දාමෝදර
ක්‍රිෂ්ණට කියැවෙන තවත් පර්‍ය්‍යාය නාමයකි. දාමෝදර යන්නෙන් දාමයක් සහිත නොහොත් දාමයක් උදරය වටා ඇති පුද්ගලයා යන අරුත් දෙයි. ඒ නම් ඔහුට ලැබී ඇත්තේ ඒ ඒ අවස්ථාවන්හි කරන ලද වික්‍රමයන් හා දඟකාරකම් නිසා ය. දාමෝදර යන නම ද එබඳු දඟකාරකමක එක් ප්‍රතිඵලයකි. මොහුගේ පියා මථුරා පුරයේ යාදව ගෝත්‍රිකයකු වූ වසුදේවයි. මව කංසගේ නැන්දණිය වූ දේවකී ය. දේවකීයට උපදින අටවැනි දරුවා කංස මරණයට පත්කරන බව දෛවඥයෝ කියති. ඒ නිසා ඇයට උපදින සියලු දරුවන් විනාශ කිරීමට කංස පෙළඹේ. නමුත් හත්වැනි පුතු බලරාමත් අටවැනි පුතු කෘෂ්ණත් කංසගෙන් බේරා ගැනීමට වසුදේවට හැකි වේ. කෘෂ්ණ උපදින දිනයේ ම නන්ද ගෝපාලට හා ඔහුගේ බිරිඳ යශෝදාට උපදින දියණිය කෘෂ්ණට මාරුකර රහසේ හදාවඩා ගැනීමට වසුදේව සමත් වෙයි. කෘෂ්ණ දණ ගාන අවධියේ සිට ම විවිධ දඟකාරකම් කිරීමට පෙළඹේ. තමා හදාගන්නා මව වන යශෝදාගේ තල සොරකම් කළ අවස්ථා පවා දක්නට ලැබේ. යශෝදා කොතැන ගියත් ඇය පසු පස යාමට ඔහු කුඩා කල සිට ම පුරුදු ව සිටියේ ය. මෙයින් බේරීමට ඔහුගේ ඉණ වටා ලණුවක් ගැටගසා අනෙක් කෙළවර වංගෙඩියේ බඳියි. එයින් බේරීමට හැකි වෙතැයි සිතූමුත් ඔහු වංගෙඩිය ඇඳගෙන ගොස් ගසකට තබා සිරකර ලණුව කඩාගෙන ඇය සොයා එයි. ඔහු කඩාගත් ලණුවේ කෙළවර දාමයක් සේ ඔහුගේ උදරයේ පිහිටයි. මේ නිසා ඔහුට දාමෝදර යන නම ව්‍යවහාර වෙයි. දාම සහ උදර යන පද දෙක සන්ධි වීමෙන් ‘දාමෝදර’ ලෙස සැකසී ඇත. නන්ද හා යශෝදාගේ රැකවරණය යටතේ යළි යළිත් උත්සාහ කරයි. නමුත් ඊට ප්‍රථම ව්‍රජයටත් අනතුරුව වෘන්දා වනයටත් පිටත් කර ඔහු බේරා ගැනීමට නන්ද සමත් වෙයි. තමා මැරීමට කංස සැරසෙන බව දැනගත් කෘෂ්ණ කංස මරා මථුරාවේ රජවෙයි. කංසගේ මාමා වූ මගධයේ ජරාසන්ධ රජුත් වයඹ දිග ඉන්දියාවේ යවන රජුත් ඔහුට විරුද්ධ ව ආ නිසා මථුරාව හැරදා ද්වරකා පුරයට යයි. එය අගනුවර කොට විදර්භ රජුගේ දියණිය වූ රුක්මිණි අගබිසව කොට එහි වාසය කරයි. එහි දී ඔහුට අන්තඃපුර ස්ත්‍රීන් දහසය දාහකට (16,000) දාව පුතුන් එක් ලක්ෂ අසූදාහක් (180,000) උපන් බව සඳහන් වෙයි. පාණ්ඩවයන්ට හිතවත් ව සිට ඔවුන් කුරු ක්‍ෂේත්‍රයේ බලය ලබාගත් පසු ඔහු නැවත ද්වනරකා පුරයට පැමිණේ (මහාභාරතය බ.). එහි නායකයෝ මද්‍යපානය නිසා එකිනෙක මරාගෙන සියල්ලෝ ම විනාශයට පත්වෙති. සිත්තැවුලෙන් වනගත වන කෘෂ්ණට ඔහු මැරිය හැකි එක ම තැන වන විලුඹට දඩයම්කරුවකු විසින් මුවකු යැයි සිතා විඳින ලද හීයෙන් මරයට පත් වෙයි. විෂ්ණුගේ අටවැනි අවතාරය කෘෂ්ණයි. ඔහු විෂ්ණු භක්තියන්ට කෙතරම් දේවත්වයෙන් සමීප වී සිටිත් දැයි කිවහොත් භාරතයේ අද ද තම පවුලේ උපදින අටවැනි දරුවාට විෂ්ණුගේ අවතාරය හෙවත් ක්‍රිෂ්ණ මූර්ති යැයි ව්‍යවහාර කරති. භාරතයේ විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ ජේ. ක්‍රිෂ්ණ මූර්තිට ඒ නම ලැබී ඇත්තේ ද එම විශ්වාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.
ආශ්‍රිත ග්‍රන්ථ
1. විෂ්ණු පුරාණය
2. හරි වංශය
3. ගීතගෝවින්දය
(කර්තෘ: විජේරත්න රත්නප්‍රිය)
(සංස්කරණය නොකළ)