නිකිණි දොළ උපත

සිංහල විශ්වකෝෂය වෙතින්
09:21, 29 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('1 කක්සෙ උපත, 27 කදිරපුර දෙවි උපත, 29 රුක්අත්තන උපත, 31...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1 කක්සෙ උපත, 27 කදිරපුර දෙවි උපත, 29 රුක්අත්තන උපත, 31 ඔඩ්ඩිස උපත, 36 දැඩිමුණ්ඩ උපත, 44 දළ කඩවර උපත, 45 තොට කඩවර උපත, 55 අඹපත්තිනි උපත, 64 මාවී උපත, 74 කලුයක් උපත, 80 සයංජාත වී උපත, 84 දවුල් උපත, 85 ගිරේ උපත ආදී වශයෙන් ‘උපත්’ නමින් වූ ජන කාව්‍යසන්තතියක් 17 වන සියවස පමණ සිට ලියවෙමින් ආ බව පී.ඊ.පී. දැරණියගල මහතා විසින් සකසා 1954 දී ලංකා ආණ්ඩු මුද්‍රණාලයෙහි පළ කළ Ceylon National Museums Manuscript Series, Vol.IV, SINHALA VERSE (KAVI) Ethnology Vol.I කෘතියෙහි ඇතුළත් හියුනෙවිල් එකතුවට (1869-1886) අයත් මේ අත්පිටවලින් අනාවරණය වේ.

මේ කෘතියෙහි 'නිකිණි දොළ උපත' යන මෙනමින් අත් පිටපත් තුනකි. A පිටපතේ පැදි 76ක් ද, B සහ C පිටපත් දෙකෙහි පැදි 93 බැගින් ද ඇතැයි සඳහන් වේ. (147 පි.) මේ කාව්‍යය නිකිණි දොළ උපත් යන කාව්‍යය ඇතැයි සඳහන් වේ. (147 පිට) එහෙත් 1924 දී පී.පී. සිල්වා මේ කෘතිය 'නිකිණි කථාව හෙවත් ස්ත්‍රී මායම' නමින් පිටු දහයකින් හා පද්‍ය 87කින් යුතුව තුන්වන වරට ලංකාභිනව විශ්‍රැතයන්ත්‍රාලයෙහි අච්චුගස්වා ප්‍රසිද්ධ කොට ඇත. දැරණියගල මහතා එය දැක නැත. ඔහු සඳහන් කළ පරිදි ඒ අත්පිටවලට සීමා වූ පෙළෙහිත් මේ මුද්‍රිත ග්‍රන්ථයෙහිත් පාඨාන්තර වශයෙන් ද කරුණු වශයෙන් ද මඳ වෙනස්කම් ඇති බව පෙනේ. මුද්‍රිත පෙළෙහි ඇත්තේ යට දැක් වූ ග්‍රන්ථ නාමය නොව 'නිකිණි දොළ උපත' යන්න බව මින් තහවුරු වේ. මේ කථා කාව්‍යය ඇරඹෙන්නේ තෙරුවන් නැමදීමෙනි,

“සරණ අප මුනිඳුන් - පොරණ වදහළ මෙදහන්

පුරණ සිල් රහතුන් - සරණ ගෙන වැඳ ගතිමි තෙරුවන්” (01)

අනතුරුව වස්තු නිර්දේශය මෙසේ දැක්වෙයි.

“කතක් කළ විපතක් - සිතක ගෙන කළ උපතක්

එකෙක් නුවණැතියෙක් - කතක් කී දේ අසා විඳි දුන්” (02)

“සොර හිමි කී බසට - අරිනා ලෙසින් රටකට

නිම නැති දොළ ඇට - කරපු මායන් කීයන් එළු කොට” (03)

“බාරියෝ ළඳුන්නේ - කාරිය ඇයි නොදන්නේ

මේ කවි අසන්නේ - මෙයින් මතුවට සිතට ගන්නේ” (04)

කර්තෘ හෝ කාලය නොසඳහන් මෙහි කාව්‍යවස්තුව මෙසේයි,

“නොයෙක් ඉසුරු සැපතින් සඳ ලෙසිනා

නිසංසලව ගමයෙක් එහි වසනා

ඔහුගේ රූසිරැති දුවකුත් සිටිනා

සරණ අසා ගමයෙන් අයි තොසිනා” (08)

එක්තරා ගමක ධනධාන්‍යයෙන් ආඪ්‍ය වූ ගමරාළ කෙනෙක් හා ගමමහගේ කෙනෙක් වූහ. ඔවුන්ට රූසිරි ඇති දුවක් වූවා ය. ඇගේ සරණ පතා තරුණයෙක් ඉදිරිපත් විය. දෙමව්පියෝ අනතුරුව හඳහන් පත් බලා මනා ලෙස විවාහ මංගලය්‍යයක් පවත්වා තරුණයාට දුව පාවා දුන්හ.

ඔවුන් සිය දියණියට විශේෂයෙන් දුන් අවවාදය නම් අන් සලෙලුන්ට පිරිය වී අපේ මූණේ දැලි නොගාවා, මව්පියන්ට අනදර නොවී වෙසෙන ලෙස ය. බෑනාට දුව හා දෑවැද්දක් භාර දී පසු හේ කැන්දාගෙන ගමට ගියෝ ය. බත බුලතින් අඩු නොවූ නව නිවසේ අඹුසැමි යුවළ වසරක් ම සතුටින් විසූහ. කලකට පසු මේ කාන්තාවගේ රූපයෙන් මත් වූ මිනිසෙක් ඈ කෙරේ ලොබ කොට ඈ වශී කරවා ගන්නට උත්සාහ දරන්නට විය. කාන්තාව ද ඔහුට නතු වූවා ය.

“මව්පියන් කී අවවාදය හැරලා

කිව්මග සෝර හිමි වෙත ම ඇලීලා

ගෙයි හිමි බලු විතරක් නො තකාලා

ලැව්ගිනි සේ සිත වයිරය බැඳලා (20)


“ගෙයි හිමියාගේ නුගුණ කියන්නේ

සොර හිමියාගේ නුවණ අසන්නේ

තම හිමි දුරු රට අරිමි සිතන්නේ

නිම නැති සොර මායම් පවසන්නේ (22)


“නෙත බර වී නිදි බෝය කියන්නේ

බත බුලතින් සිත පිරිය නොවන්නේ

සිත පිළිකුල් වී තම හිමියන්නේ

ගත මෙ ලෙසින් ලෙඩ නිතර කියන්නේ (25)


“නිකිණි කන්ට දොළ පිරිය තිබෙන්නේ

ගෙනැත් දුනොත් දොළ සන්සිඳු වෙන්නේ

මෙලක් දිවේ කොතැනක ද තිබෙන්නේ

ඇසුවොත් දුරු රට ඇත පවසන්නේ” (38)

මෙසේ ලබාගත නොහැකි 'නිකිණි' සෙවීමට සැමියා දුරු රට යැවූ අඹුව සොර සැමියා සමඟ සිත් සේ වාසය කරන්නට වූවා ය.

ඈත රටකට ගිය සැමියා තමා නිකිණි සොයා ආ පුවත ඇසුවෙක් ඔහු රැවටී ඇති බැව් පෙන්වා දෙයි. සැමියා එය විශ්වාස නොකරන හෙයින් තමා ම පැමිණ හොර සැමියා අල්ලා දෙන්නේ මැයි ද පිටරැටියා පවසන්නේ ය. ඔහු කපු වෙසක් ගෙන කුඩා දෙවි විමනක් ලීයෙන් සාදා එය ද කර තබාගෙන රැවටුණු සැමියා සමඟ බිරිඳ හා හොර සැමියා සිටින නිවසට අවුත් කඩුල්ල ළඟ දෙවි විමන තබා යාතිකා කරමින් සිටී. අඹුව හා හොර සැමියා අත්වැල් බැඳ ගෙන එළියටවිත් පේනයක් කියන ලෙස අයදිති.

සොර සැමියා සමඟ සිටින ගම අඹුව තම සැමියා දාසවාදයෙන් හඳුන්වමින් දෙවියන්ගෙන් ඔහු ගැන පේන අසන්නේ මෙසේ ය.

“නොයෙක් වැඩපළ කරන මිනිහෙක් මෙ අප ළඟ සිට, නැත ගොසින්

නොයෙක් වචනේ සරුප කියමින් සණ්ඩු වී නැත ගොසින් දැන්”

එසේ ගිය ඔහු යකෙකු හෝ වලසකු විසින් නසන ලද්දේ යැයි පේනයෙන් කියැවේ. නිකට උල ඇති, නළල පළලැති එකකු ලකට පරසිදු නිණිනි උදෙසා මඟට බැස යන කලට වලසකු නෙත් දෙක උදුරා ගත්තෙන්, සිතට තද දුකක් වැදී කුඹුරේ පැලක් යට වැදී උන් බව පේනයට කියැවිණ. ඉන් සතුටට පත් ගම අඹුව මෙසේ දෙවියන් අයදී,

“සොදින් සොර හිමි දෙස බලාලා සිනාසී සිට කියන්නේ

ඉතින් අපි දෙන්නාම සැක නැත සොඳින් කල් ඇර සිටින්නේ

යසින් සෙනෙහස වඩ වඩා දිවි තිබෙනතුරු කල් අරින්නේ

නිවන් සැප සිදුවේය, දෙවිඳුන් තවත් පේනක් කියන්නේ” (62)

අප දෙදෙනාගේ යම් වරදක් ඇතත් ඒ නොගෙන සමාවන මෙන් ආයාචනා කරද්දී ‘දැන් දෙවිඳුට වඩින්නට බැරිය’යි අනුමැති කී ය. දෙවි විමන ගෙතුළට වැඩම කරවා වියන් බැඳ, වටතිර ඇද මුරුතැන් පිස දේව පූජා කොට 'අනුමැතියා' සිය දෙවි විමන සහිතව රාත්‍රියේ එහි නැවතුණෝ ය. මේ සියල්ල සැඟවී බලා සිටි ගමරාළ රාත්‍රියේ ගෙට අවුත් සොර සැමියා හා අඹුවට පහර දී පළවා හරී. තමාගේ නැණැස පාදා දුන් පුද්ගලයාට වස්තුවෙන් සංග්‍රහ කළ සැමියා ධාර්මික ව දිවිපෙවෙත ගෙවමින් සිට පරළොව ගිය බවත් අපහාසයට පාත්‍ර වූ ස්ත්‍රිය දුකින් ම මිය ගිය බවත් පවසා, උපදේශ වශයෙන් කාමයෙහි වරදවා නොහැසිරෙන ලෙස අවවාද කරමින් කාව්‍යය අවසන් වේ.

මෙම නාට්‍යය උඩරට පළාතේ රචිත එකක් බව “ඇන්න ගොසින්” (84 කව) වැනි යෙදුම්වලින් පෙනේ.

මේ ජන කාව්‍ය ලියා ඇත්තේ කාව්‍යමය වර්ණනා සහිත විචිත්‍ර මාර්ගය තුළින් නොවේ. වාර්තාමය ස්වරූපයෙනි. කථාව සිදු වූ අයුරෙන් පමණක් ඉදිරිපත් කිරීමෙනි. මෙය උපදේශ ගණයට අයත් ජන කවකි. මෙහි භාෂාව හා රීතියත්, තේමාව හා ඓතිහාසික ලක්ෂණත් අනුව මෙය දහඅටවන සියවසට වඩා පුරාණ විය නොහැකි ය.

(කර්තෘ: විමල විජයසූරිය)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිකිණි_දොළ_උපත&oldid=4884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි