ණ-1

සිංහල විශ්වකෝෂය වෙතින්
11:10, 10 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙම විශ්වකෝෂයෙහි මුලින් දී ඇති අක්ෂර පටිපාටි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙම විශ්වකෝෂයෙහි මුලින් දී ඇති අක්ෂර පටිපාටියෙහි 37 වැනි අක්ෂරය ද ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්මත සමකාලීන සිංහල වර්ණ මාලාවෙහි 36 වැනි අක්ෂරය ද වෙයි. සංස්කෘත ශාබ්දිකයන් විසින් 'ක' වර්ගාදි වශයෙන් කොටස් පහකට ගොනු කර ඇති ස්පර්ශ ව්‍යඤ්ජන වර්ග අතුරෙහි තෙවැන්න වූ 'ට' වර්ගයේ පස්වැනි අක්ෂරය වූ මෙය එම වර්ගයේ වර්ගාන්තානුනාසිකය වශයෙන් ද හැඳින්වේ.

උච්චාරණ ලක්ෂණ අනුව 'ණ' යන්න මූර්ධන්‍ය ඝෝෂ නාසික්‍ය ව්‍යඤ්ජනයක් වූ හල් 'ණ්' ශබ්දයට වර්ණමාලාවේ ආරම්භක ස්වර්ය වූ 'අ' ශබ්දය එක් කිරීමෙන් සාදාගත් අකුරක් වන හෙයින් සන්ධි පදසාධනාදි ව්‍යාකරණමය කාර්යයන්හි දී 'ණ'කාරය යනුවෙන් ගනු ලබන්නේ ස්වර වියුක්ත වූ හල් 'ණ්' යන්න ය.

මූල ඉන්දු යුරෝපීය මාතෘභාෂාවෙහි නු වූ 'ට' වර්ගයේ අනෙක් අකුරු මෙන් ම 'ණ'කාරය ද පුරාතන ඉන්දු ආර්ය භාෂාවට පිවිස ඇත්තේ දාන්ත්‍ය 'න'කාරය මූර්ධන්‍යකරණයට පාත්‍ර වීමෙනි. මූර්ධන්‍යකරණයට පුරාතන ඉන්දු ආර්ය භාෂාවේ පදසාධනයෙහි ද ක්‍රියාත්මක වන්නකි. පදයෙක සංස්ථිතියෙහි ප්‍රකෘතිගත වූ ප්‍රත්‍යගත වූ 'න'කාරයක් 'ණ'ත්වයට පත් වන්නේ එයට පෙරටු පදය තුළ 'ණ'ත්ව නිමිත්තක් ඇතහොත් පමණි. සාමාන්‍යයෙන් පදයෙක අපදාන්ත වූ 'න'කාරයට පෙරටුව සිටි 'ඍ', 'ෂ්' යන ශබ්ද අතුරෙන් එකක් එහි මූර්ධන්‍යකරණයට එනම් එම දාන්ත්‍යනකාරය මූර්ධන්‍ය 'ණ'කාරත්වයට පෙරළිමට නිමිති වෙයි. තෘණ, වර්ණ, විෂ්ණු ආදිය ඊට උදාහරණයි. පදයක 'ණ'ත්වය නිමිත්ත හා 'න'කාරය අතරෙහි ස්වර ශබ්ද ද 'ක' වර්ග 'ප' වර්ගාක්ෂර ද 'ය්, ව්, හ්' යන අක්ෂර ද අතුරෙන් එකක් හෝ කිහිපයක් යෙදුණ ද 'ණ'ත්වයට බාධාවක් නොවේ. ප්‍රාණ, පරිමාණ, විෂ්කම්භණ ආදිය ඊට උදාහරණයි.

මෙසේ 'ණ'ත්ව නිමිත්තක් නැති ව ප්‍රකෘතියෙන් ම 'ණ'කාර යුක්ත වූ අණු, ණි, ආපණ, ආවේණික, කණික, ගණ, ගුණ, පුණ්‍ය, පාණි, පණ්‍ය, මණි, ලවණ, වාණි, වීණා, ශාණ, ශෝණිත ආදිය වැනි සීමාසහිත වචන ගණනක් සකුවෙහි ඇතත් මේ මතය අනුව ඒවා සංස්කෘතික සංස්පර්ශය මගින් පසුව භාෂාවට පිවිසෙන්නට ඇතැයි අනුමාන කිරීමට සිදු වේ. කෙසේ වෙතත් පාළි භාෂාවෙහි 'ණ'ත්වය සංස්කෘතයෙහි තරම් ශබ්දයෝග රීති හා බැඳුණක් නොවේ. පෛශාචිය හැර සෙසු මධ්‍ය ඉන්දු ආර්ය ප්‍රාකෘත භාෂාවල 'න'කාරයේ මූර්ධන්‍යකරණය තව දුරටත් ව්‍යාප්ත වී තිබේ. මහාරාෂ්ට්‍රි ප්‍රාකෘතයෙහි 'න' කාර සියල්ල ම මූර්ධජත්වයට පත් ව ඇත. 'ණ'කාරය වින්‍යාසය සම්බන්ධයෙන් සිංහල ප්‍රාකෘතය බොහෝ දුරට පාලි භාෂාව අනුගමනය කළ බව පෙනේ. ලක්දිව ලෙන්ලිපි බොහෝ ගණනක එන 'ලෙණෙ' (ක්‍රි.පූ. 3 සියවස, මිහින්තලේ Inscriptions of Ceylon, 1 වෙළුම) යන්න සමඟ පාලි 'ලෙණ' (සසදන්න සං. 'ලයන') යන්නත් 'කණවය' ක්‍රි.ව. 2 සියවස පාලුමදකිච්චාව (ලංකා ශිලාලේඛන සංග්‍රහය 1, 208 පිට) යන්න සමඟ පාලි 'ඛණාපිය' (සසදන්න, සං. ඛනති) යන්නත් සැසදීමේ දී ඒ බව පෙනී යයි. එහෙත් පසුකලක දී සිංහලයේ 'ණ', 'න' අක්ෂර වින්‍යාසයෙහි අවිනිශ්චිත ස්ථාන ගණනාවක් ඇති විය. මෑත කාලයේ දී ඒ පිළිබඳ ගුරුකුල මතභේද පැන නැඟීමට හේතු වූයේ එම තත්ත්වයයි. ණ/න ගුරුකුල මතභේද සඳහා 'නණලළ භේදය' නම් ලිපිය බ. අක්ෂර රූප වශයෙන් සිංහලයෙහි ණකාරයේ පරිණාමය සිදු වූ අයුරු මෙහි එන 'අක්ෂරමාලාව' නම් ලිපියෙන් බලා ගත හැකි ය.

(කර්තෘ: විමල් ජී. බලගල්ලේ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ණ-1&oldid=4406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි