දරිද්‍රතාව

සිංහල විශ්වකෝෂය වෙතින්
10:45, 15 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('යම් පුද්ගලයකුගේ වේවායි පවුලක වේවායි රටක වේවා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් පුද්ගලයකුගේ වේවායි පවුලක වේවායි රටක වේවායි මූලික අවශ්‍යතාවන් සෑහෙන පමණ සපුරා ගත නොහැකි තත්වයයි. එහෙත් මෙය දරිද්‍රතාව පිළිබඳ සම්පූර්ණයෙන් නිවැරදි නිර්වචනයක් නොවේ. කුමක් නිසා ද යත් සමහර විටෙක එක රටක මූලික අවශ්‍යතාවක් ලෙස සැලකෙන දේ තවත් රටක සුඛෝපබෝගී දේ ලෙස සැලකෙන නිසා ය. සමාජයක වාසය කරන දිළිඳු ම ජනකොට්ඨාසයේ ජීවන තත්‍වය, දිළිඳුබව මනින නිර්ණායකය ලෙස ද ඇතැම් රටවල සැලකේ. පුද්ගලයකු හෝ පවුලක් ලබන ආදායම පදනම් කර ගෙන දිළිඳු රේඛාව (Poverty line) නම් සීමාවක් ඇති කර, එම මට්ටමට වඩා පහත් ආදායමක් ලබන අය දිළින්දන් ලෙස වර්‍ග කිරීම ද තවත් රටවල කෙරෙන්නකි.

පසුගිය ශතවර්‍ෂ කීපය තුළ ලෝකයේ ඇතැම් රටවල ඇති වූ ආර්ථික සංවර්‍ධනය දුගීකම අඩු කිරීමට හේතු වී තිබේ. මෙම රටවල සාගත අඩුවීම හා ජනයාගේ ජීවන තත්වය උසස්වීම එයට හේතුවයි. කෙසේ වුවත් 20 වන ශතවර්‍ෂය මැද භාගය වන විටත් ලෝක ජනගහනයෙන් වැඩි පිරිස දුගී තත්වයක පසු වූහ. කාර්මික දියුණුවත් ඒ සමඟ ආහාර සැපයුම වැඩ වීමේත් ප්‍රතිඵලය වූයේ අධික ලෙස ජනගහනය වර්‍ධනය වීමයි. මේ නිසා රටවල් බොහෝ ගණනක ම ජනයාගේ ජීවන තත්වයේ උසස්වීමක් බලාපොරොත්තු විය හැකි නොවී ය. දැනටත් රටවල් රාශියක ම පවත්නා තත්වය වනුයේ මෙයයි. දරිද්‍රතාවය සමාජ විද්‍යාඥයන්ගේ, සමාජ සේවකයන්ගේ හා ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙන්නේ එමඟින් රටට හා සමාජයට අහිතකර ප්‍රතිඵල ඇති වී තිබෙන හෙයිනි. දූගී අයගේ ජීවන බලාපොරොත්තු කාලය කෙටිවීම, ඔවුන් අතර ශාරීරික හා මානසික රෝග බහුල වීම, අඩු අධ්‍යාපනය, දියුණුවීමට ඇති ප්‍රස්ථාවන් සීමාසහිතවීම මින් සමහරකි.

දරිද්‍රතාව කීප ආකාරයකට වර්‍ග කළ හැකි ය. ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් වර්‍ග කිරීම ඉන් එක් ආකාරයකි. ප්‍රාථමික දරිද්‍රතාව වශයෙන් හැඳින්වෙන්නේ අවම කායික අවශ්‍යතාවන් සපුරා ගැනීමට සෑහෙන තරම් ආදායමක් යම් පවුලකට හෝ පුද්ගලයකුට නොලැබීමයි. අවම කායික අවශ්‍යතාවන් සපුරාලීමට සෑහෙන තරම් ආදායමක් ලැබුණත්, එය ප්‍රයෝජනවත් හෝ ප්‍රයෝජනවත් නොවන වෙනයම් කටයුත්තක් සඳහා යෙදවීමට යම් පවුලකට හෝ පුද්ගලයෙකුට සිදුවේ නම් එවිට ද්විතීය දරිද්‍රතාව ඇති වේ.

සාමූහික චක්‍රීය හා පෞද්ගලික යනුවෙන් ද දරිද්‍රතාව වර්‍ග කළ හැකි ය. රටක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවිතයේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි තත්වයක පසුවන විට එම රටෙහි සාමූහික දුගීකම පවතී යයි කිව හැකි ය. ඉන්දියාවේ හා මධ්‍යම අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ මීට උදාහරණ ය. සාමූහික දුගීකමට ප්‍රධාන හේතු දෙකක් වේ. එනම් සම්පත්වල හිඟකම හා සම්පත් අසම ලෙස ජනයා අතර බෙදීයාමයි. යම් රටක ඇති ආර්ථික භාණ්ඩවල සුලභබව තීරණය වන්නේ එම රට කාර්මික අතින් ලබා ඇති දියුණුවේ ප්‍රමාණය හා ජනගහන ඝනත්‍වය මත ය. ප්‍රාථමික අර්ථ ක්‍රමයක් පවතින සමාජයක ජනගහනය අඩු නම් හා ස්වාභාවික සම්පත් බහුල ව ඇත්නම්, බලය අධික ව භාවිතා නොකර උසස් ජීවන තත්‍වයක් පවත්වා ගත හැකි වේ. බොහෝ පැසිපික් දූපත්වල පවත්නා තත්‍වය වනුයේ මෙයයි. නමුත් කාර්මික අතින් මධ්‍යම ප්‍රමාණයේ දියුණුවක් ලබා ඇති අර්ථක්‍රමයක ජනගහනයේ වැඩිවීම නිසා නොයෙක් ප්‍රශ්න උද්ගත වේ.

1960 ගණන් වන විට ලෝක ජනගහනයෙන් 10%ට අඩු ප්‍රමාණයක් විසූ උතුරු ඇමෙරිකාවට ලෝක ආදායමින් 40%ක් හිමි විය. නමුත් ජනගහනයෙන් 50%කට වඩා විසූ ආසියාවට හිමි වූයේ 20%ක් පමණි. ඒක පුද්ගල ආදායම අතින් බැලුව ද තත්‍වය මීට සමාන විය. ඇමෙරිකාවේ ඒක පුද්ගල ආදායම 2,000ට වඩා වැඩි වූ අතර ඉන්‍දියාව, ගිනිකොණදිග ආසියාව හා මධ්‍යම අප්‍රිකානු රටවල එය 500ටත් වඩා අඩු තත්‍වයක පැවතුනි.

ඉන්දියාව හා වෙනත් දුගී ආසියාතික රටවල දුගීබවට හේතු වන්නේ මෙම රටවල ජනයාට ඔවුන්ගේ මහන්සියෙන් වැඩි කොටසක් ආහාර නිෂ්පාදනය සඳහා යෙදවීමට සිදුවීමයි. එසේ කලත් ඔවුන්ට පෝෂ්‍යදායී ආහාරයක් සපයා ගත නොහැකි වේ. ඇමෙරිකාව වැනි දියුණු රටවල පවා මෙවැනි නොදියුණු පළාත් දක්නට ලැබේ.

දැනට ලැබී ඇති සාක්‍ෂිවලින් පෙනී යන්නේ ආර්ථික දියුණුව සමඟ මිනිසුන්ගේ ආදායම්වල සමානත්‍වයක් ඇති වන බවයි. වඩාත් අසම හා විෂම ආදායම් ව්‍යප්ත වීමක් දන්කට ලැබෙන්නේ නොදියුණු රටවල ය. දුප්පත් හා ධනවත් අය අතර ආදායම ව්‍යාප්තවීමේ වෙනසක් දියුණු රටවල පැවැතුනත් නොදියුණු රටවල දුගී ජනයා තරම් ඔවුන් දුඃඛිත තත්‍වයක පසු නොවන නිසා එය කැපී නොපෙනේ යයි මෙහි දී කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් ඇත්ත වශයෙන් ම නොදියුණු රටවල ආදායම ව්‍යාප්තවීමේ වෙනස වැඩි බව කිව හැකි ය. ආර්ථික දියුණුව හා ආදායම් ව්‍යාප්තියේ සමානත්‍වය අතර ඇති කිට්ටු සම්බනධය නිසා, සාමුහික දුගීකම නැති කිරීම සඳහා කළ යුතු පිළියම් වනුයේ දුගී ජනයාගේ ආදායම් තත්‍වය උසස් කිරීමයි. මෙය කළ හැක්කේ ඒක පුද්ගල නිෂ්පාදනය වැඩි කිරීම මඟිනි. සාමූහික දුගීකමේ ප්‍රතිඵල ජනගහනය පිළිබඳ සංඛ්‍යා ලේඛන පරීක්‍ෂා කිරීමෙන් වඩාත් පැහැදිලි ව දැකගත හැකි වේ. උතුරු ඇමෙරිකාව, යුරෝපය හා ඕස්ට්‍රේලියාවේ දියුණු ප්‍රදේශවල මිනිසකුගේ ජීවන බලාපොරොත්තු කාලය සාමාන්‍යයෙන් අවුරුදු හැට පහකට වැඩි වේ. යුගෝස්ලාවියාව, පෘතුගාලය, ආජන්ටිනාව වැනි මධ්‍යම ප්‍රමාණයේ සංවර්ධිත රටවල ජීවන බලාපොරොත්තුව අවුරුදු 55 සිට 65 දක්වා වූ අඩු ප්‍රමාණයකි. එමෙන්ම බොලීවියාව, ඉන්දියාව මොරොක්කෝ ආදී දුගී රටවල අවුරුදු 45 සිට 55 දක්වා ද බුරුමය, බ්‍රසීලය ආදී රටවල 45ට අඩු අවුරුදු ගණනක් දක්වා ද මිනිසකුගේ ජීවන බලාපොරොත්තු කාලය අඩු වේ.

දියුණු හා නොදියුණු රටවල මිනිසකු ජීවත්වීමට බලාපොරොත්තු වන වර්‍ෂ ගණන අතර ඇති වෙනස ක්‍රමයෙන් අඩු වන බව පෙනේ. නොදියුණු ප්‍රදේශයක් පළමුවෙන් ම කාර්මික වශයෙන් දියුණු කිරීමේ දී එහි ජනගහනයේ අධික වර්‍ධනයක් දක්නට ලැබේ. එහෙත් දියුණුව දිගට ම පවතින විට ජනගහන වර්‍ධනය අඩු වී කල්යත් ම මධ්‍යම ප්‍රමාණයේ ජනගහන වර්‍ධනයක් ඇති වේ.

චක්‍රීය දරිද්‍රතාවය කෘෂිකාර්මික අර්ථක්‍රමයක් ඇති රටක නම් ගොවිතැන් පාළුවීම, වාණිජමය අර්ථක්‍රමයක් ඇති රටක නම් වෙළෙඳාම අඩපණ වීම වැනි හේතුවක් නිසා තාවකාලික වශයෙන් රටක දුගී බව පැතිරයාම මෙනමින් හැඳින්වේ. කාර්මික විප්ලවයට පෙර, ලෝකයේ ආර්ථික අර්බුද සමඟ භාණ්ඩවල මිල ඉහළ යාමක් ඇති විය. ආහාර ද්‍රව්‍ය හිඟවීමක් නිසා කලින් කල ආහාර මිල අධික වශයෙන් ඉහළ ගියේ ය. කාර්මික විප්ලවයෙන් පසු බොහෝ විට අර්බුද ඇති වූයේ අධික නිෂ්පාදනය හා මිල පහළ යෑම නිසා ය. මේවායේ ප්‍රතිඵල වශයෙන් ඒ කාලවල දී ජනයෝ ඉතා දුක්ඛිත තත්‍වයකට පත් වූහ. එහෙත් වැඩි නිෂ්පාදනය නිසා ඇති වූ අර්බුද කාර්මික විප්ලවයට පෙරත්, ආහාර හිඟකම කාර්මික විප්ලවයට පසුවත් ඇති වූයෙන් මෙම සාමාන්‍යකරණ සර්ව සාධාරණ ලෙස සැලකීමට නොහැකි ය. 19 වන ශතවර්‍ෂය පටන් වාණිජමය අර්ථක්‍රම දියුණු වීමත් සමඟ සේවා වියුක්තිය ද ඇති විය. වාණිජ ලෝකයේ වරින් වර ඇති වූ අර්බුද, රටවල් එකිනෙක මත යැපීමේ ප්‍රමාණය වැඩිවත් ම වඩා බලවත් සේ එම රටවල බලපෑවේ ය. 1930 ඇති වූ ආර්ථික පරිහානිය වසර 10ක් පමණ පැවතීම මෙයට නිදසුනකි.

පුද්ගලයකුට මුහුණ පෑමට සිදුවන අවාසනාවන්ත ඉරණමක් නිසා ඔහුට තම මූලික අවශ්‍යතාවන් සපුරා ගත නොහැකිවීමෙන් පෞද්ගලික දරිද්‍රතාව ඇති වේ. මෙය පිළිබඳ ව පළමු වරට විද්‍යානුකූල අධ්‍යයනයක් කළේ චාල්ස් බූන් ය. ඔහු තෝරාගත් නියැදියෙන් 62%ක් දුගීන් වූයේ අඩු පඩි හා අස්ථිර රැකියා නිසා ය. විශාල පවුල් නඩත්තු කිරීමට සිදුවීම නිසා හෝ රෝගාතුර වීම නිසා 23%ක් දුගී බවට පත්වූහ. ඉතිරි 15% දුගීන් වූයේ බීමත්කම හෝ අලස බව වැනි හේතුවක් නිසා ය.

වර්‍තමානයේත් දුගීකම පිළිබඳව ලබා ගත හැකි තොරතුරු ඉතා අල්ප වේ. එයට හේතුව මෙය පිළිබඳව විද්‍ය‍ොත්මක අධ්‍යයනයන් කර ඇත්තේ නාගරික ජනගහනය සම්බන්ධයෙන් පමණක් වීමයි. මේ නිසාම දරිද්‍රතාව පිළිබඳව සාමාන්‍යකරණ කිරීම දුෂ්කර වේ.

දුගීකම නැති කිරීම සඳහා වන සේවා කීපයක් වර්‍තමාන ලෝකයේ දක්නට ලැබේ. දුගී සහනාධාර, මහජනාධාර, මහලු අයට විශ්‍රාම වැටුප්, රැකියා නැති අයට සහනාධාර, අනිවාර්ය රක්‍ෂණ ක්‍රම මින් කීපයකි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1993)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දරිද්‍රතාව&oldid=5206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි