දහම් සරණ
(ක්‍රි.ව.1220-1293). දඹදෙනි යුගයේ ලියැවුණ ජනප්‍රිය ධර්ම ග්රන්ථයකි. පරිච්ඡේද තුනකින් පරිමිත ය. උත්කලිකා ප්‍රාය නම් ප්‍රබන්ධය ගණයට ඇතුළත් ගුරුළු ගෝමීන්ගේ අමාවතුරින් හා විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණින් ඇරඹූ ග්රන්ථ ශෛලිය අනුගමනය කැරෙමින් ලියැවුණු දහම් සරණ බුද්ධ ධර්මය පිළිබඳ සංක්ෂිප්ත අවබෝධයක් ලබාදීමේ අරමුණින් ලියැවුණු සේ පෙනේ. බුත්සරණෙහි රීතිය අනුගමනය කෙරෙමින් ලියැවුණු දහම් සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ කෘතියකැයි ඇතැම් විද්වතුන් විශ්වාස කෙරෙතුදු එය සනාථ කිරීමට තරම් සාකෂ්‍ය ග්‍රන්ථය වෙතින් නොහමු වේ. කොළඹ කෞතුකාගාර පුස්කොළ පුස්තක නාමාවලියෙහි ඇති තුන්සරණයෙහි බුත්සරණ, දහම් සරණ, සඟසරණ යන ග්‍රන්ථත්‍රය එකට බැඳ එය එකම කතුවරයකුගේ කෘතියක් ලෙස දක්වා ඇත. එහෙත් එය ඔප්පු කිරීමට තරම් සාධක ඉදිරිපත් කොට නැත. කොත්මලේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ දම්සරණ සංස්කරණයේ පූර්විකාවෙහි “මේ ග්‍රන්ථයේ කර්තෘ වූයේ විද්‍යාචක්‍රවර්තී පරාක්‍රම විද්වද්ර්වරණ්යකම වේ" යනුවෙන් සඳහන් කැර ඇතත් එය ද සනාථ කිරීමට තරම් සාධක එහි දක්නට නොලැබේ.
බුත්සරණ රීතිය හා ශෛලිය අනුගමනය කෙරෙමින් දහම් සරණ සම්පාදනය කැරුණේ ය. එහි අරමුණ වන්නට ඇත්තේ විසුද්ධි මග්ගයෙහි එන දම්මානුස්සතිය කෙරෙහි කුසලස්ස උපසම්පදා යන පදයයි. දහම් සරණ ආරම්භ වනුයේ දීපංකර විවරණයේ සිට කාශ්‍යප බුද්ධ කාලය දක්වා සූවිසි විවරණ කතාවෙන් පසුව එන්නේ ජාතක කථා 517ක ලුහුඬු විස්තරයකි. ඒ දක්වා සිංහලයෙන් පෙළ නොගැසුණු ජාතක කතා ගැන සිංහල පාඨකයාට පළමුවෙන් කියවන්නට ලැබුණේ ද දහම් සරණයෙහි ජාතක කතා සංග්රහයෙනි. තුන් පිටකයේ එන කථාන්තර කථාරසය උද්දීපනය වන පරිද්දෙන් තුන්වන පරිච්ඡේදයෙහි ඇතුළත් කොට තිබේ.
බුත්සරණ හා අමාවතුරෙහි මෙන් දීර්ඝ විස්තර සහිත දේශනා ශෛලියට සමීප රචනා මාර්ගයක් දහම් සරණයෙහි දක්නට නොලැබේ. එහෙත් ග්‍රන්ථාරම්භයෙහි දී ලේඛකයා යොදාගත් භාෂා ශෛලිය බුත්සරණයට දෙවැනි නොවන තරම් ව්‍යක්ත බවට සාධක පෙනෙයි.
“මෙතන්හි සත්පුරුෂයන්ට සන්තෝෂ සඳහා ඇසුවන්ට ස්වර්ග මෝක්ෂ සම්පත්ති සඳහා අප බුදුරජාණන් වහන්සේගේ ගුණවියත් අවියත් මුළුලෝ වැසියන් සිත් සනහා අමෘත පරිෂේකයක් සේ ගල්වනු සඳහා මහිමිවූ ගෞතමගොත්රයෙහි උපන් මුළු ලොවට අගමෙණැ වූ ශාක්‍ය සිංහ වූ සර්වඥයන් වහන්සේගේ චරිතය මූලප්රණිධානයෙහි පටන් එකදේශයක් දක්වවි” යනාදී පාඨයන් දෙස බලන කළ දහම් සරණ ලේඛකයාගේ දී ශක්තිය හා ලේඛන කුසලතාව මනා සේ පිළිබිඹු වේ. එසේ ම බුත්සරණ කතුවරයා ආභාසය ලද පරිද්දෙන් ම කාදම්බරි වාසවදත්තා හරිෂ චරිත වැනි සංස්කෘත ගද්‍ය කාව්‍යයන්හි දහම් සරණට ද ලැබී ඇති බවක් පෙනේ. “වෘන්දාරක බෟන්දානන්ද සන්දෙන නිධාන වූ මකරන්ද සුගන්ධ සම්බන්ධ බන්ධුර වූ කුසුමාමොදමුදිත මඤජුසිකුජිත මධුකර නිතර නිරන්තර යනාදී පාඨකයන්ගෙන් හෙළිවනුයේ දහම් සරණ කතුවරයා සංස්කෘත කාදම්බරිය වැනි කෘතීන්ගේ අභාසය ලැබූ බව ය. දහම්සරණෙහි ප්‍රථම ද්විතීය භාග ලෙස සැලකිය හැකි මුල් පිටු දෙසියයෙහි මෙවැනි යෙදුම් බහුලව දක්නට ලැබේ.
දහම් සරණෙහි අග එන වෙස්සන්තර ජාතකය බුත්සරණෙහි මෙන් ම එහි ඇතුළත් කැර ඇත්තේ සමකාලීන ග්රන්ථ සම්පාදන සම්ප්රදායයක් වශයෙනි. එසේ ම දහම් සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්රබන්ධයෙකැ'යි යන මතය ද බිඳහෙළීමට මේ වෙස්සන්තර ජාතකය එක් සාධකයක් සේ ඇතැම් විචාරකයෝ ඉදිරිපත් කරති.
දහම්සරණ කතුවරයා භාෂාව කෙරෙහි ඇල්මක් දැක්වූ ලේඛකයකු සේ පෙනේ. පොළොන්නරු යුගයේ මුල් අවධියේ ලියැවුණු ධර්ම ප්‍රදීපිකා වැනි ප්රබන්ධයන්හි දක්නට ලැබෙන ගාඪ සංස්කෘත රීතියට බොහෝ දුරට නෑකම් කියන ශෛලියක් මේ කෘතියෙහි මුල් පරිච්ඡේදයන්හි දක්නට ඇත. එහෙත් අග භාගයෙහි දී සද්ධර්මරත්නාවලියෙහි භාෂා රීතිය හා ලේඛන මාර්ගය අනුගමනය කැර ඇති බව පෙනේ.
“ඒ ධර්මප්රවීණයට ධර්මනෛරන්තර්යයට ධර්ම විජයට ධර්ම විජ්රැම්භනයට ධර්මදර්පයට ධර්මාහංකාරයට ධර්මමහොත්සවයට ධර්මොත්සේකයට ධර්මවෛසාරදායට ධර්මහර්ෂයට ධර්මොත්තරවෙමින් අධර්මතර්ජනයට අධර්මනිර්මථනයට, අධර්මවිදාරණයට, අධර්මනිෂ්ඨිවනයට ඒක නිදානවෙමින් ලොව සදන්නට පටන්ගත් සෙයෙක."
මානසේ ශබ්ද උච්චාරණය කොට හඬනගා කියවන කල ශ්‍රාවකයන් තුළ චිත්තප්‍රසාදය උපදවන අනුප්රාස බහුල කඨොරාක්ෂර සංකලනයෙන් යුක්ත වූ සුවිශේෂ රචනා ශෛලියක් දහම් සරණෙහි අන්තර්ගත ය. මේ යුගයේ ලියැවුණු කිසිදු අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන තරම් ඕජෝගුණාධික ප්‍රාණවත් භාෂාවන් දහම් සරණෙහි දක්නට ලැබේ. එසේ වුව ද අවස්ථා වර්ණනයෙහි දී දහම් සරණ කතුවරයා සද්ධර්ම රත්නාවලිය කළ ධර්මසේන හිමියන් දැක් වූ සමත්කමට නොදෙවැනි දක්ෂතාවක් ප්‍රකට කළ අවස්ථා දක්නට ලැබේ.
ඕං එතැනට කෙසේ ආ යකින්නට ද යත් එක් උකුලෙකින් ගත් දුවෙක, ඇඟිල්ලෙහි එල්ලෙන පුතෙක, සාගිනිගත් කුසයෙක, බැගෑපත් සිතෙක, වෙවුලුම් ගත් ඇඟෙක, දුක් මුහුදෙහි ගසන රළ සියලු ප්‍රේත ලෝකයෙහි දුක්තාක් මූර්තිමත්ව ගත්තාක් බඳු මහාවිප්රකාරයකට පැමිණි සෙයක හෙද අමාසේ දුර්ලභ වන පරිද්දෙන් පින් නොකළ පරිදි ය. කර්මබල ඇති හෙයින් දුක් විඳිනට තිබූ ඇට හා සම් මිස කෙසු ශරීරය උවමනා දෑ නැතිව වේව්ලන ඇඟෙක, දුක් මුහුදෙහි ගසන රළ සෙයින් ඉහිළිගිය පරාළ පතු පෙළ ය. පිට ඇලී ගිය බඩ සම ය, ලද නියකන්නකු උදුරා නොකැදෙන දරුවෝ දෙන්නෙක, සංසාර නමැති චිත්‍රකාරයා තමාගේ සිතුවම් නමැති නිමාව පෑමට සරසා සිටුවා ලූවාක් වැනි ප්‍රේතයෙකි.
මෙවැනි වර්ණනාවන් දෙස බලන කළ දඹදෙනි යුගයේ භාෂා ශෛලිය හා රත්නාවලියේ රීතියට ආදර්ශ වූයේ දහම් සරණෙ බව ද සිතීමට පුළුවන. එසේ ම තත්කාලීන ශ්‍රාවක ජනයා විසින් බුත්සරණ මෙන් ම දහම් සරණ ද මහත් ආදරයෙන් පිළිගත් බවට මෙම කතා කලාව කදිමට දෙස් දෙයි. දහම් සරණෙහි සංක්ෂිප්තභාවයත් ලේඛකයා විසින් තෝරා ගන්නා ලද සුමෙධකථා, නියතවිවරණ කථා, සූවිසි විවරණ කථා ද ද්විතීය පර්ච්ඡේදයෙහි අන්තර්ගත ජාතක ධර්ම සංග්‍රහ ද තෘතීය පරිච්ඡේදයයෙහි එන උත්තරා චරිත මහාකජ්ජිත ඝෝෂක මාගන්දි ආදී කථා ද මඝමානවක, සක්තපඤ්හ වත්ථුව ද ජාතකය මහා පදුම ජාතකය වෙස්සන්තර ජාතකය යන ජනප්‍රිය බණකතා නිසා දහම්සරණ පොදු ජනයාගේ දහම් මඟට අවතීර්ණ වූ කෘතියක් ලෙස හැඳින්විමට පුළුවන.
(කර්තෘ: සරත්චන්ද්‍ර ජයකොඩි: 1994)
(සංස්කරණය නොකළ)