මාඝ කාව්‍යය
ශිශුපාලවධ මහා කාව්‍යය යන නමින් විරචිත මහා කාව්‍යයයි.
1. මේ කාව්‍යයට මාඝකාව්ය යන නම ව්‍යවහාර කරන්නේ මාඝකවියාගේ රචනාවක් හෙයිනි. කාව්යකර්තෘහු යෙදූ නාමය ශිශුපාලවටධ යනු බව සර්ගාන්ත ගද්‍ය පාඨයෙන් පැහැදිලි වේ. ශ්රීකෘෂණයන් විසින් ශිශුපාල නම් අසුරයා මැරීමේ පුවත ඇසුරු කොට කළ මේ කාව්‍යයට ශිශුපාලවධ යනු ද ඔබින නමකි.
2. ශ්‍රී කෘෂ්ණයන් කෙරෙහි පැවැති කාව්යකර්තෘහුගේ භක්තිය මේ කාව්‍යය තැනීමට හේතු වූ බව පෙනේ.
3. මේ කාව්‍යයෙහි කර්තෘවරයා මහා කවි මාඝ ය. මොහු ගැන පවත්නා ජනප්‍රවාද බොහෝ ය. එයින් මොහු සිටි කාලය හෝ මොහුගේ තොරතුරු දැන ගැනීම අපහසු ය. එහෙත් මොහු සත්වන සියවසෙහි සිටින්නට ඇතයි සලකනු ලැබේ. මොහුගේ කවීත්වය ගැන විචාරකයන්ගේ මත විවිධ ය. උපමා, අර්ථගාමාගර්යය හා පදලාලිත්‍යය යන ගුණ තුනින් ම නිපුණත්වයක් මාඝ කෙරෙහි පැවැතුණේ යයි පුරාණ විචාරකයෝ සඳහන් කළහ. එහෙත් බටහිර විචාරකයන්ගේ හැඟීම මොහුගේ කවිත්වය බෙහෙවින් කෘතිම ය කියා ය. මාඝකවියා දත්තකගේ පුත්‍රයෙකි, සුප්රභාදෙවයාගේ මුනුබුරෙකි. සුප්රභදෙව චර්මලාත රජුගේ (ක්‍රි.ව. 600-626) මන්ත්‍රීවරයෙකි. මාඝ උපන්නේ තුන්වන භොජ රජු දවස (650-657) ගුජරාතයේ ය. මාඝකාව්යයෙහි (2 වන සර්ගයෙහි 112 වැනි ශ්ලොකය) කාශික වෘත්තිය ගැන සඳහන් වන පද්‍යය කවියා සිටි කාලය තීරණය කර ගැනීමට රුකුලකි. කාශිකා වෘත්තිකාරයා සිටියේ 7 වන සියවසෙහි (ක්‍රි.ව. 660 දී පමණ ය).
4. මෙහි සර්ග 20කි. පද්‍ය 1,646කි.
5. මෙය සංස්කෘත භාෂාවෙහි ප්‍රවීණත්වය ලබා ගනු කැමැති විද්‍යාර්ථීන්ට මහත් ප්‍රයෝජනවත් කාව්‍යයකි. “මාඝයෙහි සර්ග නවයක් කියවූවකුට අලුත් සංස්කෘත වචනයක් හමු නොවේ” ("නවසගේ ගතෙ මාඝෙ නව ශබ්දෙ න විද්‍යතෙ”) යන පුරාණ කියමනින් ද මේ කාව්‍යය පරිශීලනය කිරීමේ අගය පළ වේ.
6. මේ කාව්‍ය කර්තෘ 7 වන සියවසෙහි විසූ බැවින් මෙහි නිර්මාණය ද එකල විය යුතු ය.
7. මාඝකාව්‍යය ද කිරාතාජීනිය හා නෛෂර්ධයචරිතය හා සමකක්ෂයෙහිලා ගණිනු ලැබේ. එහි ආශ්‍රය මහා භාරතයෙහි එන ශ්‍රී කෘෂ්ණ ශිශුපාල නම් චේදි රට රජහු මැරීමේ පුවතයි. මේ කාව්‍යය ආරම්භ වන්නේ වස්තුනිද්දෙශයෙනි, ශ්‍රී කෘෂ්ණ දක්නට නාදර ඍෂිහුගේ පැමිණීමේ පුවතිනි. නාරද ඍෂි ශිශුපාල රජුගෙන් දෙවියන් සහිත ලොකයාට වී තිබෙන විපත දන්වා ශ්‍රී කෘෂ්ණගෙන් ඔහු වධයට පමුණුවන ලෙස ඉල්වී ය. ශ්‍රී කෘෂ්ණ සාකච්ඡා කොට පිටත් වෙයි. වනපර්වත නදී ඍතුශොභාදිය බලමින් යන හෙතෙම පාණ්ඩවයන් වෙත යයි. යුධීෂ්ඨිර රජුගේ රාජසූය යාගයෙහි දී ශ්‍රී කෘෂ්ණයාට අර්ඝය පිළිගැන්වීමේ යොග්යකම විදහා භීෂ්ම ඔහුගේ ගුණ උත්කර්ෂයෙන් වර්ණනා කරයි. වෙනත් ප්‍රබල රාජාදීන් ගැන නොසලකා යුධීෂ්ධීර රජ ශ්‍රී කෘෂ්ණ හට ම පූජා පිළිගන්වයි. එය චෙදි රටෙහි පාලන ශිශුපාල රජුගේ මහත් උදහසට හේතුවිය. හෙතෙම ශ්‍රී කෘෂ්ණ - භීෂ්ම - යුධීෂ්ධීර යන රජ දරුවන්ට අවමන් කරයි. ශිශුපාල යුද්ධය අරඹයි. යුද්ධය ප්‍රබල ය. වීරයන් දෙදෙන අතර යුද්ධය උදාවෙයි. ශිශුපාල රජතෙම ශ්‍රී කෘෂ්ණ විසින් මරනු ලබයි. මේ භාරතකථාව ඇසුරෙන් තැනූ මාඝයෙහි සමුද්‍ර, පර්වත ඍතු, ජලක්‍රීඩා, සන්ධ්‍යා, ප්රභාත, නිශා හා යුද්ධ පිළිබඳ වර්ණනා විචිත්‍ර ද කමනීය ද වේ. කිරාතාජුනිය අනුගමනය කොට රචිත විලාසය අතින් එහි පෙනෙන විශෙෂතා මෙහිදු දක්නට ලැබේ. මාඝ කවියකුට වඩා භාෂාධිපත්‍යය ලත් ශාස්ත්රප්රවීණ පඬිවරයකු ලෙස පිළිගත හැකි ය. ඇතමෙක් මොහු භාරවී කවියා තරම් කවීත්වයෙන් උසස් නොවෙතැයි සලකති. කෙසේ වුව ද දුෂ්කරඛන්ධ ගැන ද ශබ්දාඩම්බරය ගැන ද විශේෂ ඇල්මක් මාඝ කෙරෙහි තුබූ බව සිතන්නට පුළුවන. සංස්කෘත භාෂාවෙන් ලලිත රචනා මෙන් ම කඨොර රචනා ද කළ හැකි බව මොහු තරම් පැහැදිලි කළ කවියෙක් නැත. එහෙත් මොහුගේ කඨොර රචනාවක පවා කවීත්වය මතුවී එයි.
8. මේ කාව්‍යය සංස්කෘත පාඨකයන් ආදරයෙන් කියවන කාව්‍යයෙකි. මේ පොතට ලියන ලද ටීකා කීපයකි.
1. මාඝ : ස ෙන්දභවිෂෞෂධ ටිකා
2. ” : මල්ලිනාථ සර්වාංකෂාටිකා
3. ” : රංගරාජ ටිකා
4. ” : එකනාථ ටිකා
5. ” : චරිත්රවර්ධන ටිකා
6. ” : භරතමල්ලිකා : සුබොධ ටිකා
7. ” : දිනකර මිශ්‍ර : සුබොධිනී ටිකා
8. ” : ගොපාල : හසන්ති ටීකා
9. මාඝකාව්‍යය ලක්දිව ද පෙර සිට පරිශීලනය කළ කාව්‍යයකි. සිංහල ව්‍යාඛ්‍යාවක් ද මේ පොතට ලියා ඇත.
(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)