එළිකැටියේ ශ්‍රී ධීරානන්ද හිමි
(1830.06.11–1917.09.07). ගාලු දිස්ත්‍රික්කයේ අහංගම එළිකැටියේ බිම්බාරාම මහා විහාරාධිපති වැ වැඩ විසූ එළිකැටියේ (එළුකැටියේ) ශ්‍රී ධීරානන්ද ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 1896 සිට 1917 දක්වා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක පදවිය ද හෙබවූ භාෂා-ශාස්ත්‍ර-කාව්‍ය විෂයයන්හි ප්‍රවීණත්වය දැරූ මහතෙර නමකි.
වෛද්‍ය නක්‍ෂාත්‍රාදී ශාසත්‍රාන්තරයන්හි නිපුණ (අහංගම විදානලාගේ) දොන් හර්මානිස් ද සිල්වා විවාහ ලේකම් මහතා හා එම මැතිණිය උන්වහන්සේගේ මව්පියෝ වූහ. උත්පත්තිය සිදු වූයේ ක්‍රි.ව.1830 ජුනි 11 වන දින අහංගම එළුකැටියේ දී ය. ඉහත සඳහන් කළ දෙමාපියන්ට පුත් රුවනක් පහළ විය. භාෂා ශාස්ත්‍ර හා වෛද්‍ය, ජ්‍යෝතිෂ්‍යාදියෙහි උගතකු වූ තම පියාගෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙකුමරාට තවදුරටත් ශාස්ත්‍ර ලබාදීමේ අදහසින් එළිකැටියේ මහා බිම්බාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි එළිකැටියේ ඉන්ද්‍රජෝති මහා තෙරපාණන් වහන්සේට භාර කරන ලදි.
ඉගෙනීමෙහි දක්ෂයකු වූ මේ කුමාරයා සසුන්ගත කිරීමෙන් සැලසෙන ලෝක ශාසන සේවය සැලකූ ඉන්ද්‍රජෝති හිමිපාණෝ ඊට නිසි සාමණේර බණ දහම් පාඩම් කරවා දෙමාපියන්ගෙන් ද නිසි අවසර ගෙන සසුන් ගත කොට ‘ධීරානන්ද’ නාමය තැබූහ.
එතැන් සිට සිංහල, පාලි, සංස්කෘත යන ශාස්ත්‍රය හැදෑරීමට ඉවහල් වන මූලික පොත් වණපොත් කරවීමෙන් හා අක්‍ෂර කියවීමෙනුත් බොහෝ දුර ප්‍රගුණ කරවා වැඩිදුර ඉගෙනීම සඳහා මිහිරිපැන්නේ කවීන්දු ධම්මරතන ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදී. උන්වහන්සේගේ ඇවෑමෙන් දොඩම්පහළ සිරි දීපංකර ස්ථවිරයන් වහන්සේගෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුක්තව වසන අතර විසි වයස් පිරුනෙන් පොල්වතු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගරු පෙතංගහවත්තේ සුගුණ මහතෙරපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මිහිරිපැන්නේ අරියාකර විහාරාධිපති තංගල්ලේ පරම කවිතිලක ශ්‍රී සුමනතිස්ස මහානායක හිමිපාණන් වහන්සේ ද හබරාදුව වැල්ලේතොට ශ්‍රී සුධර්මාරාධිපති සිටිනාමලුවේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ ද කර්මවාගාචාර්යයත්වයෙන් අධිශීලයෙහි පිහිටුවන ලදහ. ඉන්පසු විවිධ ප්‍රදේශයන්හි වස් එළඹීමෙන් හා ධර්ම දේශනා කිරීමෙනුත් ගිහි පැවිදි බොහෝ ශිෂ්‍යයන්ට ධර්ම ශාසෝත්‍රාග්‍රහණය කරවීමෙනුත් කල් යැවූ උන්වහන්සේ තම ආචාර්යපාදයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට හා නිකායේ කාරක සංඝ සභාවටත් පත්වූහ.
එවකට මහානායක ධූරය දැරි පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස හිමිපාණන් වහන්සේගේ අනුමැතිය පරිදි අමරපුර රාජධානියෙහි එකළ සංඝරාජ පදවිය දැරූ මා හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ධීරානන්ද හිමියන් විසින් පාළි සංදේශයක් යවන ලදි. මේ ගද්‍ය සංදේශය සකස් වූයේ විනය කර්මයක් සම්බන්ධයෙන් මෙහි මහාසංඝ සභාව ගත් තීරණයක් විනයානුකූල නොවන බවට විනය විනිශ්චයාදී ග්‍රන්ථවලින් කරුණු උපුටා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ය. එය බලා තුටු පහටු වූ සංඝරාජ මාහිමිපාණොත්, මැංඩ්‍රම්ස් මහ රජතුමාත් බොහෝ පඬුරු එවූහ. එම පඬුරු අතර වූ රාජකීය මාගධීය සංදේශය හා ස්වර්ණ ලිප්ත විනය ග්‍රන්ථය ද අද දක්වාත් බිම්බාරාම විහාරයෙහි සුරක්ෂිත ව ඇත.
පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ඇවෑමෙන් (බු.ව.2440) ක්‍රි.ව.1898 ජනවාරි මස 7 වැනි දින ශ්‍රී ධීරානන්ද හිමිපාණෝ ක්‍රි.ව.1896 දී ස්වනිකායික මහා සංඝයාගේ සමානච්ඡන්දයෙන් සුගතසාසනසෝධක පරමකවිතිලක යන ගෞරවොපාධිය සමග අමරපුර ශ්‍රී ධර්මරක්ෂික මහානිකායේ මහානායක ධූරයට පත් කරන ලදහ.
ස්වකීය ජීවිත කාලයෙන් වැඩි කොටසක් අමරපුර නිකායේත් ලක්වැසි බෞද්ධ මහජනයාගේත් යහපත සඳහා කළ හැකි ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ ශ්‍රී ධීරානන්ද විසින් වැදගත් කරුණු සඳහා කරන ලද ප්‍රබන්ධ රාශියකි. කවිකුසුම, කිවිපති පද්‍ය ග්‍රන්ථය ද උන්වහන්සේගේ කෘති ය. උන්වහන්සේගේ සිහල, මගද දෙබසෙහි හා කවීත්වයෙහි දැරූ සාමාර්ථය පඬිවරයන්ගේ උසස් වර්ණයට පාත්‍ර විය. ලෞකික කීර්තිප්‍රසංශාදිය ගැන නොඇලුණු උන්වහන්සේගේ බුද්ධ වචනයට ගරුත්වයන්හි තබා සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළහ. නිකාය භේදය සම්බන්ධයෙන් ද උන්වහන්සේ මධ්‍යස්ථ වූහ. මෙසේ ලෝක ශාසන සංවර්ධනයෙහි නියැළී වැඩසිටි මහානායක හිමිපාණෝ අසූ අටවසක් ආයු වළදා සිහිනුවණින් යුක්තව අපවත් වූහ.
උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් බොහෝය. උන්වහන්සේගේ ඇවෑමෙන් බිම්බාරාම විහාරාධිපතීත්වයට පත් වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය අහංගම පඤ්ඤාවංස මාහිමිපාණන් ය. වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති වැ වැඩ විසූ ශ්‍රී සාහිත්‍ය විශාරද පණ්ඩිත අහංගම ශ්‍රී ප්‍රඥාලෝක හිමියන් ද ධීරානන්ද මාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකි. වර්තමාන ‘සිංහල කවීන්ද්‍රයෝ’ නමැති ග්‍රන්ථයේ 1 කණ්ඩයෙහි ‘එළිකැටියේ’ වෙනුවට ‘එළුකැටියේ’ යන නම යොදා තිබේ.
(සංස්කරණය නොකළ)