නිර්ජරා
බැහැරින් සන්තානයට ඇතුළුව ජීවය තවතවත් සසරට බැඳ තබන (බන්ධ) කර්ම අණු හීල වෘත මඟින් වලකා ජීවයෙන් හා ශරීරයෙන් බැහැර කිරීම ජෛන ධර්මයෙහි නිර්ජරා නමින් හැඳින්වේ.
අනන්ත අවකාශයෙහි ලෝකාකාශ නම් වූ සීමිත ප්‍රදේශයක ලොව ඇති ජීව, අජීවාදී සියලු දේ පිහිටා ඇත. එහි ගණනය කළ නොහැකි ජීව සමූහයක් ද එමෙන් ම ගණනය කළ නොහැකි අජීව භෞතික පරමාණු රාශියක් ද ඇත. ජීවයක් ශරීරගත වීමට අවශ්‍ය කය, වචනය, මනස ප්‍රාණ අපාන ආදිය සෑදෙන්නේ මේ පරමාණු එක්වීමෙන්ය. ජීවය සසරට බැඳ තැබීමට උපයෝගී වන කාර්මණ ශරීරය සකස් කරන භෞතික කර්ම අණු ද මේ අජීව පරමාණු ගණයට ඇතුළත් වේ.
ජෛන ධර්මයට අනුව, ජීවයක් ස්වභාවයෙන් ම පිරිසිදුය, අනන්ත ගුණයෙන් යුක්තය. නමුත් ආකරයක ස්වභාවිකව දිදුලන ගතිය ඇති පිරිසිදු රත්රන් කිසිවිට දැකිය නොහැකිවාක් මෙන්ම ස්වීය පාරිශුද්ධත්වය හෝ අත්‍ය ගුණ ඒ අයුරින් ප්‍රදර්ශනය කරන ජීව ස්වාභාවිකව දැකිය නොහැක. හේතුව සෑම ජීවයක් ම කර්ම මඟින් අපිරිසිදු කරනු ලැබ ශරීරස්ථභාවයට පත් කර ඇති බැවිනි. පිරිසිදු ජීව මෙලෙසින් අපිරිසිදු වූයේ කවදාද? එයට පෙර පිරිසිදු තත්ත්වයේ එය තිබුණාද? ආදි වශයෙන් අපකල්පනය කිරීමක් ජෛන සමයෙහි නැත. නමුත් අපිරිසිදු රත්රන් උත්සාහයෙන් පිරිසිදු කළ හැකිවාක් මෙන් කර්මයෙන් කිලුටු වූ ජීව ද පරිශ්‍රමයෙන් පිරිසිදු කොට ස්වභාවස්ථ පාරිශුද්ධිය ලබාගත හැකි බව ජෛන ධර්මයේ ඉගැන්වීමයි.
ජීවයක ඇති අනන්ත ගුණ අතරින් තුනක් ප්‍රධාන වේ. මූලික දැනුම (දර්ශන) හා විස්තරාර්ථ දැනුම (ඥාන) ඇතුළත් චෛත්‍යය, සුඛ හා වීර්යය මේ තුනයි. කර්මාවරණය නිසා සාමාන්‍ය සත්ත්වයන් තුළ දර්ශන හා ඥානය ඇතිවන්නේ අනු පූර්ව වශයෙනි. කර්මාවරණය ඉවත් කළ විමුක්ත පුද්ගලයාට දර්ශන හා ඥාන එක්වරම ඇති වේ. ගුණ අතුරෙන් කර්මය නිසා වෙනස්වන්නේ සුඛ ගුණය පමණි. අන් ගුණ කර්මයෙන් ආවරණය වීම පමණක් සිදු වේ. සම්පූර්ණ සුඛ ගුණය ඇත්තේ විමුක්තයකුට පමණය. එබැවින් පිරිසිදු සුඛ ගුණය ඇති බව හා කෛවල්‍ය ඥානය ඇති බව අනන්‍ය වශයෙන් ගැනේ. ජීවය ශරීරස්ථ වීමත් සමඟ එහි ඇති වීර්ය ගුණය ද සීමා වේ. කර්ම බන්ධන නිසා වීර්ය විකෘති වේ. චෛතන්‍යය මෙහෙයවීමට වීර්යය උපකාරී වන බැවින් කර්මයෙන් විකෘති වූ වීර්ය විසින් නොමඟ යැවෙන තෛතන්ය මඟින් ජීවය විවිධ සචේතනික ක්‍රියාවලට යොමු කෙරෙයි. විකෘති වීර්ය මඟින් ජීවයෙහි ඇතිකෙරෙන ස්ඵන්දන (යොග) නිසා බාහිර ලෝකාවකාශයෙහි නිදැල්ලේ පාවෙන කර්ම අණු ශරීරය තුළට ආශ්‍රව වී ජීවය හා එක්වෙයි. පිටතදී අවර්ගීකෘත මේ කර්ම අණු ශරීරය තුළ දී විවිධ ප්‍රභේදවලට (ප්‍රකෘති) වෙන්වීම ද වීර්යය මඟින් ම සිදුකෙරේ.
මෙහි ස්ඵන්දන වශයෙන් හැඳින්වෙන්නේ සචේතනික ක්‍රියාය. නමුත් එමඟින් පමණක් ජීවයේ කර්ම බන්ධනය සිදු නොවේ. ජීවය රාග ද්වේශ වැනි කාෂායන්ගෙන් තෙත්ව තිබෙන විට පමණක් ආශ්‍රව වූ කර්ම අණුවලට ඒ සමඟ එක්විය හැකිය. එය සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධව සැමවිටම සිදුවන්නකි. නමුත් වීතරාගී කෙවලින් කෙනකුගේ ‘වියලි’ ජීවයකට කර්ම අණු එක්විය නොහැක. සාමාන්‍ය පුද්ගලයකුගේ සෑම සචේතනික ක්‍රියාවකින් ම ජීවය නැවත නැවත කිළුටට පත්වේ. නමුත් ක්‍රියාවක් මඟින් ශරීරගත වන කර්ම ප්‍රමාණය නිගමනය වන්නේ එම ක්‍රියාව හා සමගාමී චේතනාව අනුවය. එම ක්‍රියාව ඇතුළත් වර්ගය අනුව, එයින් ඇති කෙරෙන කර්ම ප්‍රභේදය (ප්‍රකෘති) නිගමනය කෙරේ. උදාහරණ වශයෙන් කෙනකුගේ ඥානය වැලකීමට ගන්නා උත්සාහය නිසා ඇති කෙරෙන කර්ම තමාගේ ඥානාවරණය කිරීමට සමත්වනු ඇත. ජීවයට උරාගන්නා කර්ම ඒ තුළ පවතින කාලසීමාව (ස්ථති) හා විපාක දීම (අනුභව) තීරණය වන්නේ ක්‍රියාව කරන අවස්ථාවෙහි බලපෑ රාග ද්වේශාදී කෂායවල ප්‍රබලත්වය අනුවය. විපාක දුන් විගස ජීවය තුළ වූ අදාළ කර්ම අණු ගසකින් වැටෙන ඉදුණු ගෙඩියක් මෙන් ගිලිහී ලෝකාවකාශයෙහි ඇති අවර්ගීකෘත කර්මවලට නැවත එක්වෙයි. එම කර්ම අණු නැවත නැවතත් එම ශරීරයට හෝ වෙනත් ශරීරයකට ඇතුළු විය හැකිය. නමුත් ශරීරය තුළදී ඒවා පත්වන ප්‍රකෘතිය තීරණය වන්නේ එවෙලේ සිදුකෙරුණු ක්‍රියාව අනුවය. මේ නිසා එකම ජීවයක් අනන්ත සංසාරයෙහි කෙදිනකදී හෝ ලොව පවත්නා සෑම කර්ම අණුවක් මඟින් ම කිළුටට පත් කරනු ලැබ ඇතැයි සිතීමට ජෛන සමය පෙළඹේ.
අජීවී කර්ම ජීවයට සම්බන්ධ වීමෙහිදී ජීවයෙන් වෙන්වූවක් සේ නොපිහිටා එය හා එක ක්ෂේත්රාවගාහ ලෙස පිහිටන බැව් කියැවේ. නමුත් ජීව අජීව වස්තු දෙකක් එක්වන්නේ කෙසේදැයි පැහැදිලිව දක්වා නැත. කෙසේ වෙතත් ජීවයට උරාගන්නා කර්ම මඟින් එහි වර්ණය (ලෙශ්යා) වෙනස් කළ හැකි බව කියැවේ. ජීවයේ ආධ්‍යාත්මික තත්ත්වය මේ වර්ණය අනුව නිගමනය කළ හැකිය. නෙරයික ගතියට අයත් සත්වයන්ගේ ජීව කෘෂණ, නීල හෝ කාපොත හෝ වර්ණවලින් එකක් විය හැකිය. තිර්යඤ්ච් ගතියෙහි ද මේ වර්ණ තුන හා පීත වර්ණය ද විය හැකිය. දිව්‍ය ගතියට අයත් ජීව පීත, පද්ම හෝ ශුක්ල හෝ වර්ණ ගත හැකිය. මනුෂ්‍ය ගතියෙහි විවිධ මට්ට්ම් ඇති බැවින් මේ ලේශ්යා හයෙන් ඕනැම එකක් විය හැකිය. ආධ්‍යාත්මික හිනිපෙත්තෙහි ඉහළ ම තැන ශුක්ල වර්ණය ගත් ජීවවලට හිමි වේ.
පූර්ව කර්ම ජීවියකුගේ උපත, ආයුෂ, මරණය හා නැවත ඉපදීම ඇතුළු කුදු මහත් සැම දෙයක් ම නිගමනය කරන බැව් ජෛන මතයයි. එවැනික් කර්මය ඉතා සියුම් ලෙස ප්‍රකෘති වශයෙන් වර්ගකොට ඒවා යෝග වන ආකාරය දක්වා නිර්ජර කිරීමට උපදෙස් දීම ජෛන සමයෙහි ප්‍රධාන උත්සාහය වී ඇත. ප්‍රධාන වශයෙන් කර්මය ඝාතියා හා අඝාතියා යන දෙවර්ගයකි. ඝාතියා කර්ම ජීවය සතු ගුණ නසයි. ජීවයක් ශරීරස්ථවීම හා එම ජීවිතයේ තත්ත්වය නිගමනය කිරීම අඝාතියා කර්ම මඟින් සිදුකෙරේ. එමඟින් නසන ගුණය අනුව ඝාතියා සතර වර්ගයකි. එනම් 1. දර්ශනාවරණීය 2. ඥානාවරණීය 3. වීර්යන්තරාය හා 4. සුඛ ගුණය කෙළෙසන මෝහනීය කර්මයි. අඝාතියා කර්ම ද සතර වර්ගයකි. එනම් 1. ජීවිතයේ මිහිරි (සාත) හා අමිහිරි (අසාත) වේදනා ගෙන දෙන වේදනීය කර්ම 2. උත්පත්ති ගති හා ශරීරය නිගමනය කරන නාම කර්ම 3. ආයුෂ නිගමනය කරන ආයු කර්ම හා 4. උපදින පරිසරය නිගමනය කරන ගෝත්‍ර කර්ම යනුවෙනි.
මෙලෙස වර්ග අනුවර්ග වශයෙන් බෙදි බෙදී යන කර්ම බන්ධනවලින් නිදහස්වීම කිසිවිට අනුත්සාහයෙන් සිදු නොවන්නකි. එය මනුෂ්‍ය ජීවිතයකදී ස්වෝත්සාහයෙන් සිදු කළ යුත්තක් බැවින් සුදුස් අවස්ථාව එළැඹෙන තුරු නැවත නැවත ශරීරස්ථ වෙමින් ජීවියා සසර සැරිසැරිය යුතු වේ. කෙතෙක් කර්ම බන්ධනවලින් බැඳී සිටිය ද ජීවියකුට එයින් මිදීමේ උත්සාහයක් දැරීමට පුළුවන් වන්නේ කර්මයෙන් ස්පර්ශ නොවී ජීවය තුළ තිබෙන මෝක්ෂය ලැබීමේ භව්‍යත්වය නිසාය. මේ ගුණය බොහෝ ජීවීන්ට තිබුණ ද එය නොමැතිව සැමදා සසර සැරිසැරිය යුතු අභව්‍ය ජීවීන් ද ඇති බැව් ජෛන ධර්මයෙහි පිළිගන්නා අයුරක් පෙනේ. භව්‍යත්වය ඇති ජීවීන්ට වුව ද එහි ප්‍රතිඵල ලැබිය හැක්කේ අවශ්‍ය අභ්‍යන්තර හා බාහිර සාධක සියල්ලේ සමාවායක් වූ විට දී පමණි.
ජෛන ශ්රාවකයාට මෝක්ෂය දක්වා නැඟිය යුතු ආධ්‍යාත්මික හිනිපෙත්තෙහි ගුණස්ථාන නම් පෙති තුදුසක් ඇත. විශුද්ධිමාර්ගයට අවතීර්ණ නොවූ බව හඟවන මුල් ම පෙත්ත මිථ්‍යාදෘෂ්ටියයි. මෙහි සිට ක්‍රමයෙන් ස්වෝත්සාහයෙන් නඟින ජින ශ්රාවකයා ක්‍රමයෙන් තම ජීවයට උරාගෙන ඇති කර්ම නිර්ජර කරයි. ඒ සඳහා ඔහු හෝ ඇය හෝ ලබන සත්‍ය දර්ශනය හා අනුගමනය කරන ශීල වෘත ද උපකාරී වේ. මෙම ගමනෙහි දී ප්‍රථම වරට සත්‍යය දර්ශනය කරනුයේ සතරවන ගුණස්ථානයෙහි දීය. එම අවස්ථාව දක්වා වූ ප්‍රගති ගමනෙහි දී ද කර්ම නිර්ජර වීම ඇරඹී ඇත. සසරට තමා බැඳ තබන ග්රන්ථ ඔහුට දැකිය හැක්කේ මේ ගුණස්ථානයට පත් වූ විටය. එම ග්රන්ථ දැකීමෙන් ඒවායෙන් මිදීමට වඩ වඩාත් වීර්යවත් වීමට ඔහු පෙළඹෙයි. එයින් කර්ම සියල්ලෙහි ආයු කාලයත් විපාක දීමේ ශක්තියත් අඩු කෙරේ. සම්‍යක්දෘෂ්ටි නම් ගුණස්ථානයෙහි දී ලබන සම්‍යක් දර්ශනය නිසා බොහෝ කර්ම ගිලිහී යන බවත් අනාගත කර්ම ආශ්‍රවය අඩු කෙරෙන බවත් කියති. මෙහිදී විශේෂයෙන් ම මෝහනීය කර්ම අතුරෙන් දර්ශන මෝහනීය කර්ම විනාශ වන බැව් සඳහන්ය. මෙම සම්‍යක් දර්ශනයෙක් යුක්තව මිය යන්නා පහත් ගතිවල නොඉපදෙන බවත් කෙටි කලක දී මොක්ෂය ලබන බවත් කියනු ලැබේ. දර්ශන මෝහනීය කර්ම විනාශ කරමින් හතරවන ගුණස්ථානයෙන් ඇරඹෙන ප්‍රගති ගමනෙහි දී වැඩි කාලය යෙදවෙන්නේ චාරිත්‍ර මෝහනීය නම් ශීලව්‍රත ආරක්ෂා කිරීම ඇතුළු ආගමික ජීවිතය ගෙනයාමට බාධා කරන කර්ම විනාශ කිරීමටය. නියම ජෛන ශ්‍රාවක ජීවිතය ඇරඹෙන්නේ සම්‍යක් දර්ශන නම් වූ හතරවන ගුණස්ථානයේ සිටය. මෙතැන් සිට ගිහි ශ්‍රාවකයාගේ සංවර ශීලය ශ්‍රාවක ප්‍රතිමා නම් අවස්ථා එකොළසකින් යුක්ත වේ. ප්‍රථම දර්ශන ප්‍රතිමාවේ දී ජින හා ජින ධර්මය සරණ යන ශ්රාවකයා අට වැදෑරුම් ආහාරපානවලින් වැලකීම පිළිබිඹු කෙරෙන මූල ගුණ නම් විරති ශීලයෙහි පිහිටයි. අනතුරුව එළඹෙන දෙවන ව්‍රත ප්රතිමාවෙහි දී කර්ම ආස්‍රවය බොහෝ දුරට අවුරණ අනු ව්‍රත පහක් ගුණ ව්‍රත තුනක් හා ශික්ෂා ව්‍රත හතරක් සමාදන් වෙයි. අහිංසා, සත්‍ය, අස්කේය, බ්‍රහ්ම හා අපරිග්‍රහ යන අනු ව්‍රත පහ ජෛන භික්ෂුවකට හිමි මහා ව්‍රත පහේ ම අඩු මට්ටමක් පිළිබිඹු කරයි. එම ව්‍රත ක්‍රියාත්මක කිරීම විටින් විට දැඩි කිරීම අරමුණු කර ගත් ගුණ ව්‍රත හා විශේෂ අවස්ථාවල දී සමාදානය දැඩි කිරීමට උපකාරී වන ශික්ෂා ව්‍රත මඟින් තම ශීල සංවරය දැඩි කරන ශ්රාවකයා කර්ම නිර්ජර කිරීම ප්‍රබල කරයි. මෙම ප්‍රතිමාවේ සිටිමින් මරණයට පත්වන්නකුට සල්ලෙඛනා නම් පස්වන ශික්ෂා ව්රතයක් ද අනුගමනය කළ හැකිය. ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුදගලයන්ගෙන් පමණක් බලාපොරොත්තු වන මේ ශික්ෂාවෙන් අපේක්ෂා කරන්නේ මේ උපවාස මඟින් ශරීරය දුර්වල කොට අවසන ජීවිතක්ෂයට පත්වීමයි.
ව්‍රත ප්‍රතිමා අවස්ථාවෙන් පසු සමාදන් වු ශීල ව්‍රත අනුගමනය ක්‍රම ක්‍රමයෙන් දැඩි කිරීම ජෛන ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වේ. මේ අනුව හත් වන බ්‍රහ්මචර්ය ප්රතිමාවෙහි දී අඹුසැමි සබඳතා සම්පූර්ණයෙන් ම අතහැරීමත් නව වන ප්රතිග්රහත්යාග ප්රතිමාවෙහි දී තමන්සතු සියලු වස්තුව පවුලේ සාමාජිකයින්ට පවරා නිදහස් වීමත් දසවන අනුමත්යාග ප්රතිමාවෙහි දී පවුලේ කටයුතුවල දී අනුශාසනා කිරීම පවා අත්හිටුවීමත් එකොළොස්වන උද්දිෂ්ටත්යාග ප්රතිමාවෙහි දී තමා වෙනුවෙන් පිළියෙල කළ කිසිවක් පරිභෝජනයෙන් වෙන්වීමත් සිදුකෙරේ. මේ අවස්ථාවට පත් ගෘහස්ථයා ශ්රමණභූත වශයෙන් හැඳින්වේ. ඔහු ශ්‍රමණයෙක් නොවන්නේ නිල වශයෙන් පමණි.
මේ සියලුම ශීල ව්රතවලින් කෙරෙන්නේ ජීවයට උරාගෙන ඇති කර්ම නිර්ජර කිරීමත් අළුතින් කර්ම ආශ්‍රවය වළකාලීමත්ය. එකොළොස්වන ප්‍රතිමාවට පැමිණෙන ශ්රාවකයා අර්ධවිරතිය වලකන අප්රත්යාඛ්යානාවරණ නමැති කෂායන්ගෙන් නිදහස් ව දේශ විරත නම් පස්වන ගුණස්ථානයට පත් වෙයි. අනතුරුව ගිහි ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් ව භික්ෂු ජීවිතයට අදාළ මහා ව්‍රත සමාදන් වීමෙන් ප්රත්යාඛ්යානාවරණ කෂායන්ගෙන් මිදී සර්ව-විරත නම් හවන ගුණස්ථානයට පත්වෙයි. එකොළොස්වන ප්රතිමාවෙහි සිටින ගිහියා කොතරම් ශ්‍රමණ ස්වරූපයක් දැරුව ද සම්‍යක් චාරිත ප්රත්යක්ෂකොට ප්රත්යාඛ්යානාවරණ කෂාය දුරු කළ කෙනෙක් සේ සැලැකෙන්නේ මහා ව්‍රත සමාදන් වූ විට පමණයි. ජෛන සමයෙහි ශීල ව්රතවලට ලැබෙන ප්‍රබල ස්ථානය මෙයින් පැහැදිලි වේ. භික්ෂු ජීවිතයෙන් ද අපේක්ෂා කෙරෙනුයේ ශීල ව්‍රත අනුගමනය කිරීම පියවරෙන් පියවර දැඩි කිරීමයි. දශ ධර්ම, කර්ම ආස්‍රවය හා නිර්ජරය ඇතුළත් අනුප්‍රේක්‍ෂා, පරිෂහ ජය නම් භික්ෂු ජීවිතයේ විවිධ කම්කස ඉවසීමට පුරුදු වීම හා, බාහිර හා අභ්‍යන්තර වශයෙන් හය බැගින් වූ තපස් කර්ම දොළොසක් අනුගමනය කිරීම ප්‍රධාන ශික්ෂා ක්‍රම භික්ෂුවක් විසින් අනුගමනීය වේ. අවසානයෙහි උසස් ධ්‍යාන බලයෙන් ඉතිරි සියලු කර්ම නිර්ජර කිරීම තෙක් මේ ශික්ෂණය අනුගමනය කළ යුතුය.
කර්මක්ෂය කිරීමට උපකාරී වන ධ්‍යාන ක්‍රම හතරකි. දුක හෝ පිළිකුල හෝ උපදවන අරමුණක් ගැන මෙනෙහි කිරීමේ ආර්තධ්යානය, අන්‍යයන්ට හිංසා කිරීම නිසා ඇතිවන විකෘති ප්‍රීතිය ගැන මෙනෙහි කරන රෞද්‍ර ධ්‍යානය, ජින ධර්මය, සත්ත්වයන්ගේ දුක කර්ම ක්‍රියාකාරිත්වය, ලෝකව්යූහය, සත්ත්වයන් එහි බැඳෙන ආකාරය ආදි විෂය ගැන කරන ධර්ම ධ්‍යානය හා ශුක්ල ධ්‍යාන මේ හතරයි. ඉහළම ධ්‍යාන වශයෙන් සැලකෙන ශුක්ල ධ්‍යාන හතරකි. දොළොස්වන ක්ෂීණ-මෝහ ගුණස්ථානයෙහි පිහිටීමට උපකාරීවන ප්‍රථම ශුක්ල ධ්‍යාන දෙක පෘථක්ත්ව සවිතර්ක සවිචාර හා ඒකත්ව සවිතර්ක අවිචාර නම් වේ. පළමු වැන්නෙහි දී නව පරමාර්ථ (තත්ත්ව), අතුරෙන් එකක් ගෙන එහි විවිධ ආකාර අතර සැරිසරමින් (සවිචාර) ධ්‍යාන වඩයි. දෙවැන්නෙහි දී තෝරාගත් පරමාර්ථ අරමුණෙහි එක් ආකාරයක් ගැන පමණක් (අවිචාර) මෙනෙහි කෙරේ. මේ ධ්‍යානවලින් මෝහනීය කර්ම - විශේෂයෙන් චාරිත්‍ර මෝහනීය - සියල්ල ක්ෂය කිරීමට භික්ෂුව සමත් වෙයි.
අනන්ත සංසාරයෙහි දුක් ගෙන දුන් මෝහනීය කර්ම ක්ෂය කරන භික්ෂුව ධර්මයෙහි සඳහන් ප්‍රකාර බැවින් යථාඛ්යාත-චාරිත්‍ර නම් වූ පූර්ණ පාරිශුද්ධත්වයට පත් වෙයි. උපශාන්ත-මොහ නම් එකොළොස්වන ගුණස්ථානයෙහි දී සංජ්වලන කෂාය තාවකාලිකව මර්දනය කර තිබූ භික්ෂුව පූර්ණ පාරිශුද්ධිය ලැබීමෙන් තීක්ෂණ-මෝහ නම් වූ දොළොස්වන ගුණස්ථානයට පත් වේ. දැන් ඔහුට සර්වඥ තත්ත්වයට පත්වීමට දොරටුව විවෘතව ඇත. ශීල ව්‍රත නිසියාකාරව පවත්වා ගැනීමට බාධා කරන කර්ම ගිලිහී යාමත් සමඟ ඒවා හා අත්‍යන්තයෙන් සම්බන්ධ වූ සර්වඥතාව, පූර්ණ සුඛය හා අනන්ත වීර්යය අවුරන කර්ම ද ගිලිහී යයි. ඒවා නම් දර්ශනාවරණීය, ඥානාවරණීය හා වීර්්යාන්තරාය යන ඝාතියා කර්මයි. දැන් ඔහු සර්වඥවරයෙකි. අනන්ත ඥාන, දර්ශන, වීර්යය හා සුඛයෙන් යුක්තය. නමුත් තවමත් ඔහුගේ ජීවය ශරීරස්ථ බැවින් සයොග-කෙවලින් නම් දහතුන්වන ගුණස්ථානයෙහි පසුවිය යුතුයි. මෙබඳු කෙනෙක් තීර්ථංකර වරයෙක් හැටියට පිළිගැනෙනුයේ ආචාර්යත්වයට අවශ්‍ය ශුභ නාම-කර්ම රැස්කර සිටින්නේ නම් පමණි. එය කලාතුරෙකින් සිදුවන්නෙකි.
ශරීරයේ පැවැත්මට අවශ්‍ය ඝාතිය කර්ම පමණක් ක්ෂය කිරීමට සයොග කෙවලින් කෙනෙකුට ඉතිරිව ඇත. මේවා අතුරෙන් නාම, ආයු හා ගෝත්‍ර කර්ම මරණ මොහොතේ එකවිට ගෙවී යන ප්‍රමාණයට පිහිටා ඇති නමුත් මිහිරි (සාත) හා අමිහිරි (අසාත) වේදනීය කර්ම එක ජීවයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබිය හැකි බැවින් ජීවිතාවසානයට පෙර ගෙවා දැමිය යුතුය. විපාක නොදුන් කර්මයක් නිතැතින් ගිලිහී නොයන බැවින් ඒවා සමුද්ඝාත ක්‍රමයට ඉවත් කළ යුතුය. ඒ සඳහා මරණයට සුළු මොහොතකට පෙර කේවලින් කෙනකු විසින් තම ජීවය තෙවන හා සිව්වන ශුක්ල ධ්‍යාන මඟින් ලෝකාකාශයෙහි ඉම දක්වා විස්තාරණය කළ යුතු වේ. තෙවන ශුක්ල ධ්‍යානය වූ සූක්ෂ්ම ක්‍රියා අනිවර්තින් ධ්‍යානය මගින් සිතෙහි හා වචනයෙහි සියලු සූක්ෂ්ම හා දළ ක්‍රියාකාරිත්වයත් කයෙහි දළ ක්‍රියාකාරිත්වයත් නවතා දමයි. අනතුරුව ශරීරයේ අනුත්සාහික සූක්ෂ්ම ක්‍රියා වන ආශ්වාස, ප්‍රශ්වාස, හෘද ස්ඵන්දනය වැනි දෑ ද ව්යුපරතක්රියා-අනිවර්තින් නම් සිව්වන ශුක්ලධ්යානයෙන් වළකාලයි. දැන් කේවලින් තම සියලු කර්මවලින් නිදහස් වී අයෝග-කේවලින් නම් තුදුස්වන ගුණස්ථානයට ළඟා වී ඇත. නමුත් කර්මවලින් නිදහස් වූ ඔහුගේ ශරීරයට තවදුරටත් ජීවත් විය හැක්කේ එක් මොහොතක් පමණි. අනතුරු මොහොතේදී ජීවය ශරීරයෙන් මිදී ලෝකාකාශයෙහි ඉහළම ස්තරයට වේගයෙන් ඉගිල යයි. සියලු කර්මයන්ගෙන් නිදහස් පිරිසිදු සිද්ධයන් සදා වෙසෙන්නේ ඊෂ්ටා-ප්රාග්භාරා-භූමි නම් මේ ප්රදේශයයි.
(කර්තෘ: සී. විතානාච්චි)
(සංස්කරණය නොකළ)