ළමා සුභසාධනය
වයස අවුරුදු 16න් පහළ දරුවන් උදෙසා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සිදු කරනු ලබා සේවාව ළමා සුභසාධනයයි. ළමා සුභසාධනය ගැන සාකච්ඡා කිරීමේ දී මුලින් ම “ළමයා කවුද?” යන්න හඳුනා ගත යුතු ය. මෙහි දී ළමයා පිළිබද ව නීතියේ කර ඇති නිර්වචනය අපේ සැළකිල්ලට හසුවේ. බ්‍රිතාන්‍යයේ 1903 දී පිළිගන්නා ලද පනතේ පිටපතක් වශයෙන් සැලකිය හැකි ළමා හා තරුණයන් පිළිබඳ ලංකාවේ පනත (1933 දී ඉදිරිපත් කොට 1941 දී රජය විසින් පිළිගන්නා ලදි). එ් අනුව ළමයෙක් වයස අවුරුදු 14න් පහළ කෙනෙක් හැටියටත් 14 සිට 16 දක්වා අයකු තරුණයක් ලෙසත් තීරණය වේ. මේ හැරුණු විට අනාථ නිවාස පනතේ දක්වා ඇත්තේ 18න් පහළ අය ළමුන් වශයෙනි. අධ්‍යාපන පනත අනුව වයස අවුරුද් 14 වන තෙක් ළමයෙක් අනිවාර්යයෙන් පාසල් යා යුතු යැයි සඳහන් වී තිබේ. තවද 14-16 දක්වා අවශ්‍යතා තිබේ නම් එ් පහසුකම් සලසා දිය යුතු ය යන්න සඳහන් කර ඇත. මේ අනුව පනත්වලින් ඒ ඒ වයස් කියවුණ ද සාමාන්‍යයෙන් වයස 16 දක්වා අයෙකු ළමයෙකු වශයෙන් ලංකාවේ සැළකේ. වෙනත් රටවල් දෙස බැලුවහොත් එංගලන්තයේ වයස 17න් පහළ අය ද ස්වීඩනයේ වයස 18න් පහළ අය ද (ලංකාවේ අවශ්‍ය වූ විට වයස 21 දක්වා අය ළමයින් ලෙස සැළකිය හැකිය) ඇමරිකවේ රාජ්‍ය 50න් බොහෝමයක 18න් පහළ අය ද ළමුන් වශයෙන් සළකති. මෙහි දී අප ලංකාවේ කරුණු අනුව වයස 16 දක්වා පුද්ගලයෙක් ළමයෙක් වශයෙන් ගැනීමට පුළුවන.
ළමා සුභසාධනය යම් කොටසකට සීමා වන්නේ නැත. පොදු වශයෙන් එය සෑම ළමයාට ම බලපායි. මෙය බාල පරපුරට සැලසෙන පොදු දෙයක් ලෙස සැලකුවත් මෙහි දී විශේෂයෙන් සුභසාධනය අවශ්‍ය ළමුන් කොටස තීරණය කර ගැන්මෙහි වරදක් නැත. එසේ නම් ළමා සුභසාධනයට ඇතුළත් කළ යුත්තේ මූලික අවශ්‍යතා නොලත් ළමුන් යැයි කිව හැක. වෙනත් ආකාරයට කියනවා නම් ළමා සුභසාධනය සමාජයේ සිටින අවාසානාවන්ත ළමුන්ට (Unfortunates in society) සලසන සේවාවකි.
ළමා සුභසාධනය මෙහි දී අපි වයස 16 දක්වා ගැනෙන මූලික අවශ්‍යතා නොලත් ළමුන්ට සීමා කළෙමු. මූලික අවශ්‍යතාවයක් නොලත් ළමුන් මෙහි දී අප විසින් පැහැදිලි කරගත යුතු ය. ළමුන් කොටස් වශයෙන් සළකනාවානම් අසරණ ළමුන්, අත්හැර දමන ලද ළමුන්, මීමැස්මොරෙන් පෙළෙන ළමුන්, මානසික අතින් නොසන්සුන් බවක් ඇති ළමුන්, අධ්ය්යාපනය අතින් පසුබැස ඇති ළමුන්, අධ්‍යාපනය අතින් වර්ධනය නොවූ ළමුන්, සමාජයට සොදාකාර ව හැඩ නොගැසුණු ළමුන්, සමාජ විරෝධී ළමුන්, පාසල් නොයන ළමුන්, බාලපචාරීන් වශයෙන් නොයෙකුත් වර්ගයේ ළමුන් ඇත. සමාජයේ අවසානාවන්තයන් ලෙස මේ කොටස් සඳහන් කළත් මූලික අවශ්‍යතා නොලත්, ළමුන් කවුදැයි තීරණය කරගත යුතු ය. මෙහි දී මූලික අවශ්‍යතා මොනවාදැ’යි ඊට පෙර හඳුනා ගැනීමට සිදු වේ.
මූලික ළමා අවශ්‍යතා කොටස් වශයෙන් දැක්වීමට පුළුවන. ප්‍රධාන ශාරීරික අවශ්‍යතා, මානසික අවශ්‍යතා, අධ්‍යාපනික අවශ්‍යතා ස්වාධීනත්වය ලබා ගැනීම් අවශ්‍යතා හා වෙනත් අවශ්‍යතා වශයෙනි. ශාරීරික අවශ්‍යතාවයේ දී පෝෂණය පිළිබඳ අවශ්‍යතා, සනීපාරක්ෂාව, නින්ද සහ ඇදුම් පැළඳුම්,ලෙඩ රෝගවලින් වැළැක්වීම ආදිය එයට ඇතුළත් වේ. ළමයාගේ වර්ධනයට ආහාර දෙන පිළිවෙළ ද වැදගත් ය. මානසික අවශ්‍යතාව ගැන කියන විට ආදරය හා ආරක්ෂාව යන්න වැදගත් වේ. ළමයාගේ ජිවිතය හරියාකාර ව හැඩ ගැස්සවීමට ඔහුට ආරක්ෂාව, රැකවරණය අවශ්‍ය ය. තමා යම් පවුලකට අයත්ය, තමා බලා ගැනීමට වෙනත් අය සිටිනවාය යන සිතුවිලි මගින් ළමයා ආදරය හා ආරක්ෂාව බලාපොරෙත්තු වේ. තවද ළමයාගේ හැකියාවන් හා දක්ෂතා දියුණු කර ගැනිමට අවශ්‍ය දේ සැපයිය යුතු ය. ගෙදර දී මෙන් පාලසලේදීත් අවට පරිසරයේ දිත් මේ සැපයීම අවශ්‍ය ය. විවේක කාලයේ දී ළමයා ක්‍රීඩා සඳහා යොමු කිරීමෙන්, හික්මීම, කල්පනා ශක්තිය වැඩි දියුණු වීම, ජය පරාජය පිළිගත හැකි වීම යන අංශවලින් මානසික වශයෙන් ඔහු වැඩිදියුණුවක් ලබන අතර ශාරීරක අතින් ද වර්ධනය වේ. අපචාරයට යොමු වීම ද වළකී. ළමා අවශ්‍යතා අතර අධ්‍යාපන අවශ්‍යතාවය ද මූලික වේ. ඕනෑම ළමයෙකුට කියවීම, ලිවීම, අදහස් හුවමාරු කර ගැනීම සඳහා අධ්‍යාපනයක් අවශ්‍ය වේ. අධ්‍යාපනය ළමයාගේ දක්ෂතාව වැඩිදුයුණු වන මාර්ගයක් ලෙස තිබිය යුතු ය. එ් නිසා අධ්‍යාපනයේ දී වෘත්තීය යොමුවීමක් අවශ්‍ය වේ. ළමයා කුසලතාවයක් දක්වන්නේ කුමන අංශයක් පිළිබඳ ව ද යන්න සොයා බලා ඒ අංශ ඔස්සේ යාමට ඔහුට මඟ පාදා දිය යුතු ය. සියලු පහසුකම් ඒ සඳහා සැපයිය යුතු ය. ළමයාට ආගමික අධ්‍යාපනයක් ලබා දීම ද වැදගත් ය. ආගම මගින් යහපත් ආකාරයට සමාජයේ හැසීරීමට ඉගැන්වෙන නිසා එය ළමා සංවර්ධනයට රුකුලකි. දෙමාපිය වැඩිහිටියන්ගේ ආදර්ශය ද ළමයාට අවශ්‍ය ය. යුක්ති ධර්මය විනය වැනි දේ දෙමාපියන් විසින් ළමයාට හුරු කළ යුතු ය. ස්වාධීනත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව තවත් එකකි. ලොවට බිහි වූ දරුවා දෙමාපියන් මත යැපේ. මව නැති ව ජීවත් වීම ඔහුට අසීරු දෙයකි. වැඩිහිටියන්ගේ ආධාරය ඔහුට අවශ්‍ය ය. ක්‍රමයෙන් ඔහු වර්ධනය වත් ම ඔහුගේ ශක්තීන් දියුණුවන අතර අනෙක් අය මත යැපීම ක්‍රමයෙන් අඩුවේ. එ් සමඟ ම වගකීම් භාර ගැනීමේ කැමැත්ත ද ඔහු තුළ වැඩේ. එහි දී ළමයාගේ හැකියා අනුව ඔහුට වගකීම් භාර දිය යුතු ය. ස්වාධීන ව අදහස් ප්‍රකාශ කිරීමට, වාදවිවාද කිරීමට ඔහුට ඉඩදීම අවශ්‍ය ය. එමෙන් ම සමාජයේ ජීවත්වීමට අන්‍යයන්ගේ සහයෝගය අවශ්‍ය ය යන්න ඔහුට අවබෝධ කරවිය යුතු ය. ඔහු තුළ යහපත් ආකල්ප ද ඇති කළ යුතු ය. මේ ආකාරයට විස්තර කෙරුණු අවශ්‍යතා ළමා අවශ්‍යතා ලෙස හඳුන්වා දීමට පුළුවන.
මෙකී අවශ්‍යතා නොලැබූ ළමයා මූලික අවශ්‍යතා නොළත් ළමයෙක් වේ. ළමයාගේ මූලික අවශ්‍යතා සලසා දෙන්නේ පවුල නමැති ඒකකයයි. පවුල හරියාකාර ව ක්‍රියා නොකළහොත් මූලික අවශ්‍යතා සපුරාලීමේ කාර්ය ඉටු කිරීමට එයට නොහැකි වේ. පවුලේ ක්‍රියාකාරී ස්වරූපය ගැන මෙහි දී අප විසින් බැලිය යුතු ය. පවුල නමැති ඒකකය තුන් ආකාරයකට වර්ග කළ හැකි ය.
01. පවුල නමැති ඒකකය පැවතුනත් එය නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම ආර්ථික අවහිරතා, රැකියා නැතිවීම, දුගීකම, දෙමාපියන්ගේ නිධන්ගත රෝග, දෙමාපියන්ගේ මානසික අස්ථාවරභාවය, දෙමාපියන්ගේ අසමගිය, නීත්‍යනුකූල පවුල වුව ද හරියාකර ව ක්‍රියාත්මක නොවීමට බලපන හේතු ය. මේ ප්‍රශ්න නිසා පවුල් සම්බන්ධකම් හා පවුලේ සමාජ කාර්ය හරියාකාර ව ඉටු වීමක් සිදුවන්නේ නැත. එ් නිසා එවැනි පවුලක ළමුන්ට නිසි අන්දමට මූලික අවශ්‍යතා නොලැබී යයි.
02. පිහිටුවා තිබෙන පවුල යම් යම් හේතූන් නිසා බිඳ වැටීම යුද්ධ, දුර්භික්ෂ වැනි සමාජ කැළඹීම්, දෙමාපියන්ගේ මරණ, රෝගී බව නිසා දෙමාපියන් දෙදෙනාගෙන් අයෙක් රෝහලේ නේවාසික වීම, දෙමාපියන්ගෙන් අයෙක් හිරගත වීම, මාපිය දෙදෙනාගෙන් එක් අයෙක් හෝ දෙදෙනා ම ළමුන් අත්හැර යාම, වෙන්වීම හෝ දික්කසාදය, පියා වෙනත් ස්ථානයක රැකියා කිරීම, මව දවසින් වැඩි කොටසක් රැකියාවක නියතු ව සිටීම වැනි කරුණු නිසා සාමාන්‍ය පවුල බිඳ වැටේ. මෙසේ බිඳ වැටුණු පවුවල ද ළමුන්ගේ අවශ්‍යතා නිසි පරිදි සලසා දීමට නොහැකි වේ.
03. පවුලක් කොහෙත් ම පිහිටුවා නොතිබීම නිත්‍යනුකූල නොවූ විවාහ පවුල් ප්‍රශ්න ඇති කරයි. යම්කිසි ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහයට ඇතුළු නොවී ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් බිහිවන දරුවන් නීත්‍යනුකූල නොවූ දරුවන් ය. ඔවුන් අවජාතක ළමුන් වශයෙන් හැඳින්විය හැකි ය. අවජාතක ළමුන්ට නියම වශයෙන් පියෙක් කියා කෙනෙක් නැත. මෙවැනි තත්වයක දී ස්වාභාවික ගෘහ ජිවිතයක් ඇති නොවේ. ස්ත්‍රිය හා පුරුෂයා නීතිමය වශයෙන් විවාහ වී නැති හෙයින් පවුලක් වශයෙන් නියම එක්වීමක් ඔවුන් අතර නැත. මොවුන් නිසා සමාජයට එක්වන අවජාතක දරුවාට මූලික අවශ්‍යතා පිරිමසාලීමට අය නොසිටිති. එලෙස අවශ්‍යතා නොලබන අවජාතක ළමුන් නොයෙකුත් අන්දමේ මානසික හා ශාරීරක හිංසාපිඩාවලට ලක්වේ.
පවුල් ක්රියාකාරීත්වයේ මේ ආකාර තත්වයක් නිසා මූලික ළමා අවශ්‍යතා සපුරාලීමට පවුල නමැති ඒකකයට නොහැකි වී ඇත. මෙසේ මූලික අයිතිවාසිකම්, අවශ්‍යතා නොලැබුණු ළමුන්ට ඒ නොලැබුණු අවශ්‍යතා නොලැබීම නිසා නෙයෙකුත් පීඩාවන්ට ගොදුරු වූ ළමුන්ට සහනයක් සැලසීමයි ළමා සුභසාධනයෙන් බලාපොරොත්තු වන්නේ.
ඉහත කී ආකාර පවුල් තත්වයන් නිසා දෙමාපිය-දරු සම්බන්ධතා ලිහිල් වීම නිරන්තයෙන් ම සිදුවන්නකි. ආර්ථික අතින් වැඩි දියුණු රටවල වුව ද ලොකු ම ප්‍රශ්නයක් ලෙස දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධය දුර්වල තත්වයක වැටී තිබෙන නිසා මානසික ඝට්ටන සිදුවෙයි. ඒ ඝට්ටන මඟහරවා ලීම සඳහා සේවා කිහිපයක් සලසා ඇත. එම සේවා මගින් අවශ්‍යතා නොලත් ළමුන්ට ඒ අවශ්‍යතා සපුරා ලීමට බලාපොරොත්තු වේ. ළමා සුභසාධන කටයුතුවලට ඇතුළත් වන්නේ මේ ආකාර සේවා ය.
ලංකාවේ ළමා සුභසාධන කටයුතු ගැන බලන විට අංශ කිහිපයක් දෙසට අපේ අවධානය යොමු විය යුතු ය. සුභ සාධන කටයුතු රජයේ අංශ මෙන් ම ස්වේච්ඡා සංවිධානවලින් ද කරනු ලැබේ. එහි දී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කෙරෙන සේවා ප්‍රධාන ය. ආයතනික පුනරුත්ථාපන සේවය, නේවාසික ළමාරක්ෂක සේවය ඒ අතර වෙයි.
ආයතනික පුනරුත්ථාපන සේවය:
මේ යටතේ රැඳවුම් නිවාස 04ක් ද සහතික කළ පාසල් 07ක් හා එක් අනුමත කළ පාසලක් ද පාලනය වේ.
පන්නිපිටිය, කොග්ගල, අච්චුවේලි සහ දෙහිවල යන ස්ථානවල රජයේ රැදවුම් නිවාස පිහිටා ඇත. දෙහිවල රැදවුම් නිවාසය ගැහැනු ළමුන්ට පමණක් සීමා වේ. ඇතැම් බරපතල අපරාධ කළ අවස්ථාවන්හි දඬුවමක් වශයෙන් රැදවුම් නිවාසවල ළමයින් රඳවා තැබීමට නීති සකස් වී තිබුණත් එවැනි අවස්ථා විරල විය. රැඳවුම් නිවාසවල ප්‍රධාන කාර්ය වූයේ එහි ඇතුළත් වන ළමයාගේ චර්යා පැවැත්ම හා මානසික තත්වය ගැන බුද්ධිමත් නිරීක්ෂණයකින් පසු අධිකරණයට වාර්තා සැපයීම ය. රැඳවුම් නිවාසවලට ඇතුළත් කර ගන්නා සියලු ම ළමුන් ඇතුළත් කළ වහා ම වෛද්‍ය පරික්ෂණයට භාජනය කරන අතර අවශ්‍ය වූවන්ට වෛද්‍ය පහසුකම් සලසා දෙනු ලැබේ. චෛතසික කැළඹීම් හා වෙනත් ඌනතාවන්ට ගොදුරු වූ යැයි සැක කරන අයට දෙපාර්තමේන්තුවේ මනෝ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරනවා ඇත. දවස මුළුල්ලේ ම ළමයින්ට වැඩදායක ලෙස යොමු කර තැබීමට සෑම ප්රයත්නයක් ම දරනු ලැබේ. චරිත පෝෂණයට හා සදාචාර වර්ධනයට විශේෂ තැනක් දී තිබේ. ආගමික කටයුතුවලට ළමුන් උනන්දු කරවයි. පන්නිපිටිය රැඳවුම් නිවාසයේ වැඩි කලක් නිවාසයේ සිටින ළමුන්ට පෙදරේරු කර්මාන්තය හා මුළුතැන්ගෙයි වැඩ ගැන පුහුණුවක් දෙනු ලැබේ. මෙහි සතිපතා ධර්ම දේශනා ද පවත්වයි. බාලිකා රැදවුම් නිවාසයේ ගිලන්පස පූජාවක් හා දානමය පින්කමන් සුනේත්‍රා දේවි විහාරස්ථානයේ දී මසකට වරක් සිදුකරන ලදි. නාට්‍ය, ගී සින්දු හා සාහිත්‍ය කටයුතු ළමුන්ගේ විනෝද කටයුතුවලට ඇතුළත් විය. 1968-69 වර්ෂවල දී පන්නිපිටිය රැඳවුම් නිවාසයට 1843ක් ද කොග්ගල නිවාසයට 184ක් ද අච්චුවේලි රැඳවුම් නිවාසයට 270ක් ද බාලිකා රැදවුම් නිවාසයට 335 ක් ද ඇතුළත් කරන ලදහ.
සාමාන්‍යයෙන් දිනකට නේවාසික ව සිටි සංඛ්‍යාව පිළිවෙළින් 175, 11, 61, 10 සහ 40ක් විය. මේ හැරුනු විට රජයේ රැඳවුම් නිවාසවලින් සැපයිය නොහැකි පහසුකම් සවේච්ඡා රැඳවුම් නිවාස මගින් සපයන ලදි. වර්ෂය තුළ පිරිමි ඇතුළත් කිරීමේ සංඛ්‍යාව 2070ක් විය. ගැහැනු ඇතුළත් කිරීම 299 ක් විය. පිරිමි ඇතුළත් කිරීමේ සංඛ්‍යාව වෙනුවෙන් 3.7%ක වැඩීවිමක් වන අතර ගැහැනු ළමයින් ඇතුළත් කිරීමේ සංඛ්‍යාව වෙනුවෙන් 21.6%ක වැඩිවීමකි. රැකවරණයෙන් මිදී ගිය වාර 17.1%කට අඩුව ඇත. පිරිමි නේවාසිකයන්ගේ වැඩි දෙනා වයස 11ත් 13ත් අතර වූහ. මෙය අලුතින් ඇතුළත් කර ගන්නා ලද සංඛ්‍යාවෙන් 41.1%කි. ගැහැනු ළමයින්ගෙන් 299න් 88ක් 11ත් 13ත් අතර විය.
බාලාපචාරීන් වූවන් භාරය හා සංරක්ෂණය අවශ්‍ය වුවත් චරිත දුෂණයට ලක්වූවන් එවැනි ළමුන්ට නේවාසික පහසුකම් යටතේ සුදුසු පුනුරුත්ථාපන ප්‍රතිකාර පාසල් හා අනුමත කළ පාසල්වලින් සපයනු ලැබේ. තවද ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයක් ද සුළු කර්මාන්ත එකක හෝ වැඩි ගණනක මූලික පුහුණුවක් ද දෙනු ලැබේ. වයස 12 සිට 16 අතර ළමුන් තලයන් හා තරුණ අය පිළිබඳ ව ආඥා පනත යටතේ අධිකරණය මගින් මේ පාසල්වලට නියම කෙරිණි. උපරිම නේවාසික කාලය අවුරුදු 03කි. මාකොළ, සේනපුර, කැප්පෙටිපොළ, කොග්ගල, හික්කඩුව, අච්චුවේලි, රන්මුතුගල යන ස්ථානයන් හී සහතික කළ පසල් පිහිටුවා ඇත. රෝමානු කතෝලික හා දෙමළ කථා කරන ළමුන් හැර අනිත් අය මාකොල වුඩ්පඩ් පාසලේ වර්ග කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළත් කොට අධ්‍යාපන හා වෘත්තීය දැනීම පරීක්ෂා කළ පසු දෙමාපියන්ගේ කැමැත්ත, රැකියා පහසුකම් හා වෘත්තීය ලැදිකම්වලට ප්‍රමුඛත්වය දෙමින් වෙනත් පාසලකට මාරු කරයි. වයස හා වෘත්තීය අවධාරණය අනුව සහතික කළ පාසල් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ වශයෙන් වර්ග කර ඇත. කැප්පෙටිපොළ සහ කොග්ගල පිහිටා ඇති කනිෂ්ඨ සහතික කළ පාසල්වලට අවුරුදු 14න් පහළ ළමුන් ඇතුළත් කරන අතර ශාස්ත්‍රීය අධ්‍යාපනයට එහි ප්‍රධාන තැනක් දෙයි. අවුරුදු 12 සහ 16 අතර ගැහැනු ළමයි ගැහැනු සහතික කළ පාසල්වලට ඇතුළත් කරනු ලැබෙත්. දෙමළ කථා කරන ළමුන් ඇතුළත් කරන අච්චුවේලි පාසලට වයස අවුරුදු 12 සිට 16 අතර දෙමළ මුස්ලිම් ළමුන් ඇතුළත් කෙරේ. වයස අවුරුදු 14ට වැඩි ළමුන් සේනපුර ජ්‍යෙෂ්ඨ පාසලට හා හික්කඩුවේ ලේක් පාසලට ඇතුළත් කරන අතර ඒවායේ ගොවි කර්මාන්තය ප්‍රධාන වේ. මකොළ වුඩ්පඩ් පාසල ජ්‍යෙෂ්ඨ පාසලක් ලෙස ක්‍රියා කරන අතර වර්ගකිරීමේ අංශයකින් ද එය සමන්විත වේ. පළුදු වු පවුල් රටාව දැඩි ගැටලු සහිත පවුල් සිදාදිකරණය සහ ගැටලු දුෂ්කරතා ඇතුළත් කරන ලද ළමුන් අතර වූ ඇතැම් පසුබ්ම් සාධක ය. සහතික කළ පාසල්වල ගැහැනු ළමුන් ඉතා චණ්ඩ ය.
සහතික කළ හා අනුමත කළ පාසල්වලට අයත් කාර්යභාරය කොටස් කිහිපයක් වශයෙන් දැක්විය හැකි ය.
• ආතති සමනය කිරීමට මාර්ගයක් - ගැටලු නිරාකරණය කිරීමට සුදුසු වතාවරණයක් ඇති කිරීමෙන් ළමුන් වෙනුවෙන් නියම ප්‍රතිකාර විනිශ්චයකට ද ළඟා වීම
• වැඩදායී නිලධාරී නේවාසික සබඳකම් - නැඟි එන ගැටලුවලට මුහුණදීමට හැකියාවක් හා උසස් ඥාන සම්පත්තියක් ඇති අයගෙන් නිලධාරී මණ්ඩලය සමන්විත විය යුතුයි. ආයතනික සේවාවේ මූලික අදහස ශකිත්මත් වැඩිහිටි ළමා සබඳකම් ගොඩනඟා ගැනීම ය.
• සමාජ ආයතන හා වෘත්තීය සංවර්ධනය උනන්දු වන්නන්ට අනුබල දීමට ද මන්දෝත්සාහී වූ අය දිරි ගැන්වීමට ද උදාසීනයන් පෙළඹවීමට ද පහසුවන සේ සහතික කළ පාසලේ පරිසරය ගොඩනැංවිය යුතු ය.
මෙම පාසල්වල ඇතුළත් වන්නන්ගේ අධ්‍යාපන තත්වය ඒකාකාරයක් නැත. එබැවින් පුහුණු ගුරුවරුන් විසින් තුන් අවුරුදු කාලෙසීමාව තුළ දී පහසු උපරිම ශාස්ත්‍රීය අධ්‍යාපනයක් දීමට උත්සාහ කරනු ලබයි. ඇතුළත් වන විට ප්‍රමාණවත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා සිටි අය ප්‍රසිද්ධ විභාගවලට ඉදිරිපත් කිරිම පිණිස අවට අධ්‍යාපන ආයතනවලට යවයි. ආගමික අධ්‍යාපනයක් ද දීම කෙරේ. උද්යෝගිමත් කිරීමක් වශයෙන් සතිපතා සාක්කු කාසි ගෙවිම වැඩි කරන ලද නිවාඩු විවේක කලය ගත කිරිම සහ නිසි කාලයට පෙර නිදහස් කිරීම ආදී වරප්‍රසාද ද ක්රමනුකූල ලකුණු ක්‍රමයක් අනුව සපයනු ලැබේ. බලපත්‍ර පිට නිදහස් කරන්නේ ස්ථිර ප්‍රගතියක් දක්වන අය පමණකි. මැටියෙන් ඇඹීම, පින්තාරු, නෘත්‍ය හා සංගීතය, පාසල්වල ඇති කළ ක්රියාමාලාවන්ට ඇතුළත් වේ. බාලදක්ෂ ව්‍යාපාරය ද ජනප්‍රිය විය. ළමුන් ශ්‍රමදාන කඳවුරු කිහිපයකට සහභාගී වීමෙන් පුරවැසි වගකීම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගනිති. 1968/69 වර්ෂය තුළ ඇතුළත් වීම් දෙස බලන විට පිරිමි ළමුන් වැඩි දෙනෙක් සොරකම් කිරීමේ වරද නිසාත් ගැහැනු ළමයින් භාරය සංරක්ෂණය සඳහාත් ඇතුළු වී ඇත.
බාලාපචාරිනීන් සඳහා දිවයිනේ ඇති එක ම අනුමත කළ පාසල මග්ගොන දියලගොඩ ශාන්ත වින්සන්ට්ගේ පාසලයි. රෝමානු කතෝලික විනෙහිවරු මෙය පාලනය කරති. මෙම පාසල රජයේ ආධාරයෙන් 1898 දී පිහිට වූ අතර සහතික කළ පාසල්වල කාර්යයන්ට මෙම පාසල් වැඩමාලා ද සමාන වේ. මෝටර් කාර්මික වැඩමුළු, මුද්‍රණ වැඩ, පෙදරේරු වැඩ සඳහා මෙහි පුහුණුවීමට සලසා ඇත. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන පාසලෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය සලසයි.
පසුභාරය සහතික කළ පාසල්වල පුහුණුවේ අඛණ්ඩ කොටසකි. ළමයා පාසලට ඇතුළත් කළ දිනට පසුභාර වැඩ අරම්භ කරයි. නිදහස් කිරීමෙන් පසු නිදහස් ව යන දිනය කලින් දැනගත නොහැකි වීම පාසලට මුහුණදීමට වන ගැටලුවකි. ඔහු නිදහස් වී යන ගෙදර ගෘහ තත්වය දූෂිත නම් සමාජ විරෝධී හැසිරීම්වලට තුඩුදුන් පරිසරයකට ම ළමයා ආපසු යාමෙන් ලැබූ පුහුණුවේ ප්‍රයෝජන හීන වී යයි. ළමයා පාසලේ සිටින අතර ඔහුගේ ආපසු පැමිණීම සඳහා ගෙදර සකස් කිරීම පසුභාර නිලධාරිතුමාගේ වගකීම වේ. ඔහුගේ දකෂතාවය අනුව ගෙදර තත්වය යහපත් කිරීමේ ප්‍රමාණය උසස් වේ.
නේවාසික ළමාරක්ෂක සේවය : රජයේ භාර ගැනිමේ නිවාස හා ස්වේච්ඡා නියෝජන නිවාස මේවාට අදාළ ය. ස්ථිර ව හෝ තාවකාලික ව සාමාන්‍ය ගෘහ ජීවිතය අහිමි ළමයිනට ආරක්ෂාව සලසා දීම ළමා නිවාස පිහිටුවා ඇත. වැඩිහිටියන් නැති අනාථ ළමුන්, රෝහල්වල, ප්‍රසිද්ධ මර්ගවල, දුම්රිය පොළවල්වල හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල අත්හැර යන ළමුන් මේ ගණයේ අයයි. පලුදු වූ පවුල් සම්බන්ධකම් නිසා ගෙදර දොර වාසය නුසුදුසු තත්වයට වැටුණු ළමුන්ට ද නැවත භාර ගැනීමට සුදුසු තත්වයට පැමිණෙන තුරු මෙම නිවාස මගින් තාවකාලික ආරක්ෂාව ලබා දේ. ගෙදර තත්වය සමථයකට පත් කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීහු කටයුතු කරති. අත්හළ අතරමං වූ ළමයින්ගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ සොයා ඔවුන් භාර දීමට ක්ෂේත්‍ර නිලධාරීහු මුලින් ම උත්සාහ ගනිති. එසේ නොහැකි වූ විට නීත්‍යනුකුල ව දරුකමට හදා ගැනීමට දිමට හෝ කිසිත් නොහැකි නම් ළමා නිවාසවලින් ආරක්ෂාව සපයයි. 1968-69 වර්ෂය තුළ දී දෙපාර්තමේන්තුව පානදුර, ගාල්ල, යාපනය, බණ්ඩාරවෙල, කලපලුවාව යන ස්ථානයනහි භාරගැනීමේ ළමා නිවාස 05ක් පාලනය කරන ලදි. දෙපාර්තමේන්තුවේ භාර ගැනීමේ නිවාසවලට ඇතුළත් කරන ළමුන්ගේ භාරය හා ආරක්ෂාව ආධ්‍යාත්මික හා කායික දියුණුව - සැපදායක වාතාවරණයක් ඇති කිරීම මෙම නිවාසවලට අනුබද්ධ කරන ලද සේවා මණ්ඩල වල වගකීමය. අවශ්‍ය වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ද නිලධාරී මණ්ඩලය ක්‍රියා කළ යුතුයි. සහල් සලාක පොත් නැති ළමුන්ට ඒවා ද උපත් සහතික නැති ළමුන්ට ඒවා ද ලබාදීම ගැන මෙම නිලධාරීහු සැලකිලිමත් වෙති. ළමුන්ගේ දියුණුව හා ප්‍රයෝජනය සඳහා කල්පනාකාරී ව වැඩ පිළිවෙළවල් සකස් වන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා ඇගයුම් කිරීම හා ඉතිහාසය හා පවුලේ පරිසරය පිළිබඳ තොරතුරු සපයා ගැනීමත් ළමුන් කිට්ටුවෙන් නිරීක්ෂණය කිරීමේ පහසුකම් හා ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා හා ආරක්ෂාව ලබා දීමත් මේ ළමා නිවාසවල කාර්ය වේ.
නේවාසික ළමා අයතන අතර අනාථ හා අසරණ ළමයින්ට මහත් සේවයක් ස්වෙච්ඡා නියෝජන නිවාස මගින් ද ඉටු කරනු ලබයි. මෙයට ළමා නිවාස හා අනුමත නිවාස යන දෙකොටස අදාළ වේ. මේ ළමා නිවාසවලට ළමුන් ඇතුළත් කරනුයේ ප්‍රධාන වශයෙන් භාර ගැනීමේ නිවාස මගින් ය. අවශ්‍ය විමර්ශනවලින් පසු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති ව පලුදු වූ පවුල් සම්බන්ධකම් නිසා අසරණ වූ ළමුන් මේවාට ඇතුළත් කරයි. දෙපාර්තමේන්තුව මසකට ළමයෙකුට රුපියල් 25ක නඩත්තු මුදල් ගෙවයි. එය නඩත්තුව සඳහා ප්‍රමාණවත් නොවේ. එසේ තිබිය දීත් මේ ළමා නිවාස ළමුන් සඳහා කරන සේවය විශාල ය. මේ ළමා නිවාසවලට ළමුන් ඇතුළත් කළ පසු බොහෝ දෙමාපියන් ළමුන් හා සම්බන්ධතා අත්හැර ඇති බවක් පෙනේ. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ උද්යෝගිමත් ක්‍රියා මාර්ග තරමක් දුරට හෝ එම සම්බන්ධකම් තහවුරු කිරීමට හේතු විය. දෙමාපියන්ට අවනත නොවීම නිසා භාරය හා සංරක්ෂණය අවශ්‍ය බාලාපචාරී ළමුන් පුනරුත්ථාපනය හා පුහුණුව පිණිස නිවාසවලින් තාවකාලික ව වෙන් කිරීම අවශ්‍ය බව පෙනි ගිය විට ස්වේච්ඡා නියෝජන නිවාසයන්හි අංශයක් වන අනුමත නිවාසවලට ඇතුළත් කරයි. නේවාසික කාලය අවුරුදු 01 සිට 03 දක්වා වෙනස් වේ. මේවායේ වෘත්තීය පුහුණුවක් ළමුන්ට ලබා දේ.
මූලික අවශ්‍යතා නොලත් ළමුන් සඳහා එම අවශ්‍යතා හා අයිතිවාසිකම් ලබාදීමට ළමා සුභසාධක කටයුතු වශයෙන් විශේෂයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපර්තමේන්තුව මගින් ද ඒ හැරුනු විට ස්වේච්ඡා ආයතන මගින් ද කෙරෙන සේවා පිළිබඳ විස්තර සලකා බැලීමෙන් අනතුරුව මේ සේවා පිළිබඳ අගය කිරීමක් අවශ්‍ය වේ.
දෙපාර්තමේන්තුවේ ළමාරක්ෂණ සේවයේ කාර්යයක් වන සහතික පාසලේ ක්‍රියාකාරීත්වය දෙස බලමු. එහි පුහුණුවීම් කාලය අවුරුදු 03කි. පාසලට ඇතුළත් කරනු ලබන්නේ චරිත දූෂණයට ලක් වූ හෝ නොමඟ ගිය හෝ ළමුන් ය. මොවුන් අවුරුදු 03ක කෙටි කාලයකින් පුනරුත්ථාපනය කිරීම එතරම් පහසු නැත. ඒ හැරුනු විට සහතික පාසලට ගොස් යහපත් චරිතයක් ඇති ව සිටියහොත් අවුරුදු 03ට පෙර නිදහස් කරනු ලැබේ. ඒ නිසා ඉක්මනින් නිදහස් වීමේ චේතනාව ඇති ව ළමෝ හෙඳින් හැසිරෙති. මේ තත්වය යටතේ පුනරුත්ථාපනය හරියාකාර ව ඉටුවීමක් සිදු නොවේ. තවද සාර්ථක පුනරුත්ථාපනයක් සඳහා සහතික කළ පාසල්වල ගුරුවරුන්ගේ හැකියාව වැදගත් වේ. මේ පාසල්වල ගුරුවරුන් ඒ සඳහා සුදුසු වන තත්වයක් නොපෙන්වයි. ඔවුන්ට ඒ සඳහා තීක්ෂණ බුද්ධියක් හා අධ්‍යාපනික පුහුණුවක් නැත. ළමුන්ගේ වැරදි හරිගස්වා ඔවුන් හරි මාර්ගයේ යැවීමට නම් හොඳ අධ්‍යාපනයක් ලැබූ විශේෂඥ පුහුණුවක් ඇති ආචාර්ය මණ්ඩලයක් අවශ්‍ය ය. සහතික කළ පාසල්වල පරමාර්ථ හරියාකාර ක්‍රියා කරවීමට මෙබඳු තත්වයක් අවශ්‍ය ය. ළමුන් සඳහා සේවාව සැලසෙන්නෙ එවිට ය.
මෙම සාකච්ඡාවට ලක් වූ දෙපාර්තමේන්තුවෙන් කෙරෙන අනෙක් සේවය ළමාරක්ෂක සේවයයි. ළමාරක්ෂක සේවයේ මූලික පරමාර්ථය අනාථ අසරණ වූ හා පලුදු වූ පවුල්වල ළමයින්ට නොලැබි ඇති මූලික අවශ්‍යතා ළමා නිවාස මගින් සපයාදීමයි. නමුත් අනාථ නිවාසයක දී ගෘහයේ දී මෙන් ආදරය ආරක්ෂාව සැලසිය හැකි ද යන්න ප්රශ්නයකි. ගෙදර දී ළමයාට ලැබෙන ආදරය හා සැපපහසුකම් ආයතනයේ දී සැලසීම දුෂ්කර ය. ළමුන් සමූහයකට පෙදුවේ ආයතන මගින් සලසන සේවය නිවසේ දී ලබා ගන්නා ආදරය ආරක්ෂාවට කිසිසේත් සම කළ නොහැකි ය. එම නිසා ළමා අවශ්‍යතා සපුරාලීම ඉතා සාර්ථක ලෙස ළමා ආයතනවලින් ඉටු වේ ය යන්න නිවැරදි නිගමනයක් නොවේ.
පොදුවේ බලන විට ළමා සුභසාධනය වශයෙන් මෙන් ම කෙරෙන කාර්යයන්හි සෑහීමකට පත් ව ඇති දියුණුවක් ඇති වී නැත. නමුත් සුළු ප්‍රමාණයක සාර්ථකත්වයක් දරණ බව නම් කිව යුතු ය. එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මහජන සහය ලැබීමක් අප රටේ ඇත්තේ නොවේ. වෙනත් දියුණු රටවල මෙන් ජනතාව තුළ අවබෝධයක් හා ආශාවක් ජනතාව තුළ ඇති කළ යුතු ය. මහජනතාව හෝ රජයේ ඒ අවබෝධය හා උද්යෝගය තුළින් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග මගින් ළමා සුභසාධන කටයුතුවල දියුණුව හා සාර්ථකභාවය ළඟා කර ගත හැකි ය.
(කර්තෘ: චන්ද්‍රා:)
(සංස්කරණය නොකළ)