අස්න සාහිත්‍යය
සිංහල සාහිත්‍යයෙහි විශේෂ සාහිත්‍යාංගයෙක් 'අස්න' යන නමින් හඳුන්වනු ලැබේ. ආගම, ආඥා, සන්දේශ, අනුශාසන යන අර්ථයන්හි වැටෙන 'සාසන' (සං. ශාසන) ශබ්දය ප්‍රභව කොට ඇති 'සසුන' හෝ 'සස්න' යනු 'හස්න' හෝ 'අස්න'යී සිංහලයෙහි යෙදෙයි. එය වහරෙහි බෙහෙවින් ම එනුයේ සන්දේශය හෝ අනුශාසනාව යන අරුතෙහි වේ.
සන්දේශ සංඛ්‍යාත සාසනය (අස්න) මුඛසාසන පණ්ණසාසන යයි දෙවැදෑරුම් වෙයි (විමති විනෝදනී). එහි ගුණ සම්පන්න වූ දූතයකු මෙහෙයා යවන සන්දේශය (අස්න හෙවත් පණිවුඩය) මුඛසාසන යයි. ලේඛන ද්වාරයෙන් යම් කවර ලෙසකින් හෝ යවන සන්දේශය පණ්ණසාසන නම් වේ. මෙකී දෙවැදෑරුම් සාසනයන් අතුරෙහි මුඛසාසනය සිංහල දූතකාව්‍යයන්හි එමට දක්නට ලැබෙයි. මියුරු අස්න, තිසර අස්න, සැළලිහිණි අස්න ආදී විසින් දූත කාව්‍යයනට ද අස්න යන ව්‍යවහාරය ඇත ද ඒ සියල්ල සන්දේශ සාහිත්‍යාගයෙහි ඇතුළු වූයේ අස්න සාහිත්‍ය ගණයට නොවැටෙයි.
අස්න යන නමින් හැඳින්වෙන නිබන්ධ වැඩි සංඛ්‍යාවක් නැත ද එහි ආසය, රචනා ක්‍රමය ආදිය සැලැකීමෙන් වෙන ම සාහිත්‍යාංගයක ලා ගිණිය යුතු විය. ඔහු නම් විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න, දඹදෙණි අස්න, මහා අස්න, කුවේණි අස්න, සිහබා අස්න යනාදි නිබන්ධයෝයි. අස්න නිබන්ධයන්ගේ ආරම්භය පිළිබඳව මතභේද පවතී. මුලින් සඳහන් කළ විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න යන තුන සිංහල බෞද්ධයන්ගේ මහාපුණ්‍යෝත්සවයක් ලෙස සලකනු ලබන සතියේ බණ පිරිත් පින්කම හා සම්බන්ධව පවත්නේය.
විහාර අස්න නම් ලක්දිව පිහිටි පුරාණ විහාර දේවාලයන්ගේ නාමලේඛනයක් වශයෙන් දැක්වෙන 'නම් පොත' (බ.) අවසානයෙහි "මහා සංඝයාවහන්සේ සඟවැ වදාළ මෙහෙවර සංඝාණත්තිය නූගුළුවා ඉයැ යුතු" යනුයෙන් ඒ ඒ විහාර දේවාලයන්හි අධිගෘහිතවැ වෙසෙන දෙවියනට පූජාව මහාසංඝයාවහන්සේගේ සන්දේශයක් (අස්නක්) ප්‍රකාශ කිරීමය.
සංඝයාවහන්සේගේ සන්දේශය කැටි කොට ලියූ දේවාල තල්පත නම් වූ අස්න (පණ්ණසාසනය) ගෙන ගිය දූතයා ස්වකීය කාර්‍යය ඉටු කළ සේ හඟවමින් මහා සංඝයා වහන්සේ ඉදිරියෙහි පිළිඅස්නක් ප්‍රකාශ කිරීමේ ස්වරූපයෙන් කරන ලද නිබන්ධය දොරකඩ අස්න නම් වෙයි. මේ අස්න දෙක ම සන්දේශයක ලක්ෂණයෙන් සිටියේය.
අනුශාසනා අස්න නිබන්ධිත වුයේ දෙවියනට පුණ්‍යානුමෝදනා කොට එපින් අනුමෝදනා වූ දෙවියන් විසින් මිනිසුන්ගේ “සකලෛශ්ව්‍යාභි වෘද්ධිවර්ධනය කටයුතු” යයි අනුශාසනා කිරීමක් වශයෙනි. එහෙයින් අනුශාසනා අස්න යන නාමය එයට අන්වර්ථ කොට ම තබන ලද බව පෙනේ.
සංස්කෘත ශබ්ද බහුල කොට ඇති මිශ්‍රසිංහලයෙන් රචිත වූ දොරකඩ අස්න හා අනුශාසනා අස්න යන දෙක මහනුවර කාලයෙහි කෘතීන් ලෙස ඇතැමෙක් සලකති. විහාර අස්නෙහි පුෂ්පාරාම උපෝසථාගාරය සඳහන් වීම ද අනික් දෙඅස්නෙහි 'පරංගි', 'ඕලන්ද' වැනි ශබ්ද ඇතුළු වීම ද මේ නිගමනයට හේතු විය හැකිය. එහෙත් මහනුවර යුගයෙහි රචනාවකට වඩා බෙහෙවින් ව්‍යක්ත වූ දොරකඩ අස්න හා අනුශාසනා අස්න පැරැණි යුගයකට අයත් යයි සිතීම වඩා යෝග්‍ය බව පෙනේ. පරංගි ලන්දේසි ආදි වචන පසුව එක් වන්නට ඇත.
"ලංකාවාසී වූ ශ්‍රද්ධාබුද්ධිසම්පන්න රාජරාජ මහාමාත්‍යාදී සියලු ජනයන් විසින් මේ අස්න භක්ති ප්‍රේම චිත්තයෙන් ඇසිය යුතු" යනුයෙන් ආරම්භ කරන දඹදෙණි අස්න මුද්‍රිත පිටු නවයක් පමණ වූ නිබන්ධයෙකි. එය "මේ ශ්‍රී ලංකා ද්වීපයෙහි රාජ්‍යශ්‍රියට පැමිණෙන්නාවූ ශ්‍රද්සම්පන්න උත්තම රජදරුවන් විසින් තුනුරුවන් නමැති රත්නසම්භාරයෙන් සම්පූර්ණ වූ මේ ලංකා නමැති භාණ්ඩාගාරය රක්ෂා කොට රාජනීති ලෝකනීති නොවරදවා දශ අකුශලින් දුරුව දශ කුශලකර්මපථාදියට පැමිණ මතු ස්වර්ගමෝක්ෂ සම්පත් සාධා ගතයුත්තේයි" යන අනුශාසනයෙන් අවසන් වෙයි. දඹදෙණිපුරවර්ණනාව හා පණ්ඩිත පරාක්‍රමබාහු රජු ද්‍රවිඩ කේරළ සෙන් පරදවා ජය ගැනීම, ජාවක සෙනඟ සමඟ කළ සටන දක්වා ලක්දිව එක්සත් කළ සැටි ආදිය විස්තර කොට, එරජු විසින් කරන ලද උදාර වූ දළදාපෙරහර දළදාපූජාව හා දළදා හිමියන්ගේ ප්‍රාතිහාර්යය ද දඹදෙණි අස්න රචනා කිරීමේ නිමිත්ත ලෙස පැනෙනුයේත් මේ දළදා විස්තර කොට එබඳු පින්කම්හි අනාගත ජනතාව යොදවාලීමය. මෙය දඹදෙණි පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි දළදා ප්‍රාතිහාර්යය දුටුවකු විසින් ම ලියන ලද්දක් සේ පෙනේ. "ඒ ප්‍රාතිහාර්යය දුටු සූර්ය දිව්‍යපුත්‍රයා ද යන ගමන් නොගොස් සාධුකාර පූජා කළහයි හඟිම්, බොහෝ සත්වයෝ සෝවාන් ඵලයෙහි පිහිටියාහු යයි ද දතයුතු" යන වාක්‍යය ප්‍රාතිහාර්‍ය්‍ය දිනයෙහි ලියූ වාර්තාවක ස්වරූපය ගනී. තව ද අස්න කෙළවර කිරීමෙන් පසුව දක්වා ඇති "නම්බඹර කාලිංග විජයබාහු පුත් ශ්‍රී පණ්ඩිත පරාක්‍රමබාහු රජය, ඔහු පුත් යාපව්වේ මහලු භුවනෙකබාහුය, ඔහු පුත් වත්හිමිරජය, ඔහු පුත් පරාක්‍රමබාහු යයි දතයුතු" යන වාක්‍යය බලා කිසිවෙක් කුරුණෑගල සමයෙහි රචනාවකැයි කියති. මුලින් දැක්වූ අස්නට කිසිදු සම්බන්ධයක් නැති මේ වාක්‍යඛණ්ඩය පිටපත් කරන්නකු විසින් පසුව එක්කොටලූ බව සිතිය හැක.
මහ අස්න නමැති නාමමාත්‍රයෙන් අසන්නට ලැබෙන නිබන්ධයෙක් ද වෙයි. ප්‍රචාරයට නොපැමිණි නමුදු අස්න සාහිත්‍යයෙහි ලාගිණිය යුතු රචනාවකි.
කුවේණි අස්න ජයවර්ධනපුර කෝට්ටේ රජ පැමිණි ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණන්ට ආශීර්වාද සඳහා කරන ලද නිබන්ධයෙකි. "ස්වස්තිවර" යනුයෙන් ආරම්භ කළ වාක්‍යය මුද්‍රිත පිටු දසයකුදු ඉක්මැ යන සේ ලියා "ශ්‍රී පරාක්‍රමබාහු මහ රජාණන් කෙරෙහි... අභිවෘද්ධි වර්ධනය කර... ඇමැති දන සමග සසිරිබර මෙසිරිලක රකිත්වා"යි එක ම වාක්‍යයෙක සම්බන්ධ කොට ඇත. වාක්‍යය මුළුමනින් ම පාහේ අනුප්‍රාසයෙන් යුක්ත වූ වෘත්තගන්ධියෙකි.
"මඳහසින් නුවනඟින් බලා කපු කටින්නිය රුසිරු ලොව වටින්නිය කුවේණිය යකින්නිය ළඟට ගොස් දකින්නිය", "සුසුම් ලා යකින්නී නෙත් කඳුළු ඉසින්නී මෙලෙස සිට කියන්නී" යනාදි වාක්‍ය ඛණ්ඩ කුවේණි අස්නෙහි දැක්ක හැකිය. විජය රජු ලක්දිවට ගොඩබැස භාග්‍යත්වයෙහි තබා ගෙන සිටි කුවේණිය පිළිබඳ පුවත නිබන්ධයෙහි වැඩි තැනෙක පැතිර සිටියෙන් මෙය කුවේණි අස්න නම් විය. කෝට්ටේ රාජ්‍ය සමයෙහි රචනා කරන ලද්දෙක යන්නෙහි සැකයෙක් නැති.
සිහබා අස්න සිංහල රාජ වංශයෙහි අන්තිම නරවරයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජාණන් සඳහා ලියන ලද්දෙකි. කුවේණි අස්නට වඩා මඳක් විශාල වූ මේ නිබන්ධය ද ලියන ලදුයේ කුවේණි අස්නෙහි මුහුණුවරිනි. මෙහි කථා ශරීරයෙන් වැඩි කොටස දඹදිව සිංහබාහු රජුගේ ප්‍රවෘත්ති කථනය සඳහා ගෙවී ගියෙන් මෙය සිහබා අස්න යයි නම් කළ සේ පෙනේ. සිහබා අස්න අවසන් වනුයේ "... ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් රජතුමාණන් කෙරෙහි... සර්ව උපද්‍රව මිතුරු දුටු අඳුරු මෙන් ක්‍රෑරතර ශත්‍රැසඤෝහ විධ්වංසනය කරවමින් යසස් තෙද උසස් කර ශතාධික වර්ෂයක් දිගාසව්සිරි දෙවා දිවාකර කුලගපත් මෙඅප හිමිතුමන් සහ මෙයින් පසු මෙලක්දිව සැපත් වන රජුන්ටත් අසිරිමත් සසිරි සැප සලස්වා නොයෙක් වික්මෙන් දිමුත් නුමුත් මැතිඳුන් සමඟ මෙලක වැසි දනන් හැම මෙපස්වා දහස්කල් රකිත්වා රකිත්වා" යනුවෙනි.
විවිධ ශබ්දාලංකාරයන්ගෙන් අනූන ලෙස සංස්කෘත තත්සම ශබ්දයන්ගෙන් ද බහුල කොට බෙහෙවින් ම වෘත්තගන්ධි විලාසයෙන් විරචිත "අස්න" නිබන්ධන බලි තොවිල් යාදිනි ආදිය කෙරෙහි පවා බල පා ඇති බැව් කිවයුතු වේ. මේ සම්බන්ධයෙන් මහසොහොන් අස්න, කළුකුමාර අස්න, තොටකඩවර අස්න ආදිය සැලැකිල්ලට භාජන වුවමනායි. "අස්න" රචනාවන්ගේ අවසානයෙහි එන ආසිංසන පාඨය දක්නා ඇතැම් අය ආසිංසනාර්ථය ම මුල්කොටගෙන අසුන් රචනා එනම් වී යයි කියත්.
මහසොහොන්, කළුකුමාර, තොටකඩවර ආදි යකුන් මිනිසුන්හට උවදුරු පමුණුවතැයි භූත විද්‍යාඥයෝ පවසත්. එය අදහන මිනිස්සු ද භූතවිද්‍යාඥයන් ලවා එබඳු ලෙඩ රෝග මුදවා ගන්නට පෙලඹී සිටිති. ඔවුන්ගේ ඉල්ලීම පරිදි ශාන්ති කර්ම කරන ඇදුරන් දොළ පිදේනි දී යකා සතුටු කර ආතුරයා මුදාලන්නැයි ඉල්ලා සිටීමේ දී සමහර විට අස්නක් කියනු ඇසේ. ඉන් ඒ යකු පෙර දමනය කළ සැටි මතක් කර දෙනු ලැබේ. යකුන් උදෙසා කළ අස්න නිසා දෝ ඊට 'යාදින්න' යනු ද නමෙකි. මහසොහොන් අස්න කළුකුමාර අස්න, තොටකඩවර අස්න ඒ අස්න ගණයෙහි ලා දැක්විය හැකිය.
(සංස්කරණය: 1965)