ආකාශය-1

සිංහල විශ්වකෝෂය වෙතින්
13:40, 3 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වායුගෝලය වසා ඇති, මුණින් නැමූ පාත්‍රාකාර වැස්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වායුගෝලය වසා ඇති, මුණින් නැමූ පාත්‍රාකාර වැස්මක් සේ පෙනෙනුයේ ආකාශයයි. වලාකුළුවලින් තොර ආකාශය නිල්පාටය. එහෙත් වලාකුළු නැති දිනවල පවා ආකාශයේ මේ නිල්පාට වෙනස්වනසුලුය. ආකාශයේ මුදුන් දිශාවේ නිල්පාට සාමාන්‍යයෙන් වඩා තදය. ආකාශය නිල්පාට වීමට හේතුව නම් ඉරුඑළිය වායුගෝලයට ඇතුළු වන විට වායු අණු කරණකොටගෙන ආලෝකය ප්‍රකිරණය වීමයි.

කුඩා අංශුවක් මත වැටෙන ආලෝකය උත්ක්‍රම කරනු ලැබ සෑම දිශාවකටම විහිදී යයි. ඊට ප්‍රකිරණය යයි කියනු ලැබේ. සුදු ආලෝකය වර්ණවත් ආලෝක හතකින් සෑදී ඇත (වර්ණාවලිය බ.) මේවායින් රතු ආලෝකයට වඩා පහසුවෙන් නිල් ආලෝකය ප්‍රකිරණය වෙයි. ආලෝක ප්‍රකිරණය සිදු වීමට අංශුවල විෂ්කම්භය ආලෝක තරංගයන්ගේ ආයාමයත් සමඟ සසඳා බැලූ කල කුඩාව තිබිය යුතුය.

පිරිසිදු ජලයට කිරි බින්දු ස්වල්පයක් එකතු කිරීමෙන්, පෙනෙන ආලෝකයේ මාධ්‍ය තරංග ආයාමයට සමාන කළ හැකි විෂ්කම්භයකින් යුක්ත, අංශු අවලම්බිත අවලම්බනයක් සාදා ගත හැකිය. මේ අවලම්බනය අඩංගු ටැන්කියක් හරහා සුදු ආලෝක කදම්බයක් ගමන් කරවුවහොත් ආලෝක කදම්බයේ ගමන් මාර්ගයට ඍජු කෝණාකාර දිශාවෙන් පෙනෙන ආලෝකයේ පැහැදිලි නිල් පැහැයක් ඇති බැව් පෙනේ. මේ නිල් පැහැය ලැබෙන්නේ සුදු ආලෝකය ප්‍රකිරණය වීමෙනි.

කිරි අවලම්බනය වෙනුවට හයිඩ්‍රොක්ලෝරික් අම්ල ඝන සෙන්ටිමීටර් ස්වල්පයක් එකතු කරනු ලැබූ දුර්වල සෝඩියම් හයිපොසල්ෆයිට් ද්‍රාවණයක් පාවිච්චි කිරීමෙන් මේ සරල පරීක්ෂණය වෙනස් කළ හැකිය. මෙසේ සල්ෆර් (ගෙන්දගම්) අංශු අවක්ෂේපයක් ද ලබා ගත හැකිය. මේ අවක්ෂේපය හරහා සුදු ආලෝක කදම්බයක් ගමන් කරවුවහොත් අයිනේ පෙනෙන ප්‍රකිරණය වූ නිල්පාට ආලෝකය ඉතා පැහැදිලි වේ. එහෙත් අවක්ෂේපය අධික වෙත් ම සම්ප්‍රේෂණය වූ (transmitted) ආලෝකය රතු මිශ්‍ර කහ වර්ණයක් ගනියි.

ඉරු එළිය පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට ප්‍රකිරණය වීම ආකාශය නිල්පාට වීමට හේතුව නම් මේ පිළිබඳව ප්‍රශ්නයක් හෝ දෙකක් පැනනඟිනු ඇත. ආකාශය දම් පාට නොවී නිල් පාට වන්නේ කවර හෙයින්දැයි පළමුවෙන් ම ඇසිය යුතුය. ඊට මෙසේ පිළිතුරු සැපයිය හැකිය. යම් ස්ථානයක සිටින නිරීක්ෂකයකුට සූර්යයාට ඈතින් පිහිටි නිල් ආකාශයේ කොටසකින් ප්‍රකිරණය වූ ආලෝකය ලැබේ. මේ ප්‍රකිරණය වූ ආලෝකය වායුගෝලයේ කොටසක් හරහා ගමන් කළ යුතුය. මුලින් කොළපාට, නිල්පාට හා දම්පාට අඩංගු මේ ආලෝකය මෙම අවස්ථාවේ දී යළිත් ප්‍රකිරණය වේ. මේ පිළිවෙළට, වැඩිමනත් කෙටි තරංග ආයාම ඉවත් කරනු ලැබේ. අවසාන වශයෙන් නිරීක්ෂකයාගේ ඇසට පැමිණෙන ආලෝකය තද ම නිල්පාටය.

ඇසිය යුතු දෙවැනි ප්‍රශ්නය නම් මෙසේ ආලෝකය ප්‍රකිරණය වේ නම් ප්‍රකිරණය කිරීමට උපකාරී වන අංශු කවරේ ද යන්නයි. වායුගෝලයේ පහළ ස්තරවල ඉතා කුඩා දූලි අංශු තිබෙන බව අපි දනිමු. එහෙත් මුහුදටත් ගොඩබිමටත් උඩින් පෙනෙන්නට තිබෙන ආකාශයේ ඉතා කාන්තිමත් නිල් පැහැය සම්පූර්ණයෙන් ම මේ හේතුවෙන් ඇති වූවක් යයි කිය නොහැකිය. එසේ නම් සුදු ආලෝකයේ ප්‍රකිරණය වායුගෝලයේ තිබෙන වායුවල හෝ ජලවාෂ්පවල අණු කරණ කොටගෙන ඇති වේද? බොහෝ කලක් මේ ප්‍රශ්නය වාද විවාදවලට භාජන විය. වායුවක අණු කරණකොටගෙන ආලෝකය ප්‍රකිරණය විය හැකි බව රේලි (බ.) සාමි විසින් පරීක්ෂණ මගින් හෙළි කරන ලදි. මෑතක දී ඇප්.ඊ. ෆවුල් (Fowle) ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ මවුන්ට් විල්සන්හි කාලගුණ පරීක්ෂණාගාරයට ඉහළින් ඇති වායුගෝලය පරීක්ෂණයට භාජන කෙළේය. මේ පරීක්ෂණවලින් ඔහුට දැනගන්නට ලැබුණේ ආලෝකය ප්‍රකිරණය කිරීමට හේතුවනුයේ එම වායු අණු බවය. ආකාශයේ නිල් පැහැය ඇතිවන පරිදි ආලෝකය ප්‍රකිරණය කිරීමට බොහෝ සෙයින් අණු හේතුවන බව දැන් නිසැකය.

කුඩා අංශු මගින් ආලෝකය ප්‍රකිරණය කිරීම පිළිබඳ සරල මතය ආකාශයේ නිල් පැහැය විස්තර කිරීමට පමණක් නොව සූර්යයා බසින අවස්ථාවේ දී ඇතිවන රතු පැහැය සහ රතු මිශ්‍ර කහ පැහැය විස්තර කිරීමට පොහොනේය. මෙහිදීත් හයිපොසල්ෆයිට් පරීක්ෂණය ඉතා වටිනා නිදසුනකි. හිරු බසින අවස්ථාවේ දී පෙනෙන රතු පැහැය ලබා දීමට වායුගෝලයේ රැඳී පවතින ඉතා කුඩා අංශු බෙහෙවින් උපකාරී වේ. සුමාත්‍රා දූපත අසල මුහුදේ පිහිටා තිබෙන, ජලයෙන් වැසුණු ක්‍රකටෝවා ගිනිකන්ද 1883 දී පිපුරුණාට පසු යුරෝපයේ නොයෙක් ප්‍රදේශවල හිරු බසින විට දක්නට තිබුණු මනහර වර්ණ ඇති වූයේ ගිනිකන්දෙන් පිටවුණු දූලි අංශු විශාල සංඛ්‍යාවක් වායු ගෝලයේ ඉහළ ස්තරවල තිබුණු බැවින් යයි බොහෝ දෙනා සිතූහ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකාශය-1&oldid=5742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි