දවුලත් රාඕ සින්ධියා
18 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ පාලන කටයුතුවල දී වැදගත් ස්ථානයක් ගෙන තුබූ මරාථ රාජ වංශයේ පාලකයකු වශයෙන් මොහු ග්වාලයර්හී කටයුතු කළේ ය. ක්‍රි.ව. 1726 පමණ මාල්වාහී ආරම්භ වූ හින්දු මරාථ රාජ්‍යය 1750 පමණ වන විට දී දුර්ගයන්ගෙන් ගහනය වූ ග්වාලියර් වෙත ගෙන එනු ලැබිණි. 1761-94 යන කාලය තුළ දී මහාධජි සින්ධියා (බ.) මේ රාජ්‍ය බලවත් ස්වාධීන හින්දු රාජ්‍යයක් බවට පත් කළේ ය. ප්‍රංශ ආධාර සහිත ව බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමට තර්ජනයක් වූ මොහු දුබල වෙමින් පැවැති මෝගල් අධිරාජ්‍යයේ ෂා අලාම් (බ.) රජු ව ද තම අණසකට යටකර ගත්තේ ය. රාජ්පුත්වරුන්ගේ බලයට මේ වකවානුව වන විට දී මරාථ රාජ්‍යය තර්ජනයක් විය.
මෙවන් පරිසරයක් පැවැති යුගයක දී මහධජි සින්ධියාගේ සහෝදරයකුගේ පුත්‍රයා වූ දවුලත් රාඕ සින්ධියා මරාථ පාලකයා බවට පත් විය. ඉතා බාල අවධියක දී, එනම් 15 වැනි වියෙහි පසු වූ දවුලත් රාඕ සින්ධියා ඔහු ඉදිරියේ පැවැති අභ්‍යන්තර ගැටුම් සියල්ල මැඩ පවත්වා අසහාය පාලකයා බවට පත් විය.
ක්‍රි.ව. 1800 පමණ පූනාහි ආධිපත්‍ය සඳහා තවත් මරාථ නායකයකු වූ නොල්කාර් සමඟ මොහු යුද්ධයක් ඇති කර ගත්තේ ය. 1802 දී මොහු වෙලස්ලි සංචි සමඟ සාම ගිවිසුමක් ඇති කර ගත්තේ ය. එහෙත් ඒකාබද්ධ හින්දු හමුදාවක් ගොඩනගා ගත් සින්ධියා නාග්පූර් රජුත් සමඟ නර්මදා නදිය තරණය කොට බ්‍රිතාන්‍යයින්ට විරුද්ධ ව සටන් මෙහෙයවී ය. එම විශාල භට කණ්ඩායම විදුරුවා හැරිය යුතු යයි බ්‍රිතාන්‍ය පාලක වෙලස්ලි අණදුන්නේ ය. එම අණ නොතකා සින්ධියා ඉදිරියට ගිය හෙයින් වෙලස්ලි සංචි යුද්ධ ප්‍රකාශ කළේ ය. 1803 අගෝස්තු මාසයේ දී බ්‍රිතාන්‍ය හමුදා සින්ධියාගේ ඒකාබද්ධ හමුදාව දුර්වල කළේ ය. මෙවිට සින්ධියා නැවත බ්‍රිතාන්‍යයින් සමඟ ගිවිසුමකට එළඹියේ ය. මේ ගිවිසුමට අනුව සින්ධියාට තම හමුදාව ලාස්වාර්හි දී විසුරුවා හැරීමට සිදු විය. ඒ අනුව විශාල භූමි ප්‍රදේශයක් ද උත්තර භාරතයේ දේශපාලන අයිතිවාසිකම් රාශියක් ද බ්‍රිතාන්‍යයින්ට පවරා දීමට සින්ධියාට සිදු විය.
දවුලත් රාඕ සින්ධියා පසුව සිය මධ්‍යස්ථානය ලෙස ග්වාලියර් ශක්තිමත් කළේ ය. ඒ අනුව රාජබුකානාවේ රාජ්පුත්වරුන්ට ද මාල්වාහි සුළු ජන ප්‍රධානින්ට ද හෙතෙම නොයෙකුත් හිරිහැර සහ පෙළීම් කළේ ය. සින්ධියාගේ වාඩිපොළ ලෙස සැලකුන ග්වාලියර් මහා නගරයක් බවට පත් කළේ ය. මෙලෙස ඔහුගේ ක්‍රියාකාරකම් ඔහු සතු වත්කමට වඩා බොහෝ ඉහළ නැග්ගේ ය. මෙනිසා තම යටත් රාජ්‍ය පාලනය දුබල විය. නාමමාත්ර වශයෙන් තම යටත් රාජ්‍යවල සිටි හමුදාවන්ට යැපීම් දීමනා යැවිණ. 1817 දී බ්‍රිතාන්‍යයින් සමඟ ගිවිසුමක් ඇති කර ගත් සින්ධියා පින්දාරීවරුන්ට විරුද්ධ ව බ්‍රිතාන්‍යයින්ට සහයදිණි. තවද ජම්බාර් ඉවුරේ සිටි රාජ්පුත්වරුන් සමඟ සබඳතා ඇති කර ගැනීමට බ්‍රිතාන්‍යයින්ට අවස්ථාව ලබා දුන්නේ ය. 1818 දී බ්‍රිතාන්‍යයින් සමඟ අවසන් වරට ගිවිසුමකට අත්සන් කළ සින්ධියා බ්‍රිතාන්‍යයින්ගේ යැපෙන්නෙක් බවට පත් වී බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ 1847 දක්වා බ්‍රිතාන්‍ය අනුග්රාහකයකු ලෙස කුමාර දිවියක් ගත කළේ ය.
(කර්තෘ: ජී.එච්. ආරියසේන)
(සංස්කරණය නොකළ)