ධනු ශිල්පය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:46, 26 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගවල දී මිනිසාට සිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගවල දී මිනිසාට සිය ආහාර සපයා ගැනීමට ප්‍රයෝජනවත් වූ දුන්න සහ ඊ තලය ඉන් වසර අට දහසක් පමණ ගිය තැන විසි එක් වැනි සියවසේ දී මිනිසා අත් නොහැර, ඔහුගේ ඇතැම් කුශලතාවයන් වර්ධනය කරමින්, ඔහුට විනෝදය සපයමින් ඔහු හා රැඳී සිටී.

ප්‍රාග් ඓතිහාසික යුගවල ජීවත් වූවන් දුනු ඊතල පාවිච්චි කළ බවට හොඳ ම සාක්ෂියකි ස්පාඤ්ඤයේ ඇල්බොකැල්සර් අසල ගල් ගුහාවල ඇඳ ඇති චිත්‍රවල දුනු හා ඊතලවල රූ සටහන් මේ චිත්‍ර මීට වසර 8,000කට පමණ පෙර අඳින ලද බවට නිගමනය කර තිබේ. ඇතැම් ආදි වාසීහු අද ද දඩයම් කිරීම සඳහා මේවා භාවිතා කරති.

දුර ඉලක්කයක සිටින සතකු විද ගැනීමට හැකියාව මිනිසාට ලබා දුන් දුනු. ඊ තල මිනිසාගේ මුල් ම විශිෂ්ඨ නිපදවීම විය. සතකු හඹා ගෙන සැතපුම් ගණන් ඌ පසු පස දිව යෑමේ වෙහෙසකර කාර්යය මේ නිසා වඩා පහසු විය. මේ සඳහා දුර විදීමත්, නිවැරදි එල්ලය ගැනීමත් අවශ්‍ය දක්ෂතාවන් විය. ඕස්ට්‍රේලියාවේ හැර ලොව අන් සියලු ම ප්‍රදේශවල විසූවන්ගේ ප්‍රධාන ම දඩයම් උපකරණය වූයේ මෙයයි. දඩයම් යුගය පසු කොට ශිෂ්ටාචාර බිහි වී මිනිසාගේ බලකාමය උත්සන්න වත් ම මෙය අධිරාජ්‍ය බිහි කිරීමේත් අධිරාජ්‍ය වැනසීමේත් මූලික උපකරණයක් විය.

ක්‍රිස්තු පූර්‍ව 3500 පමණේ දී සිදු වී යැයි සැලකෙන, මහා භාරතයේ විස්තර කෙරෙන සටන්වල දීත් රාමායණයේ දැක්වෙන රාම-රාවණ යුදවල දීත් ධනුර්ධරයන් පෑ දක්ෂතාවන් ජයග්‍රහයණයට කෙතරම් පාදක වී දැ'යි පෙනේ. ක්‍රිස්තු පූර්‍ව යුගවල මහා ඇලෙක්සැන්ඩර් සිය විශාල අධිරාජ්‍යය මෙය ඉතා විශිෂ්ඨ වූ ක්‍රිඩාවක තත්වයට පත් වී තිබේ.

ධනු ශිල්පය සඳහා අවශ්‍ය මෙවලම්

දිය හෙවත් ලණුව යොදන ලද දුන්න හා ඊ තලය පමණකි, අවශ්‍ය වන්නේ. මුල දී නොකැඩී නැවෙනසුලු, තද ගතිය ඇති මා වේවැල් උණ බට හෝ ඒ සමාන දැව දුන්න සෑදීමට යොදා ගන්නා ලදි. පදම් කළ දැව වර්ග, තදින් අලවන ලද පතුරු, වක්තරන ලද ෆයිබර් ග්ලාස් ආදී විවිධ දෑවලින් නූතන දුනු තැනෙන අතර, ඒවා විවිධ හැඩ සහ ප්‍රමාණවලින් ද යුක්ත ය.

දුනුවායාගේ අවශ්‍යතාව අනුව දුන්නක දිග වෙනස් විය හැකි වුව ද සාමාන්‍ය උස මිනිසකු පාවිච්චි කරන දුන්නක් අඩි 5, 1/2 (සෙ.මී. 165) පමණ වේ. කැලෑ බද ප්‍රදේශයන්හි කෙටි දුනු ද විවෘත ස්ථානයන්හි දිග දුනු ද භාවිත වන්නේ එය පාවිච්යට ඇති පහසුව සලකා ය. පැරණි ඉංග්‍රීසි දුනු ආශ්‍රිත ව සාදා ඇති දිග දුන්න, පැරණි තුර්කි දුනු අනුසාරයෙන් තනා ඇති වක් දුන්න, මධ්‍යතන යුගවල දී නිපදවන ලද හරස් දුන්න හා කොට දුන්න දැනට බහුල ව පාවිච්චි කෙරෙන දුනු වේ. දුන්නෙහි දෙකෙළවර කට්ටයක් කැපීමෙන් හෝ හිලක් විදීමෙන් එහි ලණුව යොදා තිබේ. දුනු දිය මුල සිට ම හම් පටි, සතුන්ගේ අකු ආදියෙන් තනන ලද ද අද ලිනන්, ඩැක්රොන් වැනි කෙඳි වර්ග ද භාවිත කෙරේ. දිය හා දුන්න මන්දකින් තදින් ගැට ගසා තිබේ.

ඒකාකාර මහතක් ඇති සිහින් වේවැල් වැනි ලීයෙන් තැනූ ඊ මෙන් ම, දෙකෙළවරට වඩා තරමක් මහත් වූ කඳක් ඇති ඊ ද වේ. මුල් කල උල් කර ගත් ලී ම ඊ සඳහා භාවිතා කළ ද ක්‍රමයෙන් මුවහත ඇති ගල් පතුරු, සත්ව ඇට, අං කැබලි, ලෝහ තල, ඇලුමිනියම් හෝ ෆයිබර් ග්ලාස් තල ඊයේ අගට සවි කිරීම ප්‍රයෝජනවත් බව පෙනී ගියේ ය. මෙවැනි තල ඊ දණ්ඩෙහි නියම ලෙස සවි කිරීම සඳහා එහි අග පැල්මක් සිදු කෙරේ. නියම ඉලක්කයට ඊය ගමන් කරවනු ලැබේ. සාමාන්‍ය ඊ තලයක් අඟල් 24-28 (සෙ.මී. 61-71) වුව ද දුන්නෙහි ප්‍රමාණ්‍ය අනුව එයට යොදන ඊ තලයේ දිග ද වෙනස් වේ. දුන්නට අවශ්‍ය ඊ තලයෙහි දිග නිශ්චය කෙරෙන්නේ දුනු දිය ඇද, ඊ තලය තම පපුවට ගෑවෙන සේ දුනු දිය මත තබා බැලීමෙනි. අවශ්‍ය වන ඊ තලය මෙසේ ඇද ඇති දිය සහිත දුන්නත්, දියත් අතර දිගට වඩා සුළු ප්‍රමාණයක් දිගයි. විවිධ දඩයම් හා ක්‍රීඩාවන් සඳහා යොදන තලය සිය කාර්යයට ගැලපෙන විවිධ දිග ප්‍රමාණවලින් යුත් ඒවාය. කුඩා සතකු එලා ගැනීමට කුඩා තලයක් සෑහේ.

නියමිත පරිදි ඊ තලයක් විදීම යනු ක්‍රමානුකූල කාර්යය කීපයක එකතුවකි. දිය හෙවත් ලණුව දුන්නෙහි අමුණා ගත් ධනුර්ධරයා නිසි තැන නිවැරදි ඉරියව්වෙන් සිට ගැනීම, ඊ තලය දුන්නෙහි රැඳවීම, දුනු දිය ඇදීම, ඉලක්කය ගැනීම, දුනු දිය අත හැරීම ඒ කාර්යාවලියයි.

අපේක්ෂිත ඉලක්කයට කෙළින් සිට ගත යුත්තේ දෙපා මදක් ඈත් කොට ගැම්ම ගැනීමට පහසු වන පරිදියි. දුනු දිය ඇදීමේ කාර්යය සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ දකුණතින් බැවින් දුනු කඳ වමතිනුත්, දිය දකුණතින් ගෙන තමා ඉදිරියේ තිරස් ව තබා ඒ මත ඊ තලය තැබිය යුතු ය. ඊ තලය සිරස් අතට තැබූ දුන්නේ වම් පසිනි. රැඳවෙන්නේ, සිය දකුණතේ මුල් ඇඟිලි තුනේ මුල් පුරුක ළඟින් දුනු ලණුව අල්ලා ගෙන, එහි මැද, සිය මුල් දෙඇඟිලි අතර යන්තමින් රැඳවෙන සේ ඊ තලයේ පිටු පස තබා ගත යුතු ය. දුනු කඳ තම ශරීරයට විරුද්ධ දිශාවටත්, ලණුව තම සිරුර පැත්තටත් සිටින සේ දුන්න සිරස් අතට නංවා ලණුව ඇද්ද යුතු ය. වැලමිට ලඟින් අත නැවෙන පරිදි මේ කාර්යය කළ ද මෙයට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ උරහිසේ හා පිටෙහි මස් පිඬුවලිනි. වැලමිට ළඟින් නැවුණු අත උරහිස මට්ටමේ උසින් තිබිය යුතු අතර, ලණුව ඔහුගේ නැහැය අග හා නිකට ස්පර්ශ වන තරමට ඇද ඉලක්කය ගැනීම කළ යුතු ය.

ඉලක්කය ඇති දුරට අනුවයි, ඊ තලය එල්ල කරන්නේ. වඩා දුර ඇති ඉලක්කයකට ළඟා වීමට ඊ තලය වඩාත් ඉහළට විදිය යුතු ය. ඉලක්කය ගැනීම ද තුන් ආකාරයකට සිදු කෙරේ. ඇතැම් අය දුනු කඳ මැද සවි කළ කුඩා සලකුණක් ඔස්සේ ද තවත් අය ඊයෙහි තලය මුලට ඉහළින් එල්ලය ගෙන, තමා ඊය ළඟා විය යුතු නියමිත තැන ළඟ ම පහළ තැනකට ඉලක්ක කරති. අනික් ක්‍රමයේ දී ධනුර්ධරයා ඉලක්කය දෙස බලා ඉවෙන් එල්ලය ගනී. දඩයමේ දී හෝ යුද පිටියේ දී අනුගමනය කෙරෙන්නේ මේ ක්‍රමයයි.

ඉලක්කය ගැනීමෙන් පසු ඊ තලය රඳවා සිටි, දුනු දිය ඇඳ සිටි ඇඟිලි අත හැර ඊතලයට යෑමට ඉඩ හරිනු ලැබේ. ඇඟිලි ගැස්සිමකින් තොරව නිරායාසයෙන් ම අත හැරිය යුතු ය.

විදීමේ තරඟ

ධනුධරයන් අතර තරග ලෝක ඉතිහාසයට අළුතින් එක් වූවක් නොවේ. ඉපැරණි යුගවලදී පවා වඩා දක්ෂයින් සෙවීමට, කුමරියකට සුදුසු සහකරුවකු සෙවීමට විවිධ විදීමේ තරඟ ඉසව් පැවැත් වූ ආකාරය පොත පතෙහි සඳහන් වි තිබේ. එහෙත් නූතන ලෝකයේ මෙය වඩා විද්‍යානුකූල ව හා තාක්ෂණානුකූලව සංවිධානය වී තිබේ.

ඉලක්කයට විදීමේ තරග සෑම කාලයක් දී ම ජනප්‍රිය වූ නමුත් අද මෙය පැවැත්වෙන්නේ 1879 වසරේ ඇමෙරිකාවේ ධනු ශිල්පීය සංගමය මඟින් නිශ්චය කරන ලෙස නීති මාලාවක් අනුව ය. අඟල් 48ක (සෙ.මී. 120ක) විෂ්කම්භයෙන් යුත්, වියන ලද පිදුරු පැදුරුවලින් ආවරණය කරන ලද වෘත්තයකට විදීම මෙහි දී සිදු වේ. මේ පැදුරු වෘත්තය එකිනෙකට පිටතින් යුත් වර්ණ පහකින් සැදී වෘත්තමය ආවරණයකින් වසා ඇත. මැද පිහිටියේ රන් පැහැ කුඩා ම වෘත්තය වන අතර එයට හීයක් විදීමෙන් ලකුණු 9ක් ලැබේ. ඉන් පිටත ඇත්තේ රතු වෘත්තයයි. එයට විදීමෙන් ලකුණු 7ක් ද ඊට පිටතින් ඇති නිල් වෘත්තයට හීය වැදුනොත් ලකුණු 5ක් ද ඒ වටා ඇති කළු වෘත්තයට විදීමෙන් ලකුණු 3ක් ද පිටතින් ම ඇති සුදු වෘත්තයට හීය විදි අයට ලකුණු 1ක් ද ලැබේ. එක එක තරගකරුවකුට එක හා සමාන විදීමේ අවස්ථා ගණනක් ලැබේ.

ඉලක්කයට විදීමේ තරගවල දී ඇමෙරිකානු තරග නීති අනුව යාර 60 (මීටර් 54.8) යාර 50 (මීටර් 45.7) හා යාර 40 (මීටර් 36.5) දුර සිට විදීමේ අවස්ථා 30 බැගින් ලැබේ. යෝර්ක්හි තරග වටයක දී යාර 100 (මීටර් 91.44) දුර සිට ඊ 72, යාර 80 (මීටර් 73. 152) දුර සිට ඊ 48, යාර 60 (මීටර් 54.8) දුරින් සිට ඊ 24ක් විදීමට එක් තරගකරුවකුට අවස්ථා ලැබේ. කාන්තාවන්ට ද විවෘත කොලොම්බියානු තරගවල දී එක් තරගකරුවකු යාර 50, 40, 30 දුර සිට අවස්ථා 24 බැගින් විදීමේ අවකාශ ලබයි. අවසානයේ ලබන සියලු ලකුණු ගණනය කිරීමෙන් ජයග්‍රාහකයා තෝරනු ලැබේ.

දුන්නෙන් විද සතුන් මැරීමේ තරග මෑතක් වන තුරු ජනප්‍රිය තරග ඉසව්වක් වුව ද ක්‍රමයෙන් එහි ජනප්‍රියභාවය අඩුවෙමින් පවතී. මෙහි දී මුවන් විදීම ජනප්‍රිය වුව ද තමා ජීවත්වන ප්‍රදේශ අනුව වල් ඌරන්, වලසුන් හෝ සාවුන් වැනි කුඩා සතුන් තරගයට දඩයම් කෙරිණ. මෙහි දි පාවිච්චි කරනු ලබන්නේ ඉලක්කයට විදීමේ දී භාවිත කරන දුනුවලට වඩා බරින් වැඩි දුනුයි. ඊයෙන් විද මාළුවන් මැරීමේ තරග ද පවත්වනු ලබන අතර ඊ තලයට දිග නූලක් සවි කොට තිබීම නිසා විදින ලද මාළුවා තමා වෙත ඇද ගැනීමට ඉඩ ලැබේ.

ධනු ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය තවත් ඉසව්වක දුර විදීම මේ සඳහා තරගකරුවෝ විශේෂ දුනු හා සැහැල්ලු ඊ තල භාවිත කරති. සාමාන්‍ය තරගකරුවකුට යාර 700කට (මීටර් 640) ආසන්න දුරක් විදිය හැකි වුව ද 1798 දී තුර්කි සුල්තාන්වරයකු යාර 972 (මිටර් 888.9) දුර විදීමෙන් තබන ලද වාර්තාව අබිභවා වාර්තා තැබීමට මෙතෙක් කිසිවකුට හැකි වී නැත.

1537 වර්ෂයේ සිට බ්‍රිතාන්‍යය ධනු ශිල්ප සංවිධානවලට අවසර පත්‍ර ප්‍රදානය කළේ ය. ප්‍රථම ලෝක යුද්ධයට පෙර ප්‍රංශයේ ලේ ටෝකේහි බ්‍රිතාන්‍යය-ප්‍රංශ විදීමේ කරග පවත්වන ලදී. මේ අතර අන්තර් ජාතික ධනු ශිල්පීය සංගමය වසර 2කට වරක් ලෝක ශූරතා තරග පවත්වයි. ඉපැරණි ඔලිම්පික් ක්‍රිඩා තරගවල දී ද දුන්නෙන් විදීමේ තරග පැවති බවට සාක්ෂි ඇත. 1900, 1904, 1908, 1920 වර්ෂවල පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගවලට දුන්නෙන් විදීමේ තරග ඉසව් එක්කොට තිබිණ. 1992 වසරේ සිට නව ව්‍යවස්ථා අනුව ඔලිම්පික් තරඟ වාරවල දුන්නෙන් විදීමේ තරග වාර පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ධනු ශිල්පය

ක්‍රිස්තු වර්ෂයටත් පෙර සිට ම ලාංකිකයන් ධනු ශිල්පය දැන සිටි බවට සාධක පණ්ඩුකාභය රජුගේ ජීවිත කථාවේ සිද්ධීන්ගෙන් හෙලිදරව් වේ. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු මුණ ගැසුණු දිනයේ රජු දුනු ඊ තල රැගෙන මුවකු ලුහු බඳිමින් සිටි බව කියැවේ. මේ කාලය වන විට ධනු ශිල්පය පාලකයකු විසින් ප්‍රගුණ කළ යුතු එක් ශිල්පයක් බවට පත් වී තිබිණ.

ලංකා ඉතිහාසය පුරා ම ලාංකික රජවරුනට ධනු ශිල්පය සිය බලය පවත්වා ගැනීමේ දී කෙතරම් වැදගත් වී ද යන වග පැහැදිලි වේ. දුටුගැමුණු එළාර සටනේ දී වඩා වැදගත් සටන් ගණනාවක සන්ධි ස්ථාන සනිටුහන් කළේ දුන්න හා ඊ තලයයි. දුටුගැමුණු රජගේ දස මහ යෝධයින්ගෙන් එකකු වූ ඵුස්සදේවගේ පියා සිය පුතුට ධනු ශිල්පය ඉගැන්වූ ආකාරය එදා ධනු ශිල්පින්ගේ දක්ෂතා පෙන්නුම් කරයි. ශබ්දය අසා එය ඉලක්ක කොට විදීමට හැකි වූ ඵුස්සදේව වැලි පිරූ ගැල්, සමින් බඳනා සම් ගැල්, අට අගල්, සොලොස් අඟල් ලෑලි, සතරඟුල් යකඩ තහඩු විද හී යැවීමට සමත් විය. ඔහුගේ ශරය ගොඩින් අට ඉස්බක්, දියෙන් අට ඉස්බක් ගමන් කළේ ය. මෙම විස්තරයෙන් ධනු ශිල්පයේ තවත් හැකියාවක් එනම්, තද ද්‍රව්‍ය විද පසාරු කිරීමේ හැකියාව ද එදා වැදගත් වූ බව පෙන්වයි.

රාජ්‍ය පාලනය සඳහා පුහුණුව ලබන්නන් ළමා වියේ සිට ම ධනු ශිල්පය හැදෑරූ බව විජයබාහු I රජු දහතුන් වැනි වියේ සිටිය දී ම ධනු ශිල්පයේ නිපුණ වූ බව දැක්වෙන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මහා පරාක්‍රමබාහු රජුගේ එක් සේනාංකයක් ‘චන්ද්‍රාලෝන ධනුර්ධර’ නම් විය. රාත්‍රී කාලයේ දී පැහැදිලි දසනුකින් තොරව ද ශබ්දය පැමිණි දිශාව අනුව ඉලක්කයට විදීමේ හැකියාව තිබූ සේනාංකයක් මෙනමින් හැඳින්විණ. කෙසඟක් පලා යන පරිදි ඊ විදීමට සමත් වාල වේධීන්, විදුලි කෙටීමේ දී ඒ ආලෝකයෙන් විදීමට හැකියාව තිබූ විජ්ජු වේධීන්, ශබ්දය නැඟූ කට හෝ උගුරට ම විදීමේ හැකියාව තිබුණු ආක්ෂණ වේධීන් ද පැරණි ලංකාවේ ධනුර්ධරයන් අතර වූ බව පොතපතින් පැහැදිලි වේ. ඉතා ක්ෂණයෙන් එල්ලයට විදීමේ හැකියාව ද දක්ෂ ධනු ශිල්පියකුගේ හැකියාවක් විය.

දඹදෙණි අස්නේ දුනු වර්ග 21 ගැන සඳහන් වන අතර ධනු ශිල්පයේ අංග 12 ගැන ද කියැවෙයි. මහ හෙවත් උස දුන්න, මිටි දුන්න, බැමි දුන්න, හරස් දුන්න, යතුරු දුන්න ආදී දුනු වර්ගවලින් පැහැදිලි වන්නේ පැරණි ලංකාවේ ධනු ශිල්පය කෙතරම් සංකීර්ණ වන ලෙස දියුණු ව පැවැත්තේ ද යන බවයි. එකල දක්ෂ දුනු වායන්ට දුනුධරයා යන ගෞරව නාමය ප්‍රදානය කර තිබේ. ධනු ශිල්පය පැරණි ලංකාවේ ක්‍රීඩාවක් හා යුද ශිල්පයේ අංගයක් පමනක් නොවී ය. එය ඇතැමුන්ගේ ජීවිතය ම විය. අද දක්වාත් පැවැතෙන දුනුකාර, දුනුසිංහ වැනි පෙලපත් නාම ද දුනු මඬලාව, දුනුකොල, ඊ තල වැටුණු වැව වැනි ග්‍රාම නාම ද සිංහලයාගේ ජීවිතයට ධනු ශිල්පය කෙතරම් බැඳී පැවතියේ දැ යි පෙන්වා දෙයි. 19 වැනි සියවසේ මැද දක්වා ද ලාංකික සටන් කරුවන් සිය දේශයේ ආධිපත්‍යය ලබා ගැනීමට පැමිණි යුරෝපා ජාතීන්ගේ තුවක්කු, කාල තුවක්කු හා කරට කර සටන් කළේ දුනු ඊතලවලිනි. සතුරු වෙඩි බෙහෙත් ගබඩා විනාශ කළේ වියලි පුවක් ලෙල්ලක් මැඳ රැඳවූ ගිනි අඟුරක් ඊ තලයක අමුණා එල්ලයට විදීමෙනි. එදා දුනු ඊ තලවලට ලැබුණු තැන අද ගිනි අවිවලට ලැබී ඇතත් ධනු ශිල්පය ආශ්‍රයෙන් ඉස්මතු වූ හැකියාවන් එමඟින් කිසිසේත් ප්‍රකාශ නොවේ.

ආශ්‍රිත ග්‍රන්ථ

Encyclopaedia Britannica

Encyclopaedia Americana

WoRLD BOOK

OLYMPIC

පොළොන්නරු යුගය -

HISTORY OF CEYLON - UNIVERSITY PUBLICATION - VOL. I

සිංහල ථූප වංශය - කේ. ජී. කරුණාතිලක

ROYAL ASIATIC SOCIETY JOURNAL - VOL - 35

(කර්තෘ: සුමනා ඇල්ලේපොල?)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධනු_ශිල්පය&oldid=5505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි