රොබට් ද සොයිසා
බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය ඉදිරිපිට ජීව ප්‍රමාණ පිළිරුවක් වෙයි. එය මේ විදුහලේ නිර්මාතෘ සිහිකිරීම සඳහා ඉදිකරන ලද්දකි. හේ නමින් ගරුමුනි රොබට් ද සොයිසා වික්‍රමරත්න නම් වෙයි. රොබට් ද සොයිසා යන නමින් ප්‍රසිද්ධව සිටි මොහු සිය ජන්ම ප්‍රදේශයට විශාල සේවයක් කළ අතර ඔහුගේ නාමය සිහි වීම සඳහා මේ පිළිරුව කරවන ලද්දේ කෘතවේදී ප්‍රදේශ වැසියන් විසිනි.
1886 වර්ෂයේ ඔක්තෝම්බර් මස 24 වැනි දින බලපිටියේ දී ජන්ම ලාභය ලැබී ය. ගරුමුනි අල්විස් ද සොයිසා වික්‍රමරත්න ආරච්චි සහ සුමනා ද සිල්වා දෙපලගේ තෙවැනි පුත්‍රයා නම් කෙරුණේ රොබට් ද සොයිසා නමිනි.
බලපිටියේ සිංහල බෞද්ධ පාසැලින් අකුරු කරවීම ඇරඹූ ඔහු සිය ද්විතියික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඊට්න් විද්‍යාලයෙනි. 1895 දී විද්‍යාලයේ ස්වෙච්ඡා භට හමුදාවට බැඳුණු ඔහු පාසැල් අධ්‍යාපනය නිමවා කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුල්ව කාර්මික ඉංජිනේරු විභාගයෙන් ගෞරව සාමාර්ථයක් ලැබී ය.
1902 වසරේ දී සිය ජීවිතය ආරම්භ කළේ විදේශික ව්‍යාපාරිකයන් හා ලංකාවේ නිෂ්පාදකයන් අතර අතරමැදියෙකු ලෙසයි. එකල විදේශ වෙළෙඳාම සරුව පැවැති අතර ඔහුගේ අවංකභාවය නිසා විදේශික ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූයෙන් රොබට් ද සොයිසාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වන්නට විය. 1904 දී ඒ.එම්. මාර්ෂල් නමැති යුරෝපීය ජාතිකයකු පවත්වාගෙන ගිය මාර්ෂල් සමාගමට බැඳුණේ එහි කොටස්කරුවකු ද විය. 1911 දී මාර්ෂල් මහතාට හදිසියේ සිය මව්බිමට යෑමට සිදුවූයෙන් ඔහු සිය සමාගමේ කොටස් මොහුට පැවරී ය. සමාගමේ සියලු කොටස් තමා සතුවීමෙන් පසු එය 'ජී. රොබට් ද සොයිසා සමාගම' ලෙස නම් කළ අතර සමාගමේ සාර්ථකත්වය නිසා ම වැවිලි කර්මාන්තයට ද හවුල් වීමට මොහුට හැකි විය.
1927 වසර වන විට රොබට් ද සොයිසා සතුව තිබුණු තේ, පොල්, රබර් සහ කුරුඳු ඉඩම් ප්‍රමාණය අක්කර 5,000කට ආසන්න විය. සිය උපන් ගම වූ බලපිටියේ තම වාසය සඳහා දෙමහල් මන්දිරයක් ඉදිකරවූ ඔහු සිද්ධාර්ථ විද්‍යාලය සඳහා එහි පහත මන්දිරය වෙන් කොට දුන්නේ ය. බලපිටියේ ගැහැණු සහ පිරිමි ගුරු අභ්‍යාස විද්‍යාල දෙකක් ආරම්භ කොට පුහුණුව නිම වූ ගුරුවර ගුරුවරියන් සිද්ධාර්ථ අධ්‍යාපන මණ්ඩලයේ පාසැල්වල සේවය සඳහා සැපයී ය. භික්ෂු අධ්‍යාපනය නංවාලීම සඳහා සිද්ධාර්ථ ප්‍රාචීන විද්‍යාලය පිහිටුවීමේ ලා මූලික ව ක්‍රියා කළේ ය.
අධ්‍යාපන කටයුතු කෙරෙහි පමණක් නොව සේවා වියුක්තිය නිසා අසරණ ව සිටි සිය ගම් ප්‍රදේශයේ දිළිඳු ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා බලපිටියේ කොහු කර්මාන්තශාලාවක් ආරම්භ කළේ ය. දිළිඳු කාන්තාවන් සඳහා පැදුරු විවීමේ කර්මාන්තශාලාවක් ද පේෂ කර්මාන්තශාලාවක් ද ඉදි කළ අතර කාන්තාවෝ සිය ගණනකට එයින් ජීවිකා වෘත්තිය සැපයිණ. මේ අතර දුප්පත් දෙමාපියන්ගේ දරුවන් රැකබලා ගන්නා දාරක නිවාසයක් ද ඇරඹී ය. සිය ප්‍රදේශයෙන් පහසුවෙන් ලබා ගත හැකි අමුද්‍රව්‍ය යොදවා දේශීය කර්මාන්ත ආරම්භ කිරීමත් සේවකයන්ට සිය ශ්‍රමය යොදවා ජීවිතය පෝෂණය කර ගැනීමට සුදුසු පරිසරයක් ඇති කිරීමත් ඒ අතර ම මේ මඟින් සිය ව්‍යාපාර කටයුතු ද දියුණු කර ගැනීමට හැකි වීමත් රොබට් ද සොයිසාගේ දුරදක්නා ව්‍යාපාර ඥානය පිළිබිඹු කරයි. සොයිසා මහතාගේ සමාජ සේවා කටයුතු හා ව්‍යාපාරික කටයුතු ක්‍රමයෙන් ව්‍යාප්ත වෙත්ම ඔහුගේ කීර්තිය ද පැතිර ගියේ ය. ඒ අනුව එෆ්.ආර්. සේනානායක මහතාගේ මරණය නිසා හිස් වූ පහතරට වැවිලි සංගමයේ සභාපති තනතුරට ඔහු තෝරා ගන්නා ලදි.
1929 වසරේදී මොහුට සමස්ත ලංකා සාමදාන විනිශ්වයකාර පදවියක් පුදනු බැලුවේ මොහුගේ සේවය අගය කිරීමක් වශයෙනි. රුහුණු ප්‍රදේශයට පැමිණෙන විදේශික රාජ්‍ය නායකයන් පිළිගෙන සුදුසු පරිදි ගරු බුහුමන් දක්වා කටයුතු කිරීම එකල ඔහුට පැවරී තිබිණ. ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ තීරණය කිරීම සඳහා විමර්ශනයක් කිරීමට පැමිණි ඩොනමෝර් කොමිෂම, මැනිං ආණ්ඩුකාරවරයා ආදීන් පිළිගෙන ලංකාව වෙනුවෙන් ඒ පළාතේ දී සිය අදහස් ප්‍රකාශ කරන ලද්දේ රොබට් ද සොයිසා මහතා විසිනි. මහත්මා ගාන්ධිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ දී දකුණු පළාත වෙනුවෙන් එතුමා පිළිගන්නා ලද්දේ ද මොහු විසිනි.
සමකාලීන උගත් ලාංකිකයන් අනුගමනය කරමින් මොහුගේ සිත ද දේශපාලනය වෙත ඇදී ගියේ ය. 1931 වසරේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා බලපිටිය ආසනය වෙනුවෙන් තරග කළ මොහුට ප්‍රදේශයේ කෘතවේදී ජනතාවගේ විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබිණ. මොහුගේ පත්වීම ප්‍රදේශයට පමණක් නොව රටට ම අභිවෘද්ධියක් ගෙන දුන්නේ ආර්ථික කටයුතු පිළිබඳ විශාල අත්දැකීමක් මොහු සතු වීම නිසයි. ලංකාවේ ජාතික ආර්ථිකය නැංවීම සඳහා වැඩදායී යෝජනා රැසක් ම මොහු විසින් ඉදිරිපත් කරන ලදි. ඉඳුරුගම් වෙල්යායේ දිය බස්නාවක් නැතිකමින් එහි වගා කටයුතු කර ගෙන යෑමේ ප්රශ්නය විසඳීම සඳහා ඇළක් කපවා දිය බිස්නාවක් තනවා එම ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවී ය. බලපිටියේ මහ රෝහල, සුභද්‍රාරාම විහාරයේ පුස්තකාලය ද තැනවීම මොහු අතින් සිදු වූ තවත් විශිෂ්ඨ සේවාවන් වේ.
1933 පවත්වන ලද ඕලන්දයේ ශ්‍රී ලංකා ද්‍රව්‍ය ප්‍රදර්ශනයත් අධිරාජ්‍ය ප්‍රදර්ශනයත් මොහු විසින් සංවිධානය කරන ලදි. මේ මඟින් ලංකාවෙන් අපනයනය කළ හැකි වෙළෙඳ ද්‍රව්‍ය ලොවට හඳුන්වා දිය හැකි විය. අද්දැකීම් බහුල මොහුගේ සේවය විවිධ අංශයන්හි යොදා ගැනීම සඳහා වෛද්‍ය මණ්ඩලයේ පරීක්ෂක ධුරය, ආහාර ද්‍රව්‍ය සම්පාදනය කිරීමේ මණ්ඩලය, ලංකාවේ ඉන්දීය කුලීකරුවන් පිළිබඳ මණ්ඩලය ආදී මණ්ඩල ගණනාවක් සඳහා මොහු තෝරා ගන්නා ලදි.
රොබට් ද සොයිසා මහතා අමද්‍යප ව්‍යාපාරයේ ඉතා ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. පරමවිඥානාර්ථ සමාගමේ ලේකම් ධුරයේ වසර ගණනක් සේවය කළේ ය. බෞද්ධ පාඨශාලා සාමාන්‍යාධිකාරී තනතුර ද හෙබවී ය.
සිය ප්‍රදේශයත් රටත් සඳහා සිය කාලයත් ධනයත් කැප කළ ඔහු අවිවාහකයෙක් විය. 1935 ජූනි මස 02 වැනි දින ඔහු මිය ගියේ දින කීපයක් රෝගාතුර වී සිටීමෙන් පසුව ය. එතුමා කළ සේවයට උපහාර වශයෙන් කෘතවේදී බලපිටියේ ජනයා එතුමාගේ ජීව ප්‍රමාණ පිළිරුවක් ඉදි කරවා ඒ සා සේවයක් කළ පුද්ගලයාගේ නාමය සදා නොමැකෙන සිහිවටනයක් බවට පත් කළහ.
(කර්තෘ: චාමින්ද සෙනෙවිරත්න?)
(සංස්කරණය නොකළ)