අහමඩ් ඉබ්න් හන්බාල්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:51, 20 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Ahmad ibn Hanbal) (ක්‍රි.ව.780-855). ඉස්ලාම් නීති ශාස්ත්‍රය පිළ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ahmad ibn Hanbal) (ක්‍රි.ව.780-855). ඉස්ලාම් නීති ශාස්ත්‍රය පිළිබද පුරාණ මත ගරුක ගුරුකුල (මධබ්) සතරෙන් එකක් වූ හක්බාල් ගුරු කුලයේ ආදිකර්තෘ වූ මොහු ශ්‍රේෂ්ඨ දේව ධර්මවරයෙකි, නීතිවේදියෙකි, ඉතිහාසඥයෙකි, ව්‍යාකරණඥයෙකි. ඉරාකයේ බැග්ඩෑඩ්හි ඉපදුණු ඔහු වක්තෘන්ගේ හාසිත් (සම්ප්‍රදායෙහි) එක්රැස් කිරීම සදහා සිරියාව, ඉරාකය, හිජාස් හා යේමනය පුරා බහුල ව සංචාරය කළ බව කියති. මෙහිලා ඔහු හාසිත් කෝටි ගණනක් කටපාඩමින් දත් බව ද කියති.

රටරටවල සංචාරයෙන් පසු පෙරළා බැග්ඩාඩයට පැමිණි ඔහු එකල අල් සාෆි නම් ශ්‍රේෂ්ඨ ආගමික නීති විශාරදයාගේ අනුගාමික ගෝල පිරිසට එක්විය. ශ්‍රේෂ්ඨ පාණ්ඩිත්‍ය හා අචල ශක්තිය ගැන උසස් කීර්තියක් ලත් ඔහු හාසිත් සම්ප්‍රදායන්වලට ශ්‍රේෂ්ඨතාවයක් ලබා දුන්නේ ය. ඔහුගේ ඉගැන්වීම්වල කැපී පෙනෙන ලක‍්ෂණය වූයේ හාසිත් සත්‍යාසත්‍යතාව ප්‍රශ්නයට තුඩු දෙන තරම් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මූලික පදනම විය යුත්තේ හාසිත් බවත්, නඩු විසඳන්නවුන් විසින් නඩු විනිශ්චයේ දී හාසිත් ගැන නොසලකා තර්ක විතර්ක නොකළ යුතු යැයි පැවසීමත් ය. ග්‍රීක දර්ශනය ප්‍රචලිත වෙමින් තිබුණු අවධියක මෙන් ම මුටාසිල් ගුරුකුලයේ තාර්කිකවාදය අල්-මාමුන් (813-33) කාලිප්වරයාගේ අනුග්‍රහය ලද අවධියක ඉබින්-හන්බාල් නිරායාසයෙන් ම සම්මත දේවධර්මය හා ගැටුණි. එ් හේතුවෙන් හෙතෙම මිථ්‍යාදෘෂ්ටිකයෙක් යැයි චෝදනා ලැබ සිරගත කරනු ලැබී ය. එහෙත් ඔහුගේ අනුගාමික පිරිස් අඩු නොවී ය. පසුකාලයක දී අල්-මුටවක්කිල් (847-61) කාලිප්වරයා දැඩි සාධර්මය (පුරාණමත) නැවත පිහිටුවීමත් සමඟ මෙතෙක් විඳි කරදර වෙනුවට හක්බාල්ට මහත් ගරු නම්බු ලැබිණ. වයස අවුරුදු හැත්තෑවේ දි මියගිය හන්බාල්ගේ අවමංගල්‍ය සඳහා මුළු බැග්ඩෑඩ් ජන සමූහයා ම පැමිණි බව සඳහන් වේ. දොළොස් වැනි ශත වර්ෂයේ දී ටයිග්‍රීස් ගංවතුරින් විනාශ වී යනතුරු ඔහුගේ සොහොන පූජනීය ස්ථානයක් විය.

ප්‍රශ්න-උත්තර විලාශයෙන් ග්‍රන්ථාරූඪ කරන ලද ඔහුගේ ඉගැන්වීම් ඇතුළත් කෘති අතර ඉතා වැදගත් වනුයේ හාසිත් 30,000ක් පමණ හා හන්බාල් හා ඔහුගේ පුත්‍රයාගේ අටුවා අඩංගු මුස්හඩ් නම් ග්‍රන්ථයයි. බෝහෝ විට අන්තවාදී පක්ෂයට බර වූ ඔහුගේ ඉගැන්වීම් ශතවර්ෂ ගණනාවත් තිස්සේ ප්‍රධාන වශයෙන් සිරියාව හා ඉරාකය පුරා ජනප්‍රිය විය. ඔහුගේ ගෝලයන් අතර අවසාන වරට කැපී පෙනෙන අයකු වූයේ ඩැමස්කස්හි දේවධර්මධර ඉබ්න් තායිෂියා ය. මධ්‍යයුගයේ දි පරිහානියට පත් වූ හන්බාල් ගුරුකුල අරාබියාවේ පමණක් දහඅට වැනි ශතවර්ෂය දක්වා ප්‍රචලිත විය.

දහඅට වැනි ශත වර්ෂයේ දී වහාබයිට් ගුරුකුලය ආරම්භ කළ අබ්ද් අල් වහාබ්ගේ ඉගැන්වීම්වල පදනම වූයේ හන්බාල් ඉගැන්වීම් ය. එබැවින් නපද්, වයඹ දිග, ඉන්දියාව ආදී ප්‍රදේශවල ප්‍රචලිත වූ හන්බාල් ඉගැන්වීම් සුන්නි භක්තිකයන් විසින් පිළිපදිනු ලැබේ.

හන්බාල්ගේ දරුවන් වූයේ Abd Allāh ibn Aḥmad Ibn Ḥanbal හා Ṣāliḥ ibn Aḥmad Ibn Ḥanbal යන දෙදෙනා ය.

Al-Shafi'i, Yahya ibn Ma'in, Abu Yusuf, Sufyan ibn ʽUyaynah, Abd al-Razzaq al-San‘ani, Khalifah ibn Khayyat වැන්නවුන්ට හන්බාල්ගේ අදහස් බලපා තිබේ.

ක්‍රි.ව. 855 අගෝස්තු 2වන දින ඉරාකයෙහි බැග්ඩෑහි දී මියගිය හන්බාල්ගේ දේහය බැග්ඩෑහි දී මිහිදන් කෙරිණ.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: 1969)

(සංස්කරණය නොකළ)