ඩෙලවෙයා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:51, 10 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Delaware). ඇමරිකා එක්සත් ජනපදයේ මුලින් පැවැති රාජ්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Delaware). ඇමරිකා එක්සත් ජනපදයේ මුලින් පැවැති රාජ්‍ය දහතුනෙන් එකක් වන මෙය කුඩා ම ජනපදයකි. දකුණු අත්ලාන්තික් ජනපද කාණ්ඩයෙන් එකකි. එහි පෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු කිරීම උදෙසා ප්‍රථමයෙන් ම ඉදිරිපත් වූයේ ඩෙලවෙයා ය. නිල වශයෙන් මෙම ප්‍රාන්තය එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වශයෙන් පිළිගනු ලැබුවේ මීට වසර 237කට පෙර එනම් 1787 දෙසැම්බර මස 7 වැනිදා ය. එම ජනපදයට එම නම ලැබුණේ වර්ජීනියා රාජ්‍යයේ ආණ්ඩුකාරයා ඩිලා වෙරි සාමිවරයාගේ නම අනුව ය. එහෙත් ඊට පෙර එ නම් 1610 දී එම ප්‍රදේශයේ බොක්ක ඩෙලවෙයා බොක්ක නමින් හැඳින්විණි. මේ ජලාශ්‍රිත කරන ඩෙලවෙයා නම් ගඟක් ද ඇත. එක්සත් ජනපදයට දැනට අයත් ව පවතින ජනපද (States) 50 අතුරින් මෙය සඳහා ව්‍යවහාර වන සංකේතය නම් DE ය. මෙහි අගනුවර ඩෝවර් (Dover) ය.

ඩෙලවෙයා රාජ්‍යය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත්ජනපදයේ මධ්‍ය අත්ලාන්තික් වෙරළබඩ තීරුවෙහි ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ම කුඩා රාජ්‍යය රෝඩ් දූපත යි. ඩෙලවෙයා රාජ්‍යය ඊළඟට කුඩා එකයි. ජන සංඛ්‍යාවෙන් වැඩී කොටසක් ම උතුරේ විල්මින්ටන් අවට වෙසෙකි. ඩෙලවෙයාවලට උතුරින් පෙන්සිල්වේනියාව සහ නිව් ජර්සි ද දකුණින් වර්ජීනියා ද බටහිරින් මේරිලන්ඩ් හා වොෂින්ටන් ද වේ. ඩෙලවෙයා අර්ධවීපයේ කොටසක් මේරිලන්ඩ් සහ වර්ජීනියාවට ද අයත්‍ ය. ඩෙලවෙයා රාජ්‍යය ඉතා ම සමීප සබඳතා පවත්වාගෙ යන්නේ පෙන්සිල්වේනියාව සමඟ ය. ඓතිහාසික භූගෝල විද්‍යාත්මක හා ආර්ථික වශයෙන් මේ සබඳතා පැවතේ. විශේෂයෙන් ම එහි වෙළෙඳාම් කටයුතු පිලඩෙල්පීයාවේ දී ඩෙලවෙයා ගංගාව සහ වෙනත් ප්‍රවාහන මාධ්‍යවලින් තේරීගෙන යන බැවිනි. ඩෙලවෙයා රාජ්‍යයට අයත් කවුන්ට් (ප්‍රාදේශීය කොටස්) තුනක් වූ නිව්කාසල්, කෙන්ට් සහ සසෙක්ස් 1680 ගණන්වල පිහිටුවන ලදී. ස්ථාවරත්වය,සංස්ථිති, ඓතිහාසික ලක්ෂණ එහි පවත්නා බැවින් පැරණි ආයතන හා සම්ප්‍රදායන් එහි රැකි පවති.

කාර්මික විප්ලවයෙන් පසුව ඇමරිකාවට යුරෝපයෙන් සංක්‍රමණය වූ කණ්ඩායම් පදිංචි වූ ප්‍රථම කොලණි දහතුනෙන් එකකි. 17 වෙනි සියවසේ දී ඕලන්ද සහ ස්වීඩන්වරු පදිංචි වූහ. මෙය 1787 දී ඇමරිකාවේ ස්ථාපිත වූ ප්‍රථම ජනපදය වේ. මෙය නිල් කිකිළි ජනපදය යන නමින්ද අතීතයේදී හඳුන්වනු ලැබුවේ යුරෝපයෙන් රැගෙන ආ විශේෂිත නිල් කිකිළියන් වර්ගයක් බෝ කරනු ලැබූ හෙයිනි. උතුරින් පෙන්සිල් චේතියාවද, නැගෙනහිරින් ඩෙලවෙයාර් ගඟ සහ මෝය, අත්ලාන්තික් සාගරයෙන්ද, දකුණු දිගින් මේරි ලන්තයෙන්ද වට වී ඇත. අත්ලාන්තික් වෙරළබඩ තැනිතලාවක් වූ මෙම භූමිය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 2489 ක් පමණ වේ. උතුරේ සිට දකුණට සැතපුම් 96කි. පළලින් උතුරට සැතැපුම් 9ක් වන අතර, දකුණු වෙරළාසන්නයට සැතපුම් 35ක් පමණ පළල් වේ. මෙම ජනපදය හරහා ගලන ගංගාව කැට්ස්කීල් සිට පටන් ගෙන ඩෙලවෙයාර් මෝයට ගලා බසී. ගඟ සැතපුම් 315ක් දිගය. උතුරේ පීඩ්වොත්ටී සානුවද දකුණට අත්ලාන්තික් වෙරළ දක්වා වැලි සහිත තෘණ භූමියක් ද වේ. මෙහි අගනුවර ඩෝවර් නගරය වන අතර, ප්‍රධාන නගරය විල්මින්ටන් වේ. ජනපදයේ ජනගහනය මිලියන 6.62ක් වේ. ජාතික පුෂ්පය පීච් මල වන අතර, ජාතික කුරුල්ලා නිල් කුකුළාය. භූමියේ වර්ග සැතපුම් 75 අභ්‍යන්තර ජලාශ ඇති අතර, නැව් යා හැකි නැස්ටිකෝන් වැනි ජලාශ කිහිපයක් ජනපදය හරහා ගලා බසි. මෙහි කාලගුණය මෘදුය. වසරේ මුල් මාස වල උතුරේ හිම මිදේ. භූමියෙන් 35% ක් පමණ වනාන්තර වලින් වැසී ඇත. පයින්, ඕක්, හොලි, පොප්ලර් වැනි ගස් විශේෂයෙන් ගොවිපල ආශ්‍රිතව වගා කෙරේ. හොලි, පොප්ලර් ගස් නැව් සෑදීම සඳහා අතීතයේ දී භාවිත කර තිබේ. හොලි ගස්වල අතු නත්තල් සමයේ නත්තල් ගස් සැරසීමට ප්‍රයෝජනයට ගනු ලැබේ. දඩයම් කිරීමට හාවුන්, මුවන් මෙන්ම ලොම් ලබා ගැනීම සඳහා මුස්ත්‍රාත් නම් ලොම් සහිත සත්ව විශේෂයක් මෙම වනාන්තරවල බෝවී ඇත. වාණිජ්‍යය කර්මාන්තයක් වශයෙන් ධීවර කර්මාන්තය කරගෙන යනු ලැබේ.

ඔලිස්ටර්, පොකිරිස්සන්, සහ බෙල්ලන් වගාව විශේෂිතයි. ගම්බද ජනතාව වසරේ දින 185 ක් 36% ක භූමි ප්‍රමාණයක කෘෂිකර්මාන්තයේ නිරතව සිටි. කෙන්ටි, සසෙක්ටි පළාත්වල සරු පසෙහි කෘෂි වගාව සරුවන අතර, ලඩෙල්යා සහ නිව්යෝක් වලට ඉතා පහසුවෙන් භෝග ගෙන යනු ලැබේ. පලතුරු විශාල වශයෙන් වගා කරයි. අතීතයේ දී මෙම ජනපදය ‘පීච්’ ජනපදය නමින් හැඳින්වූවත් 19 වැනි සියවසේ ඇති වූ වසංගතයකින් පීච් වගාව විනාශ ව ගියේ ය. ඒත් අදත් පීච් සහ ඇපල් වතු විශාල වශයෙන් දක්නට ඇත. ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍ය වර්ග සහ එළවළු වර්ග ද වගා කරන අතර, කිරිපට්ටි පාලනය ද කරනු ලැබේ. කුකුළු පාලනය විශේෂයෙන් වැදගත් වේ. එයට හේතුව වී ඇත්තේ රාජ්‍ය ආදායමින් භාගයක් පමණ බොයිලර් කුකුළන් ඇති කිරීමෙන් ලැබීමයි. මෙම ජනපදය රසායනික ද්‍රව්‍ය සහ වෙඩි බෙහෙත් නිපදවීම පිළිබඳ ව ද ප්‍රසිද්ධියක් දරයි. ලෝකයේ විශාල ම රසායනික පර්යේෂණාගාරයක් එල්මින්ටන්හි ඊඅයිද පොන්ටි ඩී නිව්මුයර් නමින් පිහිටා ඇත. රෙදිපිළි, සම්භාණ්ඩ, වල්කනයිස් කෙඳි වර්ග, යන්ත්‍ර උපකරණ සහ ටින් කෑම වර්ගද මෙහි නිෂ්පාදනය කරයි. නැව් සෑදීම පෙර කල සිට ම වැදගත් කර්මාන්තයකි. ස්මර්නා හා හාට්ෆිල්ඩ්වල කෘත්‍රීම නයිලෝන් නූලෙන් ඇඳුම් පැළඳුම් නිපදවයි. නැව් සෑදීම, ගිනි අවි සහ රසායනික ද්‍රව්‍ය නිපදවීම සඳහා ඇට්ලස් හා හර්කියුලිස් යන සමාගම් ප්‍රසිද්ධියක් දරයි. ලිබරල්වාදී වානිජ නීති පද්ධතිය ව්‍යාපාර ස්ථාපිත කිරීමට ඉවහල්ව ඇත. වැඩවසම් යුගයේ සිට පැවතෙන පැරණි ගොඩනැගිලි සහ පුළුල් වෙරළ සංචාරකයින් ඇද ගැනීමට හේතු වී ඇති අතර පැරැණි ඇඳුමින් සැරසුණු හෝටල් සේවකයන් මෙම සංචාරකයන් පිළිගනී.

ප්‍රධාන නගරය අසල සියලු මහා මාර්ග, වාරිමාර්ග සහ ඇලමාර්ග මංසන්දි වී ඇත. සැ.19 දිග වෙසෆික් - ඩෙලවෙයාර් ඇල මාර්ගයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයකි. විල්මින්ටන් අත්ලාන්තික් සාගරයේ පිහිටි විශාලම වරායකි. දුම්රිය හා මහා මාර්ග, වාරි මාර්ග දියුණු වුවත් කෘෂිකර්මයට මුල් තැනක් දුනි. සිවිල් යුද්ධ සමයේදී සහ ලෝක යුද්ධ සමයේ යුද්ධෝපකරණ කර්මාන්ත දියුණු විය. සහනදායි තීරු බදු නීති හේතුවෙන් සංස්ථා කර්මාන්ත සාර්ථක විය.

ඩෙලවෙයාර්හි ජනගහනය 2021 වන විට මිලියන 1.003ක් පමණ විය. වයස අවු 7-16 අතර ළමුන් අනිවාර්යෙන්ම පාසල් යා යුතු වේ. නිව්ආක් හි පිහිටි ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලය 1743 දී පිහිටවනු ලැබී ය. මෙය ක්‍රිස්තියානි පල්ලියක් වශයෙන් තිබී අධ්‍යාපන ආයතනයක් වශයෙන් ගොඩනැගුණේ 1833 දීය. මෙම ජනපදයේ පාලන ක්‍රමය 1857 දී ස්ථාපිත කරන ලදී. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යටතේ සෙනේට් සහිකයන් 21 දෙනකු වසර 04ක කාල සීමාවකටත්, මන්ත්‍රී මණ්ඩලය 41 දෙනකු වසර 02ටත් තෝරා පත් කර ගනී. ඇමරිකානු කොන්ග්‍රස් සභාවට සෙනෙටි නියෝජිතයින් දෙදෙනෙකු සහ එක් නියෝජිත මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කරනු ලැබේ.

ඉතිහාසය

මෙම ජනපදයට ඩෙලවෙයාර් නාමය අයත් වූයේ 1610 දී වර්ජිනියා සිට පැමිණි සැමුවෙල් ආගීල් ඩෙලවෙයාර් මෝයට පිවිසී විගස දුටු ගොඩබිම් තීරයට වර්ජිනියාවේ ආණ්ඩුකාරතුමා නමින් ඩ්ලවාර් තුඩුව ලෙස නම් කිරීමෙනි. මෙම ජනපදය දියමන්ති ජනපදය, නිල් කිකිළි ජනපදය ආදී වෙනත් නම්වලින් ද හඳුන්වනු ලබයි.

ඩෙලවෙයාහි ප්‍රථම යුරෝපීය ජනාවාස 1631 දී ලිවෙස් නගරය ඇති කරනු ලැබුවේ ලන්දේසි විසිනි. එනම් ඕලන්දකාරයන් 28 දෙනෙකුගේ පැමිණීමත් සමඟයි. ආදිවාසී ඉන්දියානුවන් විසින් මෙම පිරිස මරා දමන ලදහ. නැවත 1638 දී ස්වීඩන් ජාතික පිරිසක් දැනට විල්මින්ටන් නමින් හඳුන්වනු ලබන ක්‍රිස්තිනා කොටුවේ නිත්‍ය ජනාවාසයක් ඇති කළහ.

1655 පීටර් ස්ටයිවර්සන්ටි යටතේ නැවත මෙම බලකොටුව ඕලන්දකාරයින්ගේ අතට පත් විය. 1664 දී බ්‍රිතාන්‍යයේ යෝක් අධිපතිවරයා මෙම ප්‍රදේශය විලියම් පෙන්ට භාර දුන්නේය. 1682 දී ඔහු රතු ඉන්දියානුවන් සමග සාම සම්මුතියක් ඇතිකර ගත්තේය. ඔහු මෙම ප්‍රාන්තය ස්වෛරීව බ්‍රිතාන්‍යයන්ට ලබා ගැනීමට මූලිකත්වය ගත්තේ ය.

1682 වන තෙක්ම නිව්යෝගවල කොටසක් වශයෙන් ඩෙලවෙයා පාලනය කරගෙන යන ලදී. ඊට පසුව යෝගි ආදිපාදවරයා එය විලියම් පෙන් යන තැනැත්තාගේ අණසකට දුන්නේ ය. පෙනිසිල් වේනියා කොළණිය භාරව සිටි විලියම් පෙන්ට ඩෙලවයා අවශ්‍ය වූයේ සාගරයට පිවිසීමේ මඟක් ලෙස ය. ඩෙලවෙයාහි කවුන් පෙන්ඩිල්වේනියා සමග ඒකාබද්ධ කිරීමට ඔහු කැමති වුව ද දෙපැත්ත ම එයට විරුද්ධ වූහ. එහෙත් ඇමරිකානු විප්ලවය වන තෙක් ම ඩෙලවෙයා සහ පෙන්සිල්වේනියා එක් රාජකීය ආණ්ඩුකාරයකු යටතේ පාලනය විණි.

විප්ලව කාලයේ දී පිලඩෙල්පියාවට ගමන් කරන බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඩෙලවෙයා ආක්‍රමණය කරන ලදී. බ්‍රිතාන්‍ය නැව්වලින් ද පීඩා විඳින ලදී. පසුව ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගනු ලැබූ විට 1787 දී එයට ක්ෂණික ව අනුමැතිය දීමෙන් 'ප්‍රථම ප්‍රාන්ත' රාජ්‍ය බවට මෙය පත්විය.

ඇමරිකානු සිවිල් යුද්ධයේදී ඩෙලවෙයාර් සන්නද්ධ හමුදාවන් නිල් කුකුළන් ලාංඡනය ලෙස රැගෙන ගිය අතර දක්ෂ ලෙස සටන් කර ජයග්‍රහණය ලැබුවෝ ය.

ස්වාභාවික පරිසරය

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය අතරින් ප්ලොරිඩා හැරෙන විට ඉතා ම පහත් භූමි ඇති ප්‍රදේශයකි. එහි සාගර මුවදොර ඉතා දීර්ඝ වැලි සහිත වෙරළකි. කිලෝමීටර 36ක් පමණ දිගට විහිදෙන වෙරළ ඉන්දියන් ගංගාවේ කඩතොල්ලෙන් පමණක් ඛණ්ඩ වේ. වෙරළෙන් වැඩී කොටසක් ම සාගරය සහ කලපු ගණනාවක් අතර විහිදෙන පහත් වැලිපරයකි.

ඩෙලවෙයා බොක්කේ වෙරළ ඉම වගුරු සහිත ය. එයට ගලා බසිනා මර්ඩර්කීල්, මිස්පිලියන් සහ සාන්ත ජෝන් යන අතු ගංඟාවල මුවදොර ඉතා නොගැඹුරු බැවින් නැව්තොටු ඇති වීමට අහිතකර ය. ලිවෙස්හි පමණක් නැව්තොටක් තිබේ. අත්ලන්තික් කුණාටුවලින් නැව් ආරක්ෂා කිරීම සඳහා කෘත්‍රීම වරායත් මෙහි තනා තිබේ.

ඩෙලවෙයා බොක්කට උතුරින් ඩෙලවෙයා ගංගාවේ ඉවුරුවල වියළි උස්බිම් ප්‍රදේශ තැනින් තැන මතු වේ. එ වැනි ස්ථාන පෝට් පීන් සහ නිව්කාසල් එජ් මූවර්හි දැකිය හැකි ය. ඩෙලවෙයා රාජ්‍යයේ ප්‍රධාන නැව්තොට වූ විල්මින්ටන් පිහිටියේ ඩෙලවෙයා ගංඟාවේ ශාඛාවක් වන ක්‍රිස්තිනා ගංගාවේ ඉවුරුබඩ ය. ඩෙලවෙයා මෙසපීක් බොකු ගිලුණු නිම්න ය.

වෙරළබඩ තැන්නේ බොහෝ ප්‍රදේශවල භූමියේ උඩ ඒකාකාර ය. මී. 18ට වඩා උස් ප්‍රදේශ විරල ය. දකුණු වෙරළබඩ තැන්න වඩා වැලි සහිත ය.

ජලවහනය

ඩෙලවෙයා රාජ්‍යයේ වැඩි ප්‍රදේශයක් ජලාශ්‍රිත වන්නේ ඩෙලවෙයා ගංගාව, ඩෙලවෙයා බොක්ක සහ අත්ලාන්තික් සාගරය දෙසට නැගෙනහිරට ගලන ගංගා මගිනි. එහෙත් නැන්ටිකෝන් ගංගාව සහ එහි අතු ගංගා නිරිත දිග ඩෙලවෙයාහි වෙසපීක් බොක්කට ගල බසී.

භූමියේ ඒකාකාර බව, වන පෙදෙස්වල කුඩා දියපහරවල් සහ පොකුණුවලින් නැති වී යයි. රාජ්‍යයේ වයඹ දිග කොටස කඳුකර ය.

වෙරළබඩ තැන්නේ උතුරු මායිම අසල ඩෙලවෙයා ඇළ විහිදේ. එහි ගැඹුර වැඩිකර සාගර නැව්වලට යාත්‍රා කිරීමට සුදුසු ලෙස ප්‍රකෘකර ඇත. ඩෙලවෙයාහි උතුරු දිග කාර්මික බිම් සහ දකුණු දිග කෘෂිකාර්මික බිම් අතර මායිම ඩෙලවෙයා ඇළ යි. එම ඇළට උඩින් තනා ඇති උස් පාලම් සහ ශෝධනාගාරවලට අයත් අංගෝපාංග වයඹ දිග උස් බිම් සහිත ක්ෂිතිජයේ ප්‍රමුඛ ස්ථාන ලෙස විද්‍යාමාන වෙයි. පෙනිසිල්වේනියාවේ සිට දකුණට විහිදෙන ගිරිපාද ප්‍රදේශයේ කොටස කඳු ගැට පෙළක් මිල්මින්ටන් සහ නිවාන් යන නගර අතරින් උතුරටත් බටහිරටත් විහිදෙයි.

ඩෙලවෙයා රාජ්‍යයේ උසම ස්ථානය මී. 134ක් වූ සෙන්ටර්වීල් ය. අයන්හිල් සහ චෙස්ටනට් හීල් යන කඳු ගැට දෙක ආසාමාන්‍ය ලක්ෂණ පෙන්වයි.

විල්මින්ටන් ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ක්‍රිස්තිනා ගංගාවත් බ්‍රැන්ඩ්වයින් යන එහි අතු ගංගාවකුත් ඡේදනය වන ස්ථානයට බෑවුම් වන කඳු ගැට ප්‍රදේශයේ ය.

දේශගුණය

මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශයේ පවතින දේශගුණ තත්ත්වය ඩෙලවෙයාවලත් පවතී. එහි අධිකතම උෂ්ණ මාසය ජූලි සහ අගෝස්තු ය. ජනවාරි මාසයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 4ක් පමණ ය. අධිකතම වර්ෂාවක් ලැබෙන්නේ ද අගෝස්තු මාසයේ දී ය. වාර්ෂික වර්ෂාපතනය මි.මී.1143කි. පෙබරවාරි මාසය ඉතා ම වියළි ය.

ආර්ථික සංවර්ධනය

ඩෙලවෙයා රාජ්‍යයේ සෞභාග්‍යය එහි මනා පිහිටීම හේතු කිට ගෙන ඇති වී තිබේ. ඇමෙරික එක්සත් ජනපදයේ විශාල මහා නගර 10 අතරින් 4ක් ම මෙයට කිලෝමීටර 240ක් ඇතුළත පිහිටීම ද වැදගත් වේ.

ඩෙලවෙයාහි සෝයාබෝන්ඩි, ඉරිඟු, ලීමා, ඇස්පරගස් නගරාසන්නවල වගා කෙරේ. අල සහ හතු වගාව සංක්‍රමණික ජාතීන් ඇරම්භ කර ඇත. සසෙක්සි කවුන්ටියේ සත්ව ගොවිපොළවල් පිහිටුවා තිබේ. වෙරළබඩ සහ අභ්‍යන්තර ජලාශවල ධීවර කර්මාන්තය දියුණු ය. වෙරළබඩ කොරටු ගොවිතැන යටතේ එළවළු වර්ග වගා කෙරේ. කුකුළන් ඇති කිරීමට ද ගොවිපළවල වැදගත් අංගයකි.

මෝටර් රථ එකලස් කිරීම, ඛනිජ තෙල් ශෝධනාගාර, කෘත්‍රීම රබර් නිෂ්පාදනය, ද්‍රව්‍ය ඇහුරුම් කිරීමේ කම්හල්, රෙදිපිළි කර්මාන්තශාලා, ආහාර සකස් කිරීමේ කර්මාන්ත ඩෙලවෙයාහි ප්‍රධාන කර්මාන්ත වෙති. ඉතා ම විශාල වශයෙන් කරගෙන යන කර්මාන්තය වනුයේ රසායනික කර්මාන්තය යි. එය විල්මින්ටන්හි ස්ථානගතව පවතී. රසායනික නිෂ්පාදන සමාගම්වල පරිපාලනය සහ පර්යේෂණ පිළිබඳ මධ්‍යස්ථානය විල්මින්ටන් ය. ඇතැම් රසායන නිෂ්පාදන සමාගම් කිහිපයකි. ඩූ පොන්ට්, හර්කියුලීස් සහ අයි සී අයි. ඒවායේ ප්‍රධාන නිෂ්පාදිත වනුයේ නයිලෝන්, පෙට්‍රොරසායනික කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ස්ථානය හිමි වන්නේ ඩෙලවෙයා රාජ්‍යයට යි. විශාල 'ඩූ පොන්ට්' කාර්මික සංකීර්ණය මේ රාජ්‍යයේ ප්‍රධාන තැන ගන්නේ ය. විල්මින්ටන් කාර්මික අතින් දියුණු වූ නගරයයි. ඇතැම් නගරවල තෙල් ශෝධනාගාර පිහිටුවා තිබේ.

ඩෙලවෙයා කුඩා රාජ්‍යයක් බැවින් රාජ්‍ය අංශය මගින් බොහෝ කටයුතු කෙරේ.ඩෝවර් නගරයේ නව කර්මාන්ත ආරම්භ කර ඇත.

ප්‍රවාහන පහසුකම්

සියලු ම මහා මාර්ග හා පාලම් පවත්වාගෙන යනු ලබන්නේ රජය මගිනි. නිව්යෝක් හෝ පිලඩෙල්පියා හෝ බොල්ටිමෝ හෝ වොෂින්ටන් හෝසිට පැමිණෙන අන්තර් රාජ්‍ය වාහන උතුරු ඩෙලවෙයා හරහා විහිදී විල්මින්ටන් හා එහි නගරෝප්‍රාන්ත සම්බන්ධ කෙරෙන ප්‍රධාන මහාමාර්ග ය. විල්මින්ටන්වල ප්‍රාදේශීය බස් ප්‍රවාහනය රජයේ අධිකාරියක් මගින් පාලනය කෙරේ.

ප්‍රධාන දුම්‍රිය මාර්ග ද විල්මින්ටන් හරහා පෙන්සිල්වේනියා හා නිව්ජර්සි දක්වා දීවේ. පිලඩෙල්පියා හා බොල්ටිමෝ අතර මගී දුම්රිය සේවයක් ද බඩු ප්‍රවාහන සේවයක් ද ඩෙලවෙයා රාජ්‍යය හරහා දිවේ. විල්මින්ටන් ප්‍රධාන ගුවන්තොටුපළ ය.

ජනතාව

පිට දේශවලින් පැමිණ ඩෙලවෙයාහි විවිධ ජාතීහු පදිංචි වූ හ. ස්වීඩන් ජාතිකයෝ, නෙදර්ලන්ත ජාතිකයෝ, සහ අප්‍රිකානු ජාතිකයෝ ඉංග්‍රීසීන්ට පෙර එහි පදිංචි වූවෝ වෙති. ඉංග්‍රීසි ජාතිකයෝ උතුරේ නිව්කාසල් කවුන්ටියේ පදිංචි වූහ. ඩෙලවෙයා රාජ්‍යයට එංගලන්තයෙන් මෙන්ම පෙනිසිල්වේනියාව සහ මේරිලන්තයෙන් ද ඉංග්‍රීසිහු පැමිණියහ. මේරිලන්තයේ සිට පැමිණි වේල්ස්වල අයරිස් ජාතිකයන් ද අප්‍රිකානුවන් ද මගින් ඩෙලවෙයාහි දකුණු ප්‍රදේශවල ජනාවාස ඇති කෙරිණි.

ඇමෙරිකානු විප්ලවයෙන් පසු බටහිර ඉන්දියා කොදෙව්වෙන් ප්‍රංශ ජාතිකයෝ ද නිව්කාසල් සහ විල්මින්ටන්වල පදිංචි වූ හ. ප්‍රංශයේ ඩූ පොන්ට් පවුල පැමිණීම වැදගත් වන්නේ රසායන කර්මාන්තය දියුණු කිරීමට පුරෝගාමී වූ අය බැවිනි. 19 වන සියවසේ දී අයර්ලන්ත කතෝලිකයෝ ද ජර්මානුවෝ ද මේ රාජ්‍යයට සංක්‍රමණය වූහ. 19 වන සියවස අවසානයේදී ඉතාලි ජාතිකයෝ ද පෝලන්ත ජාතිකයෝ ද යුදෙව් ජාතිකයෝ ද විශාල සංඛ්‍යාවක් පැමිණියහ. එයට පසු යුක්රේන් ‍රුසියානුවෝ ද ස්කැන්ඩිනේව්‍යානුවෝ ද ග්‍රීක ජාතිකයෝ ද විල්මින්ටන් වලට සංක්‍රමණය වූහ.

ජනවිකාස විද්‍යාව

පළමුවන ලෝක සංග්‍රාමයට පසුව පෙඩරල් ආණ්ඩුවේ නීති මගින් රට තුළට එන සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩුවිණි. ඩෙලවෙයාහි විශාලතම ජන සංඛ්‍යා වර්ධනය සිදුවූයේ 20වන සියවස මැද කාලය තුළය. 1950 සිට 1960 දක්වා කාලයේදී එහි ජන සංඛ්‍යාව 40 කින් පමණ වර්ධනය වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අධික ජන ඝනත්වය ඇති රාජ්‍ය අතරින් එයට 9 වන ස්ථානය හිමි විය.

ඩෙලවෙයා රාජ්‍යයට පැමිණි අප්‍රිකානු නොවූ අයගෙන් වැඩි දෙනෙක් විද්‍යාඥයෝ හා තාක්ෂණ ශිල්පියෝ වූහ. විල්මින්ටන්වලට කළු ජාතික ප්‍රවේශය වැඩි විය. ඔවුහු නුපුහුණු කම්කරුවෝ වූහ. 1950 වන විට විල්මින්ටන්හි වයින්ගෙන් 15%ක් ද 1960 දී 26%ක් ද 1970 දී 44%ක් ද කළු ජාතිකයෝ වූහ. එ බැවින් සුදු ජාතිකයෝ වෙලමින්ටන් අතහැර එහි නගරෝ ප්‍රාන්ත කරා ගියහ. ඒ කාලය වන විට විලිමින්ටන්හි ජන සංඛ්‍යාව 110000 සිට 80000 තෙක් අඩු වූ බවක් පෙනිණි.

විල්මින්ටන් අවට නගරවලට අලුත් සංක්‍රමණිකයන් සහ සුදු ජාතිකයන් පලා ගිය බැවින් 1970 වන විට ඩෙලවෙයා රාජ්‍යයේ ජන සංඛ්‍යාවෙන් අළුත් ම විල්මින්ටන්වලින් පිට එහෙත් කිලෝමීටර 24ක් ඇතුළත ප්‍රදේශයක විසූහ. එම නගරෝප්‍රාන්ත පටිය තුළ නව නගර වර්ධනය විය. 1960 වන විට නිවාක් නගරය දෙවන විශාලතම නගරය ලෙස වර්ධනය ය.

ඩෙලවෙයා රාජ්‍යයේ අගනුවර වූ ඩෝවර් ප්‍රමාණයෙන් 3වන නගරයයි. එහි ජන සංඛ්‍යාව වැඩීමට හේතු වූයේ නව කර්මාන්ත ආරම්භ කිරීමක් ගුවන් හමුදා මූලස්ථානය පිහිටුවීමත් පරිපාලන හා සේවා කටයුතු ස්ථානගත වීමත් නිසා ය.

සංස්කෘතිය

ඩෙලවෙයා රාජ්‍ය තුළ කෞතුකාගාර ගණනාවක් තිබේ. ප්‍රධාන කෞතුකාගාර දෙකකි හෙන්රි ප්‍රැන්සීස් වූ පොන්ට් වින්ටනර් කෞතුකාගාරය ඇමරිකානු සැරසිලි කලාවන් පිළිබඳවය. උතුරු ඇමරිකාවේ පැරණි මෝල් සහ වෙනත් ව්‍යුහයන් සංරක්ෂණය කරමින් ඇමරිකානු කර්මාන්ත සංවර්ධනය කිරීමේ තේමාවක් හේලි කෞතුකාගාරයේ කෘතිවලින් පිළිබිඹු වේ. රාජ්‍ය කෞතුකාගාරය ඩෝවර්හි පිහිටුවා තිබේ. ප්‍රාදේශීය ඉතිහාසය දැක්වෙන ස්ටාකෙන්ඩෙඉල් කෞතුකාගාරය නගරයේ පිහිටියේ ය.

රජයේ ඓතිහාසික ගොඩනැගිලි අතරින් ඩෝවර්හි ජෝන් ඩික්ත්සන් ප්‍රාසාදයක් ප්‍රසාන්තෝන් ගොඩනැගිල්ලත් සහ නිව්කාසල්වල යටත් විජිත අගනුවර වටා ඇති ඇතැම් ගොඩනැගිලත් ය. රජයේ ඇති දෙව්මැදුරු නම් ළුමානුවෙල් එපිස්කෝපල් දෙව්මැදුර, ප්‍රෙස්බිටේරියානු දෙව්මැදුරු සහ පැරැණි ස්වීඩන් දෙව්මැදුරු යි.

ඩෙලවෙයා රාජ්‍යයේ ඉතා ම වැදගත් පර්යේෂණ පුස්තකාලය ඩෙලවෙයා විශ්ව විද්‍යාලය සතු ය. විල්මින්ටන් ඉන්ස්ටිටියුට් නිදහස් පුස්තකාලය නිව්කාසල් කවුන්ටියට සේවය සලසයි. දකුණු දිග කවුන්ටීවලට පුස්තකාල පහසුකම් සපයන්නේ ඩෙලවෙයා ස්ටේට් ලයිබ්‍රරි කොමිසම මගිනි. ඓතිහාසික පුස්තකාලයෙන් ව්‍යාපාර කර්මාන්ත සහ ඉතිහාසය පිළිබඳ කරුණු සැපයේ.

හෝවෙන් පේල් වැනි කීර්තිමත් චිත්‍ර සටහන් ශිල්පීන්ගේ ශිෂ්‍යයන්ගේ කෘති ගැන ප්‍රසිද්ධියක් උසුලන මධ්‍යස්ථානයකි, විල්මින්ට. වෘත්තීය සමාගම් සම්බන්ධ වූ එක් කෘතියකි 'ආඩ්න් විලේජ්' ය. එය නෘත්‍යමය සම්ප්‍රදායක් පිළිබඳ ප්‍රකට වූවකි. ඒ අතර වාර්ෂික ව නිෂ්පාදනය කරන ගිල්බට් සහ සුලිවාන්ගේ ගීත නාටකය ද ඇතුළත් ය.

ඩෙලවෙයා රාජ්‍යයේ ජන සන්නිවේදන මාධ්‍ය අතර ක්‍රිස්ටිනා සුරැකුම්පත් සමාගම මගින් පාලනය වන දෛනික පුවත්පත් 3ක් වේ. එහි ගුවන් විදුලි ප්‍රචාරක මධ්‍යස්ථාන කිහිපයක් තිබුණ ද රූපවාහිනී මධ්‍යස්ථාන ඇත්තේ එකකි.

ඩෙලවෙයා වැසීන්ගෙන් වැඩි දෙනෙක් පිලඩෙල්පියානු රූපවාහිනී වැඩසටහන් ප්‍රිය කරති. එය ඓතිහාසික ව ගොඩනැගුණෙකි.

ඩෙලවෙයාහි විවෘත මුහුදු වෙරළ ඉතා ජනප්‍රිය ය. පිහොබෝන් සහ ක්‍රිස්තිනා ගංගා බොකු ප්‍රදේශවල බෝට්ටු පැදීම, විනෝදයට මසුන් මැරීම කෙරේ. ලුම්ස්පොන් යන රාජ්‍ය උද්‍යානයක් ද එහි තිබේ. එහි වාසීන්ට විනෝද සුවය ලැබෙන උත්සවයකි, හැරින්ටන් නගරයේ වාර්ෂික ව සතියක් පුරා පවත්වන ඩෙලවෙයා රාජ්‍යපොළ.

රාජ්‍ය පරිපාලනය සහ සමාජ තත්ත්වය

1897 දී පිළිගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රජයේ පාලන ව්‍යුහය අන්තර්ගත වීණි. පසුව එය සංශෝධනය විණි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයත් සඳහා ව්‍යවස්ථාදායකයේ දී පිටපිට දෙවතාවක දී ම තුනෙන් දෙකක ඡන්දය ලැබිය යුතුය තවද එම ව්‍යවස්ථාදායකය පවතින කාලය අතර තවත් මැතිවරණයක් පැවැත්විය යුතු ය. සංශෝධන කෙරෙහි රාජ්‍ය ආණ්ඩුකාරයාට නිශේධ බලය නැත. ආණ්ඩුකාරයා තෝරාගනු ලබන්නේ වසර හතරක් පමණ නිල කාලයකට වුව ද නැවත තෝරාගැනීමට හැකිවන්නේ එක් වතාවක් පමණි.

ගතානුගතික වශයෙන් ඩෙලවෙයා රාජයේ ව්‍යවස්ථාදායක ප්‍රබල වූ බව ද ආණ්ඩුකාරයාගේ තත්ත්වය දුර්වල වූ බව ද පැවසේ. එහෙත් 1970 දී කැබිනට් ආණ්ඩු ක්‍රමය යටතේ මධ්‍යගත වූ බලය නිසා විධායකය බල ප්‍රබල වීණි.

අධිකරණ කටයුතු යටතේ ඩෙලවෙයා රාජ්‍ය ප්‍රාග්ධනය පිළිබඳ සිවිල් අයිතිවාසිකම් අන්තර්ගත නඩු විනිශ්චය කරන මහාධිකරණ, උසාවියේ කටයුතු රාජ්‍ය සතු ව තබා ගෙන ඇත ඩෙලවයා රාජයේ විනිශ්චයකාරවරු ආණ්ඩුකාරයා විසින් පත්කරනු ලැබූ අය වෙති.

එහි ප්‍රාදේශීය පාලනය කෙරෙන කවුන්ට් ආණ්ඩු දුර්වල ඒවා වශයෙන් සැලකේ. ඒවායේ විධායකයත් ඡන්දයෙන් තෝරා පත් කර අයගෙන් ද පත් කරනු ලැබූ පරිපාලකයින්ගෙන් ද සමන්විත ය. කවුන්ට් සහ මහ නාගරික සභාවල ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ බූදල් බදු ය.

දේශපාලන කටයුතු

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ඩෙමොක්රැටින් සහ රිපබ්ලිකන් යන පක්ෂ මෙහි ද එක සමාන බලයෙන් සිටිති. පෙඩරල් ඡන්ද විමසීමේදී කළු ජාතිකයන්ගේ ඡන්ද වැදගත් කොට සැලකේ.

1950 ගණන් තෙක්ම වර්ගවාදී ලෙස වෙන් කිරීම නීති හා සිරිත් මගින් ස්ථාපිත වී තිබිණිහෙත් විනිශ්ච තීරණ එලෙස ජාතීන් අනුව විශේෂණය කිරීමේ කටයුතුවලට පහර ගැසිණි. පාසල් හා විශ්ව විද්‍යාලවල පාසල් හා විශ්ව විද්‍යාල වල සංකලනයක් දැකිය හැකි වේ. විල්මින්ටන් වල සුදු ජාතිකයන් නගරෝප්‍රාන්ත කරා යෑමටද මෙය හේතු විය. එලෙස හිස්වුණු නිවාස කළු ජාතිකයන්ට ලබාදීම සඳහා නිවාස මිලදී ගන්නා සංවිධාන සහය වූහ. එවැනි වැඩසටහන් තිබියදීත් සමාජීය පීඩනය සහ ආර්ථික යථාර්ථයන් මගින් එක්තරා ප්‍රමාණයක වාර්ෂික වෙන් කිරීමක් පවත්වාගෙන යෑමට තුඩු දී ඇත. දෙලොවෙයා රාජ්‍ය මගින් මහජන සේවා ලබාදෙයි. අධ්‍යාපනය හා සුබ සාධනය ගැන රජයට නොයෙකුත් ඉල්ලීම් කර ඇත. ඒ අනුව බාලාංශ පන්ති පැවැත්වීම, ආබාධිත ළමුන්ට පාසල් ඇති කිරීම සහ මානසික සෞඛ්‍ය සායන ඇති කිරීම වැනි නව සේවා රජය මගින් දියත් කර ඇත.

ඩෙලවෙයා විශ්ව විද්‍යාල වර්ධනය වුව ද එහි උගත් සිසුනට ප්‍රමාණවත් ඉඩකඩ නැති බැවින් පිලඩෙල්පියාවේ පෙපර්සන් වෛද්‍ය විද්‍යාලයේ ද මෙහි සිසුනට ඉඩකඩ සලසා තිබේ. ඩෙල්වෙයා ප්‍රාන්තයේ ප්‍රධාන රාජ්‍ය වෙබ් අඩවිය https://delaware.gov/ නම් වේ.

(කර්තෘ: ජයන්ති නවරත්න)

(සංස්කරණය: උස්ගොඩ ධම්මගරු හිමි: 2024)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෙලවෙයා&oldid=4398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි