මඩිගෙ
අටමඩිගය
තවලම් මඟින් බඩුබාහිරාදිය ගෙනයාම පිළිබඳ දෙපාර්තමේන්තුවේ (මඩිග දෙපා:) ශාඛා අටක් නොහොත් නිලධාරීන් අටදෙනකු අටමඩිගය නමින් හැඳින්වුණු බව පෙනේ. පොළොන්නරු යුගයේ සිට හෝ සමහර විට ඊටත් පෙර සිට මේ අධිකාරි (නිල) නාමය භාවිතයට ආ බව සැලකිය හැකි ය. 'මඩිග' යන්නෙහි තේරුම තවලම යන්නයි. මාර්‍ග පහසුව නොතිබුණු ඒ සමයේ දී බඩු බාහිරාදිය ඔබ මොබ ගෙන ගියේ තවලම් මගිනි. මෙසේ තවලම් මඟින් බඩු ගෙන ගියවුන් රජයට බද්දක් ගෙවිය යුතු විය. මඩිහුංගම යනු මේ බද්ද අයකළ ස්ථානයට ව්‍යවහාර වුණු නාමයයි. මඩිහුංගම යන්නේ තවලම් මඟින් ගෙන එනු ලබන බඩුවලින් අයකළ බද්ද ද හැඳින්වුණේ ය.
මහනුවර සමයේ දී 'මඩිග දෙපාර්තමේන්තුව' නමින් වෙනම අධිකාරි අංශයක් පැවතුණු බව ඩොයිලි සඳහන් කරයි. මුහුදුබඩ පළාත්වල සිට තවලම් මඟින් බඩු ගෙනයාම කරන ලද්දේ මුස්ලිම්වරුන් විසිනි. මඩිගෙ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා වැඩි වශයෙන් ම යොදා ගෙන තිබුණේ මුස්ලිම්වරුන් බව පෙනේ. එහෙත් මඩිගෙ මහ ලේකම් ධුරය දැරූ තැනැත්තා සිංහලයෙක් විය. මඩිගෙ දෙපාර්තමේන්තුවේ සේවය කළවුනට වේතනය වෙනුවෙන් රජුගෙන් ලැබුණේ ඉඩම් ය. ඔවුන් ලබා සිටි සෑම ඉඩම් අමුණකට ම ගොනෙකු, ලුනු ගෝනියක් හා කරවල ප්‍රමාණයක් රජවාසල මහ ගබඩාවට සැපයීමට නියම විය. එමෙන් ම ගබඩා ගම්වලින් රජුගේ අයබදු වශයෙන් ලැබෙන ධාන්‍ය ආදිය ද තවලම් මඟින් ගෙන ගොස් රජුගේ ගබඩාවට භාරදීම ද ඔවුන්ට පැවරිණ. මඩිගෙ දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන්, මඩිගෙ දිසාව, මඩිගෙ මහලේකම්, මඩිගෙ විදානෙ, මඩිගෙ මුහන්දිරම්, මඩිගෙ ලේකම්, මඩිගෙ කංකානම්, මඩිගෙ ගම්මැහේ, මඩිගෙ පයින්ඩෙ යන ප්‍රභේද අටකින් යුක්ත වී යයි සිතිය හැකි ය. මඩිගෙ ඌලියම්මු, මඩිගෙ නිලකාරයෝ හා මැදිගෙලා හෙවත් මඩිගෙලා නමින් හැඳින්වුණු පහත් පෙළේ සේවකයන් පිරිසක් විසින් මඩිගෙ ප්‍රධාන නිලධාරීන් වෙනුවෙන් සේවය කරන ලද බව පෙනේ. තවලම් අදින ගොනුනට සාත්තු සප්පායම් කිරීම මඩිගෙ ඌලියම්මුන් සතුවූ සේවය විය. ගොනුන් ලවා තවලම් ඇද්දවීම මඩිගෙලාට අයත් වූ කාර්‍ය්‍යය ය. මඩිගෙ දිශාවට අයත් නින්දගම් වගා කිරීම මඩිගෙ නිලකාරයන්ට භාරවිය.
පොළොන්නරු හා දඹදෙණි යුගයන්හි දී මඩිග අටක් පැවති බව සඳහන් වෙතත් මඩිගෙ දෙපාර්තමේන්තුවේ ඒ ශාඛා අට කවරේදැයි නිගමනය කිරීමට තරම් සාක්ෂ්‍ය අපට ලැබී නැත. මහනුවර සමයේ දී සාහිත්‍යයේ සඳහන් වන්නේ මඩිග සතරක් හා තුනක් ගැන පමණකි. මහ ගබඩාවට තවලම් ගෙනා නිලධාරීන් 'මහ මඩිගෙ' යනුවෙන් ද උඩ ගබඩාවට තවලම් ගෙනා නිලධාරීන් 'අලුත් මඩිගෙ' නමින් ද පල්ලෙ වාසලට තවලම් ගෙනා නිලධාරීන් 'පල්ලෙ වාසල මඩිගෙ' නමින් ද හැඳින්වුණු බව පෙනේ.
නිකාය සංග්‍රහයෙහි අටමඩිගය යනුවෙන් හඳුන්වන ලද්දේ කඩ වර්‍ග අටෙකැයි මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන්ගේ 'සිංහල ආණ්ඩුව' නමැති පොතෙහි සඳහන් වෙයි.
(කර්තෘ: සිරිමල් රණවැල්ල)
(සංස්කරණය නොකළ)
අටමඩිගය
මඩි යනු මල්ල, පැස, ඔලොගුව යන අර්‍ථවත් වචනයකි. තවලම් ගොනුන් පිට මඩි පටවාගෙන යාම පිළිබඳ කාර්‍ය්‍යංශය මඩිගයයි. නගරයට එන තවලම් ආදියෙන් බදු අය කළ තැන හෙවත් රේන්දපොළ, වෙළෙඳපොළ යන අර්‍ථයෙන්හි ද මඩිග යනු වැටෙයි. මහ ගබඩාවට තවලම් ගෙනා අය මහ මඩිගේ නමින් ද උඩ ගබඩාවට ගෙනා අය අලුත් මඩිගේ නමින් ද පල්ලේ වාහලට ගෙනා අය පල්ලේ වාහල මඩිගෙ නමින් ද හඳුන්වන ලදහයි කොඩ්රින්ටන් කියයි.
1806 දී පිළිමතලාවේ මහ අදිකාරම විසින් දෙන ලද තල් පතක, "...දුන්බර දෙපළාත මඩිගේ, ...අකුරන්බොඩ මඩිගේ, ගොහාවල මඩිගේ, බෝවන්නේ මඩිගේ, මහ මඩිගේ" යනුවෙන් සහ ඔහු විසින්ම 1798 දී දෙන ලද සන්නසක, "උඩරට හුලන් බද්ද මඩිගේ, සත් කෝරළේ මඩිගේ..." යනුවෙන් තමන් දැරූ තනතුරු විස්තර වශයෙන් දක්වා ඇති හෙයින් මඩිගේ කාර්‍ය්‍යාංශ, දිසා හෝ ස්ථාන හෝ වශයෙන් බෙදා තිබුණු බව පෙනේ.
(කර්තෘ: තෙන්නකෝන් විමලානන්ද)
(සංස්කරණය නොකළ)