දියෙස් බාතොලමියු

සිංහල විශ්වකෝෂය වෙතින්
14:33, 21 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ප්‍රථම වරට සුභ පැතීමේ තුඩුව සොයාගනු ලැබූ මොහු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රථම වරට සුභ පැතීමේ තුඩුව සොයාගනු ලැබූ මොහු පෘතුගීසි ජාතිකයෙකි. වර්ෂ 1478 - 1500 අතරතුර කාලයේ ඔහු ජීවත් වූ බවට විශ්වාසයක් පවතී. ඔශු දේශ ගවේෂණයට ප්‍රවේශවීමට ප්‍රථම රාජ්‍ය සේවයේ සාමාන්‍ය ආරක්ෂකයකු වශයෙන් සේවය කළ කෙනෙකි.

පෘතුගාලයේ ජෝන් II රජු අප්‍රිකාවේ දකුණුතම තුඩුව සොයා ගැනීම සඳහා දියෙස් බාතොලමියුට අණ දෙන ලදී.

මේ අනුව ඔහු තම ගමන සඳහා නැව් 3ක් සූදානම් කර ගත්තේ ය. මෙම ගමන සඳහා ඉතා කල්පනාකාරී වූ දියස් තම නැව් 3 ට අමතරව ඔහුගේ සහෝදරයා වන පේරු දියෝගු (Pero Diogo) යටතේ ඔහුගේ නැව් 3ට අවශ්‍ය අනෙකුත් බඩු බාහිරාදිය සහිත අමතර නැවක් ද සූදානම් කර ගත්තේ ය. මේ අනුව සෞං ක්‍රිස්ටෝෆු, සෞං පන්තලියොං නම් නැව් දෙකක් තමා යටතේ ද ඔහුගේ සහාය යටතේ ජවුං ඉන්ෆන්තෙ නම් නැවක් ද සහිතව ඔහුගේ ගමන සඳහා පිටත් විය. මෙම ගමන සඳහා මීට ප්‍රථම මුහුදු යාත්‍රා කරන ලද ඉතා දක්ෂ යාත්‍රියන් තෝරාගැනීමට දියස් බාතොලමියු සැළකිලිමත් විය. ඔවුනතර පේරු ද ඇලෙන්කර් සහ ජවුං ද සන්තියාගු දේශ ගවේෂණයෙහි ප්‍රසිද්ධියක් ලබා තිබූ අය වූහ. මොවුන්ගේ ගමන් ආරම්භ කළ නිවැරදි දිනය ඉතිහාස ගත වී නොමැත. එහෙත් 16 ශත වර්ෂයේ ඉතිහාසඥයකු වන ජුවං ද බාරොස් එය වර්ෂ 1486 දී සිදු වූ බව ප්‍රකාශ කර ඇත. ඔහු මාස 16 කුත් දහහත් දිනක් දේශ ගවේෂණය සඳහා ගත කළ බව එම ඉතිහාසඥයා සඳහන් කර ඇත. නමුත් මෙම ගමන පිළිබඳව සැලකිළිමත් වූ කොළොම්බස් සහ ඩ්‍රවාර්තෙ පචෙකු නම් දෙදනා ඔහු වර්ෂ 1488 දෙසැම්බර් මස ආපසු ආ බව සඳහන් කරයි. එහෙත් ඔහු වර්ෂ 1487 දී ආපසු හැරුණු බව දැනට පිළිගෙන ඇත.

දියෙස් බාතොලමියු දෙසැම්බර් මස 4 දින සාන්ත බාබරාගේ දේශයෙහි (Land of St. Barbara) කෞං විසින් පිහිටුවන ලද කුලුන පසු කළේ ය. ඔහු වොල්ෆිෂ් බොක්ක (Wolfish Bay) දෙසැම්බර් මස 8 දින ද සාන්ත ස්ටීවන් බොක්ක දෙසැම්බර් මස 26 දින ද පසු කළේ ය. ඔහු මේ අයුරු වෙරළ ඔස්සේ යාත්‍රා කරමින් අප්‍රිකානු මහාද්වීපයේ දකුණු කෙළවර තුඩුව වටා යමින් එය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වීය. එහෙත් ඔහුට එය කළ හැකි වූයේ ස්වල්ප දිනකි. ඔවුහු විශාල කුණාටුවකට හසු වී මහාද්වීපයේ දකුණු කෙළවර දක්වා ගසාගෙන ගියහ. කුණාටුව නිම වූ පසු ඔහු නැවතත් උතුරු පෙදෙසට යාත්‍රා කළ ද ගොඩබිමක් දක්නට නොවීය. දින කීපයක් මෙසේ යාත්‍රා කිරීමේ දී පෙබරවාරි මස 3 වන දින ගොඩබිමක් දක්නට ලැබුණු අතර කුණාටුව මඟින් ඔහු දකුණු තුඩුව වටා ගෙන ගොස් ඇති බව තේරුම් ගත්තේ ය. මෙසේ ගොඩබිම නොදැකම අප්‍රිකානු මහාද්වීපයේ දකුණු කෙළවර එක් පැත්තක සිට අනෙක් පැත්තට සේන්දු වූයේ ය. ඔහු මෙවර ලඟා වූ ගොඩබිමට අන්ග්‍රා ද සෞං බ්‍රාස් යයි නම් තැබීය. එහි තවත් පෙදෙසක් කව්හර්ඩ්ස් බොක්ක (Bay Of Cowherds) නමින් හඳුන්වනු ලැබී ය. ඉන්පසු ඔවුහු අන්ග්‍රා දා රොකා නම් ස්ථානයට ලඟාවිය. දැනට මෙය ඇල්ගො ආ බොක්ක (Algoa Bay) නම් වේ.

මේ අවස්ථාවේ වෙහෙසට පත් ව සිටි දියස් බාතොලමියු ඇතුළු පිරිස තවත් දින කීපයක් පමණක් යාත්‍රා කොට රියු ද ඉන්ෆන්තෙ නම් ස්ථානයට පැමිණ ආපසු හැරුණහ. මෙම ස්ථාන නාමය සෞං පන්තලියොං නම් නැවෙහි ප්‍රධාන නියමුවාගේ නාමයට ගෞරවයක් වන සේ තබන ලදී. වර්තමානයේ දී මෙම ස්ථානය ග්‍රෑම් විස් රිවර් නමින් හඳුන්වනු ලැබේ.

ආපසු එන ගමනේ දී දියස් බාතොලමියු ඇතුළු පිරිස සුභ පැත්මේ තුඩුව සියැසින් දක්නා ලදී. දියස් ඊට කුණාටු තුඩුව යයි නම් කළ ද පසුව 2 වන ජෝන් රජු ඊට සුභ පැත්මේ තුඩුව යයි නම් කළේ ය. ඔවුන්ගේ ආපසු ගමන පිළිබඳ එතරම් විස්තර දැන ගැනීමට නොමැත. ආපසු එන ගමනේ දී ප්‍රින්සිපෙ (Principe) නම් දූපතට දියස් ගොඩ බසින ලද අතර එම අවස්ථාවට පචෙකු (Pacheco) නම් දක්ෂ නාවිකයා ද සහභාගී වූ බව දැක්වේ. මෙම ගමනේ දී රියු ද රොස්ගාතේ (Rio do Resgate) නම් පෙදෙස සහ මීනා (Mina) නම් ආර්ක්ෂිත වෙළඳ මධ්‍යස්ථානය ද පසු කළේ ය. ආපසු එන ගමනේ දී ඔවුන් විසින් වරදවා තේරුම් ගෙන ලකුණු කළ ස්ථාන නිවැරදි කර ගන්නා ලදී.

සිය රටට පැමිණි දියස් බාතොලමියු උත්සවාකාරයෙන් පිළිගත් බවට සාක්ෂි නොමැත. ඉන්පසු ඔහු ඉන්දියාවෙහි තොරතුරු සොයා යාම පිණිස සූදානම් වුව ද එතැන් පටන් අවුරුදු 9 යන තෙක්ම කිසිවකු එහි නොගියේ ය. මෙය ඇතැම් විට පෙරුදා කොවිල්යා නැවත යම්කිසි තොරතුරක් රැගෙන එන තෙක් බලා සිටි නිසා විය හැකිය.

ජෝන් රජුට පසුව මැනුවෙල් I රජ බවට පත් වූයේය. දියස් බාතොලමියුට මේ රජුගේ කාලයේ දී ද වැදගත් මුහුදු ගමන්වලට සහභාගී වීමට අවකාශ ලැබිණ. වර්ෂ 1497 දී ඉන්දියාවට යාම සඳහා වස්කෝද ගාමා විසින් අරඹන ලද ඉතා ප්‍රසිද්ධ මුහුදු ගමනට මෙම රජුගේ අවසර ලැබිණ. ඊට සහභාගී වූ දියස් බාතොලමියු මීනා දක්වා ඔහු යාත්‍රා කළෝ ය. වස්කෝද ගාමා ඉන්දියාවේ බටහිර දිග පිහිටි මුහුදු වරායන් සමඟ ඉතා හොඳින් ගනුදෙනු කිරීමෙන් අනතුරුව සියරට බලා පැමිණියේ ය.

මින්පසු ඉන්දියාව සමඟ වෙළහෙළදාම විශාල වශයෙන් කිරීමට පෘතුගීසීන් බලාපොරොත්තු විය. ඒ අනුව නැව් 12 කින් යුතුව තවත් කණ්ඩායමක් ඒ සඳහා සූදානම් කර තිබිණ. මෙම නැව් කණ්ඩායමට සම්පූර්ණ වශයෙන් පේදුර අල්වාරෙස් කබ්රාල් අත වූ අතර දියස් බාතොලමියුට ද කුඩා නැව් අතරින් එක් නැවක් ලැබිණ. මොවුහු කේප් තුඩුව බලා යාත්‍රා කළ අතරම අත්ලාන්තික් සාගරයේ ඈත බටහිර දිගට ද යාත්‍රා කළ හ. මෙහි දී ඔවුහු බ්‍රසීලයට අයත් ඉස්පිරිතු සාන්තු නම් ප්‍රදේශය දැක ගත්හ. ඔවුහු එය දූපතක් යයි සිතා ඊට ට්‍රෑ ක්‍රොස් දේශය (Land of true Cross) යයි නම් තැබූහ. මේ අයුරින් දියස් බාතොලමියු බ්‍රැසීල රාජ්‍යය ද සොයා ගත්තේ ය. දියස් බාතොලමියු දේශ ගවේෂණයෙහි මෙවන් දස්කම් පෑව ද මෙම ගමනේ දී අනෙක් නාවිකයන්ගෙන් වෙන් වී මුහුදෙහි ම නැති වී ගියේ ය.

දියස් බාතොලමියු ෙඑතිහාසික වශයෙන් වැදගත් මෙහෙයක යෙදුණ ද ඔහුගේ සේයාරුවක් හෝ ඔහු පිළිබඳ සෑහන තොරතුරක් හෝ සොයාගත නොහැකි ය. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් දේශගවේෂණයෙහි යෙදෙමින් මුහුදු ගමන්වල යෙදීම නිසා මෙසේ සිදුවන්නට ඇත. කෙසේ වුව ද ඔහුට පුතකු සිටි බවට සාධක තිබේ. ඔහු අන්තෝනියෝ නම් වේ. ඔහුගේ මුණුපුරා පාවුළු දියෙස් ද නොවියේ නම් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

World Book Encyclopeadia

Encyclopeadia Britanica

(කර්තෘ: වී. සමරවික්‍රම)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියෙස්_බාතොලමියු&oldid=5327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි