දණ්ඩින්
දශකුමාර චරිතය හා කාව්‍යාදර්ශය යන සංස්කෘත කෘතීන්හි කතුවරයායි. මොහුගේ කාව්‍යාදර්ශය සංස්කෘත අලංකාර ශාස්ත්‍රයට අනුව කාව්‍ය රචනා කිරීම පිළිබඳව ලියන ලද විචාරාත්මක කෘතියක් වන අතර දශකුමාර චරිතය කුමරුවන් දශදෙනෙකුගේ දේශාටන කථා පිළිබඳව ලියන ලද ගද්‍ය කාව්‍යයකි.
දණ්ඩින්ගේ කාලය පිළිබඳව නිර්‍ණය කිරීම තරමක් දුරට අපහසු කාර්‍ය්‍යයකි. ඔහු පිළිබඳව යම් කිසිවක් අපට දැනගත හැකි වනුයේ ඔහුගේ කෘතිවලින් හා ඊට පසුව ඇති වූ ජන සම්ප්‍රදායයන්ගෙනි. කෘතීන් තුනක් පිළිබඳව කර්තෘත්වය ඔහුට පැවරුවත් දැනට ඉතිරිව ඇත්තේ දශකුමාර චරිතය හා කාව්‍යාදර්ශය යන කෘති පමණි. එසේ වුවද මේ කෘතිද්වයේ කර්තෘත්වය පිළිබඳව විචාරකයෝ සැක පහළ කරති. දළදඬු බවෙන් හා ග්‍රාම්‍යත්‍වයෙන් තොර භාෂා ශෛලියක් ගද්‍ය රචනයෙහි දී යොදා ගත යුතුයයි අලංකාර ශාස්ත්‍රය ගැන ඔහු කාව්‍යාදර්ශගේ දක්වන රීතිවලට දශකුමාර චරිතයේ එන ඇතැම් ග්‍රාම්‍ය ව්‍යවහාරයන් හා ඇතැම් තැනක දී යෙදී තිබෙන අසභ්‍ය ප්‍රයෝග ද පටහැනි මඟක් ගැනීම මීට හේතු වශයෙන් විචාරකයෝ පෙන්වති. එහෙත් දශකුමාර චරිතය ඔහුගේ තරුණාවස්තාවේ දීත් කාව්‍යාදර්ශය ඊට වඩා මුහුකුරා ගිය අවධියකත් රචනා කරන ලද්දැයි විශ්වාස කෙරේ.
ග්‍රන්ථයන් අතර පැනෙන කල්පිත සම්බන්ධතාවන් අනුව ද දණ්ඩීන්ගේ කාලය නිර්‍ණය කළ නොහැකි ය. එකම ග්‍රන්‍ථයකටවත් නිශ්චිත කාලයක් නොමැති වීම මීට හේතුවයි. තවත් සංස්කෘත අලංකාරිකයෙක් වූ භාමඟ හා දණ්ඩින්ගේ විචාර කෘති අතර සම්බන්ධය අනුව සළකා භමඟ පූර්ව කාලීන විචාරකයෙක් ලෙස සැලකීමෙන් දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය හත්වන සියවසට පෙර කරන ලද කෘතියක් ලෙස දැක්විය හැකි ය. මේ හැර ඔහුගේ දශකුමාර චරිතය බාණ හා සුබන්‍ධු යන ගද්‍ය රචකයන්ගේ කෘති හා සසඳන විට දණ්ඩින්ගේ භාෂාව හා ශෛලිය ඔවුන්ගේ භාෂාව හා ශෛලිය තරම් වැඩුණු බවක් පෙන්නුම් නොකිරීම ද හත්වන සියවසෙහි ගද්‍ය රචනයෙහි යෙදුන බාණට පෙර දශකුමාර චරිතය හවන සියවසේහි දී රචනා කරන්ට ඇතැයි සිතීමට වැදගත් සාධකයකි. මෙයින් හත්වන සියවසේ හජවර්‍ධන රජුගේ අධිරාජ්‍යයට පෙරාතුව පැවති කටයුතු පිළිබඳව තත්‍වයක් ද පිළිබිඹු කරයි.
කෙසේ වුව ද කාව්‍ය දර්ශය නිසා දණ්ඩින් සංස්කෘත කාව්‍ය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කාව්‍ය විචාරකයෙකු ලෙස ප්‍රසිද්ධ විය. එපමණක් නොව මේ කෘතිය පාලි, සිංහල හා දෙමළ සාහිත්‍ය කෙරෙහි ද එම කෘතියෙහි පරිවර්තනයන් මඟින් විශාල බලපෑමක් කෙළේ ය. ඔහුගේ දශකුමාර චරිතය ද ආධුනිකයෙකුගේ රචනයක් යැයි තීරණය කළ නොහැකි වන අතර එය සංස්කෘත සාහිත්‍යයේ ඇති රසවත්ම ගද්‍ය කෘතිය බැව් වැඩි දෙනෙකුගේ පිළිගැනීමයි.
(කර්තෘ: රත්න කුමාරි සෝමවීර: 1997)
(සංස්කරණය නොකළ)