නිකිණි කථාව
‘සොයාගත නොහැකි තරම් අති දුර්ලභ’ යන අරුත සඳහා හෝ (සා අඟ, නරි අඟ, ආකාශ පුෂ්ප ආදී) අභාවාර්ථය සඳහා හෝ ‘නිකිණි’, ‘කලුනික’ ආදී යෙදුම් අද ද හෙළ වහරේ ඇත. ‘නිකිණි සොයන්නා වාගේ’ යන පිරුළක් ද ඇත. මේ ජන විඥානය ආශ්‍රිත වූ, අටදහවත්තේ ඔබේසේකර නම් කවියකු ශකවර්ෂ 1700 දී ලියූ “නිකිණි කථාව” හෙවත් “නිකිණි දොළ කවි” නම් කාව්‍යයකි. එය ලංකා ජාතික කෞතුකාගාර ප්‍රකාශනයක් වශයෙන්, සිංහල කාව්‍ය සංග්‍රහය - මාතර යුගය (1964) නම් කෘතියේ (121-131 පිටුවල) පළ වී ඇත. එහි ආරම්භය හා අවසානය මෙසේ ය:
“පිරිමහ කුලුණුගුණ - සත වෙත පතළ අපමණ
සිරි ගන දම් සඟණ - වඳිමි සිටකර තඹර පුදමිණ”
“සකවසිනෙක දහස් සත් සිය වරුසේ
රික ලද රෙහෙණ නිකිණිය පුර සඳ දවසේ
නෙක තෙද සපිරි සුර යදුමෙන් කර සිතසේ
එක සියයක් පරණ කවි ගෙන නිමවූ මෙසේ”
මේ නිකිණි කථාව “නිකිණි දොළ උපත” (පහත බලන්න) මෙන් වාර්තාමය කෘතියක් නොව, නිර්මාණ කාව්‍යයකි. මේ නිදසුනකි.
“සරත් සඳයුරු වතක් ඔපකර දතුන් මඳිමින් කුමුදු විලසින
සුරත් බිඹුපල නුමුත් ලවනත යළිත් රතුකර කපුරු බුලතින
ලසත් හස පැටි සෙයුත් තුඟු තන දෙකළු බදිමින් කසුන් පටියෙන
දිමුත් වන පටසළුත් ඇඳ සිහිනිඟත් සරසා මෙවුල් බරණින”
“නුරා කර එම සොරා එදිගැස කරා සැපමිණ රහසින(ා)
පුරා මල්පෙති සරා වැද තද නුරා පහසින් ඇලුමෙන(ා)
දරා කොමළත ගිරා තුඩවන් උරා ඇගෙ අම දෙලොවින(ා)
විරා මත හැර පුරා මුළු රැයතුරා විසූ සිත පිනමින(ා)”
“නිකිණි දොළ උපත” කාව්‍යයේ එන පුවත ම මෙහි ද කවි සාරයයි. “නිකිණි කථාවේ” අවසනට ඇති වෙනසක් නම් සැමියා සසර කළකිරී මහණ වීම ය.
(කර්තෘ: විමල විජයසූරිය: 1956)
(සංස්කරණය නොකළ)