පේදුරු ලෝපේස් ද සොයිසා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:04, 17 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පේදුරු ලෝපේස් ද සොයිසා

දක්ෂ යුද්ධ භටයකු වුව ද අන් මත නොඉවසන සිය මතයෙහි ම එල්බගෙන ක්‍රියා කිරීමට තරම් අහංකාර පරවශ ව ක්‍රියා කිරීම, නිසා ලංකාවේ දී සිය වර්ගයාට මහත් ව්‍යසනයක් අත් කර දීමෙන් අපකීර්තියට පත වූවෙකි පේදුරු ලෝපේස් ද සොයිසා.

පෘතුගාලයේ ට්‍රැන්කෝසෝහි උපත ලද පේදුරුගේ ළමා කාලය ගැන සඳහනක් නොවේ. සමකාලීන පෘතුගීසි ඉතිහාසඥයන් ඔහු විස්තර කොට ඇත්තේ උස් සිරුරක් ඇති, සුදු වෙමින් පැවැති රැවුලකින් වැසී ගිය මුහුණකින් ද ඍජු නැහැයක් හා ලොකු හිසකින් ද යුත් අයකු ලෙසයි. ඉක්මනින් කථා කරන, විනෝදකාමී සිය කථාවෙන් අනුන් සිත් බැඳ ගැනීමට සමත් ඔහු ධෛර්ය සම්පන්න, වීර ක්‍රියා කිරීමේ ආශාවක් ඇති අයකු වුව ද ඔහුගේ ප්‍රධානත ම දුර්වලකම වූයේ තමා සිතන දේ ම නිවැරදි බව සිතීමයි.

තරුණ වියේ දීය පෘතුගීසි විදේශ සේවයට බැඳුණු ඔහු ප්‍රථමයෙන් එකල පෘතුගීසි විජිතයක් වූ මලක්කාවේ සේවය කළේ ය. එහි සිට ගෝවේට යන අතරමඟ දී ඔහු ලංකාවට ගොඩ බසින විට මෙහි පෘතුගීසි බලය එක්තරා ස්ථාවර තත්වයක පැවතිණ. කොළඹ පමණක් නොව කඩුවෙල හා මල්වාන ද ඔවුන් සතුව පැවතිණ. දෙවැනි රාජසිංහ රජුගේ දරදඬු ක්‍රියා කලාපය හමුවේ එහි නියම රාජ්‍ය උරුමකරු සිය දරුවන් ද රැගෙන ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත පැන ගොස් තිබිණ. පැවැති මේ තත්වය හමුවේ ඉතා පහසුවෙන් උඩරට රාජ්‍යය තම ජාතියට යටත් කර ගත හැකි බව වටහාගත් පේදුරු මෙරටින් ගෝවේ වෙත ගියේ එහි විසූ ප්‍රතිරාජයාට බලපෑම් කොට තම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය භටයන් සහ ආධාර ලබාගෙන නැවත එන අදහසිනි.

ගෝවේට ගිය පේදුරු කෙතරම් අසවත් ලෙස ලංකාව අල්ලා ගැනීමේ නොවරදින උපාය ප්‍රතිරාජයා ඉදිරියේ තැබුවේ ද යත්, තමාට අවශ්‍ය යුද උපකරණ, ආහාර පානාදිය පමණක් නොව හය සියයක කණ්ඩායමත් ද ලබා ගත හැකි විය. ප්‍රතිරාජයාට පමණක් දෙවැනි වන ‘ජෙනරාල් කොන්ක්විස්ටඩෝර්’ හෙවත් කපිතාන් ජෙනරාල් පදවිය ද මොහුට පිරිනමන ලදී. පේදුරුගේ සැලසුම අනුමත කළ යුතු කවුන්සිලය මේ කාර්යය මෙහෙයවීම මොහුට ම පැවරීය.

එවන ලද එක් යුද නැවක් යුද උපකරණ සමඟ ම කුණාටුවකට හසු වී ගිලී ගිය අතර පේදුරු ගොඩ බැස්සේ මීගඩුව අසලිනි. ඔහු කොළඹට පැමිණියේ වීරයකු ලෙසිනි. ලංකාවේ දී සාර්ථක යුද මෙහෙයුම් ගණනාවක් මෙහෙයුව ද තමා අමතක කොට මෙවැනි වැදගත් කාර්යයක් පේදුරුට පැවරීම ගැන සිත් අමනාපයෙන් සිටි පේදුරු හෝමේම් පෙරේරා පවා පැමිණ මොහුට සුබ පැතුවේ ය. පේදුරු ලෝපේස් යෝජනා කළ උපාය සාර්ථක වී නම් එය කදිම යෝජනාවක් වීමට ඉඩ තිබිණ. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඇති විය හැකි බාධාවන් ගැන ඔහුගේ සිත් යොමු වී නොතිබුණි. ඔහුගේ අපේක්ෂාව වූයේ කන්ද උඩරට රජ වී සිට තමන් වෙත ආරක්ෂාව පතා පැමිණ එහිදී මිය ගිය කරල්ලියැද්දේ බණ්ඩාරයන්ගේ දියණි දෝණ කතිරිනා කුමරිය පෘතුගීසි ජාතිකයකුට විවාහ කර දී, එම විවාහය මඟින් උඩරට උරුමය පෘතුගීසින් සතු කර ගැනීමයි.

සෑම දෙනාගේ බලාපොරොත්තු සහ සුබ පැතුම් මැද ලෝපේස් මෙහෙයුම ඇරඹුවේ මෙතෙක් කිසිම සටනක දී රැස් නොකළ තරම් විශාල සේනාවක් කැටුවයි. දක්ෂතම පෘතුගීසි භටයන් හැරුණු විට, පෘතුගීසීන්ගේ කිට්ටුම හිතවතකු වූ දක්ෂ සෙන්පතියකු ද වූ ජයවීර බණ්ඩාර නමින් හැඳින් වූ අරිට්ට කීවෙණ්ඩු පෙරුමාල් හා ඔහු යටතේ සිටි ලැස්කරින්වරු ද පාක්ෂික සිංහල භට කණ්ඩායමක් ද මේ මෙහෙයුමට එක් වී සිටියහ. සත් කෝරළේ දක්වා කිසිදු කරදරයකින් තොරව පැමිණි පේදුරුගේ සේනාව ගල්බොඩගමට පැමිණි අතර, දෝන කතිරිනා රැගත් පිරිසගේ පැමිණීම අපේක්ෂාවෙන් එහි නැවතී සිටියේ තද වැසි ආරම්භ වූ නිසයි. කුමරිය පිළිගැනීමට බලන දක්වා ගමන් කළ ඔවුන් උඩරට රැජින ලෙස දෝන කතිරිනා නම් කරන විට පෘතුගීසීන්ගේ පරම සතුරා වූ විමලධර්මසූරිය සෙංකඩගල හැර ගොස් සිටියේ ය. කුමරියට පෘතුගීසි ජාතිකයකු විවාහ කර දීම පේදුරුගේ සැලැස්ම වුවත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. පෘතුගීසී ජාතිකයකුට කුමරිය විවාහ කර දීමට නොහැකි වූ විට ජයවීර බණ්ඩාර යෝජනා කළේ තම මස්සිනාට කුමරිය විවාහ කර දෙන ලෙසයි. එය කොළඹ දී සාකච්ඡා කළ යුතුය'යි දැන් වූ පේදුරු, ජයවීර බණ්ඩාරගෙන් අනාගතයේ දී එල්ල විය හැකි තර්ජන ගැන සැක සිතා ඔහු මරා දැම්මේ, ජයවීර උඩරට රජ පදවියට පත් ව සිටි විමලධර්මසූරිය හා කුමන්ත්‍රන කරන්නේය යන චෝදනාව එල්ල කරමිනි.

දෙවරක් නොසිතා කරන ලද මේ ක්‍රියාව මහත් ප්‍රතිවිපාක ගෙන දුන්නේ ය. ජයවීරගේ ලැස්කරින් සේනාව ද සිංහලයෝ ද උරණ වී පෘතුගීසීන් හැර ගියහ. පෘතුගීසි ජාතිකයකුට කුමරිය විවාහ කර දීමේ කාර්යය පසුවට තබා හැකි ඉක්මනින් කොළඹට යෑම නුවණට හුරු බව පේදුරුට වැටහිණ. වහ වහා පහත රටට පසු බැසීම ඇරම්භ කළ ද විමලධර්මසූරිය රජු ඔවුනට පහර දුන්නෙන් දන්තුරේ වෙලේ දී මහ සටනක් ඇවිලිණ. 1594 ඔක්තෝම්බර් මස 6 වැනි දා ඇති වූ මේ සටනින් මුළු පෘතුගීසි සේනාවම මැරුම් කෑවේ ය. උඩරට රාජ්‍යයට උරුමකම් දෙන තුරුම්පුව වූ දෝන කතිරිනා කුමරිය ද පැහැර ගන්නා ලදී. තුවාලකරුවකු වූ පේදුරු රජුගේ සිරකරුවකු බවට පත් විය.

විමලධර්මසූරිය රජු පේදුරු ලෝපේස් ද සොයිසාට හොඳින් සාත්තු කරවී ය. ඔහුගේ තුවාලවලට පිළියම් කොට හොඳින් රැකබලා ගන්නා ලෙස අණකොට තිබිණ. එහෙත්, තමාගේ වරද නිසා මිය ගිය විශාල සේනාව ගැන ද තමා අත තිබූ වටිනා වස්තුව තම පරම සතුරා අතට අත්වීම ගැන ද මහත් දොම්නසින් පසු වූ ඔහු තමා හා සිටි තම පුත් වූ තරුණ දියෝගෝ සිය අතින් ම රජුට භාර දී ඔහු රැක බලා ගන්නා ලෙස ඉල්ලා සිටියේ අවසන් හුස්ම හෙලුවේ ය.

1597 දී දියෝගෝ නිදහස් කරන ලදුව ගෝවේ බලා ගියේ එහි දී අසු පිටින් වැටී මරු දුටුවේ ය. ඔහුට ද පුතකු සිටි බව කියනු ලැබේ.

සිය ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිතය කැප කළ ද තම අදූරදර්ශී ක්‍රියාව නිසා පෘතුගීසි ඉදිරි ගමනට මහත් බාධාවක් කළ, දහස් ගණනකගේ ජීවිත විනාශයට මුල් වූ අයකු සේ මොහු අපකීර්තියට ලක් විය.

ආශ්‍රිත ග්‍රන්ථ

THE PORTUGUESE ERA - PAUL E. PIERIS

පරංගි කෝට්ටේ - ටිකිරි අබයසිංහ

THE TEMPORAL & SPIRITUAL CONQUEST OF CEYLON - QUEYROZ - BY S. G. PERERA

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

පේදෘ ලෝපස් ද සූසා

ක්‍රි.ව. 1594 මැයි මාසයේ පාතුගීසි කපිතාන් ජනරාල් වශයෙන් කොළඹට පත් ව ආ පේදෘ ලෝපස් ද සෞසා හෙවත් සූසා පෘතුගීසි ජාතිකයෙකි. පෘතුගීසි ලේඛකයකු වූ ජුවාන් රුබේරු පෙන්වා දෙන අන්දමට ජේදෘ ලෝපස් ද සෞසා ප්‍රථමයෙන් ලංකාවට පැමිණියේ මලක්කාවේ සිට ගෝවට යන ගමනේ දී ය. ඔහු ප්‍රථමයෙන් ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ කොටුව භාරව සිටි ප්‍රැන්සිස්කෝ ද සිල්වා උඩරට බලයට පැමිණ සිටි, කොනප්පු බණ්ඩාරගෙන් වහාම පළිගත යුතු බව ප්‍රකාශ කර ඇත.

පෙරදිග පෘතුගීසි ආඥා මූලස්ථානය වශයෙන් පවත්වා ගෙන ගිය ගෝවේ රාජ්‍ය මණ්ඩලය වෙත කරුණු දැක් වූ පේදෘ ලෝපසු ද සූසා මහනුවර ද්‍රෝහියා වශයෙන් හැඳින් වූ කොනප්පු බණ්ඩාර උඩරට බලයේ සිටිය හොත් පෘතුගීසි බලය දිවයිනෙන් අතුරුදන් වීමට හේතුවක් වීම ඒකාන්ත බවත් ප්‍රකාශ කර ඇත. එහෙයින් උඩරට ජයග්‍රහණය කිරීම සඳහා වහාම පෘතුගීසි සේනාවක් මෙහෙය විය යුතු බවත් එහි නායකත්වය කොළඹ සිටි ප්‍රැන්සිස්කෝ සිල්වාට ලබා දිය යුතු බව ද සූසා යෝජනා කොට ඇත. එහෙත් ගෝවේ පෘතුගීසි නායකත්වය තීරණය කළේ උඩරට ජයග්‍රහණය කිරීමේ පෘතුගීසි ආක්‍රමණික හමුදාවේ නායකත්වය පේදෘ ලෝපස් විසින් දැරිය යුතු බව ය. එම වගකීමෙන් තමන් නිදහස් කරන ලෙස ආයාචනා කළ ද එය ද රාජ්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මෙහි දී රාජ්‍ය මණ්ඩලය කිසිසේත් අනුමත නොකරණු ඇතැයි සිතූ කරුණු 2ක් කෙරෙහි සූසා විසින් රාජ්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවූ බවත් පෘතුගීසි ලේඛකයන් විසින් පෙන්වා දී තිබේ.

(1) තම බෑනනුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ක්ෂේත්‍ර කපිතාන් වශයෙන් පත් කිරීම සහ

(2) දෝන කැතරිනා (කුසුමාසන දේවි) කුමරිය පෘතුගීසී මහ රජුගේ හෝ එතුමාගේ ප්‍රතිරාජයාගේ අනුමැතියෙන් තම බෑනනුවන් සමඟ විවාහ වීම සඳහා අනුමැතිය ලබා දීම යන ඉල්ලීම් දෙක ඉදිරිපත් කර ඇත. පේදෘ ලෝපස්ගේ මෙම ඉල්ලීම් දෙක ඒකාන්ත වශයෙන් රාජ්‍ය මණ්ඩලය විසින් ප්‍රතිකේෂ්ප කරනු ඇතැයි ඔහු සිතූ බව ජුවන් රූබේරු විසින් දක්වා ඇත.

පළමුවැන්න පෘතුගාලයේ ක්‍ෂෙත්‍ර ජනරාල් මාස්ටර් පදවියට සමාන වීමත් දෙවැනි ඉල්ලීම කෙසේවත් අනුමත කරන්නේ නැති බව ඔහු විශ්වාස කළ බවත් කෙසේ වුවත් මෙම ඉල්ලීම් දෙක ම රාජ්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ද සූසා යුද උපකරණ සහ පෘතුගීසි සෙබළුන් 1,000ක් ද සමඟ මන්නාරමින් ලංකාවට ගොඩ බැස්සේ ය. කොළඹ පෘතුගීසි කපිතාන් ප්‍රැන්සිස්කෝ ද සිල්වා ඔහුගේ පැමිණීමෙන් කෝප වූ බවත් ඔහුට කිසිදු සහායක් නොදුන් බවක් සඳහන් වී තිබේ. පේදෘ ලෝපස් ද සූසා ලංකාවට පැමිණි ටික දිනකින් රාජසිංහ I රජු යටතේ සේවය කළ ජයවීර බණ්ඩාර මානප්පෙරුම මොහොට්ටාල (අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්) 20,000 යුද භටයන් සමඟ ඔහුට එක් විය. මෙම ඒකාබද්ධ පෘතුගීසි සිංහල සේනාව, උඩරට සිංහාසනයේ නියම උරුමකාරිය වූ දෝන කැතරිනා කුමරිය ද රැගෙන උඩරට බලන දුර්ගය ද තරණය කොට උඩරටට ඇතුළුවිය. එහි දී උඩරට රැජින වශයෙන් දෝන කැතරිනා කුමරිය ප්‍රකාශයට පත් කරන ලදි. පෘතුගීසී ලේඛකයන් පෙන්වා දෙන අන්දමට තල්පතක් මඟින් යවන ලද පණිවිඩයක් මාර්ගයෙන් ජයවීර බණ්ඩාර සහ තමන් අතර පෘතුගීසින්ට එරෙහිව කුමන්ත්‍රණයක් පවතින බවට ඒත්තු ගැන්වීමට කොනප්පු බණ්ඩාර සමත් විය. තල්පත ඇස ගැසුණු සූසා කිසිදු විමසීමකින් තොරව දැඩි කෝපයට පත් වූයේ කිනිස්සෙන් ඇණ ජයවීර බණ්ඩාර මරා දැමූ බව කියැවේ. මෙහි ක්‍ෂණික ප්‍රතිඵලය වූයේ ජයවීර බණ්ඩාරගේ සේනාව උඩරට හමුදාවට එකතුවීමයි.

මේ හේතුව නිසා හුදකලාභාවයට පත් වූ පෘතුගීසි හමුදාව සමඟ කඳුකරයෙන් වට වී තිබූ උඩරට රාජ්‍යයෙන් ආපසු එන ගමනේ දී සූසා ඇතුළු පෘතුගීසි හමුදාව උඩරට හමුදාව විසින් දන්තුරේදී වටකරණු ලැබී ය. මෙහි දී ඇති වූ සටනේ දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේදෘ ලෝපස් ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව 1594 ඔක්තෝබර මාසයේ දී සමූල ඝාතනය විය. පෘතුගීසි ලේඛකයන් විසින් අතිශය දක්ෂ යුද සෙන්පතියකු වශයෙන් හඳුන්වනු ලැබූ කපිතාන් ජෙනරාල් පේදෘ ලෝපස් ද සූසා ගේ අවසානය එසේ සිදු විය.

(කර්තෘ: චාමින්ද සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)