මේජර් ඇඩම් ඩේවි
(Major Adam Davie). බ්‍රිතාන්‍ය යුද හමුදාවේ සේවය කළ මේජර්වරයෙකි. 1803දී මේජර් ජනරාල් මැක්ඩොවෙල් යටතේ මහනුවර ආක්‍රමණය කළ ඉංග්‍රීසි හමුදාව නගරය යටත් කොට හඟුරන්කෙත රජමාලිගාව ගිනිබත් කළේ ය. මර්දර් මුත්තුසාමි කුමරා රජකමට පත් කළේ ය. කැලෑ උණ රෝගය නිසා ඔත්පළ වූ මැක්ඩෝවල් ආපසු එන විට අකමැත්තෙන් වුව ද මහනුවර පාලනය භාර ගැනීමට ඩේවිට සිදුවිය.
සැඟවී සිටින රජු සොයා යාමට හේවායන් 600කින් යුත් හමුදාවක් පිළිමතලව්ව අදිකාරම ඩේවිගෙන් ඉල්ලා සිටියේ ය. ඩේවි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙන්, කෝපයට පත් අදිකාරම ඩේවිගෙන් පළිගැනීමට ඉටා ගත්තේ ය. ඒ අනුව ඉංග්‍රීසි හමුදාවේ සේවය කළ ජා හේවායන්ගේ සිත් දූෂ්‍ය කිරීමටත් මංමාවත් අවහිර කිරීමටත් ඔහු පටන් ගත්තේ ය. මෙකල දේශගුණය ද බෙහෙවින් අහිතකර වීම හා ආහාර හිඟ වීම නිසා හේවායන්ට මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවිය. බොහෝදෙනෙකු රෝගාතුර වූ අතර ජා හේවායන් බොහෝ දෙනෙක් පලා ගියේ ය.
පලා ගොස් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මේ අවස්ථාවේ දී විශාල හමුදාවක් රැස්කර ගෙන ඩේවිගේ කොටුව වැටලී ය. තමන්ට පරාජය අත්වන බව දුටු ඩේවි කොන්දේසි පිට යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කළේ ය. සටන් නවත්වා පිළිමතලව්වේ හා ඩේවි අතර සාකච්ඡාවක් පවත්වන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුත්තුසාමි හා සේනාව කැටුව කොටුව අතහැර ත්‍රිකුණාමලයට යෑමටත්, වෙඩි බෙහෙත් හා කාලතුවක්කු ඇතුළු සියලු ම බඩු පිළිමතලව්ව අදිකාරමට භාරදීමටත් ඉංග්‍රීසින්ට සිදුවිය. රෝගීන්ට සාත්තු සප්පායම් කොට සුව වූ පසු ඔවුන් කොළඹට යැවීමට අදිකාරම ගිවිස්සේ ය.
මේජර් ඩේවි කොටුව අතහැර සේනාවත් සමඟ පිටත් විය. එහෙත් පිලිමතලව්ව විසින් දෙන ලද නියෝග ගැන ඇසූ රජු බලවත් උදහසට පත්ව මුත්තුසාමි ඇතුළු පිරිස ආපසු අල්ලා ගෙන එන ලෙසට නියෝග කළේ ය. ඩේවි මුල දී මීට විරුද්ධ වුවත් පසුව එම නියෝගයට යටත් වීමට ඔහුට සිදුවිය. මුත්තුසාමි සහ ඔහුගේ නෑයන් හිස ගසා මැරීමට නියම කළ රජු ඩේවි ඇතුළු පිරිස මහනුවරට කැඳවා ගෙන ගොස් සිරකිරීමට නියම කළේ ය. අනතුරුව ඩේවි තනිකොට සෙසු හේවායන්ගෙන් වැඩි කොටසක් මරා දමන ලදි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඩේවිට රන් මාලයක් හා කඩුවක් තෑගි කොට පල්ලේ වාහල ම පදිංචි කරවා දිසාව පදවියක් ද පිරිනැමුවේ ය. ඉඩකඩම් හා භාර්යාවන් දෙදෙනෙකු ලබා දුන්නේ ය.
ඩේවි ඉංග්‍රීසීන් සමඟ රහසිගතව ලියුම් හුවමාරු කරගන්නා බව අසු වූ විට රජු ඔහු පල්ලේ වාහලින් පිටමං කොට හඟුරන්කෙත, ගොමගොඩ, නාපාත, හුරිකඩුව යන ගම්වල විසීමට පහසුකම් සලසා දුන්නේ ය. හේ තමාට ඉඩ ලැබුණ පරිද්දෙන් ආදායම් ඒජන්ත ඇලෙක්සැන්ඩර් වූඩි, ආණඩුවේ ලේකම් විලියම් බොයිඩ් ආදී නිලධාරීන්ට තම තත්ත්වය කියා හසුන් යැවී ය.
ඩේවි බේරා ගැනීමට ඉංග්‍රීසි පාලකයෝ බොහෝ උපක්‍රම යෙදූහ. එහෙත් ඒවා පල රහිත විය. තැරැව්කාරයින් මඟින් මුදල්, බෙහෙත් ඇඳුම් පැළඳුම් ආදිය සපයන ලදී. නිල වශයෙන් ඔහු නිදහස් කරගැනීමට යෝජනා කලවිට රජු කියා සිටියේ ඒ සඳහා වරායක් තමන් වෙත පැවරිය යුතු බවයි.
නෝත්ට පසු ආණ්ඩුකාර ධුරයට පත් වූ මෙට්ලන්ඩ්, ඩේවි මුදා ගන්නා අයෙකුට රන් පවුම් දෙදහසක් දෙන බව ප්‍රකාශයට පත් කළේ ය. කිසිවෙකු ඒ සඳහා ඉදිරිපත් නොවී ය.
බොහෝවිට අසනීප ගතියෙන් පසු වූ ඩේවි අන්තිමට ජීවත් වූයේ මල්වතු විහාරය අසල මීගස් අරඹේ නිවසක ය. 1813 මාර්තු මාසයේ දී මිය ගිය විට මීගස් අරඹේ ආදාහනය කරනු ලැබී ය.
(කර්තෘ: පී.බී. දිසානායක)
(සංස්කරණය නොකළ)