ධම්මසඞගණිප්පකරණය
1. අභිධර්‍මපිටකයෙහි ප්‍රකරණ හතකි. ධම්මසඞගණිය එහි පළමුවැන්න ය. මුළු අභධර්‍මපිටකයෙහි ම විස්තර වන කුශලාදී දර්‍ම තිකදුක මාතෘකාපාලි වශයෙන් සැකෙවින් සංග්‍රහ කොට ඇති හෙයින් මේ පොතට ධම්මසඞගණි යන නම යෙදේ. ධම්මසංග්‍රහ යනු ද මීට නම් වේ.
2. බුදුරජාණන් වහන්සේ බෝමැඩදී සර්‍වඥතාඥානය ලබන විට ම අභිධර්‍මය අවබෝධ කළ බවත් සතරවන සතියෙහි දී අභිධර්‍මයෙහි ගැඹුරුකම විමසූ බවත් මාතාදේවතාවන් ප්‍රමුඛ දෙවිදේවතාවන්ට තව්තිසා දෙව්ලොව දී ධම්මසඞගණි ආදී සප්තප්‍රකරණගත අභිධර්‍ම පිටකය දේශනා කර වදාළ බවත් ශාසනික මතය වේ. එසේ දේශනා කර වදාළේ ලොකසත්වයා සසර සයුරෙන් එතර කරවන අදහසිනි.
3. අභිධර්‍ම පිටකය බුද්ධ දේශනාවක් හෙයින් ධම්මසඞගණිය බුද්ධභාෂිතයක් ය යනු ශාසනික මතයයි. නූතන විවේචකයෝ අභිධර්‍මය පසුපසුව ථෙරවාදී බෞද්ධාචාර්යයන් විසින් බුද්ධ දේශනාවේ ගැඹුරු ධර්‍මවෙ විවරණය කොට පිළියෙළ කරන ලද ප්‍රකරණ විශේෂයයි සිතති. අභිධර්‍මග්‍රන්ථයක් වූ කථා වස්තුව ධර්‍මාශෝක රජු දවස වැඩ සිටි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් පැළලුප් නුවර අශොකාරාමයෙහි පවත්වන්නට යෙදුණු තුන්වන සඞගායනාවේ දී වදාළැ'යි සඳහන් වීම ද සර්‍වාස්තිවාදී අනිත් බෞද්ධ නිකායිකයින් අභිධර්‍මප්‍රකරණවල ඒ ඒ ශ්‍රාවකයන් වහන්සේලාට පවරන ලද බව සඳහන් වීම ද ථෙරවාදීන් අතර පවා අභිධර්‍මදේශනාව ගැන විවිධ සාකච්ඡා ඇති වූ බව අත්ථසාලිනී ආදි අටුවාවලින් පෙනී යෑම ද අභිධර්‍මප්‍රකරණවල අර්‍ථකථා ස්වරූපයක් දක්නට ලැබීම ද නව විචාරකයන්ගේ මත ප්‍රකාශයකට හේතු වූවා විය හැකි ය. එහෙත් ඉතා ගැඹුරු දාර්‍ශනික විචාර ඇතුළත් අභිධර්‍මය බුදධදේශනාවක් ම බව ථෙරවාදීන්ගේ පිළිගැනීමයි.
4. ධම්මසඞගණියෙහි 1. චිත්තවිභත්ති, 2. රූපවිභත්ති, 3. නිකෙඛපරාසි, 4. අ ෙත්‍ථාදධාර යයි කොටස් හතරකි. මෙහි පිටු 2කි.
5. සූත්‍රපිටකයෙහි පළවෙන පංචක්‍ඛන්‍ධ, ද්වා දසායතන, අටළොස් ධාතු, දෙවිසි ඉන්ද්‍රිය යන මේ ධර්‍ම පනස් හත පිළිබඳවත් පුද්ගල සත්ව ස්ත්‍රී පුරුෂ රථාදී ලොකව්‍යවහාර පිළිබඳවත් යථා තත්වය වටහා ගත හැක්කේ අභිධර්‍මයෙන් ය. එබැවින් සෙසු අභිධර්‍මග්‍රන්ථවල සවිස්තර වන කුශලාදී ධර්‍ම පිළිබඳ සංග්‍රහ ස්වරූපයෙන් කරුණු ලුහුඬින් දක්වා ඇති ධම්මසඞගණිය හැදෑරීම අභිධර්මයට ප්‍රවේශවීමක් වැනි ය. චතුරාර්ය සත්‍යය සර්‍වප්‍රකාරයෙන් විස්තර වන්නේ අභිධර්‍මප්‍රකරණවල ය. එබැවින් එහි මුල් පොත වූ මේ ප්‍රකරණය පරිශීලනයෙන් විපුල ප්‍රයෝජන සැලසේ.
6. ධම්මසඞගණියෙහි චිත්ත හා රූප පිළිබඳ විස්තර මැනවින් ප්‍රකාශ වේ. එසේ ම කුශලාදී ධර්‍මයන්ගේ මූල, ස්කන්ධ, ද්වාර භූමි, අර්‍ථ, ධර්‍ම, නාම, ලිඞග වශයෙන් නික්‍ෂෙප කොට කළ විස්තර ඇතුළත් වේ. තව ද කුශලත්‍රිකය පටන් සරණදුකය දක්වා නොඑක්ලෙසින් පළවන විස්තර ද එහි ඇතුළත් වේ. ධම්මසඞගණියෙහි චිත්තවිභක්තියෙන් එකුන් අනුසිත් හඳුන්වනු ලැබේ. රූප විභක්ති කොටස් රූපධර්‍ම පිළිබඳ විවරණයකි. නික් ෙඛපරාධී නමැති පරිච්ඡෙදයෙහි අලොභ, අදොස, අමොහ යන කුසල මූල අකුසල මූල ආදිය පිළිබඳ විස්තර පළ වේ. අත්ථුද්ධාර හෙවත් අට්ටකථා කාණ්ඩයෙහි කුසලාදිය පිළිබඳ අර්‍ථවිවරණය වේ. මේ පොත් ඇතුළත් කාණ්ඩ හතර අතරින් චිත්තවිභක්තිය 1. මාතිකා, 2. පදභාජනිය වශයෙන් දෙකොටසකට බෙදා ඇත. මාතිකා (අ) දුක මාතිකා (ඉ) තිකමාතිකා වශයෙන් දෙකොටසකි. 1. මාතිකා නම් විස්තර විවරණ කරන අදහසින් මුලින් ලුහුඩින් තබන පෙළ ය. එනම් උදේදසයයි. මෙහි දුක මාතිකාව අභිධම්මමාතිකා සුත්තන්තික මාතිකා යයි දෙවැදෑරුම් කොට දක්වන ලදි. මෙහි තිකමාතිකා විසි දෙකකි. දුක මාතිකා එකසිය සතලිස් දෙකකි. එයින් සුත්තන්තික මාතිකා සතලිස් දෙකකි. ඉතිරි මාතිකා සියය අභිධම්ම මාතිකායි. මාතිකා අතර 1. කුසලා ධම්මා, 2. අකුසලා ධම්මා, 3. අව්‍යාකතා ධම්මා යන කුසලත්තිකය ම මුල් වේ. එමතු නොව මුළු අභිධර්‍මපිටකයට ම බීජය වන්නේ මේ කුශලත්‍රිකය වේ. කුශල ධර්‍ම අකුශල ධර්‍ම අව්‍යාකෘතධර්‍ම යන මේ ත්‍රිකය විස්තර කරත් ම පටීච්චය සමුප්පාදය විස්තර කළා වේ. එවිට බන්‍ධ ආයතන ධාතු ඉන්ද්‍රිය යන මේ ධර්‍මපනස් හතම විවරණය කළා වේ. 2. පදභාජානිය යන තිකදුක මාතිකාවන්ට අයත් කුසල ධම්මාදීන් පිළිබඳ පද සම්පූර්‍ණයෙන් ම විස්තර කොට වදාළ දේශනායි. “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යකතා ධම්මා” යනු තිකමාතිකාවකි. “කතමේ ධම්මා කුසලා, යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්තං හොති සොමනස්සසහගතං...” යනාදීන් මාතිකාවට කරන පද විවරණය විස්තරය පද භාජනිය නම් වේ. පදභාජනියෙහි විස්තර විභාග කිරීමේ දී (අ) ධම්මවවත්‍ථානවාර (ඉ) සංගහවාර (උ) සුඤඤතාවාර යයි මහාවාර තුනකි. (අ) එහි ධම්මවත්ථානවාරයෙහි උදෙදස නිදෙස යයි උපවාර දෙකකි. එයින් උදේදසවාරය පුච්ඡා (1), සමයනිදේදස (2), ධම්මුදේදස (3), අප්පනා (4) යයි පරිච්ඡෙද සතරකට බෙදේ. “කතමෙ ධම්මා කුසලා” - "කුශල ධර්‍ම නම් කවරේදැ"යි ප්‍රශ්න ඇසීම් වාර පුච්ඡාවාර නම් වේ. “යස්මිං සමයෙ කාමාවචරං” - "යම් සමසක කාමාවචර...” යනාදී වශයෙන් සමය කාලය දැක්වීමේ වාරය සමයනිදේදසවාර නම් වේ. “එසේසා හොති” - “ස්පර්‍ශය වේ” යනාදීන් චෛතසික ධර්‍ම දැක්වීමේ වාරය ධම්මුද්දෙසවාරයයි. “තස්මිං සමයෙ ඉමෙ ධම්මා කුසලා”යි ඒ සමයෙහි මේ ධර්‍ම කුශලය”යි යනාදීන් කරුණු ඉදිරිපත් කොට අවසන් කිරීම අප්පනාවාර නම් වේ. මෙසේ විවිධ නයින් චිත්ත චෛතසික පිළිබඳ චිත්තවිභත්තියෙහි විස්තර කළ අයුරු සියුම් ද මනහර ද ගැඹුරු ද වේ. ධම්මසඞගණියෙහි රූපවිභත්ති නික්‍ඛෙපරාසි, අත්ථුදධාර යන සෙසු කාණ්ඩවල රූපාදිය පිළිබඳ ගැඹුරු ධර්‍මර්‍ථ නිරවුල් ලෙස පැහැදිලි කර ඇත. අභිධර්‍මයෙහි මුල් ප්‍රකරණය වශයෙන් ද ගැඹුරු ධර්‍ම ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය සීමා රහිත ය.
7. බුද්ධඝොෂාචාර්යයන් අට්ඨසාලිනී නම් අටුවාව තැනුවේ මේ ප්‍රකරණයට ය. උන්වහන්සේ ලංකාවට පැමිණෙන්ට පෙර ම අට්ඨසාලිනිය ලියන්නට තැත් කළ බවත් අටුවාමහ ආචාර්ය මත නොදැන එසේ කිරීම අසම්පූර්‍ණ යයි උන් වහන්සේගේ ආචාර්යවරයන් කීවෙන් අනුරාධපුර මහා විහාරවාසී මහතෙරුන් වහන්සේලාගෙන් අටුවා සහිත ත්‍රිපිටකය හදාරා මේ අටුවා කළ බවත් සඳහන් වේ. උන්වහන්සේ සිංහල අටුවාව උදවු කරගෙන මේ අටුවාව තැනූහ. අට්ඨසාලිනිය නැතිව ධම්මසඞගණිය තේරුම් ගැනීම පහසු නැත.
8. ධම්මසඞගණිය පොළොන්නරු යුගයෙහි ලක්රජය කළ මහලු විජයබාහු රජතුමා සිංහල භාෂාවට පරිවර්තනය කළේ ය. එහෙත් ඒ පොත අභාවප්‍රාප්ත ය.
9. ධම්මසඞගණිය පිළිබඳ සංශෝධන කිපයකි. 1. ධම්මසඞගණිප්පකරණය - බෙන්තර ශ්‍රද්ධාතිෂ්‍යශ
2. ධම්මසඞගණිප්පකරණය: අට්ඨසාලිනිය සහිත - ශ්‍රී ධර්මාරාම
3. ධම්මසඞගණිප්පකරණය - කිරිඇල්ලේ ඤාණවිමල
(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)