දුම්මැල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
14:59, 18 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උද්භිද විද්‍යාත්මකව Trichosanthes cucumerina නමින් හැඳින්වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උද්භිද විද්‍යාත්මකව Trichosanthes cucumerina නමින් හැඳින්විණ. පසු කලෙක Trichasathes bracteata නමින් හැඳින්වෙන්නේ ද දුම්මැල්ල ය. CUCURBITACEAE කුකුර්බිටාසේ නම් උද්භිද කුලයට අයත් ය.

දුර්වල කඳක් සහිත ඒක වාර්ෂික ශාකයකි. වැල ඉහළ නගින්නේ පහුරු (tendrils) මඟිනි. කඳ මීටර් 3.6-4.5ක් පමණ දිගට වැඩෙයි, බූව රහිත හෝ මඳ වශයෙන් බූව සහිත විය හැකි ය, දාර සහිත ය. පත්‍ර සරල ය, ඒකාන්තර ය, සෙ.මී. 5-12ක් පමණ දිග ය, සෙ.මි. 6.5-11ක් පමණ පළල ය. පත්‍ර තලයේ පාදය හෘදාකාර ය, පත්‍ර තලය පාණිවත් (palmately) ය, එහි කොටස් 3, 5 හෝ 7කි. සාමාන්‍යයෙන් පත්‍ර තලයෙන් අඩක් පමණ පිටතට නැමී පිහිටයි. පත්‍ර දාරය තීව්‍ර හෝ ඈත්ව පිහිටි දන්තුර ස්වාභාවයක් ගනියි. පත්‍ර පාදය ආසන්නයේ පත්‍ර තලය බූව සහිත විය හැකි ය. පත්‍ර වෘන්තය සෙ.මි. 2-4.5ක් පමණ දිග ය, බූව සහිත ය.

පුෂ්ප සුදු පැහැති ය, පුෂ්ප පිපීම වසරේ සැප්තැම්බර්-දෙසැම්බර් අතර කාලයේ දී සිදු වේ. පුෂ්ප ක්‍රමවත් ය, ඒක ලිංගික ය, ඒක ගෘහි (monoecious) ය. පුෂ්ප මංජරිය ඒකාක්ෂය (racemes)කි. පූමාංගී ඒකාක්ෂය ද ඇතැම් විට එක ම කක්ෂයේ හට ගනියි. පූමාංගී ඒකාක්ෂයේ වෘන්තය සාපේක්ෂව දිගින් වැඩි ය. පූමාංගී ඒකාක්ෂයේ වෘන්තය සෙ.මී. 5-15ක් පමණ දිග වේ. එක් පුෂ්ප මංජරියක පුෂ්ප 8-15ක් පමණ පිහිටයි. පුෂ්ප හට ගන්නේ අග්‍රයට සමීපව ය. පුෂ්ප වෘන්තය සෙ.මී. 0.8-2ක් පමණ වේ, බූව සහිත ය, මණිය මණිපත්‍ර 5කි. ඝණ්ටාකාර මණි නාලයක් බවට සංයුක්තව ඇත. එය සෙ.මී. 2.5ක් පමණ දිග ය, කෙළවරින් විහිද ඇත. එම ඛණ්ඩ පටු ය, ලන්සාකාර ය, අග්‍රවලින් තීව්‍ර ය.

මුකුටය දල පත්‍ර 5කි, සෙ.මී. 1ක් පමණ දිග ය, ලන්සාකාර හෝ අණ්ඩාකාර වේ. දලයේ කෙළවර කුඩා, කැරලි ගැසුණු, අක්‍රමවත් ඛණ්ඩ කිහිපයකට බෙදී ඇත. රේණු 3කි, මණි නාලය තුළ පිහිටයි. සූත්‍රිකා කෙටි ය, පරාගධානි සංලග්න (connate) ය, රේඛීය - අණ්ඩාකාර වේ, සම්පිහිත ව (conduplicate) පිහිටයි.

ඡායාංගී ඒකාක්ෂයේ වෘන්තය සෙ.මී. 0.3-1.6ක් පමණ දිග වේ, බූව සහිත ය, මණි නාලය ඉහළට යොමුව පිහිටයි. මණි නාලයේ විදුර කොටස බූව සහිත විය හැකි ය. ඩිම්බ කෝෂය අධර (inferior) ය, ඒක කෝෂ්ටීය වේ, මාංසල ය, බිත්තික ඩිම්බ වින්‍යාසයකි. කීලය සරල ය. කලංකය කොටස් 3කි. ඵලය අණ්ඩාකාර-තර්කුරූපී වේ, දිග සෙ.මී. 3.7-5 පමණ වේ. පළල සෙ.මී. 2-2.3ක් පමණ වේ. කෙළවරවලට වන විට ක්‍රමයෙන් තර්කුව සිහින් වී දෙකෙළවර තීව්‍ර තුඩු දෙකක් බවට පත්ව ඇත. මතුපිට සුදු පැහැති ඉරි සහිත ය, පසුව තද රතු පැහැයට හැරෙයි. ඵලාවරණය තුනී ය. බීජ අණ්ඩාකාර ය, සෙ.මී. 1ක් පමණ වේ, රතු පැහැති නානු වර්ගයකින් මුළුමනින් ම ආවරණය වී පිහිටයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, වෙනිසියුලාව හා පිලිපීන දූපත් යන රටවල දැකිය හැකි ය. මෙරට පහතරට බහුල ව දැකිය හැකි ය.

අජීර්ණය, පාණ්ඩුව, සෙංගමාලය, උදර රෝග, තද බ්‍රොන්කයිටිස්, නියුමෝනියාව, රක්තහීනතාව, පීනස, ගඩු, වණ, සමේ පිපුරුම්, පණු දද, දියවැඩියාව ආදී බොහෝ රෝගවලට ප්‍රතිකාර ලෙස වෙනත් ද්‍රව්‍ය සමඟ එක් කොට දුම්මැල්ල ශාකයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගන්නා බව ආයුර්වේදයේ දැක්වේ. දුම්මැල්ල මුල් පණු රෝගවලට ප්‍රතිකාර වේ. ප්‍රබල පවිත්‍රකාරකයකි.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දුම්මැල්ල&oldid=5257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි