මාධි

සිංහල විශ්වකෝෂය වෙතින්
08:46, 13 මැයි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අරාබි භාෂාවේ ‘මඟපෙන්වන්නා’ යන අර්ථය දෙන මෙයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අරාබි භාෂාවේ ‘මඟපෙන්වන්නා’ යන අර්ථය දෙන මෙයින් සුන්නි නිකායික ඉස්ලාම් භක්තිකයෝ ගැලවුම්කාරයකු ගැන අදහති. පාතිමාගෙන් පැවත එන මොහු මතු කාලයක දී එනම් මෙලොව අවසානයේ දී මෙලොව ඉපිද සියලු අසාධාරණකම් මෙලොවින් තුරන් කොට ඉස්ලාමී ධර්‍මය සමස්ත ලෝකය පුරා පැතිරවීමෙන් සමාජ විප්ලවයක් ඇති කරන බව අදහති. මොහු ඉපදීමට පෙර අද්-දද්දාල් නම් ක්‍රිස්තු විරෝධියකු උපදින බවත් ස්වර්‍ගයේ සිට පැමිණෙන ජේසුස් විසින් ඔහු මරණ බවත් මොවුන්ගේ විශ්වාසයයි. මෙකී විශ්වාසය කුරාණය මත පදනම් වූවක් නොවේ. මේසයියා නොහොත් ගැලවුම්කාරයාගේ උපත පිළිබඳ යුදෙව් විශ්වාසය මත පදනම් වූවකි. සුන්නි නිකායිකයන් මඟපෙන්වන්නා පිළිබඳ දරන විශ්වාසය ශියා නිකායිකයන් ද දරන නමුත් එම විශ්වාසය වෙනස ස්වරූපයක් ගනී. එනම් මොහොමඩ්ගෙන් පැවත එන කාලිප් පරපුරේ දොළොස්වැන්නා හෝ හත්වැන්නා මතු නැවත ඉපදී ඉහත දැක්වූ සමාජ විප්ලවය කරන බවයි. ඔවුන්ගේ විශ්වාසය අනුව නියම කාලිප් වංශය මොහොමඩ්ගෙ දුව වූ පාතිමාගෙන් හා ඇගේ ස්වාමි වූ අලිගෙන් ආරම්භ වූ බවයි. එබැවින් මතු උපදින ‘මාධි’ විසින් නියම කාලිප් වංශය ද ඇති කරන අතර විශ්වාසවලට විරුද්ධව නැගී සිටිනු ඇත.

ඉස්ලාම් ඉතිහාසයේ නොයෙක් පුද්ගලයන් බලවත්ව නැගී සිටීමෙන් පසු මාධි පදවියට උරුම කීහ. ඉන් ප්‍රධාන අයකු ලෙස මොහොමඩ් අහමඩ් (1844-85) දැක්විය හැකි ය. ඊජිප්තු-ඉංග්‍රීසි පාලනයට යටත් වූ සුඩානයේ මුස්ලිම් ආගමික නායකයකු වූ ඔහු 1881 දී මාධි තනතුර හිමි කර ගනිමින් ඊජිප්තු හමුදා බලයට විරුද්ධ ව සුඩානය ගලවා ගැනීමේ යුද්ධ ප්‍රකාශය කළේ ය. ඉස්ලාම් ධර්‍මයේ ප්‍රතිසංවිධාන ක්‍රියා වශයෙන් ඔහු මක්කම වන්දනාව තහනම් කළ අතර ඒ වෙනුවට මිත්‍යාදෘෂ්ටිකයන්ට විරුද්ධ සටනෙහි නිරත වන ලෙස නියෝග කළේ ය. 1885 දී ඔහු මිය යාමෙන් පසු ඔහුගේ අනුගාමිකයෝ ඩම්දූර්මාන්හි ඔහුගේ සොහොන වන්දනා කිරීම ආරම්භ කළහ. 1898 දී මෙම නගරය ඉංග්‍රීසීන් විසින් අල්ලා ගන්නා ලදි.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: 1969)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මාධි&oldid=5555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි