නිල් කුරුල්ලා
නිල් කුරුල්ලා
Aves වංශයට අයත් පැසෙරිෆෝමීස් ගෝත්‍රයට අයත් ඉරෙනිඩේ පක්ෂියෙකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නිල් කුරුල්ලන්ගේ සත්ත්ව විද්‍යාත්මක නාමය Irena puella puella (ඉරෙනා පුවෙල්ලා පුවෙල්ලා) වේ. මෙම පක්ෂින් ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, ඇසෑමය, බන්දු චීනය හහා මලයාව යන ප්‍රදේශවලට සීමා වී ඇත.
හැඩයෙන් හා ප්‍රමාණයෙන් කහ කුරුල්ලන්ට සමානත්වයක් දක්වන මෙම පක්ෂින් වාසය කරන්නේ කඳුකර කැලෑවල තුරුලතා අතරෙහිය. මොවුහු යුගල් වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දක්නට ලැබේ. මොවුන් සම්පූර්ණයෙන් ම පාහේ පලතුරු භක්ෂක පක්ෂීන් ය.
ගැහැනු සතුන් හා පැටවුන් දීප්තිමත් නොවූ කොළ පාටට හුරු නිල් පැහැයක් ගන්නා අතර, පරිණත පිරිමි සතුන්ගේ දේහයේ යට පැත්ත තද කළු පැහැයෙන් ද පෘෂ්ඨීය පැත්ත දීප්තිමත් නිල් පැහැයෙන් ද යුක්තය.
මෙම පක්ෂීහු ගස් මුදුන්වල කූඩු සාදති. ඔවුන්ගේ බිත්තර තිත් සහිතය. නිල් කුරුල්ලා ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ පක්ෂියෙකි.
(කර්තෘ: මංගලිකා හෙට්ටිආරච්චි)
(සංස්කරණය නොකළ)
නිල් කුරුල්ලා
Hypothymis azurea යන සත්ත්ව විද්‍යාත්මක නමින් හැඳින්වෙන කුඩා ගේ කුරුල්ලෙක් තරම් වන නමුත් සාපේක්ෂව දිගු වලිගයක් දරන කුරුලු විශේෂයකි. අලංකාර අහස් නිල් වර්ණයෙන් යුතු මෙම කුඩා පක්ෂියාගේ හැඩයත් ජීවත් වන කාලයේ පක්ෂියා සතු සමාජ හැසිරීමත් යන සියල්ලන්ගෙන් ම ඉතා පහසුවෙන් ම හඳුනා ගැනීමට හැකි වී ඇත. මොවුන්ගේ ගැහැනු කිරිල්ලියත් පැටවුනුත් වර්ණයෙන් මඳක් අඩු වන අතර මනාව තටු වර්ධනය වුණු පිරිමි කුරුල්ලකුට වඩා අලු වර්ණයක් ගනී.
මොවුන් කැලෑ තුළ ජීවත් වන පක්ෂියෙකි. ලංකාවේ දිවයින පුරා ම විසිරී සිටිය ද බහුලව ම දැකිය නොහැක. ශ්‍රී ලංකාවේ ඌව ප්‍රදේශයේ සාමාන්‍යයෙන් බහුල ව දැක ගත හැකි වන අතර අඩි 5000ක් පමණ උසැති කඳුවල පවා ජීවත් වේ. නමුත් ඇත්ත වශයෙන් ම අඩි 3000කට වඩා ඉහළ දී මොවුන්ගේ ප්‍රජනනයක් සිදුවනුයේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් ප්‍රජනන කාල සීමාවේ දී හැර අනෙක් කාලවල මොහු තනිව වෙසෙන කුරුල්ලෙකි. මෙම කුරුලු විශේෂය ඉතා ක්‍රියාශීලී වන අතර ම තමා වෙසෙන බව අන්‍යයන්ට ඇඟවීම සඳහා නිතර නාද කරයි. නිල් කුරුල්ලාගේ නාදය ද බොහෝ විට ම රැහැන්මාරා හෝ රෙදි හොරාගේ (Paradise fly catcher) නාදයට සමාන වේ. වනාන්තර තුළ ඇති කුඩා පොකුණු ආදි ජලාශ තුළට කිමිදී ජනනය කරයි. එම දිය කඩිත්තට ඉහළින් එල්ලෙන ගස් අතුවල සිට කිමිදීම සිදු කරයි. මොවුන්ගේ ප්‍රජනන කාල සීමාව වන්නේ වසරේ මාර්තු සිට මැයි දක්වා කාල සීමාවයි. කූඩුව කුඩා වන අතර ගැඹුරු කෝප්ප ආකාරයක් ගනී. ඉතා ක්‍රමානුකූලව රවුම් රාමුවක් වටා තනා ඇත. මෘදු කෙඳි වර්ගවලින් කූඩුවේ ඇතුල් පැත්ත වඩාත් මෘදුවට සකසනු ලැබේ. කූඩුවේ පිට පැත්ත බොහෝ විට මකුළුවන්ගේ බිත්තර කොපුවලින්, කුඩා තෘණ වර්ගවලින් අලංකාර කර ඇත. බොහෝ විට ම කූඩුවට පහළින් එල්ලෙන රළු කෙඳිවලින් සමන්විත වන වල්ගයක් ආකාර කෙඳි සැකසුමක් ද දක්නට ඇත. සාමාන්‍යයෙන් වනාන්තරවල පොළොව මට්ටමේ සිට අඩි කිහිපයක් ඉහළින් කුඩා ගස්වල අත්තක මෙම කූඩුව තනනු ලැබේ. නමුත් සමහර කුරුල්ලන් වනාන්තරයේ අඩි 20ක් හෝ ඊට වඩා ඉහළ ස්තරවල ද කූඩු තනන අවස්ථා දැකිය හැක. වරකට බිත්තර දෙකක් හෝ තුනක් කිරිල්ලිය විසින් දමනු ලබන අතර ඒවා ලා රෝස සුදු පැහැති වන අතර දුඹුරු කහ පාටින් කුඩා තිත් සහිත වී ඇත. බිත්තියේ පළල් කෙලවරේ මෙවැනි තිත්වලින් චිත්‍රයක් සෑදී ඇත. සාමාන්‍යයෙන් මොවුන්ගේ බිත්තරයක් මිමී.17ක් දිගින් හා 13ක් පළලින් විය හැක. නිසි කාලයට පසු බිත්තර පුපුරා ඒ තුළින් කුඩා කුරුලු පැටවුන් ඒළියට ඒ.
(කර්තෘ: මංගලිකා හෙට්ටිආරච්චි)
(සංස්කරණය නොකළ)