දේවසාරා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:04, 7 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('චීනයේ මෙහෙණි සස්න පිහිට වූ ශ්‍රී ලාංකික මෙහෙණ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

චීනයේ මෙහෙණි සස්න පිහිට වූ ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේ නමකි. (චීනයට බුදුසමය ළඟා වීම එකිනෙක වෙනස් පුවත් රැසක් එළිදරව් වන හෙයින් මේ ගැන නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි ය.) ඒ නිසා මේ ශාසනික කටයුත්ත ක්‍රි.ව. පළමු වැනි සියවසට ආසන්න අවධියක සිදු වන්නට ඇතැයි ඉතිහාසඥයෝ අනුමාන කරත්. තාඕවාදය හා කොන්ෆියුසියස්වාදය එරට මුල් බැස ගෙන තිබුණු හෙයින් බුදු දහම වැනි විදේශීය ඉගැන්වීමක් එරට ජනතාවට හුරු කිරීම දුෂ්කර කාර්යයක් විය. (කෙසේ වූවත් කාශ්‍යප මාතාංග හා ධර්මරක්ෂ (ගෝභරණ) යන හිමිවරුන් ප්‍රමුඛ පිරිසක් විසින් චීනයට බුදු දහම හඳුන්වා දෙනු ලැබී ය.)

ඉන්පසු ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම සඳහා විදේශීය රටවලින් භික්ෂූන් වරින් වර චීනයට පිවිසිය ද එහි භික්ෂු පරපුරක් මුල් වකවානුවේ දීම ආරම්භ වූයේ නැත. පැවිදි වීමේ අභිලාශයෙන් හිසකෙස් බා ගුරුවරයෙකු යටතේ වාසය කළ ද විනයානුකූල ලෙස පැවිද්ද හා උපසම්පදාව භික්ෂූන් අතර පවා ඇති වූයේ සෑහෙන කාලයකට පසුව ය.

මධ්‍යම ආසියාවෙන් පැමිණි ධර්මාකර හිමියන් ක්‍රි.ව. 250 දී ශ්වේත අශ්ව ආරාමයෙහි සීමාවක් තැනවීමෙන් චීන භික්ෂු සංඝයා බිහි කිරීමේ පසුබිම සකස් විය. මෙවන් රාජ්‍යත්වයක් යටතේ භික්ෂුණි සංඝයා ඇති කර ගැනීමට කල් ගතවීම බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් ඒ සඳහා යම් යම් පියවර ගන්නා ලදි. චීනය වැනි දුර බැහැර පිහිටි, ගමනාගමනය දුෂ්කර ප්‍රදේශයකට භික්ෂූණින් වඩමවා ගැනීම අතිශයින් අසීරු කටයුත්තක් විය. එක් අතකින් එම ප්‍රශ්නය සාම්ප්‍රදායික ව විසඳා ගැනීමට ප්‍රයත්නයක් දැරූ අතර, අනෙක් අතට චීන ජාතිය සතු නිර්මාණ ශක්තිය යොදා හරයෙන් ඈත් නොවී අලුත් තත්ත්වයට සුදුසු වන පරිද්දෙන් බෞද්ධ විනය පුළුල් අර්ථකථනයකට භාජනය කරමින් කාලෝචිත හා ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කිරීමට දරන ලද උත්සාහයක් ද පෙනේ.

චීන කාන්තාවන්ට පැවිදි වී උපසම්පදාව ලැබීමට සුදුසු වාතාවරණයක් උදාවීම චීන බෞද්ධ ඉතිහාසයෙහි අතිශය වැදගත් පිටුවකි. මේ ශාසනික කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට මෙහෙයක් ඉටුවුව ද ඒ ගැන අපේ කිසිදු වංසකථාවක් වාර්තා කර නැත. එහෙත් මේ වැදගත් ප්‍රවෘත්තිය අපට එළිදරව් වන්නේ චීන භික්ෂුණීන් 65 නමකගේ චරිතාපදාන කෙටියෙන් දක්වා, 6 වැනි සියවසෙහි මුල් භාගයෙහි විසූ චීන ජාතික පාඕචාන් හිමියන් විසින් රචිත පි-චියු-නි-චු අන් (භික්ෂුණී චරිතාපදාන) නම් මූලාශ්‍රයෙහි (මේ ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුව ද ඇතුළත් කර තිබෙන කරුණු අනුව අතිශයන් වටිනා ග්‍රන්ථයකි. එහි දැක්වෙන චරිත කීපයක් ඇසුරෙන් මේ සිද්ධියෙහි පිටු දිග හැර ගත හැකි ය.)

බුදුසමය කෙරෙහි පැහැදුණු ලින්යි පැවිදිවීමට අභිරුචියක් දැක්වූවා ය. ඒ අනුව ඇය ෆාෂි හිමියන් හමු වී පැවිද්ද අයැද සිටියා ය. එහෙත් චීනයෙන් පිටත භික්ෂු-භික්ෂුණී සංඝයා සිටිය ද චීනය තුළ එසේ නොමැති හෙයින් කාන්තාවන්ට ලබා දිය නොහැකි බව ඒ හිමියන් පැහැදිළි කළහ. එසේ වුව ද ලින්යි සිය ඉල්ලීමෙහි දැඩිව එල්බ සිටියා ය. එහෙයින් කාශ්මීරයේ පැමිණ ඥනගිරි නම් සිය උපාධ්‍යායන් වහන්සේ හමු වී එම ප්‍රශ්නය ගැන තව දුරටත් කරුණු පැහැදිළි කර ගත යුතු බව ෆාෂි හිමියන් ලින්යිට කියා සිටියහ. උභය සංඝයා නොමැති වීමෙන් උපාධ්‍යාය කෙනෙකු ලැබිය නොහැකි නිසා කාන්තාවන්ට චීනය තුළ පැවිද්ද ලබා දිය නොහැකි බවත් ඒ වෙනුවට කාන්තාවකට භික්ෂුවකගෙන් දසසිල් ලබා සාමනේරියක විය හැකි බවත් ඥනගිරි හිමියන්ගේ මතය විය. ඒ අනුව ලින්යි හිසකෙස් බා දසසිල් සමාදන් වූවා ය. ඉන්පසු ඇගේ නාමය චින් චියෙන් විය. එහි දී ඇයත් සමඟ තවත් කාන්තාවෝ විසි හතර දෙනෙක් ද පැවිදි දසසිල් සමාදන් වූහ. මොවුහු අගනුවර බටහිර දොරටුව අසල පිහිටි චූලින් මෙහෙණවරෙහි වාසය කළහ. චීන ශාසන ඉතිහාසයෙහි පළමු කොට පැවිදි වූ මෙහෙණි ලෙස චින් චියන් සලකනු ලැබේ. මේ අයුරෙන් පහසුකම් සැලසුණු හෙයින් චීන කාන්තාවන් බොහෝ දෙනෙකු පැවිදි වූ බව එරට පිහිටු වන ලද මෙහෙණවර රාශියෙන් පෙනේ.

පැවිදි වීම සඳහා උද්යෝගය දැක්වූ චීන බෞද්ධ කාන්තාවන් මෙපමණකින් තෘප්තියට පත්කරලිය නොහැකි වූ බව බෞද්ධ භික්ෂූන් හා චීන උපාසිකාවන් අතර පැවති විවිධ සාකච්ඡාවලින් පැහැදිළි වෙයි. කාන්තා පැවිද්ද සම්බන්ධයෙන් වඩාත් නිදහස් ආකල්පයක් දක්වන ලද්දේ තවත් විදේශීය භික්ෂුවක් වන කාෂ්මීර ජාතික ගුණවර්වන් හිමියන් විසිනි. ඒ බව හුයි කුඕ මෙහෙණිය ඇසූ ප්‍රශ්නයට උන්වහන්සේ දුන් පිළිතුරෙන් පෙනේ. ඇගේ ප්‍රශ්නය වූයේ භික්ෂූන් විසින් කාන්තාවන් පැවිදි කළ හැකි ද යන්න ය. එසේ කළ හැකි ය යනු උන්වහන්සේගේ පිළිතුර විය. එසේ කළ භික්ෂූන් අතින් විනය නීති උල්ලංඝනය නොවන්නේ දැයි ඇය තවදුරටත් විමසුවා ය. ඒ ප්‍රශ්නය උන්වහන්සේ පහත දැක්වෙන අයුරින් පැහැදිළි කළහ. භික්ෂූන් හා භික්ෂුණීන් යන දෙපිරිස ම සිටින ප්‍රදේශයක දී කාන්තාවන්ට උපසම්පදාව දිය යුත්තේ උභය සංඝයා විසිනි. එසේ වුවත් භික්ෂුණීන් නැති ප්‍රදේශයක දී භික්ෂූ විසින් පමණක් කාන්තාවන්ට උපසම්පදාව ලබාදීම සුදුසු ය. විනය නීති උල්ලංඝනය වන්නේ උභය සංඝයා සිටිද්දී භික්ෂුණීන් සහභාගී කරවා නොගෙන භික්ෂූන් විසින් පමණක් උපසම්පදාව දීමට කටයුතු කළ හොත් පමණි. සාමාන්‍ය තත්වය යටතේ ගණපූරණය සඳහා සාමාජිකයන් සහසක් අවශ්‍ය වුවත් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දී ඊට අඩු සංඛ්‍යාවක් ප්‍රමාණවත් වන බව පිළිගැනීමෙන් අවස්ථානුකූලව ඒ ඒ කොන්දේසිවල වෙනසක් ඇති කර ගත හැකි බව පැහැදිළි වන්නේ යයි ද උන්වහන්සේ එය තව දුරටත් විස්තර කර දුන්හ.

නන්දි නම් නැව් හිමියෙකුගේ නැවකින් ශ්‍රී ලංකාවෙන් ක්‍රි.ව. 429 දී චීනයට පැමිණි භික්ෂුණීන් අට දෙනෙකුගෙන් යුත් පිරිස විසින් මේ අදහස ම ප්‍රකාශ කර ඇත. ඒ මෙසේ ය: තමන්ට පෙර චීනයට භික්ෂුණීන් පැමිණ ඇද්දැයි මේ ශ්‍රී ලාංකික භික්ෂුණීහු සෙන් කුඕ මෙහෙණියගෙන් විමසූහ. කවදාවත් එවැන්නක් සිදු වී නැත යනු ඇයගේ පිළිතුර විය. එසේ නම් චීන කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා ගන්නේ කෙසේ ද යනුවෙන් ඊළඟට ඔවුහු ප්‍රශ්න කළහ. ඊට ඇය උත්තර දුන්නේ උභය සංඝයා සපයා ගත නොහැකි හෙයින් මහණ උපසම්පදාව භික්ෂූන්ගෙන් පමණක් ලබා ගන්නා බව ය. එවිට ශ්‍රී ලාංකික භික්ෂුණිහු උපසම්පදා විනය කර්මය චාරිත්‍ර ධර්ම විශේෂයක් යයි පවසා මහාප්‍රජාපතී ගෝතමි මෙහෙණින් වහන්සේ පැවිද්ද හා උපසම්පදාව ලබා ගත් අයුරු හා අනෙක් ශාක්‍ය වංශික කාන්තාවන් පන් සියය මහණ උපසම්පදාව ලද අයුරු මෙහි දී පූර්වාදර්ශයක් වශයෙන් පිළිගත යුතු යයි ප්‍රකාශ කළහ. ශ්‍රී ලාංකික භික්ෂුණීන් කළ මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ, චීන භික්ෂූන් කාන්තාවන් පැවිදි කිරීමට එවකට අනුගමනය කරමින් සිටි ක්‍රමය උන්වහන්සේලා විසින් ද අනුගමනය කළ බවයි. එහෙත් චීන බෞද්ධ කාන්තාවන් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල අනුගමනය කළ සාම්ප්‍රදායික ක්‍රමය අනුව පැවිද්ද හා උපසම්පදාව ම ලැබීමේ අභිලාෂය මුළුමනින් ම අතහැර දමා තිබුණේ නැත.

මේ අතර ගුණවර්වන් හිමියන් කාන්තාවන් පැවිදි කිරීමේ ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව වර්ෂ කීපයක් ඇතුළත සම්ප්‍රදායට අනුව පැවිද්ද හා උපසම්පදාව චීනයෙහි දී ලබා දිය හැකි අවස්ථාව උදාවීමෙන් පැහැදිළි වෙයි. එය සැලසුණේ ශ්‍රී ලංකාවෙන් එහි ළඟා වූ දෙවානි භික්ෂුණී කණ්ඩායම නිසා ය. මේ කණ්ඩායම් දෙක ම චීනයට ලඟා වීම සඳහා එකල විවෘත ව පැවති මුහුදු සේද මාර්ගය උපයෝගී කර ගත් බව කිව යුතු ය.

ක්‍රි.ව. 433 දී නන්දිගේ නැවකින් දේවසාරා භික්ෂුණියගේ ප්‍රධානත්වයෙන් එකොළොස් නමක් සුන් රාජවංශයේ අගනුවර වූ වර්තමාන නැන්කින් නුවරට සැපත් වූහ. මොවුන්ගේ පැමිණීම නිසා ගණපූරණයට අවශ්‍ය වූ ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවක් භික්ෂුණීන් වහන්සේලා ලබා ගැනීමට හැකි විය. (මේ වන විට ගුණවර්වන් හිමියෝ අපවත් වී සිටියහ.) එහෙත් උන්වහන්සේ මේ කාර්යයෙහි දී තමන්ට සහාය දෙමින් සිටි සංඝවර්වන් හිමියන්ට අදාළ උපදෙස් ලබා දී තිබුණ බව පෙනේ. කලින් එහි ගොස් සිටි සිංහල භික්ෂුණීහු මේ වන විට චීන භාෂාවෙහි හුරුවක් ලබා සිටියහ. උපසම්පදා කර්මය සඳහා සංඝවර්වන් හිමියන්ගේ උපදෙස් අනුව නන්ලින් මෙහෙණවරෙහි සීමා ගෙයක් තනවන ලදි. මෙම මූලික කටයුතු නිමවීමෙන් පසු සිංහල භික්ෂුණීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් විනය සම්ප්‍රදායට අනුව කර්මය සිදු කරනු ලැබී ය. චිරාගත විනය සම්ප්‍රදායට අනුව මහණ උපසම්පදාව ලත් භික්ෂුණී පරම්පරාවක් මෙසේ පළමු වරට චීනයෙහි බිහි විය. එහි දී භික්ෂුණීන් තුන් සියයක් මුල් වරට උපසම්පදාව ලත් බව වාර්තා වී ඇත. මේ ක්‍රමය අනුව පළමුව උපසම්පදාව ලබා තිබෙන්නේ පාඕ ෂියෙන් මෙහෙණියයි.

මෙම උපසම්පදා කර්මය සිදු කර තිබෙන්නේ ධර්ම ගුප්ත නම් බෞද්ධ නිකායයේ විනය සම්ප්‍රදායට අනුව ය. මෙය සිදු වූයේ ලංකාවෙන් චීනයට ගිය භික්ෂුණීන් වහන්සේලා එම බෞද්ධ නිකායට අයත් වූ නිසා ම යයි පැවසිය නොහැක. මේ කාලය වන විට චීනයෙහි භික්ෂූන් වහන්සේලා අතර විනය සම්ප්‍රදාය කීපයක් ප්‍රචාරයට පත් වී තිබිණ. එකල එරට පැවති සම්ප්‍රදාය අනුව විනය අනුගමනය කරන ලද්දේ හන් ජාතිකයන් විසිනි. ඒ කෙසේ වුවත් ථේරවාදී විනය හා ධර්ම ගුප්ත විනය අතර බරපතළ අසාමාන්‍යත්වයක් නැත. විශේෂයකට තිබෙන්නේ ථේරවාදී විනයට වඩා එහි ශික්ෂා පද බහුල වීම ය. ඒ නිසා ලංකාවෙන් චීනයට ගිය ථේරවාදී භික්ෂූණීන් විසින් වුව ද ධර්ම ගුප්ත විනය අනුගමනය කිරීමට විරුද්ධත්වය දැක්වීම අනවශ්‍ය යයි සලකන්නට ඇත. ඒ කවරක් වුවත් ශ්‍රී ලාංකික දේවසාරා මෙහෙණිය නිසා චීනයෙහි භික්ෂුණී ශාසනයට ස්ථිරසාර පදනමක් ලැබුණු බව කිව හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ

1. K. W. MORGAN -: The Path of the Buddha

2. CHAO PU - CHU -: Buddhism Claming

3. PAO - CHANG -: Biographien of Buddhist Nums Tr' LI TUNG - HSI TOHAKI. gue. Osaka

(කර්තෘ: සෙනරත් විජයසුන්දර: 1997)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දේවසාරා&oldid=5039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි