හෙනකඳ බිසෝබණ්ඩාර

සිංහල විශ්වකෝෂය වෙතින්
18:45, 25 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගම්පොළ රාජ සමයේ දී දේවත්වයට පැමිණි බිසවකැයි සැළකෙන මැය ද බණ්ඩාර දේවි නාමය ලැබූවකු බව පෙනේ. බෙලි ගෙඩියකින් උපන්නාහයි ඇදහෙන මැය රූප ශෝභාවෙන් දෙවඟනක හා සමාන වූ බව ද වික්‍රමබාහූ රජුගේ මෙහෙසියක් වූ බව ද ජනයාගේ ඇදහීම වේ.

ඈත අතීතයේ පටන් ලක්වැසියන්ගේ ගෞරව භක්ති ප්‍රසාදයට ලක් ව පුද සත්කාර ලබන දෙවි දේවතාවෝ බොහෝ වෙති. ඔවුන’තර ඇතැම්හු විදේශිකයෝ ය. සමහරු ස්වදේශිකයෝ ය. විෂ්ණු, මහේශ්වර, නාථ, අයියනායක, කතරගම, පත්තිනි, පුල්ලෙයියාර් (ගණදෙවි) ආදීහු යම් යම් හේතූන් නිසා ඉන්දියාවෙන් පැමිණි දෙවිවරු ය. සමන්, මහසෙන්, උපුල්වන්, දේවතා බණ්ඩාර, ගලේබණ්ඩාර ආදී දෙවිවරු ස්වදේශිකයෝ ය. ඒ මේ ස්වදේශික දේව සංඛ්‍යාවට ඇතුළත් විය යුතු දේවතාවකි, හෙනකඳ බිසෝ බණ්ඩාර.

ඕ තොමෝ ගම්පොල රාජධානිය කොට ගත් තුන්වැනි වික්‍රමබාහු නරේන්ද්‍රයන්ගේ අග බිසෝවකි. ඇගේ උපත සහ ජීවිතය වටා ගෙතුණු ඇදහිය නොහැකි තරම් වූ අද්භූත ප්‍රවෘත්ති මහත් රැසකි. ඒ තොරතුරු බොහෝ සෙයින් ම ජනප්‍රවාදයේ එන අතර ‘හෙන්ඩත් හේරත් බණ්ඩාරවලිය’ වැනි පැරණි ලියවිලිවල ද සඳහන් ව තිබේ. එකී වෘත්තාන්ත අනුව හෙනකඳ බිසෝ බණ්ඩාර පිළිබඳ කථාව මෙසේ ය. ඈ ඉපදී ඇත්තේ උඩුනුවර මාත්ගමුව නම් ගම් පියසේ ය. එගම විසූ ගම්මුදලි කෙනෙකුගේ ගෙවත්තේ බෙලිගසක අසාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක් හටගෙන තිබෙනු දුටු හෙතෙම එය යාන්තම් රන්වන් පැහැය ගත් පසු එකල පැවැති සිරිත අනුව එය රජදැක්ම සඳහා ගෙන යනු පිණිස අවස්ථාව එළඹෙන තුරු පෙට්ටගමක දමා ගෙයි මුල්ල සුරක්ෂිත කොට තැබී ය. දිනක් ගම්මුදලිත් ඔහුගේ බිරිඳත් සතුටු සාමීචියක යෙදී සිටිය දී ගෙතුළින් යමක් මහ හඬින් පිපිරෙනු ඇසී මහත් කුතුහලයට පත් දෙදෙනා ම වහා ගෙට වැදී පිරික්සූහ. ඔවුන්ගේ ඉමහත් විස්මයට හේතුවක් සිදු වූ බව පෙනුණේ ගෙමුල්ලේ වූ පෙට්ටගම පිරික්සීමෙනි. එහි තිබුණු බෙලි ගෙඩිය දෙකට පැළී එමැදින් සිඟිති දැරියක් පහළ ව සිටින බව දුටහ. ඒ දැක්වෙන් පුදුමයට සහ ප්‍රීතියට පත් ඔවුහු එම දැරිය මහත් ගෞරව සම්ප්‍රයුක්ත ව ඇති දැඩි කළෝ ය. ඇය වැඩෙත් වැඩෙත් ම මනුෂ්‍යත්වය ඉක්ම දේවත්වයට නෑකම් කිව හැකි පමණ රූපශ්‍රීයෙන් යුක්ත වූවා ඒ වග රටතොට ප්‍රකට වන්නට ද විය.

රජතුමාට ද ඒ තොරතුරු සැළ ව ගියෙන් ඇය තමන් වෙත ගෙන්වා අභිෂේක කොට අගබිසොව බවට පත් කළේ ය. කතරගම දෙවියන් කෙරෙහි අතිමාත්‍ර භක්තියකින් වෙළී ගිය ඕ තොමෝ නිරන්තරයෙන් දේව ප්‍රණාමයෙහි නිරත වූවා මානුෂික ජීවිතයට අයත් ගතිපැවැතුම් අමතක කර අමානුෂික දෛවීය ජීවිත ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නට පටන් ගත්තා ය. ඇගේ එම තත්ත්වය රජුට ද පෙනී ගියේ ය. මහජනයා ද එය දැනගත්හ. නිසැකයෙන් ම ඒ අනෙකක් නොව කතරගම දෙවිඳුගේ මහේෂිකාවගේ පුනරාවතාරයක් ම විය යුතු යයි සිතූහ, පිළිගත් හ. රජතුමා ද ඇගේ අභිලාෂය පරිදි සිංහල ගෘහ නිර්මාණයෙහි අතිශ්‍රේෂ්ඨ සංකේතයක් කොට සම්භාවනයට පාත්‍ර ව ඇති ඇම්බැක්කේ දෙවොල ඉදිකරවීමේ කාර්ය සම්පාදනයෙහි යෙදවීය. කතරගම දෙවියන් වෙනුවෙන් තැන වූ එම දේවාල කටයුතු සංවිධානයෙහි යෙදී සිටි වකවානුවේ බිසෝ බණ්ඩාර නැවතී සිටියේ උලපනේ අසල සැවැන්දරපිටිය නම් ස්ථානයෙහි දෙවොලක් බඳු කුටියක බව කියැවේ. එතැන සිට දිනපතා ඇම්බැක්කය කරා යන එය ඈ රෑ බෝ වනතුරු එහි රැඳී සිට ඇතැම් විට හුලු එළියක් පවා ගෙන ආපසු ආවා ය. එසේ එද්දී කළුවර රැයෙක ඉළුපැන්දෙණිය නම් ගමේ නිවසකින් එළියක් ඉල්වා සිටියා ය. එහෙත් එහි වූ ගම්දෙටුවා “කණවැන්දුම් ගෑනුන්ට හුළු අතු බඳින්නට මට බැරියැ”යි පවසා ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ නොසරුප් බසින් කෝපයට පත් ඇය කිසිත් නොකියා පැමිණ රජවාසලට පණිවුඩ යවා පසු දා උදේ වධකයන් ද සමඟ පැමිණ එම මිනිසා අල්වා යකඩ පුටුවක හිඳුවා ගිනි දල්වා මරා වූ බවක් ද කියැවේ. තවද එම ගම්දෙටුවා සතු වූ ගම්වර සියල්ල එම යකඩ පුටුව තැනූ ආචාරියාට දුන් බව විශ්වාස කරනු ලැබේ. අරත්තන නම් ගම්වරය එසේ ලැබු ආචාරියගේ පරපුරේ අය තවමත් එය භුක්ති විදිති.

විචිත්‍ර කැටයම් සහිත කණු රාශියක් යොදා කැර වූ ඇම්බැක්කේ දේවාලයේ අදත් දක්නට ලැබෙන වටකුරු ලීයකට පරාළ හතළිහක් වද්දා නිමවා ඇති මඩොල් කුරුපාව නම් කැණිමඩල විශිෂ්ට නිර්මාණයකි. ඇගේ ඥාන ශක්තිය සහ ධෛර්යය යොදා රමණීය ලෙස දේවාල කර්මාන්තය නිමාවට පත් කරත් ම මිනිසුන් විසින් ඇය දේවත්වයට පත් කොට අවසාන ය. ජීවමාන ව සිටිය දී ම දේවත්වාරෝපණයෙන් සම්මානනය කරනු ලැබූ හෙනකඳ බිසෝ බණ්ඩාරගේ ජීවිතයෙහි අවසානය සිදු වී ඇත්තේ ද අබිරහස් පරිදි ය. මහජන මතය වූයේ දෙවියන් විසින් ම ඇය මනුෂ්‍යාත්මසයෙන් මුදවා දේවත්වයට නැඟූ බවයි.

මැයගේ මරණය ගැන උණම්බුවේ අධිකාරම් මගින් තොරතුරු ඇසූ රජතුමා දින පහක් අවමඟුල් පෙරහැර පැවැත්වීය. රහස්‍යාකරයෙන් අවසන් හුස්ම හෙලූ ඒ තේජෝ බල පරාක්‍රමයෙන් යුත් කාන්තාවගේ මෘත ශරීරය - මරණය පිළිබඳ ර‍හස වඩාත් රහසක් ම කරනු පිණිස කහටලීයෙන් තැන වූ දෙනක බහා පියන් පතකින් වසා මහවැලි ගඟේ පා කර හරින ලදි. මෙලෙස පා කර හරින ලද දේහය ගම්පොළ නුවර පාරේ 11 සැතපුම් කණුව අසළ පිහිටි මහානුභාවසම්පන්න දේවස්ථානය (මුස්ලිම් පල්ලිය) පිහිටි ස්ථානයට පාවී අවුත් ගොඩට ආ බැවින් එම ස්ථානය කලින් පැවතියා වූ බෝතලාපිටිය වෙනුවට කහටපිටිය යන නමින් හැදින්වීම ආරම්භ වූ බවත් කියනු ලැබේ. එම ස්ථානය දැනට පෝරුතොට වශයෙන් ද හැඳින්වෙන බව කියැවේ. දැනුත් ඇම්බැක්කේ දේවාලයේ වාර්ෂික පෙරහැර අවසානයේ දිය කැපීමේ මංගල්‍යය සිදුවන්නේ එහි දී ය. එම උත්සවයේ විශේෂ ලක්ෂණය නම් හෙනකඳ බිසෝ බණ්ඩාරගේ අභිරහස් මරණය සිහිකිරීම පිණිස පෙරහැරේ කපුරාලවරු කාංශන ඉස්සෝලියල්වලින් ශරීරය වසාගෙන ශෝකී විලාසයෙන් ගමන් කරති.

තවද ඇගේ දේහය බෝතලාපිටියේ (නොහොත් කහටපිටියේ) ආදාහනය කොට ඈ නමින් එතැන දේවාලයක් කළ බව කියැවේ. ඇම්බැක්කේ දේවාලයට අධිගෘහිත දෙව්දුවක වූ ඇය මහානුභාවසම්පන්න වූ හෙයින් ඇයට ගරු කිරීමක් වශයෙන් ඇම්බැක්කේ දේවාලය, වල්ලනගොඩ දේවාලය, ගඟේගොඩ දේවාලය, වේගිරියේ දේවාලය යන දේවාලයන්හි දිය කැපීමේ උළෙලට කහටපිටියේ හෙනකඳ බිසෝබණ්ඩාර දේවාලය අසළ ගංතෙරට පැමිණෙන බව කියති. වත්මන්හිදු ඇම්බැක්කේ දේවාලය ඇසළ පෙරහැරේ කපුවන් ඇගේ අවමඟුල සිහිවීම සඳහා කාංගං ඉස්ඹලිපියල් ඇති ව ඒම ද උණම්බුවේ හා කහටපිටියේ උසස් පවුල්වල අය විසින් පළමුව සඳුන් හරයකුත් කාංගමකුත් රීදි පඬුරු දහයකුත් පිදුවායින් පසුව සේසත් පඬුරු ඔප්පු කිරීම ද අදත් සිරිතක් වශයෙන් කෙරේ. හෙනකඳ බිසෝබණ්ඩාරගේ පුවත ඇතුළත් පැරණි ලියකියවිලිවල දක්නට ලැබෙන පද්‍ය කිහිපයකි මේ.

තිදස ඉසුරු මෙන් සව්සිරි පිරිතිර

සහස නෙතසෙ සැදි ගම්පොල එනුවර

දියත පතළ මෙත් මුලු ලොව එළිකර

මෙලෙස එරජ රජ කර වැජඹෙන වර


පිරිසඳයුරු තුනුරුව සහ යසසින්

හෙනකඳ බිසෝ බන්ඩාර අදහසින්

ගෙන සොඳ එනිරිඳු හට අග මෙහෙසුන්

සිරි විඳ වැජඹුණි ඉඳ රස පහසින්


හෙනකඳ බිසෝ බණ්ඩර තොමො ගඟෙ පාවෙනවා

පාවෙමින් ම ගඟ සිරිපුර අසල වඩිනවා

කහට කොට සමඟ දේවි පිටියෙ රැඳෙනවා

එදා පටන් කහටපිටිය නම පවතිනවා


පවර හෙනකඳ බිසෝ බණ්ඩර නුබ මගින් යන දේවි දේවී

කතරගම දෙවිඳුගෙන් ලැබගෙන ඇම්බැක්කෙ දේවාල පදවී

නිතර මේ ලෙව් සතට පිහිට ව නොයෙක් උවදුරු රෝග දුරු වී

අතර මේ රට සැමට වැඩ විය බිසෝ බණ්ඩර දේවි දේවී


හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය රටටත් රට වැසිටන්ටත් ඉමහත් සේවයක් සිදු කළ බව පෙනේ. ඇය වෙනුවෙන් කළහැයි සැළකෙන තවත් දේවාලයක් කොළඹ නුවර පාරේ පහළ කඩුගන්නාවේ 60-61 සැතපුම් කණු අතර වේ. ඇය විසින් කරන ලද සේවාව ගැන ආන්ද්‍රෙයාස් හැල් මහතා විසින් පළ කරන ලද ඉහත සිව්පදයෙන් ද පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ

ගම්පොළ යුගය  : ගරු කහටපිටියේ ධීරානන්ද හිමි ශ්‍රී ලංකා සඟරාව : 1954 ඔක්තෝම්බර් කලාපය, රාජ්‍ය ප්‍රවෘත්ති දෙපර්තම්න්තුව

(කර්තෘ: පණ්ඩුල ඇඳගම | හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1972; 1968)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හෙනකඳ_බිසෝබණ්ඩාර&oldid=4552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි