සත්තාවාස

සිංහල විශ්වකෝෂය වෙතින්
10:56, 5 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සත්වයන් පිළිසිඳ ගැනීම් වශයෙන් පවත්නා හෙයින් '...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සත්වයන් පිළිසිඳ ගැනීම් වශයෙන් පවත්නා හෙයින් 'සත්තාවාස' යැයි ව්‍යවහාර වේ. සමස්ත විශ්වයෙහි තිස් එක් තලයක උපත ලබන සියලු ම සත්ත්වයන් වාසය කරන (සත්තාවාසය) ස්ථාන නවයකට මෙහි දී ප්‍රභේදගත කොට තිබේ. එනම්;

1. නානත්තකායා නානත්තසඤ්ඤී

2. නානත්තකායා ඒකත්තසඤ්ඤී

3. ඒකත්තකායා නානත්තසඤ්ඤී

4. ඒකත්තකායා ඒකත්තසඤ්ඤී

5. අසඤ්ඤසත්ත

6. ආකාසානඤ්ඤායතන

7. විඤ්ඤාණඤ්චායතන

8. ආකිඤ්චඤ්ඤායතන

9. නේවසඤ්ඤානාසඤ්ඤායතන

යනු මේ නවයයි.

නානත්තකායා නානත්තසඤ්ඤී

පළමුවන සත්තාවාසය හෙවත් සත්වයන් උපදින තැනයි. ලොව වසන සත්වයන්ගේ වර්ණ සටහන් ආදීන්ගේ වශයෙන් දෙදෙනෙක් එක් සමාන නොවෙත්. ඇතැම් විට මව්කුස එක් ව සිට උපන්නා වූ නිවුල් දරු දෙදෙනෙක් වත් මඳක් සමාන වූවාහු නමුත් ඒ දෙදෙනාගේ එහා මෙහා බැලීම්, කථාබහ, සිනාසීම්, යාම්-ඊම්, ඉඳිම්-සිටීම් ආදියෙහි වෙනසක් පෙනේ. එසේ වෙනස් වූ ශරීර ඇති හෙයින් ‘නානාත්තකාය’ නම් වේ. සත්වයන්ගේ ප්‍රතිසන්ධි සිත ත්‍රිහේතුක ද ද්විහේතුක ද අහේතුක ද වෙයි. එසේ වෙනස් වූ ප්‍රතිසන්ධි ඇති හෙයින් ‘නානාත්තසඤ්ඤී’ නම් වේ. දෙව්මිනිස් ආදී වශයෙන් වෙනස් වූ ශරීර ඇති වෙනස් වූ සිත් ඇති සත්වයෝ ‘නානාත්තකායා නානත්තසඤ්ඤී’ නම් වේ. සදෙව් ලොව දෙවියෝ ද මිනිස්සු ද බූමාටු දෙවියෝ ද සතර අපායට ඇතුළත් නොවූ ඇතැම් විමානවාසී ප්‍රේතයෝ ද මේ පළමුවන සත්තාවාසයට ඇතුළත් වන්නේ ය.

නානත්තකායා ඒකඤ්ඤසඤ්ඤී

වෙනස් වෙනස් ශරීර ඇති එහෙත් ධ්‍යානසංඥා වශයෙන් ප්‍රතිසන්ධි සිත එකක් වූ බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම යන බ්‍රහ්මලෝකවල වසන බ්‍රහ්මයෝ ද වෙනස් වෙනස් වූ ශරීර ඇති අකුසල විපාක අහේතුක වශයෙන් නොවෙනස් වූ ප්‍රතිසන්ධි සිත් ඇති සතර අපායවාසී සත්වයෝ ද යන මොවුහු ය. මේ දෙවන සත්තාවාසය වේ.

ඒකත්තකායා නානත්තසඤ්ඤී

වෙනස් නුවූ ශරීර ඇති එහෙත් ධ්‍යාන චිත්ත වශයෙන් වෙනස් වූ ප්‍රතිසන්ධි සිත් ඇති පරිත්තාභ, අප්පමාණාභ, ආභාස්සර යන බ්‍රහ්මලෝකවල වසන බ්‍රහ්මයෝ ය. මේ තුන්වන සත්තාවාසයයි.

ඒකත්තකායා ඒකත්තසඤ්ඤී

වෙනස් නොවූ ශරීර ඇති එමෙන් ම වෙනස් නොවූ ප්‍රතිසන්ධි විඥාන ඇති පරිත්තසුභ, අප්පමාණසුභ, සුභිණ්හක, වෙහප්ඵල, පංචසුද්ධාවාස (අවිහ, අතප්ප, සුද්සස, සුදස්සී, අකණිට්ඨක) යන බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයෝ අදහස් කරනු ලබත්. මේ සතරවන සත්තාවාසයයි (මෙහි කී පංචසුද්ධාවාසයෙහි අනාගාමි පුද්ගලයෝ උපදියි).

අසඤ්ඤසත්ත

සතරවන රූපාවචර ධ්‍යානය වඩා ආරම්මණ මනසිකාර ඡන්දාදීන්ගේ වෙනස්කමින් සංඥාව ඇතත් නැත්තාක් මෙන් උපදින්නා වූ අසඤ්ඤසත්ත නම් බඹලොව වැසි බ්‍රහ්මයෝ ය. මේ පස්වැනි සත්තාවාසයයි.

ආකාසානඤ්චායතන

රූපාවචරය ගැන ද කළකිරිණු රූපාවචර ධ්‍යානලාභීහු ආකාසානඤ්චායතන නමැති පළමුවන අරූපාවචරධ්‍යානය වඩති. ඔවුහු ආකාසානඤ්චායතනයෙහි උපදිති. මේ ආකාසානඤ්චායනය සවන සත්තාවාසයයි.

විඤ්ඤාණඤ්චායතන

පළමුවන අරූපාවචර සමාපත්තියට වඩා දෙවැනි වූ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ශාන්ත යයි සිතා එය ලබා ගත්හු විඤ්ඤාණඤ්චායතනයෙහි උපදිති. මේ විඤ්ඤාණඤ්චායතනය සත්වන සත්තාවාසය වේ.

ආකිඤ්චඤ්ඤායතන

විඤ්ඤාණඤ්චායතනයට වඩා අකිඤ්චඤ්ඤායතන නමැති තුන්වන අරූපාවචර සමාපත්තිය ශාන්ත යයි සිතන්නෝ භාවනා කොට එය ලබා ගනිති. ඔවුහු එහි විපාක වශයෙන් ආකිඤ්චඤ්ඤායතයෙහි උපදිති. මේ ආකිඤ්චඤ්ඤායතනය අටවන සත්තාවාසයයි.

නේවසඤ්ඤානාදසඤ්ඤායතනය

ආකිඤ්චඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤානාසඤ්ඤායතන නමැති සතර වන අරූපාවචර සමාපත්තිය ශාන්ත කොට සිතන්නෝ භාවනා කොට එය ලැබ එහි විපාක වශයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපදිති. මේ නව වන සත්තාවාසය වේ.

(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සත්තාවාස&oldid=4332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි