මානය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:53, 2 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිත්හි උපදනා උන්නතිය ලක්ෂණ කොට ඇති අකුශල චෛතස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිත්හි උපදනා උන්නතිය ලක්ෂණ කොට ඇති අකුශල චෛතසිකයයි. මානය හා යෙදුණු සිත කෙහෙලියක් මෙන් ඉතා උස්ව නැගී සිටියි. දුෂ්ටි විප්‍රයුක්ත වූ ලොභය මානයට ආසන්නව සිටී. උන්මාදයක් බඳුවෙයි. රහත් මඟින් නැසිය යුතු ක්ලෙශ ධර්‍මයෙකි.

සිත අතිශයින් ඔසවා තැබීම් ලක්ෂණ වශයෙන් එක් ප්‍රකාරයෙකින් මානය වෙයි. යළි තමා උසස් කොට සිතන අත්තුක්කංසනමාන යැ. මෙරමා අන්‍යයා පහත් කොට සලකන පරවම්භනමානය ද 'මම සදුශ වෙමී' සිතන සදිසමානය ද, 'මම හීන වෙමී' සිතන හීනමානය දැයි තුන් පරිද්දෙකින් මානය වෙයි. එසේම ලොකධර්‍මයන්ගේ වශයෙන් මානයට චතුර්විධ වෙයි. ලාභයෙන් මානය උපදවයි. යශස් හේතුකොට ගෙන ද ප්‍රශංසාව හේතු කොට ගෙන ද සුවය හේතු කොට ගෙන ද මානය උපදවයි. තව ද, “මම මනවඩන රූපයන් ලබමි. ශබ්ද, ගන්ධ රස සපුෂ්ටව්‍යයන් ලබමි” පඤච කාම ගුණයන්ගේ වශයෙන් පස් ආකාරයකින් මානය වෙයි. එසේම චක්ඛුසම්පදා (ඇසෙහි ප්‍රසාදා දි සම්පත්තිය) නිසා මානය වෙයි. සොත, ඝාන, ජිව්හා, කාය, මනස්සම්පත්තිය නිසා මානය වෙයි. මෙසේ ෂඩායතනයන්ගේ වශයෙන් සපරිද්දෙකින් මානය වෙයි. සත් ප්‍රකාරයෙකින් ද මානය වෙයි. උන්නති වශයෙන් උපදනා 'මාන' යැ, ‘ජාති ආදියෙන් මා හා සමාන වූයෙක් නැතැ’යි සිතන ‘අතිමාන’ යැ, මේ තෙනැත්තේ පෙර මා හා සමාන විය. දැන් මම ශ්‍රේෂ්ඨ වෙමි. මේ ඉතා හීන යැ’යි පළමු පැවැති සද්සමානය ඉක්මවා යන “මානාතිමාන’ යැ, හීන මාන වශයෙන් තමා පහත් කොට සලකන ලාමක වශයෙන් සලකන ‘ඔමාන’ යැ චතුස්සත්‍යාව බොධයට නොපැමිණ සිව්මඟින් කළ යුතු කිස නොකළ කල්හි මැ රහත් පල පසක් නොකළ කල්හි ප්‍රත්‍යක්ෂ කරන ලදැයි සිතන්නහුට ‘අධිමානය’ උපදී. මේ අධිගතයෙමී උපදනා මානය වූ කලී ස්‍රොතාපන්නාදී ආර්‍ය්‍ය ශ්‍රාවකයනට නූපදී.” ප්‍රත්‍යවෙක්ෂා ඥානය ඇති හෙයිනි. දුශ්ශීල පුද්ගලයාට ද නූපදී. හේ ආර්‍ය්‍ය ගුණාධිගමයෙහි අපෙක්ෂා රහිත හෙයිනි. සිල්වත් වුව ද කර්‍මස්ථාන භාවනා හැරපියා නිදාරාමතාදියෙහි යෙදුනහුට ද නූපදනේයි. වැලිදු පිරිසිදු සිල් ඇති කමටහන්හි නොපමාව වෙසෙන ආරබ්ධ විදර්‍ශකයාහට අධිමානය උපදී. එය උපන් කල්හි සුද්ධ සමථයානිකයෙක් හෝ සුද්ධවිපස්සනායානිකයෙක් වී නම්, හේ දස විසි තිස් හවුරුද්දක් හෝ ඉක්මැගිය ද ක්ලෙශ සමුදාචාරයක් නොදක්නේ “මම සෝවන් වෙමි හෝ සෙදගැමි අනගැමි වෙමී" හෝ සිතයි. ශමථ, විදර්‍ශනා දෙක ම ලැබූයෙක් වී නම්, ඔහුට සමාධි බලයෙන් ක්ලෙශයෝ විෂක්මසිත වූවාහු විදර්‍ශනා බලයෙන් සංස්කාරයෝ මොනොවට පරිගෘහීත වුවාමු සැටවසක් අසූවසක් සියවසක් හෝ කෙලෙස් නොපවත්නාහු වෙති. ඔහුගේ චිත්තාචාරය රහතක්හුගේ මෙන් වෙයි. හේ මෙසේ දීර්‍ඝ කාලයෙහි ක්ලෙශසමුදාචාරයක් නොදක්නේ “මම රහත්මී” සිතයි. මේ අධිමානයයි රූපයෙහි "මම වෙමි, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන්හි මම වෙමි." පඤචස්කන්ධයෙහි ලා උපදනා මානය ‘අසමිමාන’ නම ලාමක වූ කර්‍මායතන ශිල්පායතන විද්‍යා ශ්‍රැත ප්‍රතිභාන ශීල ව්‍රත පරාමර්‍ශයන් හේතු කොටගෙන ද ලාමක දෘෂ්ටිය නිසා ද උපදනා මානය මිථ්‍යාමාන නම් වෙයි. මෙසේ මානය සප්ත විධ වේ.

යළි අට පරිද්දෙකිනුදු මානය උපදී. ලාභයෙන් මානය උපදවයි. අලාභයෙන් තමා හීන යයි සිතන තමහට අවමන් කරන ඕමානය උපදවයි. එසේම යශසින් මානය ද, අයශස් හේතුයෙන් ඕමානය ද, ප්‍රශංසායෙන් මානය ද, නින්දායෙන් ඕමානය ද, සුවයෙන් මානය ද, දුකින් ඕමානය ද, උපදවන්නේ වෙයි. තව ද මානය නව වැදෑරුම් වෙයි. ශ්‍රේෂ්ඨයා හට ශ්‍රේෂ්ඨ වෙමි, සදුශ වෙමි. හීන වෙමි. තුන් පරිද්දෙකින් සෙය්‍යමානය ද, සදාශයා හට ශ්‍රෙෂ්ඨ වෙමි, සදුශ වෙමි, හීන වෙමි, තුන්පරිද්දෙකින් සදිස මානය ද, හීනයාහට ශ්‍රේෂ්ඨ වෙමි, සදාශ වෙමි, හීන වෙමි, තුන් පරිද්දෙකින් හීනමානය දැ යි මෙසේ මානය නව වැදෑරුම් වේ. එහි සෙය්‍යමානය බොහෝ සෙයින් සෙය්‍ය මානය රට ධන වාහනාදිය හෙතු කොට ගෙන රජුන්ට ද ශීල ධුතඞගාදිය හේතු කොටගෙන පැවිද්දනට ද උපදී. සදිසමානය භොග යනාවාහනාදිය හෙතු කොටගෙන අමාත්‍යාදි රාජපුරුෂයනට උපදී හීනමානය දස් කම්කරු ආදීන්ට උපදනේයි.

දස පරිද්දෙකින් ද මානය උපදවයි. මෙලොවැ කිසිවෙක් ක්‍ෂත්‍රියාදී ජාති හේතුයෙන් හෝ මානය උපදවයි, ගොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ මානය උපදවයි. මෙසේ දසපරිද්දෙකින් මානය වේ. අහංකාරය වූ උන්නති සංඛ්‍යා ධවජයෙකි, පුන පුනා උපදනුයේ අත්‍යුද්ගතාර්‍තථයෙන් කෙහෙලියෙකි. රහත් මඟින් නෑසිය යුතු අකුශල චෛතසිකයෙකි. (විස්තර සඳහා විභඞගප්පකරණ ඛුද්දකවත්ථුවිභඞග මහානිදෙදස පාළි දුට්ඨ මඨක සුත්ත නිද්දෙස ද බලන්න.)

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මානය&oldid=5673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි