගේ අදහස් ගැළපීම යන්නයි. තමා විසින් ම සකස් කරගත් ව්‍යාප්තිය සැකැස්මක් (Distribution Scheme) එනම් පිසියෝ ක්‍රාට් සැකැස්මට බෙහෙවින් ම වෙනස් වූවක් ඔහු ඔහුගේ මිල සිද්ධාන්තමාලාව සමඟ එකතු කරගත් බව කැනන් පවසයි. ස්මිත් ඔහුගේ ප්‍රධාන මතයන් තනිව ම සොයා ගත්තේ ය යන අදහස දැන් පිළිගැනේ.

1776 දී ස්මිත් ප්‍රංශයේ සිට ලන්ඩනයට නැවත පැමිණියේ ය. මෙහි දී ඔහුගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය නොහොත් 'ජාතීන්ගේ ධනය' (The Wealth of Nations) සකස් කිරීමේ යෙදුණේ ය. වර්ෂ 1776 දී එය පළකරන ලදි. එකෙණෙහි ම එය නිසා ඔහුට විශාල කීර්තියක් ලැබුණි. ග්‍රන්ථය කෙතරම් ජනප්‍රිය වූයේ ද කිවහොත් පළමු මුද්‍රණය මාස 06 ක් යාමට පෙර විකුණුණි. රාජ්‍ය පාලකයන් හා දේශපාලඥයන් අතර එකලෙසම ඔහුගේ බලපෑම තවදුරටත් දියුණු විය.

ඔහු, 'ජාතීන්ගේ ධනය' (The Wealth of Nations) නම් කෘතිය ලිවීම ආරම්භ කළේ 1764 ටුරුස් ප්‍රදේශයේ සිටිය දී ය. ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 දී මුද්‍රණ ද්වාරයෙන් පිට විය. අවසාන ප්‍රතිඵලය මැනීමේදී 'ජාතීන්ගේ ධනය' ග්‍රන්ථය මේ දක්වා ලියවී ඇති වැදගත් ම කෘතිය ලෙස සැලකිය හැකි බව එඩ්මන් බර්ක්ගේ අදහස විය.ස්මිත් නියම ආර්ථික ආයතන දෙස විනිවිඳ දකින නිරීක්ෂණයක යෙදුණ නමුත්, ඇත්ත වශයෙන්ම අනාගතයේ නිදහස් යුටෝපියාවක් තැනීම සඳහා, ඔහු ප්‍රචාරයක යෙදු බව බර්ක්ගේ ප්‍රකාශයෙන් තහවුරු කරවයි. ජාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ.

ඔහු තවදුරටත් කී පරිදි ධනය ලද හැකි එකම මාර්ගය සම්පත් හා ශ්‍රමය යොදා තැනීමේ ප්‍රතිඵලයෙන් කෙරෙන නිෂ්පාදනය බවයි. මෙහි දී ඔහු විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්නය ලෙස පිළිගන්නේ වාණිජවාදී න්‍යායෙන් ගත් දේශයක ධනය එහි අපනයන අතිරික්තය නිසා වන අදහසයි. ශ්‍රමය යොදා ගැනීමේ හැකියාව හා දක්ෂතාව අනුව ධනය වැඩි දියුණු වේ.මෙයට යොමු කර ගන්නා ජනගහනයේ ප්‍රතිශතය මත මෙම සංඛාව අඩු වැඩි වේ. ජනගහන සංඛ්‍යාවලට මුළු නිෂ්පාදනයේ සහ සම්බන්ධතාව මත සාමාන්‍ය පුද්ගලයාගේ ආර්ථික සුභසාධනය බලපානු ඇත. එනම් අද අප දන්නා ව්‍යවහාර භාෂාව අනුව මූර්ත ආදායමත් ඒක පුද්ගල ආදායම යනුයි.

මොහුට අනුව නිෂ්පාදනය වැඩි කළ හැකි මූලික ක්‍රම වනුයේ යන්ත්‍රෝපකරණ හදුන්වාදීම සහ ශ්‍රම විභඡනයයි. විවිධ වූ රැකියා වලින් නොයෙකුත් සහජ දක්ෂතා මතුවිය හැකි බව ද ඔහු පිළිගත්තේ ය. නිෂ්පාදන ප්‍රාගුණ්‍යය වැඩීමට නියම හේතුව ‍ලෙස, මිනිසා තුළ උපතින් ම වෙළඳාමට සහ හුවමාරුවට ඇති ආශාව නිසාත් සියලු ම සත්ව වර්ගයා අතරින් මිකිසා පමණක් එය ප්‍රදර්ශනය කරන බැවිනුත් ය.

ස්මිත් විශ්වාස කළේ භාණ්ඩයක් තැනීමේදී ඒ සඳහා වැය කරන ශ්‍රමය එහි මූර්ථ වටිනාකම නියම කරන බවයි. කිසිවෙක් කිසිම භාණ්ඩයක් නිපදවීමෙන් ලබන ලාභය නිසා විනා නොනිපදවනු ඇත. ඔහුට අවශ්‍ය යමක් තනා ගැනීමට කරන වියදමට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි වී නම්, ඔහු එය කෙනෙකුගෙන් ගන්නේ හුවමාරුවේ දී අ‍නෙකාටද එසේ ම තම ශ්‍රමයට වැයවන මුදලට වඩා අඩු මිලකට එම භාණ්ඩය ගත හැකි නම් පමණි. විශේෂ ප්‍රාගුණ්‍යය හා වෙළඳාමෙන් අ‍න්‍යෙන්‍ය ලාභ ලැබීම මෙයින් ඇති වු ප්‍රතිඵලයයි. භාණ්ඩයක් තැනීමට ගතවන කාලය මෙන් ම, භාණ්ඩය තැනීමේ දී උප‍යෝගී වන ශ්‍රමයේ බලගතු බව, ශ්‍රමිකයාගේ දක්ෂතාව ලබා දෙන පුහුණුව හා අධ්‍යාපනය මේ ආදී කරුණු මත භාණ්ඩයක ස්වභාවික වටිනාකම බලපැවැත්වීය.එ‍හෙත් මුදල් භාවිත වන ආර්ථිකයක සැ‍මවිට ම භාණ්ඩයක වෙළඳ මිල එහි මූර්ත වටිනාකම හා සම නොවී ය. භාණ්ඩයක් සඳහා සඵල ඉල්ලුම ඇතැම් විට එහි සැපයුමට වඩා වැඩි විය හැකි ය. එවිට එහි මිල ඉහළ යයි. එය නිෂ්පාදකයාට වාසිදායක වෙයි. මෙලෙස ගණුදෙණුවේ වාසිදායක බව නිසා අ‍නෙක් අය ද වෙළදාමට තරඟ වදිනු ඇත. මේ නිසා මිල පහල යයි. යම් මිලක දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් එය ස්වභාවික මිල බවට පත්වේ. මෙමගින් නිදහස් වෙ‍ෙළඳපල සැමට වාසි අත්වේ.

ඇමරිකානු යුද්ධය කාලයේ දී නෝත් සාමි (Lord North) ඇමරිකානු යටත් විජිතයන්ට අයබඳු සකස් කිරීමේ දී 'ජාතීන්ගේ ධනය' ග්‍රන්ථයෙන් අදහස් උපුටා ගත් බවට විශ්වාසයක් තිබේ. නෝත් සාමිවරයා විශේෂයෙන් ම මෝල්ට් වර්ග පිළිබඳ බද්ද, ගෙවල් බද්ද (House Tax) සකස් කිරීමේ දී අදහස් ලැබුණේ ස්මිත්ගේ ග්‍රන්ථයෙන් බව කියනු ලැබේ. විලියම් පිට් නම් තවත් බ්‍රිතාන්‍ය මුදල් ඇමතිවරයෙකු 'ජාතීන්ගේ ධනය' නමැති ස්මිත්ගේ ග්‍රන්ථය හොඳින් හදාරමින් එහි මූලධර්ම වර්ෂ 1786 දී ප්‍රංශය සමඟ වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමේ දී අනුගමනය කළේ ය. 1792 දී තම අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ කථාවේ දී ස්මිත්ගේ කෘතියට අතිශයින් ප්‍රශංසා කළේ ය. මේ කෘතිය රාජ්‍ය පාලකයනුත්, දාර්ශනිකයිනුත් අතර එකලෙස ම විශිෂ්ට ලෙස පිළිගනු ලැබූ එම විෂය පථය පිළිබඳ ප්‍රධානතම කෘතිය වශයෙන් ඉතා කෙටි කාලයකින් පිළිගනු ලැබු ග්‍රන්ථයක් බව සැළකීමට පුළුවන.

1772 දී තීරුබඳු කොමසාරිස් තනතුර ඔහුට පිරිනමන ලදී. මෙසේ කරන්නට ඇත්තේ 'ජාතීන්ගේ ධනය' යන කෘතියෙහි තීරුබඳු පිළිබඳ ස්මිත් දැක්වූ විශාරද දැනුම පිළිගැනීමක් වශයෙන් නෝත් සාමිවරයා කළ දෙයක් වශයෙන් ගෙන බව ජෝන් රේ (John Rae) ස්මිත්ගේ ජීවිත කථා පුවත් සාරයක් ලියූ පුද්ගලයෙක් පවසයි. 1793 දී ඔහුගේ මරණය සිදුවිය.

එඩින්බරෝ හා ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයීය වාර්තා හා ලිපි හදාරමින් ලියන ලද පොතෙහි ස්මිත්ගේ ජීවිතය හා කටයුතු පිළිබඳ කරුණු සපයාගත හැකි එක් උල්පතකි. ඇඩම් ස්මිත්ගේ ජීවිතය යන මේ පොත පළ කරන ලද්දේ 1895 දී ය. එහෙත් ප්‍රධාන ලෙස පිළිගැනෙන්නේ 1793 දී එඩින්බරෝ රාජකීය සමිති රැස්විමක දී කියවන ලද 'ජීවිතය' නමැති පුවතකි. මෙය ලියන ලද්දේ ස්මිත්ගේ හිතවත් මිත්‍රයකු වූ ඩුගල්ඩ් ස්ටුවරට් (Dugald Stuart) විසිනි. ඔහු වයස 67 දී ස්කොට්ලන්තයේ එඩිම්බර්හි දී මිය ගිය ද ඔහුගේ අදහස් අදටත් විද්වතුන් අතර පවතී.

(කර්තෘ: එල්.එස්. ගුණසේකර: 1962)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඩම්_ස්මිත්&oldid=4293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි