දෙවනගල රජමහා විහාරය
සතර කෝරළයේ මාවනැල්ල හෙම්මාතගම මාර්ගයට ආසන්නව පිහිටි ඉපැරණි විහාරයකි. නව වැනි සියවසෙහි රචිත 'සියබස් ලකර' නම් වූ අලංකාර ශාස්ත්‍රීය ග්‍රන්ථයෙහි කර්තෘ පොත 1 වෙනි සේන නරෙස්ද්‍රයන්ගේ දෙසොහොවුරු කසුප් සහ මිහිඳු යන ඇසවරුන්ගෙන් (ම.ව. 50 පිරි) කසුප්තුමා අමරිගිරි කසුප් නමින් ප්‍රසිද්ධ විය. ඔහු එම නම් ලැබූයේ ඔහු විසූ පෙදෙස එවක අමරගිරි නමින් පළට පත් ව පැවැති නිසා ය. සියබස්ලකර ලිවීමට සිය සොහොයුරු සේන රජුට ඇරයුම් කළේ ඔහු බව එහි වන 400 වන ගීයෙන් කියයි. මැදවියන්ගොඩ විමලකිත්ති හිමිගේ සිලා ලේඛන සංග්‍රහයෙහි 2 වැනි භාගයේ 206 වැනි පිටුවෙහි අමරගිරි කසුප් ඈපාණන්ගේ (නිජ) භූමිය දෙවනගල පෙදෙස බවත් අමරසිරි වංශය ඇරඹුණේ එතුමාගෙන් යයි ද සඳහන් ය.
ධාතුසේන (ක්‍රි.ව. 461-479) රජතුමන් දවසැ දෙවනගල 'දාසෙන් පව්ව' නමින් හැඳින් වුණේ ය. ඒ රජු විසින් වැව් දශ අටක් සහ විහාර දහ අටක් ද කැර වූ බව මහාවංශයේ (පරි.38-ගාථා 47) සඳහන් ය. එම විහාරයන්ගෙන් එකක් ගල්බඩකෝරළේ (පාසානා බද්ධ) (සතර කෝරළේ) වත් පහණ බද රට කැරවී ය. වැව් දහ අටෙන් මලබටු වැව පිහිටා තිබුණේ දැනට මලබටුව නමින් හැඳින්වෙන ගමෙහි බව විශ්වාස කරති. එම වැව 'දාසෙන් පව්' වෙහෙරට පුදනු ලැබුවෙකි. විහාර අස්නෙහි දෙවනගල සඳහන් වන්නේ පරණ නුවර නමිනි. සුප්‍රසිද්ධ අලුත් නුවර දේවාලය පිහිටියේ ද දෙවනගලට සමීප ස්ථානයක ය.
මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රයන් සමයෙහි රාමඤ්ඤ දේශාක්‍රමණයට ගිය කීර්ති නගරගිරි සෙන්පතිට තාන්න මාන්න පිරිණමමින් එම නිරිඳුන් විසින් ලියවා තැබූ කිත්සෙන් පව්ව, අමරගිරි යන නම් ද පුරාණයේ මේ විහාරානුබද්ධ පෙදෙසට ව්‍යවහාරව තිබුණි. (ලං.ශි.ලෙ.සං.2-53) සසදාවතෙහි 12 වැනි ගීයේ ද කිත්සෙන් නම සඳහන් ය. දෙවනගල පර්වතය මුදුනෙහි බොහෝ පෞරාණික නෂ්ටාවශේෂ විද්‍යමාන ය. එහි පිහිටි 'ඉසුරුමුනිපාය' නම් ශෛලමට ප්‍රතිමාඝාරය ඉතා වැදගත් ය. දිගින් අඩි 30ක් සහ පළලින් අඩි 20ක් පමණ වූ මේ ගොඩනැගිල්ලේ බිත්ති සහ දොරටුව තවමත් පවතී.
සීතාවක රාජධානියෙහි පරිහාණිය ඇරඹුණු යුගයේ මහනුවර (සෙංකඩගල) රාජධානිය ඇරඹීමට අනුශාසනා කර දෙවනගල තෙරුන්වහන්සේ වැඩ විසුයේ ද මේ විහාරයේ ය. කොනප්පු බණ්ඩාර, I වැනි විමලධර්‍මසූරිය නමින් රජ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. දෙවනගල ගලෙහි වෙනත් තැනක කොටවා ඇති ලේඛනයෙන් විමලධර්‍මසූර්‍ය්‍ය නිරිඳුන් එම විහාරයට කළ පුද පූජා විස්තර වේ. සිංහල විමානවස්තු ප්‍රකරණය කළ ගම්මුල්ලේ රත්නපාල හිමියෝත් දෙවනගල වනරතන හිමියෝත් දෙවනගල සඟ පරපුරේ ශ්‍රේෂ්ඨයෝ ය. දෙවනගල රජමහ විහාරයේ ආරම්භකයා දාසෙන් රජ බව කියැවෙන ජන කවියක්
දිලේ දිලේ තුන් බුදු සසුන ලක තුළේ
විලේ ජලේ නොසිඳේ සැදුනු හැම කලේ
කළේ වෙහෙර දාසෙන් නිරිඳ මන කළේ
ගලේ දෙවන නැඟ ගොස් වඳිමු සිත ලොලේ
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)