අශ්වඝෝෂ

සිංහල විශ්වකෝෂය වෙතින්
10:47, 3 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බුද්ධ චරිතය, සෞන්දරනන්ද කාව්‍යය ආදි සුප්‍රකට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුද්ධ චරිතය, සෞන්දරනන්ද කාව්‍යය ආදි සුප්‍රකට සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ රචනා කළ මහාකවි අශ්වඝෝෂයෝ කනිෂ්ක I අධිරාජයාගේ රාජසභාව හෙබ වූ පඬිවරයාණ කෙනෙක් වූහ. ක්‍රිස්තු වර්ෂයෙන් 78 දී හෝ 128 දී හෝ මෙදෑතුරැ කිසියම් වර්ෂයෙක දී හෝ කනිෂ්ක අධිරාජයාගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදු වන්නට ඇතැයි සලකනු ලබන හෙයින් පළමුවන සියවසේ අවසාන භාගයේ හෝ දෙවන සියවසේ මුල් භාගයේ හෝ අශ්වඝෝෂයන් ජීවත් වූ බව සිතිය යුතු වෙයි. කනිෂ්ක අධිරාජයා ඔවුන් පාටලිපුත්‍ර නගරයේ සිට ස්වකීය රාජධානිය වූ ගන්ධාරයට ගෙන්වා ගත් බව චීන වෘත්තාන්ත වලින් කියැවේ. රජුගේ ධර්මාචාර්ය තන්හි වැජැඹුණු අශ්වඝෝෂයනට උත්තර භාරතයෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේ අතුරෙහි උච්චස්ථානයෙක් ලැබිණ.

අශ්වඝෝෂයෝ ස්වර්ණාක්ෂී නම් බමුණකුගේ පුත්‍රයෝ යැයි ද සාකේතපුර වැසි කෙනෙකැයි ද බුද්ධ චරිත, සෞන්දරනන්දකාව්‍ය, ශාරද්වතීපුත්‍ර ප්‍රකරණ යන කෘතීන්හි අවසනැ දක්නා ලැබේ. එහෙත් ඔවුන්ගේ දෙමාපියනුත් උත්පත්තිස්ථානයත් පිළිබඳව ටිබැට් හා චීන වාර්තාවල සඳහන් වන තොරතුරු විවිධ වෙයි. බ්‍රාහ්මණ පරිසරයත් වේද වේදාංගත් පිළිබඳව මහත් පරිචිතියක් ඔවුනට තුබුණු බව ඔවුන්ගේ කෘතීන්ගෙන් මොනොවට පැහැදිලි වෙයි. ව්‍යක්ත කථික වූ අශ්වඝෝෂයෝ පාර්ශ්ව මහ තෙරුන්ගේ ශිෂ්‍ය පූර්ණයශස් තෙරුන් හා ධර්මසංවාදයට බැස ඔවුන්ගේ ධර්මකථායෙහි පැහැද පාර්ශ්ව මහතෙරුන් වෙත පැවිදිව උන්වහන්සේ වෙත්හි ම ධර්මවිනය දෙක්හි පුහුණුව ලත්හ. ඔවුන් සර්වාස්තිවාද සම්ප්‍රදායයේ බාහුශ්‍රැතික (පා. බාහුලික) නිකායට හෝ එයට පසුබිම් වූ කෞරුකුල්‍ය (පා. ගොකුලික) නිකායට හෝ අයත් වූ බව විචාරකයන්ගේ පිළිගැනීමයි.

අශ්වඝෝෂ නමින් තවත් බෞද්ධ පඬිවරු කිහිප දෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් ක්‍රි.පූ. 370–300 ඇතුළත වුසූ එක් අශ්වඝෝෂ කෙනකුන් මහායාන සූත්‍රාලංකාරාදිය රචනා කළ බවත් ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි හෝ තෙවැනි සියවසෙහි වුසූ බෝධිසත්ව අශ්වඝෝෂයන් මහායාන ශ්‍රද්ධෝත්පාද සූත්‍රය කළ බවත් සලකනු ලැබේ. මේ දෙදෙනාත් මහාකවි අශ්වඝෝෂයෝත් එක් ම කෙනෙකැ යන වැරැදි නිගමනයෙහි පිහිටි ඇතැම් වියත්හු මහායාන සූත්‍රාලංකාර මහායාන ශ්‍රද්ධෝත්පාද සූත්‍රාදියත් බුද්ධචරිත සෞන්දරනන්ද කාව්‍යාදියත් ඒකකර්තෘක කොට දක්වති. එහෙත් බුද්ධචරිත සෞන්දරනන්දකාව්‍යාදියෙහි විශේෂ මහායාන මත කිසිවක් දක්නට නැති හෙයිනුත් ථෙරවාද සම්ප්‍රදායයට නොහොත් සර්වාස්තිවාදයට විරල නොගැළපෙන තැන් මේ කෘතීන්හි විරල හෙයිනුත් ඒ නිගමනය සාවද්‍ය බව පැහැදිලිය. ශතපඤ්චාශත්ක (අද්ධ්‍යර්ධශතක) මහාරාජකනික ලේඛ ආදිය කළ මාතෘ චේටයෝත් මහාකවි අශ්වඝෝෂයෝත් එක්ම කෙනෙකැයි තවත් සමහරු සලකති. එහෙත් මාතෘචේටයන් ආර්යදේව තෙරුන්ගේ ශිෂ්‍යයාණ කෙනකුන් බව පළ හෙයින් ඔවුනුත් අශ්වඝෝෂයනුත් දෙදෙනකුන් බවට සැකයෙක් නැත.

වේදබ්‍රාහ්මණ උපනිෂද් විෂයයෙහිත් සාංඛයෝග ආදි දර්ශන විෂයයෙහිත් අශ්වඝෝෂයන්ගේ දැනුම පෘථුලය.රාමායණ මහාභාරත ආදි මහාකාව්‍ය ඔවුනට හුරුපුරුදුය. ඔවුන් කාමශාස්ත්‍රීය ග්‍රන්ථ ද හදාළ කෙනකුන් බව නන්ද තෙරුන්ගේ සිත සුන්දරිය කෙරෙන් බැහැරැ ලීම පිළිබඳව කළ වර්ණනයෙන් පැහැදිලි වෙයි. කවිසමයෙහිත් සකු වියරණ රාජධර්ම ආදී ශාස්ත්‍රාන්තරයන්හිත් අශ්වඝෝෂයන් එක සේ ප්‍රවීණ වූ බවට ඔවුන්ගේ කෘතීහු ම සාධක වෙත්.

අශ්වඝෝෂයෝ අනුපම කවිත්වයෙකින් යුක්ත වූවෝය. එහෙයින්ම ඔහු කාලිදාසාදීන් විසිනුදු ආදෘත වූහ (කාලිදාසයන්ගේ කුමාර සම්භවයේ vii,59–69 ශ්ලෝක බුද්ධ චරිතයේ iii, 13–24 ශ්ලෝක හා සමඟ සසඳා බලන්න.). බුද්ධචරිතය, සෞන්දර නන්දකාව්‍යය, ශාරද්වතීපුත්‍රප්‍රකරණය, වජ්‍රසූචිය හා ගණ්ඩීස්තෝත්‍රය ඔවුන්ගේ කෘතීන් වශයෙන් සලකනු ලැබේ. රාෂ්ට්‍රපාල (රට්ඨපාල) ස්ථවිර චරිතය ඇසුරු කළ රාෂ්ට්‍රපාලනාටකය ද ඔවුන්ගේ කෘතියක් විය හැකිය.

අශ්වඝෝෂයන්ගේ බුද්ධචරිත කාව්‍යය සර්වඥ ධාතු බෙදීම තෙක් සම්පූර්ණ බුදුසිරිත ම ඇතුළත් සර්ග 28කින් යුත් මහා කාව්‍යයක් වූ බව එහි චීන පරිවර්තනයෙන් (ක්‍රි.ව.414−421) පෙනී යයි. එහෙත් දැනට සොයා ගෙන ඇත්තේ ඉන් මුල් සර්ග 13ත් 14 වන සර්ගයේ කොටසකුත් පමණෙකි. 1830 දී අමෘතානන්ද නමැති නේපාල ජාතික පඬිවරයෙක් 14 වන සර්ගයේ ඉතිරි කොටසත් තවත් සර්ග 3 කුත් රචනා කොට අශ්වඝෝෂයන් ගේ කෘතියට බහා ලා බුද්ධචරිත කාව්‍යය සර්ග 17කින් සමන්විත කොට නිම කෙළේය. කීත්, වින්ට' නිට්ස්, හුල්ටිෂ් ආදි ඇතැම් විචාරකයෝ බුද්ධචරිතය සෞන්දරනදකාව්‍යයට පසුව කරන ලදැයි සිතති. එහෙත් අශ්වඝෝෂයන්ගේ කවිත්වය පරිණතව කුසුමිතව සිටියේ සෞන්දරනන්දකාව්‍යයේ එන වැනුම්හිය. එබැවින් බුද්ධචරිතය ඔවුන්ගේ ප්‍රථම කෘතිය වශයෙන් සැලැකීම සුදුසු සේ පෙනේ.

සර්ග අටළොසෙකින් පිරිපුන් සෞන්දරනන්ද කාව්‍යය අශ්වඝෝෂයන්ගේ විශිෂ්ටතම කෘතියයි.සංස්කෘත කාව්‍යයන් අතර එය ප්‍රශස්ත රචනාවෙකි; අනුපම කෘතියෙකි. එහි රචනා විලාසය හා වර්ණනා මාර්ගය රමණීයය, හෘදයංගමය. කාව්‍යයක් වශයෙන් එයට බුද්ධචරිතය පසුබා සිටී. සුන්දරිය හා සමඟ පස්කම්සුව විඳිමින් කෙළිදෙළෙන් කල් යැවූ නන්ද කුමාරයා පැවිදි කිරීමේ පුවත සෞන්දර නන්දකාව්‍යයෙහි වර්ණිත කථාවස්තුවයි. දෙවඟනන් පෙන්වා බුදුරජුන් නන්ද තෙරුන්ගේ සිත සුන්දරියගෙන් බැහැර කැරැවූ සැටිත් අනුක්‍රමයෙන් ඔවුන් ගිහිසුවෙහි ද දෙවෙහි ද ඇලුම් හැර රහත් වූ සැටිත් එහි චමත්කාර ලෙස විස්තර වෙයි. එහි මුල් භාගය බුද්ධචරිතයේ ම පුනඃසංස්කරණයක් වැන්න. ඇතැම් කෙනකුන් සෞන්දර නන්දකාව්‍යය මහායාන කාව්‍යයෙකැයි සිතතත් එය අනුපම කෘතියෙකි එසේ නොවන බව පොත සංසන්දනාත්මකව හදාළ විට වැටැහෙයි.

ශාරද්වතී පුත්‍රප්‍රකරණය වූ කලි ප්‍රකරණ නමැති දෘශ්‍ය කාව්‍ය ගණයට අයත් අංක නවයෙකින් යුත් කෘතියෙකි. එය මධ්‍ය ආසියාවේ තිබී දිරාපත්ව ගිය පිටපතක් වශයෙන් මෑතක දී සොයා ගන්නා ලදි. කෝලිත-උපතිස්ස හෙවත් සැරියුත් - මුගලන් දෙදෙනා බුදු රජුන් වෙත යෑමේ පුවත එහි ආශ්‍රයයි. එය නාට්‍යශාස්ත්‍රාගත සියලු රීති වලට අනුකූල ලෙස රචිතය. එහි බුදුරජුන් සංකේත වශයෙන් ආලෝක පුඤ්ඡයෙකින් දක්වා ප්‍රඥා කීර්ති වීර්ය යන නාමධර්ම රූපකත්වයෙන් නිරූපණය කොට ඇත්තේය. මගධවතී කෞමුදගන්ධා නායක ආදීහු එහි දක්නා ඇතැම් පාත්‍රයෝයි. විදුෂකයා ප්‍රාකෘත භාෂායෙන් ද සෙස්සෝ සංස්කෘත භාෂායෙන් ද කතා කෙරෙති. ප්‍රකරණාවසානයෙහි දාර්ශනික සංවාදයෙක් වෙයි. එහි ලා ආත්ම වාදය ඛණ්ඩනය කෙරෙමින් බුදුදහමෙහි අගයත් සසරෙහි ආදීනවත් මැනැවින් ප්‍රකාශ කරනු ලැබෙයි.

භාරතයෙහි නාටක රචනය අශ්වඝෝෂයන් දවස ද බොහෝ දියුණුව පැවැති බව ශාරද්වතී පුත්‍රප්‍රකරණයෙන් පැහැදිලි වන්නේය.

බුද්ධචරිතයෙන් හා සෞන්දරනන්දකාව්‍යයෙන් උපුටා ගත් ශ්ලෝක සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල ද දක්නා ලැබේ. දොළොස්වන සියවසට අයත් මහාරූපසිද්ධි සන්නයෙහි දක්නා ලැබෙන බුද්ධචරිතයේ i, 15 ශ්ලෝකයත් දහතුන්වන සියවසට අයත් විශුද්ධිමාර්ග සන්නයෙහි දක්නා ලැබෙන සෞන්දරනදකාව්‍යයේ xvi, 38 ශ්ලෝකයත් දහහත්වන සියවසට අයත් කාරකපුෂ්පමඤ්ජරී ව්‍යාඛ්‍යායෙහි දක්නා ලැබෙන සෞන්දරනන්දකාව්‍යයේ i, 28 ශ්ලෝකයත් එයට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වඝෝෂ&oldid=5723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි