දකුණු යේමන ජනරජය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:55, 20 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) (ි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වර්තමානයේ 'ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මෙයන් සමූහාණ්ඩුව' වශයෙන් හැඳින්වෙන්නේ 'දකුණු යේමනය', එනම් 'දකුණු යේමන ජනරජය' ය. එය උතුරු අක්ෂාංශ 100ත් 180ත් අතරත් නැගෙනහිර දේශාංශ 430ත් 530ත් අතරත් විහිදේ. අරාබි අර්ධද්වීපයේ දකුණු වෙරළබඩ තැන්නේ ප්‍රදේශයෙන් අඩක පමණ මේ රාජ්‍යය පැතිරෙයි. එහි බටහිර ඉතා පටු ප්‍රදේශයක් වී ක්‍රමයෙන් මධ්‍යම කොටසේ දී රට උතුරු දෙසට විහිදී පුළුල් ස්වභාවයක් ගන්නේ ය. දකුණු යේමන රාජ්‍යය, රතු මුහුදට පිවිසෙන බේබල් මැන්ඩප්වල සිට අරාබි දකුණු වෙරළේ නැගෙනහිර දෙස ඕමාන් රාජ්‍යයේ බටහිර සීමාව තෙක් පැතිරේ. එහි උතුරු මායිම් යේමන අරාබි ජනරජයත් සෞදි අරාබියාවත් වෙයි. දකුණේ අරාබි මුහුද හා ඒඩ්න් බොක්ක වෙයි. මෙහි අගනුවර ඒඩ්න් ය.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යේමන සමූහාණ්ඩුවට අයත් දූපත් සමූහයක් ද වෙයි. මේවා පිහිටා ඇත්තේ අරාබි මුහුදේ නැගෙනහිර අප්‍රිකානු අඟ (හෝන්) තුඩුවට නැගෙනහිරින් ය. ඒවා නම් සොකෝත්‍රා දූපත, රතු මුහුද සහ ඒඩ්න් බොක්ක අතර පිහිටි පෙරිම් දූපත සහ රතු මුහුදේ පිහිටි කමරාන් දූපතයි. වර්ග කිලෝමීටර 288,000ක පමණ ප්‍රදේශයකින් සමන්විත වූ මේ රාජ්‍යයේ 1971 දී ජන සංඛ්‍යාව වූයේ 1,467,000ක් පමණ ය.

කොදෙව් රැසේ ඇති විශාලතම දූපත සොක්‍රෝත්‍රා ය. එය ඒඩ්න් බොක්කේ නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 105ක් පමණ ද උතුරේ සිට දකුණට කිලෝමීටර 35ක් පමණ ද විහිදේ.

පිහිටීමේ වැදගත්කම

දකුණු යේමන රාජ්‍යය යුද්ධෝපා කටයුතු පිළිබඳ ඉතා යහපත් පිහිටීමකි. රතු මුහුදට පිවිසෙන දකුණු දොරටුවේ පිහිටීමත් ඉන්දියන් සාගරය වටා ඇති රටවල් අතර කෙරෙන වෙළෙඳාම පිළිබඳ සන්ධිස්ථානයක් වීමත් පිහිටීමේ වැදගත්කමට හේතු වේ. ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතික සම්බන්ධතා සහ වාර්ගික සංයුතිය කෙරෙහි එම පිහිටීම බොහෝ සෙයින් බලපෑවේ ය.

එකල දකුණු ආසියාවේ යටත්විජිත පවත්වා ගනිමින් සිටි බ්‍රිතාන්‍යයින්ට එම රාජ්‍යය අතිශයින් වැදගත් විය. එබැවින් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මේ රාජ්‍යයේ ඒඩ්න් නගරය අල්ලා ගත්තේ ඉන්දියන් සාගරයේ සිට හා එහි පිහිටි රාජ්‍යවලට යන බ්‍රිතාන්‍ය නැව්වලට ගල්අඟුරු පැටවීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගැනීමට ය. 1869 දී සූවස් ඇළ විවෘත කිරීමෙන් පසු ව ඒඩ්න් නුවර තරමක් දුරට ආර්ථික නිදහස දිනා ගත්තේ ය. 20 වන සියවසේ දී ඛනිජ තෙල් කර්මාන්තය දියුණු කිරීමෙන් පසු ඒඩ්න්වල වැදගත්කම වැඩි විය. බ්‍රිතාන්‍යයන්ට යටත් ව තිබුණු නමුදු ඒඩ්න්වලට සංස්කෘතික බලපෑමක් ඉන් ඇති නොවීය. ජාතික අගනගරය ඒඩ්න් වූ අතර ඊට බටහිරින් පිහිටි මදිනාත්-ඇෂ්-ෂාත් පරිපාලන අගනුවර බවට පත්විය.

උතුරින් පිහිටි යේමනය (ඝානා) සමඟ එක්සත් ව සිටීමට දකුණු යේමන රාජ්‍යය බැඳී සිටී. දකුණු යේමන යන නම 'ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යේමන සමූහාණ්ඩුව' යයි වෙනස් කිරීමට එක් අරමුණක් වූයේ උතුරු අසල්වැසියා වන යේමන රාජ්‍යය සමඟ කරටකර යෑමට හැකි වන ලෙස ය.

භෞතික භූ දර්ශනය

ප්‍රධාන භූ විෂමතා කලාප වනුවේ දීර්ඝ වෙරළබඩ පටු තැන්න සහ අභ්‍යන්තර කඳු ය. වෙරළබඩ තැන්න රතු මුහුදේ දකුණු දොරටුවේ බේබල් ටැන්ඩප්වල සිට ඕමාන් දේශසිමාව අසල රාස් දාර්බත් අලි දක්වා කිලෝමීටර 1,184ක් පමණ විහිදේ.

එහි අභ්‍යන්තර කඳුකරය කොටස් දෙකකට බෙදේ. වාඩි මේෆා මඟින් බටහිර සහ නැගෙනහිර කඳුකරය වෙන් කෙරේ. වාඩි යනු මළ දොළ නමින් හැඳින්වෙන ඍතුමය ගංගා ය. එම කඳුකර ප්‍රදේශ ආග්නේය පාෂාණ, හුණුගල් සහ වැල්ගල්වලින් සමන්විත ය.

වාඩි මේෆා සිට බටහිර ඇති වෙරළබඩ තීරුව කිලෝමීටර 6 සිට 64ක් පමණ පුළුල් වේ. එම තැන්නේ බටහිර කොටස තැනින් තැන ගල් සහිත වුව ද නැගෙනහිර දෙස වාලුකාමය ය. ජේබල් ඉෂාන් සහ ජේබල් ෂම්සාන් යමහල්වල ඉතිරි කොටස් වූ තුඩු දෙකකි. ඒඩ්න් වරාය වටා ඇති පටු භූමි මඟින් ගොඩබිම හා එම තුඩු සම්බන්ධ වේ.

මීටර 300 සිට 600ක් දක්වා උන්නතාංශයකින් යුත් සාගරික කඳු වැටියක් මඟින් වෙරළබඩ තීරුව සහ කඳු අතර ඇති තැනිතලා ද උසා සානුව ද වෙන් කෙරේ. දකුණු යෙමනයේ සානුව මේසාවකි (). එම මේසාව අතිශයින් විච්ඡින්න වියළි මළ දොළ බවට පත් වූ මීටර 2,000ක් පමණ සාමාන්‍ය උසින් යුක්ත වූවකි. එහි ඇතැම් මුදුන් මීටර 2,425 සිට 2,725 දක්වා වෙති. උස් සානුව ක්‍රමයෙන් උතුරේ කාන්තාරය දෙසට බෑවුම් වෙයි.

දකුණු යේමනයට අයත් ප්‍රදේශයේ ජලවහනය සිදුවන්නේ දකුණේ සාගරය දෙසට ය. ගංගා බොහොමයක් ම ඍතුමය ගංගා වූ වාඩි ය. ඒවායින් වැදගත් වනුයේ බටහිර සිට නැගෙනහිරට අනුපිළිවෙළින් ටිබාත්, බානා, හසාන්, අහ්වාර්, මේෆා ය. ප්‍රධාන කෙත්වතු විහිදෙන්නේ එම වාඩිවල ඉවුරු සහ ඩෙල්ටා ප්‍රදේශවල ය. බේහාන් සහ මර්කා වාඩි පද්ධති උතුරේ රම්ලත් ප්‍රදේශයට විහිදෙයි. වෙරළබඩ තීරුවේ වාඩි මේෆාවලින් නැගෙනහිර කොටසේ වාඩි හජීර් දක්වා පුළුල් ය. එහි යමහල් ලාවාවලින් ආවරණය වූ කඳුගැට කිහිපයක් ඇත. මෙතැන් සිට වෙරළබඩ තැන්න ලාවා තෙක් සහ යමහල් නෂ්ටාවශේෂවලින් යුක්ත ය. වෙරළේ අල් මහ්රාවල සිට පෙනෙන භූ දර්ශනයේ වැදගත් උස් තුඩුවක් වන රාස් පාටැක් ය. ඊට අභ්‍යන්තරයේ පිහිටි උස් සම භූමියේ මුදුන් රේඛා වෙරළට ආසන්නය. එම සානුව උතුරු දෙසට ඇළ ව පිහිටියේ ය.

සානුවේ කඳු ශිඛර රේඛාව සහ මුහුද අතර ප්‍රදේශිය ජලවහනය කරන සියලු ම ගංගා කෙටි වූ ද සවිරාව () ලක්ෂණවලින් ද යුක්ත ය. වාඩි හජීර් පමණක් වාර්ෂිකව ජලය සපයන දිග ගඟකි. යේමනයේ සානුව ගැඹුරු නිම්නවලින් විච්ඡේදනය වී පවතී. එහි ප්‍රධානම භූ ලක්ෂණය නැගෙනහිර දෙසට ගලන වාඩි හද්රාමවට් සහ එහි උතුරු හා දකුණු අතු ගංගා ය. මධ්‍යම වාඩිය දකුණු දෙසට හැරී ගලන විට එය හඳුන්වන්නේ වාඩි මසිලා යනුවෙනි. එය ස්වල්ප දුරක් නිත්‍ය ජල ප්‍රමාණයක් සපයයි. මේසා ප්‍රදේශය ඉතා වියළි ය.

යේමන සමූහාණ්ඩුවට අයත් සොකෝත්‍රා දූපතේ මධ්‍යයේ හැගියර් කඳු පිහිටා ඇත. එහි ඇති මීටර 1,510ක් පමණ උසින් යුත් හුණුගල් සානුව නිම්නවලින් ඡේදනය වී පවතී. උතුරේ පිහිටි කුඩා වෙරළබඩ තැන්න පටු ය. එම දූපතේ දකුණේ පිහිටි නවකිඩ් තැන්න ප්ලාවිත වූ වැලි සහ බොරලුවලින් වැසී ඇත. එම කොදෙව් රැස නොගැඹුරු කණ්ඩි රැසක් ලෙස ඉස්මතු වේ. එහි ඇති විවිධ සත්ව හා ශාක ජීවිතය මඟින් පෙන්නුම් කරන්නේ භූ විද්‍යාත්මක කාලය තුළ එක්තරා අවධියක දී මේ දූපත් අප්‍රිකාවට සම්බන්ධ ව තිබූ බව ය. (සිතියම - දකුණු යෙමන්)

දේශගුණය

යෙමන් රාජ්‍යය අර්ධ කාන්තාර ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය. එහි ශුෂ්කතාවට හේතු වූ එක් කරුණක් වනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ එම ප්‍රදේශය හරහා යන වියළි ඊශාන දිග වෙළෙඳ සුළං ය. එහෙත් ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී බටහිර සිට හමන ප්‍රදේශීය සුළං නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය සමඟ මුසු වී සුළු වර්ෂාපතනයක් ගෙන දෙයි.

උෂ්ණ ඍතුවේ දී එහි වෙරළබඩ තැන්න අධික උෂ්ණත්වයකින් යුක්ත ය. සාමාන්‍යයෙන් (‍සෙ. අංශක 38)කි. 80%ක් පමණ වූ ආර්ද්‍රතාවකින් ද යුක්ත වේ. රාජ්‍යයේ අභ්‍යන්තර ප්‍රදේශය උෂ්ණ ඍතුවේ සිසිල් වූවත් ශිශිරයේ දී අධික සිසිලයකින් යුක්ත ය. ඇතැම්විට හිම තුහින ද ඇති වේ. අභ්‍යන්තර උස්බිම්වල ගිම්හාන වර්ෂා ඇති කරයි. වර්ෂාපතනය බටහිර ප්‍රදේශවල වැඩි වී නැගෙනහිර දෙසට අඩු වෙයි. බටහිර උස්බිම්වල මිලිමීටර 300 සිට නැගෙනහිර සානුවේ මිලිමීටර 200 දක්වා වේ. නැගෙනහිර සානුවේ හුණුගල් සහිත පස නිසා වර්ෂා ජලය පොළොවට උරා ගැනීමෙන් ශුෂ්කතාව තීව්‍ර වේ. අඩු වර්ෂාපතනයට රාත්‍රී කාලයේ දී ඇතිවන තුෂාර සහ මීදුම් ද සාඵල්‍යතාව වැඩි කරයි. වෙරළබඩ තැන්නට ලැබෙන වර්ෂාපතනය ද ඉතා අඩු ය.

ශාක හා සත්ව ජීවිතය

වෙරළබඩ තැන්නේ තාල වර්ගයේ ගස් වැඩේ. විශේෂයෙන්ම ඒඩ්න් සිට වාඩි මසිලාහි පොල් ගස වැඩේ. කෝමාරිකා, සුවඳ ලාටු සහ කට්ටකුමච්චල් ගස් වෙරළබඩ තැන්නේ සිට පා කඳු දක්වා වැඩෙන පැළෑටි ය. අභ්‍යන්තර ප්‍රදේශවල කැක්ටස් වර්ගයේ මිටි පැළෑටි වර්ග බහුල ය. කොදෙව්වල ද තාල වර්ගයේ ගස් දෙළුම්, දුම්මල, පාසි හා පෙඳ වර්ග වැවේ. නැගෙනහිර සානුවේ මසන්, සියඹලා, මැලියම් ආදී විශාල ගස් වැවේ.

වනසතුන් අතර කඳුකර එළුවෝ, කුරංග, රුරු, සාරංග ආදී මුවෝ සහ උරුළෑවෝ වෙති.

ආර්ථිකය

දේශීය පරිභෝජනය පිණිස වවන බෝග කිහිපයකට පමණක් සීමා වූ කෘෂි ආර්ථිකයක් යේමන සමූහාණ්ඩුවේ පවතී. ඛනිජ වර්ග ද විරල බැවින් කාර්මික නිෂ්පාදනයක් ද නැත. වෙළෙඳ බෝග ද නැති හෙයින් ධීවර කර්මාන්තය හා සත්ත්ව පාලනය ආර්ථික නිෂ්පාදනයට තරමක් දුරට දායක වෙයි. ඒඩ්න් නැව්තොට මත රඳාපවතින එහි ආර්ථිකය හඳුන්වන්නේ ‘සේවා සපයන ආර්ථිකයක්’ ලෙස ය. ඉතා සුළු ඛනිජ ප්‍රමාණයක් හදුමාවට් වාඩි ප්‍රදේශයෙන් ලැබේ. ඒවා නම් කාෂ්ටික ගල්අඟුරු, හෙමටයිට්, තඹ, මැන්ගනීස්, යපස්, පොටෑසියම් සහ බෝක්සයිට් ය. ෂබ්වා සහ රාම්ලත් ඇෂ් සබටායු ප්‍රදේශවල ආකර ලුණු නිපදවති.

කෘෂිකර්මය

මේ රාජ්‍යයේ වගා කළ හැකි භූමි පවතින්නේ වාඩිවල ඉවුරු සහ ඩෙල්ටාවලත් හද්‍රාමාවට් වාඩියේ ක්ෂේම භූමිවලත් ය. ක්ෂේම භූමිවල කෙරෙන වගාවට වර්ෂාපතනය සහ භූගත උල්පත් ජලය උපයෝගී කරගනී. මේ සියලු ම වගා බිම්වල භූමිය හා ජල සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය ය. රටේ ශුෂ්කතාවය කෘෂිකාර්මික කටයුතු සීමා කිරීමට හේතු වී ඇත.

ප්‍රධාන වගාවන් ධාන්‍ය, එළවළු, පළතුරු සහ මුදල් බෝග ගණයට වැටේ. මිලට් ප්‍රධාන ධාන්‍ය වන අතර තිරිඟු හා බාර්ලි උපයෝගී බෝග වෙයි. වසර පුරා ඇති වන විවිධ කාලගුණ ලක්ෂණ පළතුරු වගාවට හිතකර වී ඇත. පළතුරු සහ එළවළු සඳහා ඒඩ්න් වෙළෙඳපොළකි. නිවර්තන සහ සෞම්‍ය කලාපීය පළතුරු සහ එළවළු වර්ග එහි වවනු ලැබේ. පීචස්, ප්ලම්ස් සහ ඇප්‍රිකට් යන පළතුරු වර්ග අවුදුලි සානු ප්‍රදේශයේ වවයි. කෙසෙල්, පැපොල්, උක් සහ දොඩම් වර්ගයේ පළතුරු වඩා පහත් උන්නතාංශවල වගා කෙරේ. මෙලන් වර්ග ද ජනප්‍රිය පළතුරු වර්ගයකි. පළතුරු අතරින් ප්‍රධාන තැන ගන්නේ රට ඉඳි ය. හද්මොවට් වාඩිය ප්‍රදේශයේ අක්කර 15,000ක පමණ වෙරළබඩ මෙන් ම අභ්‍යන්තරයේ ද රට ඉඳි වවා තිබේ.

ප්‍රධාන වෙළෙඳ බෝගය වූ කපු වෙරළබඩ අබියාන් සහ ලාහිජ් තීරුවේ ද මධ්‍ය උන්නතාංශවල ද අක්කර 50,000ක පමණ වවා ඇත. යෙමනයේ නැගෙනහිර පිහිටි ගායිල් බා වසීර්වල දුම්කොළ ද බටහිර උස්බිම්වල කෝපි ද මඳ වශයෙන් වවනු ලැබේ.

සොකෝත්‍රා දූපතේ කෘෂිකාර්මික කටයුතු එතරම් දියුණු නැත. බතල, වට්ටක්කා, බෝංචි, රටඉඳි සහ දුම්කොළ වවා ඇත. සොකෝත්‍රාවල ගිතෙල්, සත්ව කෙඳි, වියළි මසුන් යන නිෂ්පාදන යේමනයට විකුණා එහි නිපදවන මිලට් සහ රෙදි ලබා ගනී.

දකුණු යේමන රාජ්‍යයේ නැගෙනහිර දෙසට ලැබෙන වර්ෂාපතනය අඩු නිසා ගොවිතැන් කිරීම අඩමාන වන බැවින් මසුන් මැරීම ප්‍රධාන රැකියාව වේ. විශාල වශයෙන් අල්ලනු ලබන මෝරු, තලපත් සහ සාඩින් යන මාලුන්ගෙන් වැඩි කොටසක් මනුෂ්‍ය ආහාර සඳහා ද ඉතිරිය පොහොර සහ ඔටු ආහාර නිපදවීමට යොදා ගැනේ. සොකෝත්‍රාවේ ද එම වර්ගවල මසුන් බහුලව අල්ලනු ලැබේ. අල්-මුකල්ලා සහ ෂිහර් ප්‍රධාන ධීවර මධ්‍යස්ථාන වන අතර මේ නගරවල මාළු වියළීම සහ මත්ස්‍ය තෙල් නිෂ්පාදනය කෙරේ. ලී කැටයම් සඳහා උපයෝගී කිරීමට මාළු තෙල් සකස් කරනු ලැබේ.

දේශගුණයේ කටුක බව නිසා යේමනයේ නිසරු වෘක්ෂලතා සත්ව ආහාර සඳහා ප්‍රමාණවත් නැති බැවින් එහි ඇති කරන ගව, බැටළු, එළුවන් සහ ඔටුවන් සරුවට වැඩී නැත. මස් වර්ග ආනයනය කිරීමට සිදු වේ.

කර්මාන්ත

ආර්ථික සංවර්ධනයෙහිලා කර්මාන්ත අංශයෙන් සිදුවන කාර්යභාරය ඉතා අල්ප ය. බැර කර්මාන්ත ස්ථානගත කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ ඉන්ධන විරල ය. කර්මාන්තවලට ඉවහල් වන කෘෂිබෝග ද එහි වගා කිරීමට හිතකර දේශගුණයක් ද නැත. 1954 දී ඒඩ්න්වල ඛනිජතෙල් ශෝධනාගාරයක් පිහිටුවන ලදි. 2,000ක් පමණ සේවයේ යොදවා ඇති එම ශෝධනාගාරයෙන් බොර තෙල් ටොන් මිලියන 8ක් නිපදවේ. ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන මුත් එහි පෙට්රො-රසායනික කර්මාන්ත ආරම්භ කර නැත.

එම රාජ්‍යයේ නගරවල කෙරෙන කුඩා කර්මාන්ත වනුයේ සිසිල් බීම, බෝට්ටු තැනීම, හම්පදම් කිරීම, රෙදි වර්ණ කිරීම, උළු හා සිමෙන්ති ගල් සෑදීම, ඇලුමිනියම් භාණ්ඩ සහ ගෘහභාණ්ඩ නිපදවීමයි. අල්-මුකල්ලා නගරයේ මාළු ටින් කිරීමේ කම්හලක් ද අබ්යාන් සහ ලාහිජ්වල කපු කැටීමේ කර්මාන්තශාලා ද පිහිටුවා ඇත. බොහෝ ප්‍රදේශවල තල තෙල් නිපදවන මෝල් පිහිටුවා ඇත. ගතානුගතික ගෘහ කර්මාන්ත අතර රිදී හා රන් ආභරණ සෑදීම කෙරේ.

වෙළෙඳාම

ඒඩ්න්වල අන්තරාල () වෙළෙඳාම පිරිහෙමින් පවතී. ඒඩ්න් නැව්තොටින් කෙරෙන ප්‍රධාන අපනයන වනුයේ ආහාර ද්‍රව්‍ය, මස් පිණිස සත්වයින්, රෙදිපිළි, බීම වර්ග, දුම්කොළ, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, රථවාහන සහ ගෘහභාණ්ඩ ය. ප්‍රදේශිය වශයෙන් නිපදවන ඛනිජතෙල් නිෂ්පාදිත, කපු, මත්ස්‍ය, හම්, ලුණු අපනයනය කෙරේ. ප්‍රතිඅපනයන භාණ්ඩ අතර කෝපි, කපු රෙදි, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ උපාංග ය.

ආර්ථික කළමනාකරණය

දකුණු යේමන රාජ්‍යයේ බැංකු, රක්ෂණ, නැව්තොටු, ඛනිජ තෙල්, නිෂ්පාදිත සහ විදේශීය වෙළෙඳාම, ජනසතු කර ඇත. ‘සේවා’ ආර්ථිකය ජාතික ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම උදෙසා ය. සුළු ව්‍යාපාරික සේවා පමණක් පෞද්ගලික අංශයට සීමා වී පවතී. කුඩා කර්මාන්ත කිහිපයක් සහ අත්කම් ද පෞද්ගලික අංශය සතු ය. 1970 දී කෘෂි සංශෝධන පනත් මඟින් එහි පැවති කුඩා රාජ්‍යවල පාලකයන් සතු ව තිබූ ඉඩම් රජය සතු කරන ලදි. එහි එක් අරමුණක් වූයේ ප්‍රවාසී ඉඩම් හිමියන් () සතු ඉඩම් ජනස කිරීම ය.

එහි ආර්ථිකය ඉදිරියේ ඇති ප්‍රශ්න වනුයේ විරැකියාව, අයවැය හිඟ, ඒඩ්න් නුවර සහ රටේ සෙසු ප්‍රදේශ අතර පවතින විශාල සංවර්ධන පරතරය ආදියයි. එහි ඇත්තේ නගර සුළු සංඛ්‍යාවකි. ඒවා හා ගම්බද ප්‍රදේශ අතර ද විශාල පරතරයක් පවතී.

ප්‍රවාහනය

සෙසු රටවල් සමඟ යේමන සමූහාණ්ඩුව සබඳතා පවත්වා ගන්නේ විශේෂයෙන් ම මුහුදු මාර්ගවලිනි. ඒඩ්න් නැව්තොට ප්‍රධාන මාධ්‍යයයි. අභ්‍යන්තර ප්‍රවාහන ගුවන් යානා, මෝටර් රථ සහ ඔටුවන්ගෙන් සිදු කෙරේ.

සාපේක්ෂ වශයෙන් රටේ විශාලත්වය සහ හීන ජන සංඛ්‍යාව නිසා මහා මාර්ග පවත්වා ගැනීම දුෂ්කර වී ඇත. මැනවින් තැනූ මහාමර්ග ඇත්තේ ඒඩ්න් නුවර අවට සහ යේමන ජනරජය දෙසට පමණකි. රටේ බටහිර කොටසේ රථවාහන යාහැකි මාර්ග වියළි වූ ගංගා හා විවෘත කාන්තාරය ඔස්සේ විහිදෙයි. රටේ නැගෙනහිර කොටසේ ද කිලෝමීටර 4,800ක් පමණ රථ ධාවනය කළ හැකි පථ විහිදෙයි. හද්‍රමාවට් වාඩි දක්වා කිලෝමීටර 320ක් පමණ දීර්ඝ මහාමාර්ග දෙකක් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල සිට විහිදෙයි. යේමන සමූහාණ්ඩුවේ දක්ෂිණ වෙරළ දිගේ කිලෝ මීටර 650ක පමණ දුර විහිදෙන රථ මාර්ග ඇත. රටේ සෙසු ප්‍රදේශවල ට්‍රක් රථවලට පමණක් සුදුසු කාන්තාරික පථ බොහෝවිට දක්නට ඇත.

නැව්තොටක් සඳහා යෝග්‍යතම පහසුකම් ඇත්තේ ඒඩ්න්වල ය. රතු මුහුද හා ඉන්දියන් සාගරය අතර පවතින ප්‍රධාන වෙළෙඳ මාර්ගයේ පිහිටීම නිසා ඒඩ්න් නැව්තොටෙහි පිහිටීම ඉතා වැදගත් කොට සැලකේ. නෞකාවල අවශ්‍යතා සැපයීමෙන් ද යාබද ප්‍රදේශවල වෙළෙඳාම් සහ ප්‍රතිනැව්ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි වැඩියෙන් සැපයීමෙන් ඒඩ්න් නැව්තොට වර්ධනය විය. අභ්‍යන්තර වරාය මුහුදු බාධකයෙන් ආරක්ෂා වී ඇති අතර එහි තුළ වැලි ඉවත් කිරීමෙන් නෞකා බොහෝ සංඛ්‍යාවට නැංගුරම් ලා සිටීමට ප්‍රස්තා සැපයේ. මේ පහසුකම් නිසා නිදහස් වරායක ක්‍රියාකාරීත්වය කරගෙන යා හැකි ය.

දකුණු යේමන රාජ්‍යය සතු අනෙක් වැදගත් නැව්තොට ඒඩ්න්වලට කිලෝ මීටර 480ක් නැගෙනහිර දෙසින් දකුණු වෙරළේ පිහිටි අල්-මුකල්ලා ය. එහෙත් මේ නැව්තොට, විවෘත අංකර වී අවශ්‍යතා ලබා ගැනීමට පැමිණි නෞකාවලට පමණක් සීමා වේ. නිරිත දිග මෝසම් ඍතුව පවතින ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අල්-මුකල්ලා නැව්තොටින් ලැබෙන ආරක්ෂාව මඳ ය. වෙරළාසන්න නාවුක වෙළෙඳාම ඒඩ්න් සහ අල්-මුකල්ලාවලට පමණක් සීමිත ය.

යෙමන් රාජ්‍යය සෙසු රටවල් සමඟ ගුවන් සබඳතා පවත්වන්නේ ඒඩ්න් ගුවන් තොටුපොළ මඟිනි. අභ්‍යන්තර ගුවන් සේවා බේහාන්, අර්-රිසාන්, අල්-ගුරාෆ් සහ අල්-ගායිඩ් යන නගර හා සම්බන්ධ ය.

ජන සංඛ්‍යාව සහ ජනතාව

1970 ආරම්භයේ දී පමණක් මුළු ජන සංඛ්‍යාව වූයේ 1,467,000කි. එම වර්ෂයේ ම සොකෝත්‍රාවල 12,000ක් පමණ සිටියහ. ඒඩ්න් නගරය තුළ 3,000,000ක නාගරික ජන සංඛ්‍යාවක් විසූහ. එය විශාලතම නගරයයි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටින ගෝත්‍රිකයෝ වාඩි ඉවුරු දිගේ පිහිටි ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙති. ඔව්හු යෆයි, ජාඋඩ් සහ අවුලාති යන ගෝත්‍රවලට අයත් අය වෙති. යේමන සමූහාණ්ඩුවේ නැගෙනහිර ප්‍රදේශයේ නාගරික මධ්‍යස්ථාන නැත. එහි වැඩි වශයෙන් ම වෙසෙන්නේ ගෝත්‍රික සහ නොවූ ජනකායකි. බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන එම ගෝත්‍ර වනුයේ අල්-වාහිඩ්, සේබාන්, අල්-හුමුම්, බාරි යමනි, අල්-ජුබිර් සහ අල්-කතිරි ය.

සංචාරක මානව කොටසක් ද එම රටේ වෙසෙති. නාල්, සයාර්, අවටීර් සංචාරකවරු වෙති.

ගෝත්‍රික නොවූ ජනතාව එම රටේ උසස් පන්තියට අයත් වෙති. මොහමඩ්තුමාගෙන් පැවත එන්නන් ලෙස සැලකෙන මොව්හු සයියිඩ්ස්වරු ය. සෙසු අය ෂීක්වරු, පූජක පවුල්වලින් පැවතෙන්නෝ, මැන්කඩ් යන ගෝත්‍රික විනිශ්චයකාරවරු වෙති. ඊට වඩා පහත් පන්තියට අයත්වූවන් ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික කම්කරුවන්, වෙළෙන්දන්, ශිල්පීන්, දාසයන් සහ බොහෝවිට අප්‍රිකානු සම්භවයක් ඇති විනෝදය සපයන්නන් ය.

යේමන සමූහාණ්ඩුවේ නාගරික ප්‍රදේශ ඉතා සීමිත ය. ඒඩ්න් හැරුණ විට ඊළඟට විශාලත ම නගරය අල්-මුකල්ලා ය. 80,000ක පමණ ජන සංඛ්‍යාවක් එහි වෙති. හදුමාවට් වාඩියට අයත් අනෙකුත් නගර වනුයේ 20,000ක පමණ ජන සංඛ්‍යාවකින් යුත් සායුන්ථ ටාරිම් (15,000) සහ ෂීබාන් (10,000) ය.

සංචාරක එඬෙරුන් හැර ජන සංඛ්‍යාවේ සෙසු අය කෘෂිකර්මය කරගෙන යා හැකි ක්ෂේමභූමිවල හෝ මළදොළ දිගේ හෝ වෙරළබඩ ගම්මානවල හෝ වෙසෙති. ෂිහීර් සහ හැටි යන ගම්මානවල ප්‍රධාන ජීවිකාව වනුයේ මසුන් මැරීම ය.

යේමන රාජ්‍යයේ ආදිවාසික ජනතාව සුන්නි මුස්ලිම්වරු වෙති. ඉස්ලාම් ලබ්ධියේ වැදගත් නීතිවේදියෙකු වූ ෂාෆීස් න්‍යායිකයෝ වෙති. ඒඩ්න් යන විශාල නගරයක සයාඩ් මුස්ලිම්වරු වෙසෙති. ඔව්හු උතුරු යෙමන් රාජ්‍යයෙන් සුළු වශයෙන් සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නෝ ය. ඒ හැර එහි මුස්ලිම් නොවූ අය වන්නේ යුරෝපීයයන් සහ හින්දුවරුන් ය. ඔව්හු ඉතා ම සුළුතරයකි. 1867 වන තෙක් ම අභ්‍යන්තරයෙන් සහ උතුරු යේමන විල්න ද සෝමාලියාව සහ ඉන්දියාවෙන් ද සංක්‍රමණිකයන් ආකර්ෂණය වූ තැනකි, ඒඩ්න්. වර්තමානයේ එවැනි තත්ත්වයක් නැත. හද්රමාවට් සිට නැගෙනහිර අප්‍රිකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාවට ආගමන වන ප්‍රවණතාවක් ද තිබිණ.

යේමන සමූහාණ්ඩුවේ ජනතාව මධ්‍යධරණී මානව වර්ගයට අයත් ය. ආදි යුගවල ආක්‍රමණිකයන් වශයෙන් හෝ වහලුන් වශයෙන් රටට පැමිණි අයගෙන් පැවතෙන්නන් වූ අප්‍රිකානු සම්භවයක් ඇති සුළු ජන කොටසක් ද වෙසෙති. ඒ, බටහිර කොටසේ වෙසෙන හුජූර්වරු සහ නැගෙනහිර හද්රමාවට්හි ඩිබියාන්වරු ය.

සොකෝත්‍රා දූපතේ අභ්‍යන්තර ප්‍රදේශවල වෙසෙන මුල් ජන කොටස්වලින් අඩක් පමණ වැදි ජන කොටසට අයත් විය. වෙරළබඩ ජනාවාසවල අරාබිවරු, අප්‍රිකානුන්, ඉන්දියන්වරුන් සහ යුරෝපීයයන් සමඟ සම්මිශ්‍රණය වූහ.

දකුණු යේමන සංස්කෘතිය

ගෝලීය ව්‍යූහයන් සහිත රටේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් කොටසක් ඉස්ලාමීය ලක්ෂණ විදහාපායි. ගතානුගතික ඉගැන්වීමේ මධ්‍යස්ථාන වූයේ හද්රාමාවට් සහ ටාර්ම් ප්‍රදේශයි. බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසු ඇති වූ අධ්‍යාපනය සහ සංස්කෘතික ජීවිතය සාර්ව ලෞකික නොවී ය. පුහුණුව ලැබූ බොහෝ අය රට අත්හැර ගොස් සිටිති. රජය දැනට එම තත්ත්වය පාලනය කරමින් සිටී.

රටේ පුවත්පත් අරාබි බසින් ප්‍රකාශ වේ. දෛනික පුවත්පත් 4ක් ද සතිපතා පළ වන පුවත්පත් 5ක් ද මාසිකව පළ වෙන සාහිත්‍ය සංග්‍රහයක් ද ඇත. ඒඩ්න් සහ අල්-මුකල්ලා යන නගරවල ගුවන් විදුලි මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. රූපවාහීනී වැඩ සටහන් ඒඩ්න්වලින් බෙදා හැරේ.

ආදී කාලීන දකුණු අරාබියානු ශිෂ්ටාචාරයේ කොටසක් ලෙස පැවති දකුණු යේමනය ඉතා සාරවත් සංස්කෘතික ඉතිහාසයකින් අනූන ය. පෞරාණික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව යටතේ මැනවින් සංවිධානය වූ කෞතුකාගාර දෙකක් ඒඩ්න් සහ අල්-මුකල්ලා යන නගරවල පිහිටුවා තිබේ.

ඒඩ්න් නගරය නූතන වුවත් පෙරදිග සංස්කෘතික ලක්ෂණ ඉතිරි ව පවතී. වෙරළබඩ නගරවල ගෘහ නිර්මාණ ලක්ෂණ දේශගුණයට අනුකූල ය. ඉන්දියානු සහ මැලේසියානු බලපෑම් දැකිය හැකි ය. රට අභ්‍යන්තරයේ බටහිර උස්බිම්වල ග්‍රාමීය ජනාවාසවල ගල්වලින් තැනූ කුලුනු සහිත නිවෙස් ය. ආරක්ෂාව සහ රැකවරණය සඳහා ඒවා ඒසේ නිර්මාණය කරන ලදි. හද්රාමාවට් ප්‍රදේශයේ ගොඩනැඟිලි මඩගඩොලුවලින් තනා ඇත. වගා කරන ලද භූමියේ කොන්වල තාප්ප දැමූ ගම්මාන ඇතුළත එම ගෙවල් තනා තිබේ. එහෙත් මෑතක සිට ගෙවතු සහ කුඹුරුවලට අයත් වාසස්ථාන වෙන වෙන ම සාදාගෙන යනු ලැබේ.

රටේ පාලනය සහ සමාජ තත්ත්වය

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු රටේ දේශපාලන බලය අයත් වූයේ ජාතික විමුක්ති පෙරමුණට ය. නව පාලන තන්ත්‍රය මඟින් පරිපාලනය කේන්ද්‍රගත කර දකුණු යේමන ජනතා සමූහාණ්ඩුව යටතට අයත් භූමි ප්‍රදේශය වශයෙන් ප්‍රකාශ කරන ලදි. පසු කාලයක දී එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යේමන සමූහාණ්ඩුව බවට පත්විය. වර්තමානයේ පිළිගත් දේශපාලන පක්ෂය වන්නේ ජාතික විමුක්ති පෙරමුණ ය. නිදහස ලැබීමෙන් පසු දකුණු යේමනය පරිපාලන කොට්ඨාශ 6කට බෙදන ලදි. ඒවා හඳුන්වන්නේ I, II යන අංක අනුව ය. I වැනි කොට්ඨාසයට අයත් වන්නේ බේබ්ල් මැන්ජප් සිට ඒඩ්න් දක්වා වෙරළබඩ පටු තීරයක්, තමාරින්, පෙරීන් සහ සොකෝත්‍රා දූපතුන් ය. I වැනි කොට්ඨාශයට ඉහලින් පිහිටි II වන කොට්ඨාසයේ උතුරු මායිම සානා යේමන රාජ්‍යයයි. නැගෙනහිරින් බානා වාඩියෙන් මායිම් වූ එයට අයත් වන්නේ සුබාහි, හව්ෂාබි, අබිදාලි, අලාවි සහ අමිරී යන භෞමික කොටස් ය. III වන පරිපාලන කොට්ඨාසය සමන්විත වන්නේ ෆඩාලි, පහළ යෆාෆි, ඉහළ යෆාෆි, දාතිනා අල්-අවුදුලි සහ පහළ අවුලෑක් ය. වාඩි හජීර්, හද්රාමාවට්හි නැගෙනහිර මායිම, රම්ලාත්-අස්, සබාටේන්, ඉහළ අවුලාකි සහ අවුලාකි ෂීක් රාජධානිය IV වන පරිපාලන කොට්ඨාසයට අයත් ය. කොරීටෝ සහ කාතිරිවලින් ද ඊශාන දිග අල් මහ්රාවල කොටසකින් ද V වන පරිපාලන කොට්ඨාසය සමන්විත වෙයි. VI වන කොට්ඨාසය අල් මහ්රා සිට නැගෙනහිරට විහිදෙන්නේ ඕමානයේ බටහිර සීමාව තෙක් ය.

නව රාජ්‍යය බිහි වීමට පෙර තිබූ කුඩා රාජ්‍යවල සීමා හෝ ගෝත්‍රික යටහත්භාවය ගැන නොතකා මේ ප්‍රදේශීයකරණය සැලසුම් කෙරිණ. පරිපාලනය කේන්ද්‍රගත කිරීම ස්ථාවර කිරීම උදෙසා විය. ඒඩ්න් නුවර පමණක් මහා නරග සභාවකින් පාලනය කෙරේ.

ප්‍රදේශීය සහ ජාතික පරිපාලන මණ්ඩල තෝරා පත් කිරීමේ දී සර්වජන ඡන්ද බලය උපයෝගී කෙරේ. ජාතික විමුක්ති පෙරමුණේ අණසක යටතේ 1971 දී ප්‍රථම ජනතා සුප්‍රීම් මණ්ඩලය පත් කර ගන්නා ලදි.

අධිකරණය

යටත් විජිතයක් ව පැවති යුගයේ බලධාරීන් විසින් පනවන ලද නීති, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහේස්ත්‍රාත් උසාවි මඟින් ක්‍රියාත්මක කෙරේ. මුස්ලිම් පවුල් කටයුතු සඳහා මුස්ලිම් නීති ඇතත් විශාල නගරවල විනිශ්චයකාරවරුන් මඟින් මුස්ලිම් නීති ක්‍රියාත්මක කෙරේ. ගෝත්‍රික ප්‍රදේශවල ගෝත්‍රිකයන්ගේ සමාජ ක්‍රම හා සම්බන්ධ කරුණුවලදී ග්‍රෝතික නීතිය ක්‍රියාත්මක වේ. පාරම්පරිකව පැවත එන ගෝත්‍රික විනිශ්චයකරුවන් අතින් මෙය සිදුවේ.

1970 දී යුද හමුදාව නැවත සකස් කෙරිණ. කුඩා නාවුක හමුදාවක් ද දකුණු යේමන රජය මෙහෙයවයි. පොලිස් සේවාව ඒඩ්න් සහ නගරවලට පමණක් සීමා වේ. ප්‍රදේශීය ආණ්ඩුකාරවරු යටතේ සිටින ප්‍රදේශීය ආරක්ෂක භටයෝ ගම්බද ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කරන නියෝජිතවරු වෙති. අභ්‍යන්තරයේ පිහිටි සුගමතාවෙන් අඩු ප්‍රදේශවලට සන්නද්ධ හමුදාව ආරක්ෂාව සලසයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සුබසාධනය

දකුණු යේමන රටේ ජනාවාසික වූ සෑම ප්‍රදේශයක ම නිදහස් ප්‍රාථමික අධ්‍යාපන පහසුකම් සලසා තිබේ. නාගරික ප්‍රදේශවලට පමණක් ද්විතීයික අධ්‍යාපන පහසුකම් ව්‍යාප්ත කර ඇත. ඒඩ්න් නගරයේ ගැහැණු ළමයින්ට ද අධ්‍යාපන පහසුකම් තිබේ. ගුරු පුහුණු ආයතන, පුහුණු උසස් කොලීජි සහ ජාතික විශ්ව විද්‍යාලයය ඒඩ්න් නුවර පිහිටියේ ය.

සෞඛ්‍යය පහසුකම් අඩුවීමට එක් හේතුවකි, වෛද්‍යවරුන්ගේ සහ පුහුණු කාර්ය මණ්ඩල හිඟ ය. දුප්පත්කම සහ මන්දපෝෂණය බහුල ය. ලෙඩ රෝග පැතිරීම ඉතා පහසු ය. ඇතැම් ගම්වැසියන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු ව ඇත.

රටේ නිදහස් ලැබී බ්‍රිතාන්‍යයින් රට හැරගිය අවස්ථාවේ දී නම් නිවාස, ජලය සහ විදුලිබලය අඩුවක් තිබුණේ නැත. ඒඩ්න් සහ අනෙක් නාගරික ප්‍රදේශවලින් පිටත රටේ සෙසු ප්‍රදේශවල නිවාසවල සෞඛ්‍ය පහසුකම් අඩු ය. තැනිතලා භූමිවල නිවාස මඩගඩොලුවලින් සාදා ඇත.

අනාගතය

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව නිදහස දිනාගත් රටකි. දකුණු යේමන රජයේ භෞමික පාලනයට හසුව ඇත්තේ ස්වාභාවික සබඳතාවලින් යුත් පිරිසක් නොව යටත්විජිත පාලකයන් විසින් ඒකාබද්ධ කරනු ලැබූ ජන කොටස් ය. එහෙත් ඔවුන් සියල්ල ම එක් භාෂාවක්, එක් ආගමක් හා එක් ජනවාර්ගික කොටසකට අයත්වීම භාග්‍යයකි. ඓතිහාසික කාලවල දී රට දේශපාලනමය හා ගෝත්‍රික වශයෙන් ඒකකවලට බිඳී පැවතිණි.

වර්තමාන රජය ඉදිරියේ ඇති දුෂ්කර කර්තව්‍යයක් වී ඇත්තේ සාපේක්ෂ වශයෙන් විශාල වුවත් තුනී ජන සංඛ්‍යාවක් පවතින එම රටේ ජීවන තත්ත්වය නඟාලීමට ආර්ථික අවස්ථාවල යම් ප්‍රමාණයක සමානතාවක් ළඟා කර ගැනීමයි. එම කප්පාදු කිරීමේ ක්‍රියාවලියෙන් ඒඩ්න්වල වෙසෙන නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය පහළ බසිනු ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල සිට ඒඩ්න් නුවරට ජන සංක්‍රමණය වීම ද ගැටලුවකි. එබැවින් ඒඩ්න් නුවරින් බැහැර ප්‍රදේශවල නිෂ්පාදන ව්‍යාපාර ස්ථානගත කිරීම ආදී ආර්ථික විවිධාංගීකරණ ව්‍යාපාර තුළින් එම ජන සංක්‍රමණය අඩුකිරීම සඳහා පියවර ගත හැකි ය.

රජයේ දේශපාලන නැඹුරුව ද අසල් රාජ්‍යයන් සමඟ ගැටුම් ඇති කිරීමට හේතු වන අතර අභ්‍යන්තර හා විදේශීය ආරක්ෂාව සැලසීමට යුද හමුදා යෙදවීම ආර්ථිකයට බරක් වී ඇත.

අසල්වැසි උතුරු යේමනය හෙවත් සානා යේමනය සමඟ සමඟිය පතා දකුණු යේමනය යන නම වෙනස් කළ නමුදු රටවල් දෙක අතර සබඳතා සිතූ අන්දමින් වර්ධනය වී නොමැත. 1972 දී එම රාජ්‍යයන් එකඟ වූ පරිදි යේමන රාජ්‍ය දෙක ම එක්සත්වීම අර්බුදවලට හොඳම විසඳුම යයි පැවසේ. එම ආර්ථිකයන් දෙක ම සමායෝජනයෙන් ඒඩ්න්වල ව්‍යාපාරික ජීවිතයට නව පණක් ලැබිය හැකි බවට විශ්වාස කෙරේ.

(කර්තෘ: එස්මි ජී. ද සිල්වා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දකුණු_යේමන_ජනරජය&oldid=5307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි