අශෝක ශිලාලිපි
ප්රාකෘත භාෂා ස්වරූපයකින් දක්නා පැරණි ම ලේඛන අතුරෙන් අසවල් සමයෙහි දී රචනා කරන ලදැයි නිශ්චය වශයෙන් කිවහැකි වූ අශෝක ශිලාලිපිවල අගය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. නොයෙක් රජුන්ගේ අනුශාසනාදිය ඇතුළත් කොට කරවන ලද වෙනත් සෙල්ලිපිවල මෙන් අශෝක ශිලාලිපිවල රජුගේ වංශය, තේජෝ මහිමය, බලපරාක්‍රමය යනාදිය ප්‍රශංසා මුඛයෙන් වර්ණනා නොකෙරේ. "දේවානම්පිය පියදස්සී රජතෙමේ මෙසේ කියයි", "මවිසින් මෙසේ අණ කරන ලදි", "සියලු ලෝකයාගේ යහපත පිණිස වැඩ කිරීම හැර වෙන වැඩක් මට නැත්තේය" යනාදි අර්ථ ගෙන දෙන පාඨයන්ගෙන්ද XIII වැනි පර්වත ලිපියෙහි සඳහන් වන පරිදි කාලිංග යුද්ධයෙන් සිදු වූ විශාල මනුෂ්‍ය ඝාතන ආදිය පිළිබඳව තමාගේ ඛේදවාචක ආදියෙන් ද යුත් මේ සෙල්ලිපි බොහෝ දුරට ම රජුගේ නියමය පරිදි රජුගේ ම අදහස් හා හැඟීම් ගැබ් කොට ලෝකයාට හිත වැඩ පිණිස කරවන ලද බැව් පෙනේ. රජුගේ ආඥා, ධර්මෝපදේශ ආදිය පර්වතයන්හි ද ශෛලමය ස්තම්භ ආදියෙහි ද දීර්ඝ කාලයක් නොනැසී පවත්නා පරිද්දෙන් රාජ්‍යය පුරා පළ කැරැවීමෙන් පෙනී යන්නේ ඒ ධර්මාවවාද ආදිය තමන්ගේ රාජ්‍ය කාලය තුළ දී පමණක් නොව පශ්චාත් සමයයන්හි ද තමන්ගේ ද විජිතයෙහි මෙන් ඉන් පිටත ද වාසය කරන ජනයාගේ යහපත සඳහා සදහට ම පවත්නා පරිද්දෙන් කරවූ බවයි. මෙබඳු ලිපි රාශියක් ම නොයෙක් දේශීය භාෂාවන්ට අනුරූප වන අයුරින් සකස් කොට ඒ පිටපත් ඒ ඒ පළාත්වල ජනයාගේ ප්‍රයෝජනය සඳහා පර්වත හා ස්තම්භ ආදියෙහි ලේඛනගත කරවා තබන ලදි.
මෑත යුගයේ දී ප්‍රථම වරට අශෝක ශිලාලිපියක් සොයා ගන්නා ලද්දේ 1756 දී ටිෆන්ට්හාලර් නම් කතෝලික පූජකතුමා විසිනි. එතුමාට දිල්ලියේ දී මීරට් ස්තම්භයේ කැබලි හමු විය. ජේම්ස් ප්රින්සෙප් නම් පඬිවරයා විසින් 1837 දී අශෝකාක්ෂර කියැවීමේ ක්‍රමය සොයා ගන්නා ලදි. එතැන් පටන් අශෝක ලිපි වියතුන්ගේ විශේෂ සැලකිල්ලට භාජන වූයෙන් අශෝක සමය පිළිබඳ අගනා ඵෙතිහාසික තොරතුරු රැසක් ඒ මගින් අනාවරණය විය.
අශෝක ශිලාලිපි අතුරෙන් ප්‍රධාන පර්වත ලිපි භාරතයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි පිහිටුවා තිබේ. උතුරේ පෙෂාවර් නගරය අසල පිහිටි ෂාබස්ගර්හි සිට දකුණේ කර්නූල් දිස්ත්‍රික්කයේ යෙරගුඩි දක්වාත් බටහිර දෙසින් සෞරාෂ්ට්රයෙහි පිහිටි ගිර්නාර්හි සිට නැගෙනහිර දිග්භාගයේ ඔරිස්සා ප්‍රදේශයෙහි පිහිටි ධෞලි සහ ජෞගඩ යන ස්ථාන දක්වාත් ඒ ලිපි පැතිර පවතී. බෙහෙවින් ම රජුගේ රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී කරවන ලද ටැම් ලිපි සැලකිය යුතු ස්ථානයන්හි පිහිටුවා තිබේ. ලෙන්වල කොටවන ලද ලිපි ද කීපයකි.
'අශෝක හා ඔහුගේ සෙල්ලිපි' (Asoka and his Inscriptions) යන නාමයෙන් 1946 දී ශ්‍රේෂ්ඨ ග්රන්ථයක් සැපයූ බී.ඇම්. බරුවා පඬිතුමා එවක ප්‍රකාශයට පමුණුවා තුබුණු අශෝක ශිලාලිපිවල සංඛ්‍යාව 154ක් බවත් ඒවා කොටවා ඇති අයුරින් වර්ග සතකට බෙදා දැක්විය හැකි බවත් පවසයි. ඒවා මෙසේයි:
1. ගිරිලෙන් ලිපි: බරාබර් ගිරිලෙන් ලිපි 1 - III
2. පර්වත ලිපි: (අ) I−VII, IX, X, XIV යන පර්වත ලිපි දහය අතුරෙන් සෑම එකක් ගිර්නාර්, කාල්සී, යෙරගුඩි, ෂාබස්ගර්හි, මාන්සේරා, ධෞලි සහ ජෞගඩ යන ස්ථාන හතට අනුරූප පරිද්දෙන් සකස් කොට කරවන ලද පිටපත් (10«7)
(ආ) ගිර්නාර්, සොපාරා, කාල්සී, යෙරගුඩි, ෂාබස්ගර්හි, මාන්සේරා, ධෞලි සහ ජෞගඩ යන ස්ථාන අටෙහි දක්නා VIIIවැනි පර්වත ලිපියෙහි පිටපත් (1×8)
(ඇ) ගිර්නාර්, කාල්සී, යෙරගුඩි, ෂාබස් ගර්හි හා මාන්සේරා යන ස්ථාන පසෙහි දක්නා XI—XIII යන පර්වත ලිපිවල පිටපත් (3×5)
3. වෙන්ව කොටා ඇති පර්වත ලිපි: ධෞලි සහ ජෞගඩ යන ස්ථානයන්හි පිටපත් කොට දක්නා වෙන්ව කෙටූ පර්වත ලිපි (2x2)
4. අප්‍රධාන පර්වත ලිපි: බ්රහ්මගිරි, සිද්දාපුර්, ජටිඞගරාමේශ්වර, මස්කි, ගවීමඨ, පාල්කිගුණ්ඩු, යෙරගුඩ්, රූප්නාත්, ඛෛරාට් සහ සහස්රාම් යන ස්ථාන දශයෙක පිටපත් වශයෙන් දක්නා පර්වත ලිපිය (1× 10)
5. පාෂාණඛණ්ඩ ලිපි: භාබ්රැ හෙවත් කල්කටා-බෙරාට් ලිපිය (1)
6. ස්තම්භ ලිපි: (අ) ටැම් ලිපි 1-VI අතුරෙන් එක එකක් දිල්ලි-තෝප්රා, දිල්ලි-මීරාට්, ලෞරියා-අරරාජ්, ලෞරියා-නන්දන්ගර්, රාම්පූර්වා සහ කෞශාම්බි යයි පිටපත් හය බැගින් කොටවා ඇති ලිපි (6 × 6)
(ආ) VII ස්තම්භ ලිපියේ තනි පිටපත (1)
7. අප්‍රධාන ස්තම්භ ලිපි: (අ) සාරානාත්, කෞශාම්බි සහ සාංචි යන තන්හි පිටපත් දක්නා ටැම් ලිපිය (1× 3)
(ආ) දේවී ලිපියේ තනි පිටපත (1)
(ඇ) රුම්මින්දේයි (=ලුම්බිනී) හා නිගාලි සාගර් යන දෙතැන්හි දක්නා ස්මාරක ලිපි (2)
1947න් පසුව සොයා ගන්නා ලද අශෝක ශිලාලිපිවලින් පූර්වොක්ත සංඛ්‍යාව තව දුරටත් වැඩි වී තිබේ.
භාෂා තත්වය හා භාෂා විශේෂ
ඉන්දු ආර්යය භාෂාවන්ගේ විකාසය දෙස බලන කල ප්‍රථම, ද්වීතීය හා තෘතීය යයි මධ්‍ය ඉන්දු ආර්යය යුගය අවධි තුනකට බෙදා දක්විය හැකියි. ඒ අවධි තුනෙන් අශෝක ශිලාලිපි හා පැරණි පාලි ග්රන්ථ ප්‍රථම අවධියෙහි ලා ගණිනු ලැබේ. බෙහෙවින් ම නාට්‍ය ග්රන්ථයන්හි දක්නා මහාරාෂ්ට්‍රි, ශෞරසේනී, මාගධී ආදි වූ ප්රාකෘත විශේෂ හා ජෛන ග්රන්ථයන්හි බහුලව දක්නා අර්ධමාගධී ද යන මේවා ද්විතීය ප්රාකෘත අවධියෙහි ද විවිධ අපප්රංශ තෘතීය අවධියෙහි ද වැටේ. අශෝක ලිපිවල භාෂාව ශිලා ලේඛනගතව පැවතීම කරණ කොටගෙන නොවෙනස්ව ආ හෙයින් භාෂා සංවර්ධනය පිරික්සීමෙහිලා පාලි ත්‍රිපිටක ග්රන්ථයන්ටත් වඩා එම බස වැදගත් සේ ගණිනු ලැබේ. නොයෙක් විට එක ම ආඥාව හෝ ධර්මානුශාසනය භාරතදේශයේ නොයෙක් පළාත්වල ප්‍රචලිත වූ භාෂාවන්ට අනුරූප වන පරිද්දෙන් සකස් කොට ලේඛනගත කරවන ලද හෙයින් එවක භාරත දේශයෙහි පැවති භාෂා විශේෂයන්ගේ තත්වය වටහා ගැනීමට ද අශෝක සෙල්ලිපි අතිශයෝපකාරී වේ. ඒ පිළිබඳ සමාලෝචනයක් කරන බී.ඇම්. බරුවා පඬිතුමා අශෝක අධිරාජයාගේ රාජ්‍ය සමයෙහි භාෂා විශේෂ පහක් ප්‍රචලිතව පැවති බවත් ඒ එක එකක ස්වරූපය ගිර්නාර්, ෂාබස්ගර්හි, කාල්සී, බ්රහ්මගිරි සහ ධෞලි යන ස්ථානයන්හි දක්නා සෙල්ලිපිවල අනුසාරයෙන් වටහාගත හැකි බවත් පවසයි.
ඒ සෙල්ලිපි පසින් පහත දැක්වෙන ප්රදේශයන්ගේ භාෂා තත්වය හැඳින්වෙන බවත් බරුවා මහතා පෙන්නුම් කරයි:
(1) ගිර්නාර් ලිපියෙන් - බටහිර භාරතයෙහි හෙවත් සෞරාෂ්ට්රයෙහි,
(2) ෂාබස්ගර්හි ලිපියෙන් - වයඹ දිග (උදීව්ය) භාරතයෙහි හෙවත් ගාන්ධාරයෙහි,
(3) කාල්සි ලිපියෙන් - උතුරු මධ්‍යම භාරතයෙහි හෙවත් හෛමවත මධ්‍ය දේශයෙහි,
(4) බ්රහ්මගිරි ලිපියෙන් - මහාරාෂ්ට්රයෙහි,
(5) ධෞලි ලිපියෙන් - නැගෙනහිර (ප්රාච්ය) භාරතයෙහි හෙවත් කාලිංගයෙහි.
අශෝක ශිලාලිපිවල භාෂා ලක්ෂණයන්ට අනුව එම බස භාෂා විශේෂ වශයෙන් බෙදා දැක්වීමෙහි ලා යම් යම් මතභේද පවතී. බරුවා මහතුන්ගේ බෙදීම ඉහත දක්වන ලදි. රාධාගෝවින්ද බසක් මහතා 'අශෝක ශිලාලිපි' (Asoka Inscriptions) නමැති ස්වකීය ග්රන්ථයෙහි අශෝක සෙල්ලිපිබස -
(1) ෂාබස්ගර්හි හා මාන්සේරා ලිපි ඇතුළත් ගණය,
(2) කාලිංග ලිපිද ඇතුළත් මධ්‍ය ඉන්දියානු ගණය,
(3) ගිර්නාර් හා සොපාරා ගණය,
(4) දකුණු ඉන්දියානු ගණය යයි භාෂා විශේෂ හතරකට වර්ග කොට තිබේ.
ඒ එක එකකට සාධාරණ වූ ලක්ෂණ ඔහු දළ වශයෙන් ගෙනහැර දක්වයි. ප්‍රවීණ වාග් විද්‍යාඥයකු වූ සුකුමාර් සෙන් මහතා 'මධ්‍යතන ඉන්දු ආර්යය භාෂාවන්ගේ තුලනාත්මක වියරණය' (Comparative Grammar of Middle Indo-Aryan) නමැති ස්වීය ග්රන්ථයෙහි අශෝක සෙල්ලිපි බසෙහි -
(1) වයඹදිග හෙවත් උදිව්ය ගණය,
(2) නිරිතදිග හෙවත් ප්‍රතීත්‍ය ගණය,
(3) ප්රාච්ය මධ්‍ය ගණය,
(4) ප්රාච්ය ගණය යයි භාෂා විශේෂයන්ගේ ගණ හතරක් ඇති බැව් දක්වා ඒ එක එකක ලක්ෂණ හඳුන්වා දෙයි. අශෝක ශිලාලිපිවල භාෂා ලක්ෂණ ඉතා සියුම් ලෙස පරීක්ෂා කරන බී.ඇම්. බරුවා මහතා ඒ ලක්ෂණ මහාරාෂ්ට්‍රී, ශෞරසේනී, මාගධී, අර්ධමාගධී ආදි පශ්චාත් කාලීන ප්රාකෘත භාෂාවන්ගේ ලක්ෂණ හා සැසඳීමේ දී අසවල් ශිලාලිපියේ බස අසවල් ප්‍රාකෘතයට සමාන යයි ඉඳුරා කිව නොහැකි අයුරින් සංකීර්ණව පවත්නා බව සඳහන් කරයි. 'භාරත දේශයෙහි අශෝක ශිලාලිපි' (Asokan Inscriptions in India) යන ශීර්ෂයෙන් ප්රශස්ත ග්රන්ථයක් සැපයූ ඇම්.ඒ. මෙහෙන්දලේ මහතා අශෝක ලිපි බසෙහි ශබ්ද විචාරය මෙන් ම රූප විචාරය ද තුලනාත්මකව විස්තර කරමින් කාරකයෝජනාදිය ද පහදා අශෝක ලිපි පිළිබඳව මේතාක් විරචිත ග්රන්ථ ද සම්පාදිත ලිපි ද සඳහන් කරයි. පැරිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුව සිටි ජූල් බ්ලොක් මහතුන්ගේ 'අශෝකයන්ගේ ශිලා ලිපි' (Les Inscriptions d' Asoka) නම් ග්රන්ථයෙහි ද අශෝක සෙල්ලිපි හා ඒවායේ ප්රංස අනුවාදය ද ග්රන්ථිපදයන්ගේ විවරණ ද භාෂා ලක්ෂණ පිළිබඳ විස්තර ද ඇතුළත් කොට තිබේ.
අශෝක ශිලාලිපි හැදෑරීමෙහි දී විශේෂයෙන් ම උපස්තම්භ කොට ගත යුත්තේ ප්‍රධාන අශෝක ලිපි සියල්ල ම පාහේ පරිවර්තන හා විවරණ සහිතව පළ කරවා එක් එක් ලිපි ගණයකට සවිස්තර වියරණ විභාග ද දක්වමින් ඊ. හුල්ට්ෂ් මහතුන් විසින් 1925 දී පළ කරවන ලද 'අශෝකයන්ගේ ශිලාලිපි' (Inscriptions of Asoka) නම් වූ ග්‍රන්ථයයි. එමෙන් ම 'පියදස්සි (රජුගේ) සෙල් ලිපි' (Les Inscriptions de Piyadassi) යන ශීර්ෂයෙන් ඊ. සේනාර් පඬිතුමන් විසින් සම්පාදිත ග්රන්ථ හා ලිපිද මේ වනතුරුත් අත්‍යන්තයෙන් සම්භාවනාවට පාත්රව පවතී.
භාෂා විශේෂයන්ගේ ලක්ෂණ
අශෝක ශිලාලිපි වර්තමාන ඉන්දියාව හා පකිස්ථානය මුළුල්ලෙහිත් ඉන් පිටත ඇෆ්ඝනිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලත් පැතිර පවත්නා අයුරු මෙහි ඇතුළත් කොට ඇති සිතියමින් බලා ගත හැකියි. මග පෙන්වීමක් වශයෙන් ඉහත දක්වන ලද විස්තරය අශෝක සෙල්ලිපි පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍රමාණවත් විය යුතුය. සාමාන්‍ය පාඨකයාට අශෝක ලිපි බස පිළිබඳ අවබෝධයක් ඇති වන සේ ගිර්නාර්, කාල්සි, ධෞලි, ජෞගඩ, ෂාබස්ගර්හි, මාන්සේරා යන ස්ථානයන්හි ඒ ඒ ප්‍රදේශයන්ට යෝග්‍ය පරිද්දෙන් සකස් කොට පිටපත් කරවන ලද VII වැනි පර්වත ලිපිය මෙහි පහත දක්වා ඇත: මෙම පාඨයෙහි සාමාන්‍ය භාවය නම්:
"දෙවානම්පිය පියදස්සි රජතෙමේ සැම තන්හිම සියලු පාෂණ්ඩයෝ හෙවත් සියලු ආගම්වලට අයත් අය (සමගියෙන්) වෙසෙත්වායි පතයි. ඒ සියල්ලෝ ම සංයමය ද භාව ශුද්ධිය ද කැමති වෙත්. ජනයා වූ කලී උස්පහත් ඡන්ද ඇත්තේ (වෙයි), උස් පහත් ආශා ඇත්තේ (වෙයි). (යථෝක්ත පාෂණ්ඩ සංඛ්‍යාත) ඒ සියල්ලෝ ම (තම තමන්ගේ ධර්මයෙන්) මුළුල්ල ම හෝ එකදේශයක් හෝ කරන්නාහුය (හෙවත් පිළි පදින්නාහුය). (ඔවුනතුරෙන්) යමකුට විපුල වූ හෝ දානයක් නොමැත්තේ වේද (නොහොත් යමෙක් විශාල ලෙස දන් නොදෙන්නේ වේ ද), (ඔහුට) සංයමය ද භාව ශුද්ධිය ද කෘතඥතාව ද දෘඪභක්තිය ද නිරතුරුව ම අවශ්‍යය". මෙම පාඨයේ පාලි හා සංස්කෘත ඡායා මෙසේයි:
පාලි — දෙවානම්පියො පියදස්සී රාජා සබ්බත්ථ ඉච්ඡති සබ්බෙ පාසණ්ඩා වසෙය්යුන්ති. සබ්බෙ හි තෙ සංයමං භාවසුද්ධිං ච ඉච්ඡන්ති. ජනො තු උච්චාවචඡන්දො, උච්චාවචරාගො. තෙ සබ්බේ (පාසණ්ඩා) සබ්බං වා එක දෙසං වා කරිස්සන්ති. විපුලම්පි ච දානං යස්ස නත්ථි (තස්ස) සංයමො භාව සුද්ධි කතඤ්ඤුතා දළ්හභත්තිතා (ඉච්චෙතෙ) නිච්චා බාළ්හං (එව සියා).
සංස්කෘත — දෙවානං ප්‍රියඃ ප්‍රියදර්ශී රාජා සර්වත්‍ර ඉච්ඡති - සර්වෙං පාෂණ්ඩා: වසෙයුඃ. සර්වෙ හි තෙ ස යමං භාවශුද්ධිං ච ඉච්ඡන්ති. ජනඃතු උච්චාවචච්ඡන්දඃ, උච්චාවවරාගඃ තෙ සර්වං එක දෙශං වා කරිෂ්‍යන්ති. විපුලං අපිතු දානං යස්‍ය නාස්ති, සංයම: භාවශුද්ධි: කෘතඥතා දෘඪභක්ති තා ච (ඉත්යෙතෙ) නිත්‍ය: බාඪම් (සන්ති තස්‍ය ඉති ශෙෂඃ)
නොයෙක් ප්‍රදේශයන්හි පිහිටුවන ලද සෙල්ලිපිවල භාෂා විශේෂයන්ගේ මුඛ්‍ය ලක්ෂණ හැඳින්වීම් වස් රාධාගෝවින්ද බසක් මහතාගේ වර්ගීකරණයට අනුව බොහෝ දුරට එතුමාගේ කෘතියෙහි ම උපුටා දක්වා ඇති පාඨ කීපයක් හා ඒවායේ ලක්ෂණ පහත දක්වා ඇත.
I - ෂාබස්ගර්හි හා මාන්සේරා ලිපි ඇතුළත් ගණය:
“යංපි (ච) කිචි මුඛතො අණපයමි (අහං) දපකං
ශ්‍රවක ව
යව පන මහමත්රනං අවයිකං අරොපිතං හොති
තයෙ
අඨයෙ විවදෙ සංතං නිඣති ව පරිෂයෙ
අනංතරියෙන
පටිචෙදෙතවො මෙ සර්වත්‍ර සව්රං කලං
(ෂාබස්ගර්හි පර්වත ලිපිය VI).
යංපි කිචි මුඛති අණපෙමි අහං දපකං ව
ශ්රවකංව යංව පුන මහමත්රෙහි අවයි කෙ
අරොපිත හොති,තයෙ අථයෙ විවදෙ නිඣති
ච සංත පරිෂයෙ අනංතලියෙන පටිවෙදිතවියෙ
හෙ සව්‍රත්‍ර සව්ර කල (මාන්සේරා පර්වත ලිපිය VI).
සංස්කෘත ඡායාව:
යත් අපි ච කිඤ්චිත් මුඛතඃ
ආඥාපයාමි අහං දාපකං (=දාපනං) වා ශ්රාවකං
(=ශ්රාවණං) වා; යත් වා පුනඃ මහාමාත්රෙභ්ය:
ආත්යයිකං ආරොපිතං භවති - තසමෙ අර්ථාය
විවාද: නිධ්යාති:වාස්ත: : පරිෂදි— ආනන්තය්යෙර්ණ
ප්රතිවෙදයිතව්යං මේ සර්වත්‍ර සර්වං කාලම්.
භාවය: යම්කිසි දානමය ක්‍රියාවක් හෝ දැන්වීමක් (හෙවත් ප්රකාශනයක්) මම මුවින් අණ කෙරෙම් ද, එසේම මහා මාත්රයන්ට පවරා ඇති හදිසි කටයුත්තක් වේ ද ඒ සඳහා පර්ෂදෙහි විවාදයක් හෝ විමසිල්ලක් ඇති වුවහොත් අනතුරුව ම එය සෑම තැන දී ම සෑම විට ම මට දැන්විය යුතුයි. එකම ප්‍රදේශයෙහි පිහිටුවා ඇති යථෝක්ත සෙල්ලිපි දෙකෙහි ස්වල්ප වෙනස්කම් කීපයක් ඇතත් ඒ දෙකට පොදු වූ විශේෂ ලක්ෂණයෝවෙත්. එනම්:
1. ආ, ඊ වැනි දීර්ඝාක්ෂර නොමැතිකම,
2. ශ, ෂ, සයන ඌෂ්මාක්ෂර තුන ම දක්නට ලැබීම.
3. රකාර පූර්ව වූ හෝ පර වූ හෝ ව්‍යංජනයක් විනා සෙසු ව්‍යංජන සංයෝග නො යෙදීම,
4. අණපයමි (= ආඥාපයාමි) වැනි ශබ්දයන්හි මූර්ධන්ය ණ කාරය අවශේෂ වීම.
5. මාගධී ප්රාකෘතයෙහි මෙන් අකාරාන්ත ශබ්දයන්ගේ ප්‍රථමා විභක්තියෙහි - එ ප්‍රත්‍යය යෙදීම.
6. ර කාරය ලකාර බවට නොපෙරැළී අව ශිෂ්ට වීම.
II - කාලිංග ලිපි ද ඇතුළත් මධ්‍ය ඉන්දියානු ගණය:
(අ) දෙවානං පියෙ පියදසි ලාජ හෙවං ආහාකයානං මෙව දෙඛති ඉයං මෙ කයානෙ කටෙති. නොමින පාපං දෙඛති — ඉයං මෙ පාපෙ කටෙති, ඉයං වා ආසිනවෙ නාමාති (III වැනි ස්තම්භ ලිපියේ දිල්ලි - තෝප්රා පිටපත).
සංස්කෘත ඡායාව. දෙවානං ප්‍රිය: ප්‍රියදර්ශී රාජා එවං ආහ:—කල්‍යාණං එව [ ජන; ] පශ්යති - ඉදං මයා කල්‍යාණං කෘතං ඉති. න අනෙන [කො'පි] පාපං පශ්යති—ඉදං මයා පාපං කෘතං ඉති; අයං වා ආස්නවඃ නාම ඉති.
භාවය — දෙවානම්පිය පියදස්සි රජ මෙසේ කියයි.මේ කල්‍යාණය ( හෙවත් යහපත ) මවිසින් කරන ලදැයි (මිනිසා) යහපත ම දකී. මේ පාපය ම විසින් කරන ලදැයි කියා හෝ මේ වරද නමැයි කියා හෝ ඒ හේතුවෙන් ඔහු නොදකී.
(ආ) දෙවානං පියෙ හෙවං ආහා - සමාපායං මහාමාතා නගලවියොහාලකා හෙවං වතවියා - අං කිඡි දබාමි හකං තං ඉඡාමි, කිංති, කංමන පටිපාතයෙහං, ද්රවාලතෙ ච ආලභෙහං. එස ච මෙ මොබියමත දුවාලං - අං තුඵෙසු අනසුථි. (කාලිංග දේශයේ ජෞගඩයෙහි වෙන්ව කොටා ඇති පර්වත ලිපිය).
සංස්කෘත ඡායාව: දෙවානාම්ප්රිය: එවං ආහඃ සමා පායාං මහාමාත්රාඃ නගරව්යවහාරකා: එවං වක්ත- ව්යා: යත් කිංචිත් පශ්යාමි අහං තත් ඉච්ඡාමි, කිමිති? කර්මණා ප්රතිපාදයෙ අහං ද්වාරතඃ ච ආරභෙ අහම්. එතත් ච මෙ මුඛ්යමතං ද්වාරං එතස්මින් අර්ථෙ, යත් යුෂ්මාසු අනුශිෂ්ටි:.
භාවය: දෙවානම්පිය තෙමේ මෙසේ කියයි. නගර ව්යවහාරකයන් වූ සමාපායෙහි මහාමාත්රයන්ට මෙසේ කිවයුතුය. යම් කිසිවක් දකිම් ද එය කර්මයෙන් ප්රතිපාදනය කිරීමට ද ද්වාර මාර්ගයෙන් ආරම්භ කිරීමට ද කැමැත්තෙමි. ඒ සම්බන්ධ යෙන් ඔබට අනුශාසනා කිරීම මාගේ ප්‍රධාන මාර්ගය වෙයි.
(ඇ) පියදසි ලාජා මාගධෙ සංඝං අභිවාදෙතූනං ආහා අපාබාධතං ච ඵාසුවිහාලතං චා. විදිතෙ වෙ භංතෙ ආවතකෙ හමා බුධසි ධංමසි සංඝසීති ගාලවෙ චං පසාදෙ ච. එ කෙවි භංතෙ භගවතා බුධෙන.භාසිතෙ සවෙ සෙ සුභාසිතෙ වා. එ වු ඛො හංතෙ හමියායෙ දිසෙයා හෙවං සධංමෙ චිලඨීතීකෙ හොසතීති අලහාමි භකං තං වතවේ. ඉමානි භංතෙ ධංමපලියායානි විනයසමුකසෙ, අලිය වසාණි, අනාගතභයානි, මුනිගාථා, මොනෙයසූතෙ, උපතිසපසිනෙ, එ චා ලාඝුලොවාදෙ මුසාවාදං අධිගිච්ය භගවතා බුධෙන භාසිතෙ. එතානි භංතෙ ධංමපලියායානි ඉජාමි - කිංති? පායෙ වා භිබුනියෙ චා අභිඛිනං සුනෙයු චා උපධාලයෙයු චා. හෙමමෙවා උපාසකා වා උපාසිකා චා. එතෙනි භංතෙ ඉමං ලිබාජ්යාමි අභිපෙතං මෙ ජානංතූති [කල්කටා—බෛරාට් (භබ්රැ) පර්වත ලිපිය].
සංස්කෘත ඡායාව: ප්‍රියදර්ශී රාජා මාගධඃ සංඝං අභිවාද්ය ආහ අල්පාබාධතාං සුඛවිහාරතාං ච. විදිතං ව: භදන්තඃ යාවත් මම බුද්ධෙ ධර්මෙ සංඝෙ ඉති ගෞරවං ච ප්රසාදඃ ච. යත් කිඤ්චිත් හදන්තා: භගවතා බුද්ධෙන භාෂිතං සර්වාං තත් සුභාෂිතං එව. යත් ච බලු හදන්තා: මයා දෙශ්යං (දිශ්යෙත වා) එවං සද්ධර්ම: චිරස්ථිතිකඃ භවිෂ්‍යති ඉති - අර්හාමි අහං තත් වක්තුම්. ඉමේ හදන්තා:
ධර්මපර්යායා: විනයසමුත්කර්ෂ: ආර්යයවංශඃ, අනාගතභයානි, මුනිගාථා, මෞනෙයසුත්රං, උපතිෂ්‍ය ප්‍රශ්නා:, යත් ච රාහුලාවවාදෙ මෘෂාවාදං අධිකෘත්ය භගවතා බුද්ධෙන භාෂිතම්. එතාන් හදන්තඃ ධර්ම පර්යායාන් ඉච්ඡාමි—කිං ඉති? බහුකා: භික්ෂු- පාදාඃ ච භික්ෂුක්ය: ච අභික්ෂ්ණං ශෘණුයු: ච උපධාරයෙයු:ච. එවමෙව උපාසකාඃ ච උපාසිකාඃ ච. එතෙන භදන්තඃ ඉදං ලෙඛයාමි — අභිප්රෙතං මෙ ජානන්තු ඉති.
භාවය: මගධරට පියදස්සී රජ තෙමේ සංඝයාට වැඳ අල්පාබාධතාව ද ඵාසුවිහාරය ද විචාරයි. බුදුන්, දහම් සහ සඟුන් කෙරෙහි මාගේ ඇති ගෞරවයත් ප්‍රසාදයත් ඔබවහන්සේලා දන්නා සේක. ස්වාමීනි, භාග්‍යවත් වූ බුදුන් විසින් යමක් දෙසන ලද ද ඒ සියල්ල සුභාෂිතමය. ස්වාමීනි, සද්ධර්මය මෙසේ චිරාකල් පවතින්නේ යයි ම විසින් පෙන්විය යුතු වන්නේ ද, ඒ (කාරණය) කීමට මම සුදුස්සෙමි (නොහොත් එය පවසනු මට යෝග්‍යයි). ස්වාමීනි, මේ වනාහි ධර්ම පයර්යායයෝයි. (එනම්:) විනය සාමුක්ක ස, අරියවංස, අනාගතභය, මුනිගාථා, මෝනෙය්‍ය සුත්ත, උපතිස්සපඤ්හ සහ රාහුලෝවාදයෙහි මෘෂා වාදය පිළිබඳව භාග්‍යවත් වූ බුදුන් විසින් දෙසන ලද්ද (යන මේ) යි. ස්වාමීනි, මේ ධර්මපයර්යායයන් බොහෝ භික්ෂූහු ද භික්ෂුණීහු ද එසේ ම උපාසකයෝ ද උපාසිකාවෝ ද නිරන්තරයෙන් අසත්වා, උපධාරණය කෙරෙත්වා යනු මාගේ කැමැත්තයි. ස්වාමීනි, ඔබවහන්සේලා මගේ අභිප්‍රාව මෙයින් දැනගනිත්වායි මෙම (සෙල්ලිපිය) ලියවමි.
(ඉ) හෙවං දෙවානං පියෙ ආහා — හෙදිසා ඉකා ලිපි - තුඵාකංතිකං හුවාති සංසලනසි නිඛිතා ඉකං ච ලිපිං හෙදිසමෙව උපාසකානංතිකං නිඛිපාථ (සාරනාත් ස්තම්භ ලිපිය).
සංස්කෘත ඡායාව: එවං දෙවානං ප්‍රියඃ ආහ: - ඊදෘශී ච එකා ලිපි: යුෂ්මාකං අන්තිකෙ භූයාත් ඉති සංසරණෙ නික්ෂිප්තා, එකාංච ලිපිං ඊදෘශීං එව උපාසකානං අන්තිකෙ නික්ෂිපත.
භාවය: දෙවානම්පිය තෙමේ මෙසේ කියයි: මෙවැනි ලිපියක් ඔබගේ සමීපයෙහි වේවායි එකක් මහා මාර්ගයෙහි තැන්පත් කරවන ලදි. මෙවැනි ම තවත් ලිපියක් උපාසකයන් ළඟ තබනු.
III. මධ්‍ය ඉන්දියානු ගණයට අයත් සෙල්ලිපි බසෙහි පහත සඳහන් ලක්ෂණ පොදු වශයෙන් දක්නට ලැබේ:
(1) රකාරය වෙනුවට ලකාරය බෙහෙවින්ම යෙදීම,
(2) අකාරාන්ත නාමයන්ගේ ප්‍රථමා විභක්ති ඒක වචනයෙහි - එ ප්‍රත්‍යය ව්‍යවහාර වීම,
(3) සංයුක්ත ව්‍යඤ්ජන සදෘශ නොවී සිටීම.
(4) ඇතැම් ව්‍යඤ්ජන සංයෝගයන්හි ස්වර භක්තිය දක්නට ලැබීම: අසිනවෙ (=ආස්නව:) දුවාලතෙ (=ද්වාරතඃ) අලහාමි (=අර්හාමි),
(5) මාගධී ප්රාකෘතයෙහි මෙන් අහං යනු හකං යී සිටීම,
(6) සංස්කෘත මයා යනු හමියායෙ යී සිටීම.
(7) අතීත කෘදන්ත රූපයන්හි බොහෝ විට ටකාරය යෙදීම: කට (=කෘත),
(8) සංස්කෘත - ල්‍ය ->ය්ය->ය: කයානෙ (=කල්‍යාණං),
(9) මූර්ධජ ණකාරය නොයෙදීම,
(10) තුම්හාණං, තුජ්ඣාණං යන ප්රාකෘත රූප තුඵාකං යී ද තුම්හෙසු, තුජ්ඣෙසු යන ප්රාකෘත රූප තුඵෙසු යි ද දක්නට ලැබීම,
(11) තුමන්ත රූපයන්හි යෙදෙන - තුං යනු බෙහෙවින් - තවෙයී සිටීම.
Iv-ගිර්නාර් හා සොපාරා ගණය:
එස අඤෙ ව බහුවිධෙ ධංමචරණෙ වසඨිතෙ, වඪයිසති චෙව දෙවානං ප්රියො ප්රියදසි රාජා ධංමචරණං ඉදං. පුත්රා ච පොත්රා ච ප්රපොත්රා ච දෙවානං ප්රියස ප්‍රියදසිනො රාඤා වධයිසංති ඉදං ධංමචරණං ආව සංවටකපා, ධංමම්හි සීලම්හි තිස්ටංතො ධංමං අනුසාසිසංති (IV වැනි පර්වත ලිපියෙහි ගිර්නාර් පිටපත)
සංස්කෘත ඡායාව: එතත් ච අන්‍යත් ච බහුවිධං ධම්මචරණං වර්ධිතම්. වර්ධයිෂ්යති ව එව දෙවානාං ප්‍රියඃ ප්‍රියදර්ශී රාජා ඉදං ධම්මවරණම්.පුත්‍ර: ච පෞත්රා: ච ප්රපෞත්රා: ච දෙවානං ප්රියස්ය ප්රියදර්ශිනඃ රාඥඃ වර්ධයිෂ්යන්ති ධම්මචරණං ඉදං යාවත් සංවර්තකල්පං, ධර්මෙ ශීලෙ ච තිෂ්ඨන්තඃ ධම්මාං. අනුශාසිෂ්යන්ති.
භාවය: මෙය ද වෙනත් නොයෙක් ආකාර වූ ධර්මචරණය ද දියුණු කරන ලදි. (මින් පසුව ද) දෙවානම්පිය පියදස්සී රජ තෙමේ මේ ධර්මචරණය දියුණු කරන්නේය. දෙවානම්පිය පියදස්සී රජුගේ දරුවෝද මුනුබුරෝද මීමුනුබුරෝ ද කල්පය පවත්නා තාක් මේ ධර්මචරණය දියුණු කරන්නාහුය. ධර්මයෙහි ද ශීලයෙහි ද පිහිටා ධර්මානු ශාසනා කරන්නාහුය.
පාලියට නොයෙක් අතින් සමානකම් ඇති මේ භාෂා විශේෂයෙහි ලක්ෂණයෝ නම්:
(1) රකාරය ලකාර බවට නොපෙරැළි අවශිෂ්ට වීම,
(2) ව්‍යඤ්ජන සංයෝගයකට පරව යෙදෙන රකාරය බෙහෙවින් ම මුලට යෙදීම,
(3) සකුවෙහි දක්නා 'න්‍ය' වෙනුවට පාලියෙහි දක්නා 'ඤඤ' යනු කෙවල ඤකාරව සිටීම.
(4) සදෘශීකරණයෙන් සමාන වූ ව්‍යඤ්ජන දෙකක් අවශිෂ්ට වී නොසිට, කෙවල භාවයෙන් සිටීම: පා.චඩ්ඪයිස්සති - වඪයිසති (=සං. වර්ධයිෂ්යති),
(5) යාවත් වැනි ශබ්යන්හි ආදි යකාරය ලොප් වී ආව යනාදී වශයෙන් සිටීම
(6)සංස්කෘත-ෂ්ඨ යනු — ස්ට− යි සිටීම: තිස්ටන්තො,
(7) අකාරාන්ත නාමයන්ගේ ප්‍රථමා විභක්ති ඒක වචනයෙහි - ඔ ප්‍රත්‍යය ව්‍යවහාර වීම,
(8) මූර්ධජ ණකාරය කිසි විටෙක යෙදීම,
(9) රාජන් ශබ්දයේ ෂෂ්ඨි රූපය රාඤො යී සිටීම,
(10) ඌෂ්මාක්ෂර අතුරෙන් දන්තජ සකාරය පමණක් යෙදීම. යන මේවායි.
V–දකුණු ඉන්දියානු ගණය:
පකමස හි ඉයං ඵලෙ. නො හීයං සක්යෙ මහාත්පොනෙව පාපොතවේ, කාමං තුබොබුද-කෙන පි පකමමිණෙණ විපුලෙ ස්වගෙ සක්යෙ ආරාධෙතවෙ. එතායථාය ඉයං සාවණෙ සාවා පිතෙ — මහාත්පා ච ඉමං පකමෙයුති. (1 වැනි අප්‍රධාන පර්වත ලිපියේ බ්රහ්මගිරි පිටපත)
සංස්කෘත ඡායාව} ප්රක්රමස්ය හි එතත් ඵලම්. න ච එතත් මහාත්මනා එව (මහතා වා) ප්රාප්තව්යං, ක්ෂුද්රකෙණ හි ක්වාපි ප්රක්රමමාණෙන කාමං ශක්‍ය: විපුලඃ අපි ස්වර්ග: ආරාධයිතුං. එතස්මෛ අර්ථාය ච ශ්රාවණං කෘතම්- '(ක්ෂුද්රකා:ච)මහාත්මානඃ ච ප්රක්රමන්තාම්' ඉති.
භාවය: මේ වූකලී උත්සාහයේ ප්රතිඵලයයි. ඊට පැමිණිය හැක්කේ මහාත්මයන් විසින් පමණක් නොවේ. උත්සාහ කරන්නා වූ ක්ෂුද්‍ර වූ තැනැත්තා විසින් පවා විපුල වූ ස්වර්ගය ඒකාන්තයෙන් ලැබිය හැකි උත්සාහ (සුළු අය මෙන්ම) මහාත්මයෝ ද කරත්වා යි ප්රකාශනය කරවන ලද්දේ මේ සඳහායි.
මෙම පාඨයෙන් පිළිබිඹු වන්නා වූ, දක්ෂිණ භාරතයට විශේෂ වූ ලක්ෂණ නම්:
(1) පකමමිණෙණ, සාවණෙ යනාදි තන්හි මෙන් මූර්ධන්ය ණකාරය සමහර විට අවශිෂ්ට වීම,
(2) අකාරාන්ත නාමයන්ගේ ප්‍රථමා විභක්ති ඒක වචනයෙහි - එ ප්‍රත්‍යය යෙදීම,
(3) පාපොතවෙ, ආරාධෙතවෙ යනාදි තන්හි මෙන් තුමන්තරූප බොහෝ විට - තවෙ යන්නෙන් අන්ත වීම,
(4) බොහෝ විට රකාරය ලකාර බවට නො පෙරැළී අවශිෂ්ට වීම,
(5) විසදෘශ ව්‍යංජන සංයෝග සදෘශ නොවී තිබීම.
(6) මහාත්පා යනුවෙහි මෙන් - ත්ම - යනු-ත්ප-යී සිටීම,
(7) ඌෂ්මාක්ෂර අතුරෙන් දන්ත්‍ය සකාරය පමණක් යෙදීම යන මේයි.
ඉහත සඳහන් වර්ග සතර යටතේ දැක්වූ නිදසුන් පාඨයන්ගේ අනුසාරයෙන් අශෝක ශිලාලිපි බසෙහි භාෂා විශේෂ සතරකට ආවේණික යයි කිවයුතු ලක්ෂණ දත හැකියි.
පාලි ත්‍රිපිටක ග්රන්ථ කියවා පුරුදු අයට ප්රාකෘත පිළිබඳ අල්පමාත්‍ර දැනීමක් ඇති කරගත් වහා ම අශෝක සෙල්ලිපි ඉතා ලෙහෙසියෙන් තේරුම්ගත හැකියි. අශෝක අධිරාජයාගේ උදාර චරිතයත් එතුමාගේ ‘ධර්මය'ත් සෙල්ලිපි කියවීමෙන් ප්රත්යක්ෂ වනු නොඅනුමානයි. සිංහල හින්දි වංග ආදි නව්‍ය ආර්යය භාෂාවන්ගේ ඉතිහාසය පරීක්ෂා කරන්නවුනට ද අශෝක සෙල්ලිපි රත්නාකරයක් බඳු වේ.
(සංස්කරණය: 1965)