දඹදෙණිය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:32, 20 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.ව. 1220 සිට ක්‍රි.ව. 1283 දක්වා වූ වසර 63ක කාලයක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.ව. 1220 සිට ක්‍රි.ව. 1283 දක්වා වූ වසර 63ක කාලයක් ලංකාවේ ප්‍රධාන රාජධානිය වූ දඹදෙණිය දිවයිනේ ඓතිහාසික වශයෙන් වැදගත් වූ නගර අතුරෙන් එකකි. මේ රාජධානිය මාඝ නම් වූ විදේශිකයාගේ ආක්‍රමණවලින් පසු විනාශ වූ හෙයිනි. එලෙසම මාඝට විරුද්ධව ඔහුගෙන් රට බේරාගැනීම සඳහා බිහි වූ බලකොටුවක් ලෙස අද මෙය හැඳින්විය හැක.

දඹදෙණිය යන නම ව්‍යවහාරවීම පිළිබඳ ව ජනකථා කිහිපයක් ගොඩ නැඟී ඇත. රහතන් වහන්සේ නමක් මෙහි තිබෙන ගල මුදුනේ සිට දඹ වැළඳීම හේතුවෙන් ද ගල මුදුනේ සිට දඹ ගසකින් අතු හා ගෙඩි ගෙනවුත් මේ පෙදෙසේ රෝපණය කළ නිසා ද නිඝණ්ඨයකු වාදයක් සඳහා අභියෝග කරමින් මෙහි වූ දෙණියක දඹ අත්තක් සිට වූ හෙයින් ද දඹදෙණිය යන නම ව්‍යවහාරයට ලක් වූ බව එම ජනකථා අනුව හෙළි වේ.

දඹදෙණි යුගය පිළිබඳ ඓතිහාසික තොරතුරු සෙවීමේ දී ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාධක ලබාගත හැක. ඒ අතරට ලිඛිත මූලාශ්‍ර වශයෙන් දේශීය වංස කථා වැදගත් වන අතර මේ යුගයේ දී ලියවුණ සාහිත්‍ය හා ආගමික කෘති වන නිකාය සංග්‍රහය, සද්ධර්ම රත්නාවලිය, සසදාවත, රාජ රත්නාකරය, රාජවලිය ඉන් සමහරකි. විදේශීය මූලාශ්‍ර වශයෙන් සලකන කල්හි ජිනකාලමාලි නම් සියම් මූලාශ්‍රය ද මේ යුගය පිළිබඳ තොරතුරු හෙළි කෙරේ. මේ හැරුණ විට පුරා විද්‍යාත්මක වශයෙන් අනුරාපුර, පොළොන්නරුව වැනි රාජධානිවල ඉතිරි වී නැති නමුදු සොයාගත ඇති දේශීය මෙන් ම විදේශීය සෙල්ලිපි ඉතිහාසය සකස් කිරීමේ දී මහඟු ලෙස ප්‍රයෝජනවත් වී ඇත. මේ පුරාවිද්‍යාත්මක තොරතුරු අතුරෙන් විජයබාහු III රජුගේ සහ පරාක්‍රමබාහු II රජුගේ සෙල්ලිපි ඉතා වැදගත් වන මූලාශ්‍රයෝයි. තවද විදේශීය පුරාවිදු සාධක ලෙස සැලකිය හැකි දකුණු ඉන්දියානු රජුන් වූ 13 වන සියවසේ රජකළ ජාත වර්මන් සුන්දර පාණ්ඩ්‍ය සහ ජාත වර්මන් වීර පාණ්ඩ්‍ය යන රජවරුන් පිහිට වූ සෙල්ලිපි ද මේ යුගයේ ඓතිහාසික තොරතුරු හෙළි කරනු ලබන තවත් මූලාශ්‍රයෝයි. එලෙසම මලය අර්ධද්වීපයේ පිහිටි චන්ද්‍රභානුගේ ජෙයියා සෙල්ලිපිය ද පරාක්‍රමබාහු II රජුගේ කාලයේ දී සිදු වූ ජාවක ආක්‍රමණ ගැන විස්තර හෙළි කරන්නේ ය.

දඹදෙණිය රාජධානියක් වශයෙන් බිහිවීමට හේතු වූයේ කාලිංග මාඝයන්ගෙන් ලක්දිව බේරා ගැනීමේ අරමුණින් යයි කීවොත් නිවැරදි ය.

මේ අනුව සතුරාට පහර එල්ල කිරීමට ද එලෙස ම සතුරාගේ පහරට මුහුණ දීමට සුදුසු වන සේ ද සැකසුණ දඹදෙණිය රාජධානියක් වූයේ බලකොටුවක් වශයෙන් සකස් වීමෙන් පසුව ය.

දඹදෙනි යුගය ආරම්භ වන්නේ විජයබාහු III හෙවත් වත්හිමි විජයබාහු රජුගේ (බ.) රාජ්‍යෝදයෙන් පසුව ය. හේ ක්‍රි.ව. 1220 දී මායා රටින් විදේශීය සතුරන් පලවා හැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය තම රාජධානිය කොට රාජ්‍යපද ප්‍රාප්ත වූයේ ය. ඉන්පසු භාරතයෙන් භික්ෂූන් වහන්සේලා ද කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ ද තම රාජධානියට එතුමා වැඩම කරවූයේ ය. වසර හතරක පමණ කාලයක් දඹදෙණියේ මෙතුමා රාජ්‍යය කළේ ය.

විජයබාහු III රජුගෙන් පසු ජනකථා අනුව රජුගේ මහම්මදික පුත්‍රයකු රජකම් කළ බව පෙනේ. එහෙත් විජයබාහු රජුට පසුව දඹදෙණියේ වැදගත් රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කර ඇත්තේ පරාක්‍රමබාහු II රජු හෙවත් පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ය. මෙතුමාගේ අභිෂේකය සිදු වූයේ ක්‍රි.ව. 1236 දී ය. මෙතුමා කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල නම් ස්ථානයේ තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ නැවත වැඩමවූයේ ය. ඉන්පසු පොළොන්නරුවෙන් ද්‍රවිඩ පාලනය ඉවත් කිරීමේ කාර්යයෙහි නියුතු විය. වංස කතාවල දෙමළ යුද්ධය, මලල යුද්ධය නම් යුද්ධ දෙකක් කළ බව සඳහන් වෙයි. මෙතුමාගේ රාජ්‍යොද්යෙන් 11 වන වසරෙහි දී මැලේ අර්ධද්වීපයෙන් පැමිණි චන්ද්‍රභානු (බ) නම් විදේශිකයෙක් ලංකාව ආක්‍රමණය කළ බව දැක්වෙයි. රජතුමා මොහුගේ ආක්‍රමණ මැඩලූ නමුදු ඉන් පසු ද හේ යළිත් මෙරට ආක්‍රමණය කළ බව පෙනේ. මින් අනතුරුව රජතුමාට සිය කාලය පුණ්‍ය කටයුතු සඳහා යොදවා ඇත. මෙතුමා ක්‍රි.ව. 1267-68 පමණ දී බෝසත් විජයබාහු IV (බ.) නම් තම පුත්‍රයනට රජකම පවරා දී රජකමෙන් ඉවත් විය. බෝසත් විජයබාහු IV (බ.) විනාශ වූ සිද්ධස්ථාන පිළිසකර කරවී ය. මේ යුගයේ දී ද ජාවක ආක්‍රමණ සිදුවූ අතර එය මැඬපැවැත්වීමට මොහුට හැකිවිය. ක්‍රි.ව. 1269-1270 අතර පණ්ඩිත පරාක්‍රමබාහු රජ මිය ගියෙන් ලක්දිව බලය සම්පූර්ණයෙන් බෝසත් විජයබාහු රජුට හිමිවිය. එහෙත් තම සේනාපති මිත්‍රගේ අසිපතට හේ ගොදුරු විය. ඉන්පසු ඇති වූ ව්‍යාකූලභාවයෙන් පසු විජයබාහුගේ සොහොයුරු බුවනෙකබාහු I (බ.) රාජ්‍ය පද ප්‍රාප්ත වූයේ ය. මොහු දඹදෙණියේ රාජ්‍ය කළ අවසාන පාලකයා විය. කලක් දඹදෙණියේ සිට පාලන කටයුතු කළ මෙතුමා ඉන්පසු යාපහුව නගරය වෙත ගොස් පාලන කටයුතු මෙහෙයවී ය.

කඳවුරුපුරය, සමෘද්ධිපුරය, කාලිංගපුරය යනුවෙන් ද සාහිත්‍ය ග්‍රන්ථවල හැඳින්වූ මේ දඹදෙණිය රාජධානිය පැවතියේ සීමාසහිත කාලයකි. එනම්, වසර 63ක පමණ කෙටි කලකි. එහෙත් මේ කෙටි කාලය තුළ දී ආගමික හා සාහිත්‍ය කටයුතු අතින් දුබල වෙමින් පැවැති සිංහල ජාතියට මහඟු සේවයක් සිදුවූ පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැක.

ආශ්‍රිත ග්‍රන්ථ

දඹදෙනි යුගය - 1, 2 - දෙගම්මැද සුමනජෝති හිමි

සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය - එච්.ඩබ්. කොඩ්රින්ටන්

ඉතිහාස සංග්‍රහය - මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි, හීටිපැල්ලේ ඉන්ද්‍රවංශ හිමි

මධ්‍යස්ථ ලංකාව - ඉන්ද්‍රකීර්ති හිමි

(කර්තෘ: ජී.එච්. ආරියසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දඹදෙණිය&oldid=5299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි