සිදත් සඟරා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:08, 11 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('13 වන සියවසෙහි දඹදෙණි සමයෙහි පතිරජ පිරුවන් හිම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

13 වන සියවසෙහි දඹදෙණි සමයෙහි පතිරජ පිරුවන් හිමියන් විසින් සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයෙහි මූලික විධි පැහැදිලි කරමින් රචිත මෙය දේව පතිරාජයන්ගේ ආරාධනය මත සම්පාදනය කරන ලද්දක් බව පිළිගැනේ. “සිදු කළ (නිපදවන ලද) අත් (අන්තය) යමකින් නම් හේ ‘සිදත්’ නමි”. ශබ්දය, ප්‍රකෘති ආදී පුර්ව අවස්ථාව හැර අර්ථාවබෝධක පදත්වයට පමුණුවා ගැනීමට උපකාර වන සන් - සඳ - ලිඟු - විබත් ඈ වියරණ විධි සමූහයයි. ඒ සිදතුන්ගේ සඟරා (=සංග්‍රහය) යම් ග්‍රන්ථයෙක් නම් ඒ් ග්‍රන්ථය අන්වර්ථ සංඥා වශයෙන් ‘සිඳත් සඟරා’ නම් විය. එහි සත් අදියර පටන් සන් අදියර පටන් කිරියකරු පද සබඳ අදියර තෙක් දස අදියරකින් ව්‍යාකරණ ලක්‍ෂණ දක්වා අවසානයේ පද්‍ය බන්ධෝපදේශ හා කාව්‍යලංකාර දැක් වූ අදියර දෙකක් දැයි අධිකාර දොළසක් වෙත්. ඒවා අනුපිළිවෙළින් මෙසේ ය.

1. සන් අදියර

2. සඳ අදියර

3. ලිඟු අදියර

4. විබත් අදියර

5. සමස් අදියර

6. වෙසෙසුන් වෙසෙස් අදියර

7. කිරිය අදියර

8. පස’රුත් අදියර

9. වුත් අවුත් අදියර

10. කිරියකරු පද සබඳ අදියර

11. ඉටු’නිටු අදියර

12. ලකර අදියර

සංස්කෘත-මාගධ ව්‍යාකරණයන්හි සෙයින් මෙහි ද ශබ්ද සිද්ධිය සඳහා සූත්‍ර රචනා කෙට ඇත්තේ ය. හෙද සදරුත් විදි නියල් අනූරූ සේ පියොනන් (සකල ශබ්ද-ශබ්දාර්ථවිධි තෙමේ ඡේකප්‍රයෝගයනට අනුරූපය) යනු අඞ්ගසූත්‍රය යි ගෙන ‘පෙරපරවණන් නිසි විදිනි ගළපනු සඳ නම්’ යනනාදිය උපාඬ්ග සූත්‍ර වශයෙන් දක්වන ලද්දේ ය.

1. අධිකාරියන් අතුරෙන් පළමුවැනි සන් අදියරෙහි ‘සන් - සඳ - ලිඟු - විබත්’ ඈ වියරණ විදි විස්සක් නම් කොට සිංහලයේ අක්ෂර සංඛ්‍යා දක්වන ලද්දේ ය. මෙහි දී ‘ආ, ඊ’ ආදී ගුරුපඤ්චකය හා බින්දුවර්ණය ද නිදසුන් දක්වමින් අක්‍ෂර සංඛ්‍යාවෙහි ලා ගිණූ හෙයින් ‘සිඳත් සඟරා’ රචනාවෙන් පෙර වෙනත් සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ තිබූ බව ද එහි ශුද්ධ සිංහල වර්ණමාලාව අකුරු සූවිස්සකින් පරිමිත වූ බව ද සැලකිය හැකි ය. මෙහි ද ‘ඇ, ඈ’ දෙක වෙන ම වර්ණයක් සේ සලකා නැත. අනතුරුව නිදසුන් දක්වමින් සන්ධි ලිංගාධි ව්‍යාකරණ විධි විස්තර කොට ශබ්දයන්ගේ ජාති ද්‍රව්‍යාදී පඤ්චභේදය ද ‘අන්වර්ථ - ආරුඪ යන ද්විභේදය ද දක්වන ලද්දේ ය. එහි ම අවසානයේ දී අදෙස්, ආගම්, පියවි යන තෙවෑදෑරුම් හකාරයට බෝහෝ නිදසුන් පාමින් හකාර විනිශ්චය විස්තරයෙන් දක්වන ලද්දේ ය.

2. දෙවැනි සද අදියරයෙහි “පෙරසර ලොප් සද, පරසර ලොප් සඳ - සර - සරදෙස් - ගතදෙස් - පෙරරූ - ගතකුරු ලොප් - ආගම් - පෙරරූසඳ” යයි නවවැදෑරුම් කොට සන්ධිය විස්තර කරන ලද්දේ ය.

3. ලිඟු අදියර නම් වූ තුන්වැන්නෙහි සකුවියරණයෙහි මෙන් මෙහි ද ලිංග භේදය ඇතත් ව්‍යවහාරයෙහි වෙනසක් නැතැයි කියා නපුංසක ලිංග ශබ්ද පුංලිංගයෙහි ම ඇතුළු කොට ලිඟු දෙකක් දැක්විණ. එහි ම ‘ඊ’ ආදි ස්ත්‍රී ප්‍රත්‍යය ද ‘ත - ම - එ - මෙ - රමණි ආදී ද්විලිංග සමශබ්ද ද ක්‍රියා විශේෂණ, නිපාත හා උපසර්ග යන ලිංග මුක්ත ශබ්දයෝ ද විස්තර වූහ.

4. සිදත් සඟරාවේ විශාලතම වූ සතරවැනි විබත් අදියරයෙහි ‘පෙර , කම්, කතු, කරණ, සපදන්, අවදි, සබඳ, අදර, අලප් යයි විභක්තිය ද කාරක නාමයෙන් ම හඳුන්වමින් විභක්ති නවයක් දක්වා ඇත. කාරකභේද හා විභක්ත්‍යර්ථ ද සුදුසු පරිදි එහි ම දක්වා තිබේ.

5. පස්වැනි තැනට සමත් අදියරයෙහි ‘අවිය, විභත්, වෙසෙසුන්, අන්අරුත්, ද අරුත්’ යයි සමාස පහකි. භාෂාන්තරයෙහි එන ද්විගු සමාසය මෙහි ‘වෙසෙසුන් සමස්හි’ ඇතුළු වීම හා අව්‍යයක් පෙරටු වූ පමණින් ම අවිය සමත් වීම ද විශේෂයකි.

6. සවැන්න සමානාධිකරණ භින්නාධිකරණ විශේෂණ විශේෂ්‍යයන් විස්තර කළ වෙසෙසුන් වෙසෙස් අදියරයි.

7. සත්වැනි කිරිය අදියරෙහි අකර්ම, සකර්මධාතු හා ක්‍රියාවන්ගේ පුරුෂ - කාල භේදය දක්වා, ක්‍රියාව ‘කතුකරු තෙකල් කිරිය, පියදු, විදි, ආසි, කම්කරු තෙකල්කිරිය, අසබහම්, පෙරකිරිය හා මුසුකිරිය වශයෙන් අට වැදෑරුම් කොට දක්වා තිබේ.

8. ෂට්කාරකයෙහි හා භාවයෙහි නිපන් කෘදන්ත පද හා අපත්‍යාදි අර්ථවත් තද්ධිත ද ප්‍රත්‍යාර්ථ ශබ්ද නාමයෙන් එක්රැස් කොට අටවැනි වියරුත් අදියර සංග්‍රහ කරන ලද්දේ ය.

9. වූත් අවුත් අදියර නම් වූ නවවැන්නෙහි කර්තෘ - කර්මයන්ගේ උක්තානුක්ත ප්‍රයෝග සඳහා නිදර්ශන දක්වා තිබේ.

10. කිරියකරු පද සබඳ අදියර නම් වූ දස වැන්නෙහි ෂට්කාරකය හා ක්‍රියාකාරක පදයන් යෙදෙන අයූරු දක්වන ලද්දේ ය.

11. දස අදියර වියරණ යැයි සඳහන් කොට, පදී බදනා කිවියරුනට උපදෙස් සඳහා එකළොස් වැනි ඉටුනිටු අදියරයෙහි ‘ඉටුනිටු අවගුණ, ඉටුනිටු වණ, ඉටුනිටුයොන් ද අනතුරුව යතිහීණ, පුනරුක්ති, ග්‍රාම්‍යාර්ථ, අපක්‍රම, නේයාර්ථ, අනුමිතාර්ථ (=ඖචිත්‍යහීන), ගූඪාර්ථ, භින්නලිංග, උත්කෘෂ්ටෝපම, හීනෝපමා’ යන මහා දෝෂයෝ විස්තර කරන ලද්දාහ.

12. දොලොස්වැනි ලකර අදියරයෙහි උපමානෝපමෙය ලක‍්ෂණ, වස්තූපමා, අද්භූතෝපමා, ශබ්දාර්ථ ශ්ලේෂෝපමා, නින්දෝපමා, විරුද්ධෝපමා, භයභාෂා (වක්‍රෝක්ති) නින්දාප්‍රශංසා, අන්‍යලාප, උත්ප්‍රේක්ෂ, රූපක, හේතුරූපක අලංකාර දසැකෙවින් දක්වා ග්‍රන්ථය නිමවන ලද්දේ ය.

දඹදෙණි රාජ්‍ය සමයේ පටන් සියවස් අටක් පමණ වූ දීර්ඝ කාලයක් තුළ සිංහල භාෂාව හදාරන්නන්ට උපස්තම්භ ව පවත්නා සිදත් සඟරාවට පරිවාර ග්‍රන්ථ බොහෝ ය. අඥාත වූ පැරණි ආචාර්යවරයකු විසින් ලියන ලද ‘සිදත් සඟරා පුරාණ සන්නය’ ප්‍රමාණයෙන් කුඩා වූව ද අවිනිශ්චිත ස්ථානයන් හෙළි කර ගැනීමෙහි ලා ඉතා ප්‍රයෝජන වූවෙකි. සිප්කඩුවේ ශ්‍රි සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සම්පාදිත වැ දෙතුන් වරක් මුද්‍රණයෙන් ප්‍රචාරය වූ සිදත් සඟරා විස්තර සන්නය ද ප්‍රශස්ත වූ ග්‍රන්ථයෙකි. රත්මලානේ ශ්‍රි ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිදත් සඟරා ව්‍යාඛ්‍යාව සිංහල භාෂාවේ සැඟවී ගිය අක‍්ෂර වින්‍යාසය හා විශිෂ්ට ශබ්ද ප්‍රයෝග හෙළි කරමින් ලියන ලදුයේ සුධීන්ගේ සිත් ගනිමින් පවත්නේ ය. ජේම්ස් දොන් අල්විස් පඬිතුමා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද සිදත් සඟරා සන්නය හේතු කොට ගෙන විදේශික පඬිවරුන්ගේ පවා සිංහල භාෂාව කෙරෙහි ගෞරව පූර්වක සම්භාවනයක් ඇති විය. වාසල මූදලි තැන්පත් ඊ.ඇන්. ගුණවර්ධන පඬිතුමන් සිදත් සඟරාව විවේචනය කරමින් ලියූ ‘සිද්ධාන්ත පරික‍්ෂණ’ නම් ග්‍රන්ථයෙන් ද මේ ග්‍රන්ථයට ආලෝකයක් ලැබිණ. ඒ සිද්ධාන්ත පරීක්ෂණය ද විවේචනය කරමින් ප්‍රඥාසේන නම් මහතකු විසින් සම්පාදනය කරන ලද ‘සිදත් සඟරා විනිස’ නම් වූ ග්‍රන්ථයෙක් ද වේ. කහවේ ශ්‍රි රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ‘සිදත් සඟරා භාවසන්නය’ ද වැදගත් ග්‍රන්ථයෙකි. මුනිදාස කුමාරතුංග ශුරීන් විසින් ලියා තිබෙන ‘සිදත් සඟරා විවරණය’ සිංහල භාෂාව හදාරනවුන්ගේ මහදොළ පුරාලීමේ පොහොසත් ග්‍රන්ථයෙකි. සිදත් සඟරාව සඳහා ප්‍රමාණයෙන් මහත් වූ ද නවීනතම වූ ද විවිරණය ලියන ලදුයේ රැපියෙල් තෙන්නකෝන් මහකිවියා විසිනි.

සිදත් සඟරාවෙහි දැක්වෙන ඇතැම් ව්‍යාකරණ රීති හා ශබ්ද ප්‍රයෝග පිළිබඳව පඬුවන් අතර විවිධ මත භේදයෝ ද පහළ වූහ. තම තමන් ගත් මතයන් තහවූරු කිරීම සඳහා ඒ ඒ පඬුවන් විසින් ප්‍රවෘත්තිපත්‍ර හා සඟරා ආදිය ඔස්සේ විචාරාත්මක ව විවිධ ලිපි වරින්වර පළකරන ලද්දේ විය. එයිනිදු සිදත් සඟරාවට ලැබුණේ මහත් සම්භාවනයෙකි. සිදත් සඟරාවේ ශබ්ද ප්‍රයෝග සඳහා පමණක් නොව මේ ශ්‍රේෂ්ට ග්‍රන්ථය රචනා කළ පඬිවරයා ගැන ද මත භේදයක් විය. ග්‍රන්ථයෙහි ම එහි කතුවරයෝ පතිරාජ පිරුවන් හිමියාණ කෙනෙකැ’යි පැවසූහ. පතිරජ පිරිවෙන් හිමියෝ නම් ‘දෛවඥකාමධේනු, පරෝපකාර’ යන නක‍්ෂත්‍ර ග්‍රන්ථ රචනා කළ අනවමදර්ශී සංඝරාජයාණෝ යැයි ද ‘සමන්තකූටවණ්ණා හා රසවාහීනී’ යන සමගාමී ප්‍රකරණ හා ‘සීහල සද්දලක්ඛණ’ නම් ග්‍රන්ථයක් ද රචනා කළ වේදේහ හිමියෝ යයි ද පැවසීම මෙම මතභේදයට හේතු වී තිබේ.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සිදත්_සඟරා&oldid=4440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි