සීපද රෝගය
(Elephantiasis or Filariasis). ෆයිලේරියා (Filaria) නමැති වටපණුවෙකු විසින් සිදු කරනු ලබන රෝගයක් වන මෙයින් මිනිස් සිරුරේ පාදාදි කොටස් අසාමාන්‍ය ලෙස විශාල වීම හා විකෘති වීම සිදු වේ. බරවා රෝගයට බෙහෙවින් සමාන ලක්ෂණ පෙන්නුම් කෙරෙන මෙම රෝගය වැළඳුණ කල්හි අසාමාන්‍ය ලෙස පාද මහත් වීම, කුෂ්ට ඇතිවීම, හම රළු වීම දැකිය හැකි ය. ලංකාවේ සමහර විශේෂ ප්‍රදේශවල පවතින්නා වූ මෙම රෝගයේ ප්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ශරීර කොටස් විරූප කරන්නා වූ ස්වභාවයයි. සමකයට නුදුරු ලංකාව, ඉන්දියාව, මැදපෙරදිග, අප්‍රිකාව, බාබඩෝස්, මලයාව, ජාවා, පිලිපීන් දූපත් හා අනෙකුත් සාන්තිකර සාගරයේ දූපත් අදී රටවල විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල මේ රෝගය බහුල ය.
ඈත ඉතිහාසයේ සිට මේ රෝගයෙන් මනුෂ්‍යයාට ගෙනදෙනු ලබන විපත්, එනම් නිරන්තර රෝගී වීම, ශරීර කොටස් විරුප වීම, දිලිඳු වීම ආදිය පුරාතන ග්‍රන්ථයන්හි පළ වී තිබේ. වෙස්සන්තර ජාතකයෙහි, කන්ටක නම් සිටුවරයෙක් සීපද රෝගයෙන් පෙළී දිලිඳු වී තම චරිතයෙන් ඉතා හීන වී බරවා බැහැපු කකුළකුත් සහිත ව හිඟන්නෙකු සේ වෙස්සන්තර රජුගේ දරුවන් දන් ලැබීමට ඉදිරිපත් වූ හැටි එම ජාතක පොතේ සහ නොයෙක් පන්සල්වල තිබෙන එම ජාතක විස්තර චිත්‍රවලිනුත් පෙනේ.
වෛද්‍ය ඉතිහාසයෙන් ක්‍රිෂ්තු වර්ෂයට පෙර හයවෙනි ශත වර්ෂයේ ඉන්දියාවේ සිටි සුස්‍රැත නම් ප්‍රසිද්ධ වෛද්‍යාචාර්යවරයා මේ රෝගය ගැන හොඳාකාර විස්තර එතුමාගේ ලෝක ප්‍රසිද්ධ සුශ්‍රැතය නම් වෛද්‍ය ග්‍රන්ථයේ පළ වී තිබේ.
මේ රෝගය නොයෙක් කාලවල දී පැතීරීමට අවශ්‍ය කරුණු සුලභ වූ විට පැතිර යාමත් ඒවා අඩු වූ විට රෝගය නැතී වීමත් සිදු වී තිබෙන බව පෙනී යයි. මෙරට ද මීට අවුරුදු 450ට පෙර ජයවරධනපුර (කෝට්ටේ) බුවනෙකබාහු මහරජාණන් දවස රචිත වූ යෝගරත්නාකරයේ මේ රෝගය ගැන විශේෂ චිකිත්සාවක් දැක්වේ. මෙයින් පෙනෙන්නේ එකල මේ රෝගය ගැන තිබුණු තත්වයයි.
සසිරිතුමෙහි සිසිලස වූ දේසෙහි ද
සැම කල සිටින දියවල දියබු කල ද
සීදර රෝග මේ යැයි කියන බසට ද
සැකනොව අදහගෙන උගනුව බේත් සොඳ
මේ රෝගය වැළදුණු කල්හි ජීවිතාන්තය දක්වා රෝග ලක‍්ෂණ පැවතෙන නිසා ස්ථානයට ඇල්මක් සේ පෙනී යයි. ඒ නිසා ලංකාවේ සීපද රෝග පැවතුණු තැන් බරවාපොළ, බරවාගෙදර, බරවාඇළ ආදී නම් ඇති ස්ථානවලින් පෙනී යයි.
දහහතර වෙනි ශත වර්ෂයේ සිට දහහත් වෙනි ශත වර්ෂය දක්වා ගාලු නගරය අපේ ප්‍රසිද්ධ පිටරට වෙළෙඳපොළ කාලයේ දී සැන්සිබාර් රටෙන් ආ අරාබි වෙළෙඳුන් විසින් නොයෙක් විට මේ රෝගය ගාලු නගරයට ගෙන දී තිබේ. ගාලු නගරයේ බොහෝ පැවතුණු මේ රෝගයට ඉංග්‍රීසි භාෂාවෙන් Galle Leg කියා ප්‍රකටයි.
ලංකාවේ නොයෙක් ප්‍රදේශවල සීපද රෝගය පැතිර යාම මෑතකාලීනව වඩාත් විමසුමට ලක් කැරුණේ වෛද්‍යාචාරී ඩබ්.ඇල්.පී. දසනායක විසින් 1937-1939 ඇතුලේ දී කරන්නට යෙදුණ සමස්ත ලංකා සීපද රෝගය පරික්‍ෂණයේ දී ය. ඒ පරීක්‍ෂණයේ දී එතුමා ලංකාවේ මේ රෝගය පවතින පළාත් ලකුණු කර, මේ රෝගය 'ගම්බද හා නගරබද' යන වර්ග දෙකක් වශයෙන් පවතින බව ද, ඒ කලට ලංකාවේ සඳහන් 16,533ක් ගම් සහ නගරවලින් ශරීරයේ කොටස් විරූප ඇතිවුණ රෝගීන් 2,273 දෙනෙක් ද, රෝග වැළදී ශරීරයේ පනුපැටව් සිටිනා අය 1,177ක් ද රෝගය පැතිරවීම වැළැක්වීමට කළයුතු දේවල් ද ආණ්ඩුවට පෙන්වා සිටියේ ය.
නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් වශයෙන් සීපද රෝග මර්ධන ව්‍යාපාරය විශේෂ අධිකාරිතුමෙක් යටතේ ඇති කරන්ට යෙදුනේ ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක තැන සෞඛ්‍ය ඇමති ව සිටි කාලයේ ය.
සීපද රෝග මර්ධන කිරීම ගැන විශේෂඥයන් අතර නොයෙක් මතභේද ඇති විය. සීපද රෝගය මැලේරියා රෝගය මෙන් මදුරුවන් විසින් බෝ කරන රෝගයක් නිසා ද එවකට අලුතින් සොයා ගත් ඩී.ඩී.ටී. ආදී මදුරු නාශක රසානික වර්ග පාවිච්චි කිරීමෙන් බෝහෝ දුරට මැලේරියා රෝගය මර්ධනය කළ හැකි වූයෙන් මෙම රෝගයත් එසේ ම මර්ධනය කළ හැකි යැ'යි ලංකාවට සීපද රෝගය සම්බන්ධ ගෙන්වූ විශේෂඥයා කියා සිටියේ ය. එසේ ම දෙවනි ලෝක මහා සංග්‍රාමයේ දී ඇමරිකන් සෙබළුන් බටහිර පැසිෆික් දූපත්වල දී සීපද රෝගය වැළඳීම නිසා බෝහෝ ධන වියදම් කර ඇමෙරිකන්වරුන් විසින් මනුෂ්‍ය ශරීරයේ සිටින සීපද රෝග ගෙන දෙන පනුවන් සහ පනුපැටවුන් ඉතා ලේසියෙන් ශරීරවලින් ඉවත් කිරීමට අලුත් බේත් සොයා දැනගෙන ඒ බේත් දෙහිවල අත්හදා බලා ඉතා සතුටුදායක ප්‍රතිඵල ලැබූ අවස්ථාවක් විය.
එම නිසා බණ්ඩාරනායක ඇමතිවරයා අපරට අත්හදා බලා සාර්ථක ඵල ලැබී තිබෙන සීපද රෝග පනුවන් මනුෂ්‍ය ශරීරයෙන් ඉතා ලේසීයෙන් නැති කරන්නට පුළුවන් ඇමෙරිකන් අලුත් බේත්වලට නිසියාකාර ප්‍රමුඛත්වය දිය යුතු යැයි පවසා (ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් එවූ විශේෂඥයාගේ අදහස්වලට එකඟ නොවී) සීපද රෝග මර්ධන ව්‍යාපාරය දෙහිවල සීපද රෝග මර්ධන කාර්යාලයේ දී 1949ක් වු අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කළේ ය.
ඇමතිතුමාගේ එම ක්‍රියාව ඉතා ම හරි එකක් බව ඊට පසු ලංකාවේ සීපද රෝග මර්ධන ව්‍යාපාරය බැලීමට හා ඉගෙන ගැනීමට ඇමරිකන් හා යුරෝපීය විශේෂඥයන් දක්වා තිබෙන උනන්දුවෙන් පෙනී යයි. තවද මේ ව්‍යාපාරයේ කොටසක් වෙන රටවල්වල සීපද රෝග මර්ධන ව්‍යාපාරවල ඇති කරන්ට යෙදුනේ ය. එසේ ම මේ රටේ දී ද මේ ව්‍යාපාරයෙන් පසු 1947-1949 කාලවල දී භයානක අන්දමට බෝ වෙන්ට ලකුණු තිබූ මේ රෝගය බොහෝ පළාත්වලින් මර්ධන කරන්නට යෙදුණා පමණක් නොව සමහර පළාත්වලින් නිට්ටාවට නැති කර තිබේ.
පටුන
රෝගය පවතින පළාත්
වයඹ, දකුණ, නැගෙනහිර යන පළාත්වල වැව් ගහණ පෙදෙස්වලින් වැව් අද්දර ගම්වල ගම්බඳ වර්ගයේ සීපද රෝගය පවතී. සමහර ප්‍රධාන ස්ථාන නම් වාරියපොළ, බිංගිරිය, හෙට්ටිපොළ, වීරකැටිය, වලස්මුල්ල සහ තෝපූර් ය.
හලාවත සිට තංගල්ල දක්වා විහීදි ගිය බස්නාහිර හා දකුණු මුහුදු වෙරළ ආසන්න ජනගහනය වැඩි නගරවල නගරබඳ වර්ගයේ සීපද රෝගය පවතී. එයින් ප්‍රධාන නගර නම් මීගමුව, පෑළියගොඩ, කොළඹ, කොළොන්නාව, කෝට්ටේ, මොරටුව, පානදුර, කළුතර, බේරුවල, ගාල්ල, වැලිගම, මාතර ආදියයි.
රෝග හේතුව
සී පද රෝගය ගෙන දෙන්නේ සීපද රෝග පනුවන් ශරීරගත වීමෙන් ය. මේ පනුවා වැඩුණු අවස්ථාවේ දී දිගින් අඟල් 02ක් පමණ ද, මහතින් නොම්මර 50ක් හෝ සුදූ නුල් පොටක් පමණ ද වේ. මේ පනුවා සාමාන්‍යයෙන් ශරීරයේ පදිංචි වෙන්නේ ශරීරයේ තිබෙන කිරිගඬු (ඕජෝවාහි ග්‍රන්ථිහිත්- Lymphatic glands) කිරිවැල් (ඕජෝවාහි නාලයන්හිත්-Lymphatic veins) ඒවා තදාසන්න පටකයන්හි ය. වැඩුණු ගැහුනු පනුවා මයික්‍රොෆයිලේරියා (Microfilaria) නමින් හැඳින්වෙන බිත්තර කෝටි ගණනක් ඇති කරන්නී ය. ලංකාවේ පවතින සීපද රෝග දෙවර්ගයේ ම රාත්‍රී කාලයෙහි මේ මයික්‍රොෆයිලේරියා මහත් ගණනක් රුධිරයේ තිබෙන බව රාත්‍රියේ ලේ බිඳුවක් අරගෙන අන්වීක්‍ෂයකින් බැලූ විට පෙනේ.
රෝග ලක්‍ෂණ
රෝගයේ ලකුණු විවිධ ය. ඒවා මෙරට පවතින අනෙක් ලෙඩ යැයි බොහෝ විට වරදවා තේරුම් ගනු ලැබේ. ඉතා සෙමින් හට ගන්නා මේ රෝගය මුල් අවස්ථාවේ නම් සුළුවෙන් සළකයි. නමුත් එයින් ලැබෙන විපාකය නම් සදාකාලික ය. සිදුවන හානිය ජීවිතාන්තය දක්වා පවතී. රෝග ලක්‍ෂණවල බරපතලකම රඳා සිටින්‌නේ සීපද රෝග පනුවන් ශරීරයේ සිටින ගණනට ද ඒ පනුවන් විසින් ශරීරයේ කිරිගඬු සහ කිරිවැල් අන්තරා කරපු තරමට ද වේ.
පළමුවන අවස්ථාව
විටින් විට ඉකිලිය, කිහිල්ල සහ වැලමිට ආදී තැන්වල තිබෙන කුද්දැටි ඉදිමීම ද ශරීරයේ නොයෙක් තැන්වල මදුරුවන් දෂ්ඨ කළා මෙන් රතුලප ඇති වීම ද හැර මේ අවස්ථාව රෝගියාට සාමාන්‍යයෙන් හඳුනාගත නොහැකි ය.
දෙවන අවස්ථාව
රෝගීයාට නිසැක ව ආබාධයක් ඇති වෙන්ට පටන් ගන්නේ මේ අවස්ථාවේ දී ය. දවස් දෙකක් තුනක් ගැහී උණගන්නා නිසා මේ අවස්ථාවේ දී මැලේරියා යැයි වරදවා හඳුනාගනු ලැබේ. මැලේරියා උණ හටගන්නට පෙර මෙන් ම සීපද රෝගයේ උණයන් ශරීරය සීතල කර ගන්නාවත් ඇර එය බසින්නේ දවස් දෙකක් තුනක් පසු වීමෙන්ය. මේ උණට සිංහලයෙන් බරවා උණ, කිරිගඬු උණ, කිරිවැල් උණ යන නම්වලින් හඳුන්වත්. බරවා උණ හට ගැනී ඇති කළ රෝගියාට දාහය හා ශරීරයේ කොටස්වල ඉදිමුමත්, වේදනාවත් ඇති වේ. ඉදිමීම ඇති වූ කොට්ඨාසවල කිරිවැල් දිගේ රතුපාට වෙයි. දවස් දෙකකින් තුනකින් උණ බැස ගියා පසු ඉදිමුම අඩු වෙන අතර වේදනාවත් රත් පැහැයත් ද නැතිවෙයි.
තුන්වැනි අවස්ථාව
අවුරුදු පහක් හයක් සීපද රෝග උණ නැවැත වැළඳුණු පසු මේ අවස්ථාවට වැටේ. මේ අවස්ථාවේ කිරිවැල් සම්පුර්ණයෙන් ම ඇහිරී ගොස් ඕජෝවාහී ගමනාගමනය වැළකීමෙන් ද ලේ ගමනාගමනය වැළකීමෙන් ද ශරීර කොටස් විරූප කිරීමෙන් බරවා බසින්නට පටන් ගන්නේ ය. මේ විරූපය හෝ මහත් වීම සදාකල් පවතින අසෝභන මහත් වීමක් ය. එය ශෛල්‍යකර්මයකින් මිස අඩු කිරීමට නුපුළුවන.
රෝගය බෝවීම
සීපද රෝගය කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවන්නේ මදුරුවන්ගේ මාර්ගයෙනි. සීපද රෝග අංකුර ලේවල තිබෙන කෙනෙක් මදුරුවෙකු දෂ්ඨ කළ විට ඒ අංකුර මදුරු ශරීරයේ දවස් දොළහක් පමණ වැඩුණායින් පසු ඒ අංකුර පසු පිලව් සේ වැඩී ඒ මදුරුවා කෙනෙක් දෂ්ඨ කළ විට උගේ දළ මුලින් ඒ පිලව් ඒ අයගේ ශරීරයේ මතුපිටට වැටී මදුරු දෂ්ඨ කළ තුවාලය ළඟින් සම විදගෙන මනුෂ්‍ය ශරීරයට ඇතුළු වී ගමන් කරන පාරේ තිබෙන කිරිගඬුවක හෝ කිරිවැලක පදිංචිය අරගෙන වැඩෙන්නට පටන් ගනී.
ලංකාවේ පවතින සීපද රෝග දෙවර්ගය බෝ කරනු ලබන්නේ දෙවර්ගයක මදුරුවන් විසිනි. නගරබඳ තිබෙන නගරබඳ සීපද රෝග පනුවා නොහොත් ෆයිලේරියා බැක්‍රොෆයිට් (Filaria Bacrophite) බෝ කරන්නේ ගෙවල් ළඟ බෝවන ක්‍යුලෙක්ස් ෆැටිගාන්ස් (Culex fatigance) නම් මදුරුවා ය. මේ මදුරුවා ගෙවල් ළඟ සතියකට වඩා පවතින ඕනෑම වතුර වලක හෝ වතුර රඳා සිටින්නට පුළුවන් ටින්, භාජන ආදියේ ද කෙසෙල් ගස් ආදී වතුර රඳා සිටින්නට පුළුවන් ගස්වල ද වැසිකිළි වතුරවල්වල ද පොල් ලෙලිවල ද වහලවල වතුර රැදෙන පීලි සහ කාණුවල ද බිත්තර දමා බෝවෙත්.
ගම්බද සීපද රෝගය ගෙන දෙන ෆයිලේරියා මලයා (Filaria Malaya) බෝ කරන්නේ වැව්වල දියපරණවල ගස්වල බිත්තර දමා බෝවන මැන්‍සෝනියා (Mansonia) මදුරුවා විසින් ය. මැන්සෝනියා මදුරුවා දිය පරණවල කොලයෙහි යට පැත්තේ බිත්තර දමයි. ඒ බීජුවලින් උපදින පිලව් ඒ පැළැටියේ මුල්වල එල්ලී එහි තිබෙන වායු කෝෂයන්ගේ මාර්ගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරමින් ජීවත් වෙති. දිය පරඬැල නිතර ඇතිවන වැව්වල මැන්ෆේනියා මදුරුවා බෝවීමට බෝහෝ ඉඩ තිබේ.
රෝගයට පිළියම්
රෝගය මුල් අවස්ථාවල හෙට්‍රසාන් (Hetrazan) පාවිච්චි කිරීමෙන් ලේවල තිබෙන අංකුර නැතිකර ගැනීමට පුළුවන් පමණක් නොව පනුවාගේ වැඩීවීමත් මර්ධනය කරත්. මේ හෙට්‍රසාන් බෙහෙත් ගුලි ගන්නේ මිලි ග්‍රෑම් 50 ගුලි වරකට දෙක බැගින් දවසකට තුන් වරක් හත් දවසකට ය. එය අරගෙන ලේ පරීක්ෂා කර බලා තවත් අංකුර තිබෙනවා නම් තවත් දවස් හතකට හෙට්‍රසාන් ගුලි පාවිච්චි කළ යුතු ය. ඉදිමුම සහ ශරීර කොටස් විරූප වීමෙන් පසු බෙහෙත් වීදීමෙන් විටින් විට හැදෙන උණ නැති කර ගැනීමට පුළුවන. තුන්වැනි අවස්ථාවේ සදාකාලික මහත්වීම්වලට සහ විරූපවලට ශෛල්‍යකර්මයකින් මිස වෙන පිළියමක් නැති ය.
රෝගය වැළැක්වීම
රෝගය වැළැක්වීමට කළ යුත්තේ මදුරුවන්ගෙන් ප්‍රවේශම් වීමත් තම ගෙදර දිටින සීපද රෝග පත්‍ර අංකුර තිබෙන අය බෙහෙත් දීමෙන් ඒවා නැති කිරීමත් ය. මදුරුවන්ගෙන් ප්‍රවේශම් වීමට තමන්ගේ ගේ අවට තිබෙන වතුර වලවල් හා වතුර රැඳීමට පුළුවන් තැන් සුමානයකට සැරයක් සෝදිසි කර ඒවායේ මදුරුවන් බෝවීම වැලැක්වීමට රසායනික ද්‍රව්‍ය (ඩී.ටී.ටී.) දමා හෝ වෙන ක්‍රමයකින් වැළැක්වීම ද දිය පහරවල් ගෙය අද්දර තිබේනම් එය නැතී කිරීමත් අවශ්‍ය වේ. තවත් සීපද රෝග පවත්නා පළාතක සිටින්නේ නම් හය මාසයකට වරක් තමන්ගේ ලේ පරීක්ෂා කර සීපද පනු අංකුර තිබේ නම් බෙහෙත් ගෙන එය ශරීරයෙන් දුරු කළ යුතු ය.
රාත්‍රී කාලයේ ලේ ගෙන පරීක්‍ෂා කිරීමටත් හෙට්‍රසාන් සහ අනෙක් ඖෂධ උපයෝගී කරගෙන ප්‍රතිකාර කිරීමටත් පහසුකම් ලංකාවේ සීපද රෝග බහුල සෑම පළාතක ම ඇතිකර තිබේ. මේ සීපද රෝග ප්‍රතිකර්ම සහ මර්ධන සංවිධානය සීපද රෝග මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ උපදෙස් මත ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගේ පාලනය යටතේ පවතී.
(කර්තෘ: ඩබ්.එල්.පී. දසනායක)
(සංස්කරණය නොකළ)