ආගන්තුක සත්කාරය
(අතිථි සත්කාරය). දුර බැහැරකින් පැමිණ යම්කිසි ගෘහයක හෝ ආවාසයක හෝ ආගන්තුකාගාරයක හෝ විශ්‍රාම ශාලාවක එක් රැයක් හෝ ඊට ස්වල්පයක් වැඩි කලක් නවතින කවරකුට වුව ද ආගන්තුකයා යයි ව්‍යවහාර කරති. සතුටින් පිළිගැනීම, ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ආදි වශයෙන් ඔහුට කරන සත්කාරය ආගන්තුක සත්කාරය නම් වේ. මෙය ඉතා පුරාණ කාලයේ පටන් ලෝකයේ විවිධ රටවල පැවතියේ ශිෂ්ට සමාජ ධර්මයක් මෙන් ම ආගමික චාරිත්‍රයක්ද වශයෙනි. බෞද්ධ : දූරාතීතයෙහි පවා මානව වර්ගයා අතර ආගන්තුක සත්කාරයට පැවති බව උම්මග්ග, කුලාවක, ගාමණීචණ්ඩාදි ජාතක කථාවලින් හෙළි වේ. ගෘහස්ථයන් ඔවුනොවුන්ට කරන ආගන්තුක සත්කාරය, ගෘහස්ථයන් පැවිද්දන්ට කරන ආගන්තුක සත්කාරය, පැවිද්දන් ඔවුනොවුන්ට කරන ආගන්තුක සත්කාරය යයි බෞද්ධයන් අතර පැවති ආගන්තුක සත්කාරය කොටස් තුනකට බෙදිය හැක. ස්වකීය සැමියාගේ ඥාතීන්ට සංග්‍රහ කිරීම යහපත් භාර්යාවකගේ ගුණාංගයකැයි ද ආගන්තුකයන්ට ගරු සත්කාර කිරීම යහපත් රටවැසියාගේ යුතුකම යයි ද දීඝනිකායාදි ග්‍රන්ථවල සඳහන් වන තැන් ගිහියන් ඔවුනොවුන්හට ආගන්තුක සත්කාර කළ බවට නිදසුන් ලෙස දැක්විය හැකිය. බුද්ධාගම පැතිර යාමත් සමඟ භික්ෂූන්ට ඉඳුම්හිටුම් ආහාරපාන ආදිය පිරිනැමීම පුණ්‍යකර්මයක් වශයෙන් සැලැකූ ගිහියෝ උන්වහන්සේලාට අවශ්‍ය ඒ ඒ දේ සම්පාදනය කරදීමෙන් පින් ලබාගත්හ. මෙය ගෘහස්ථයන් භික්ෂූන්ට කරන ආගන්තුක සත්කාර ගණයෙහි ලා ගිණිය හැක. ආවාසයක වසන භික්ෂූන් විසින් ආගන්තුක නවක භික්ෂූන් කෙරෙහි ද උපසම්පදා වෙන් මහලු වූ ආගන්තුක භික්ෂූන් කෙරෙහි ද පැවැත්විය යුතු වත් හා ආගන්තුක භික්ෂූන් විසින් පිළිපැදිය යුතු වත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ව්‍යවස්ථා විනය පිටකයේ ඇතුළත්ය. ආවාසික භික්ෂුව විසින් මහලු ආගන්තුක භික්ෂුවක් පැමිණි කල අසුන් පැනවීම, පා සෝදන ජලය තැබීම, පෙර ගමන් කොට පා සිවුරු පිළිගැනීම, පැන් පවස් පිළිවිසීම, ආගන්තුක හික්ෂුව වැඩිමහලු නම් උන්වහන්සේ වැඳීම, නවකයකු නම් වැන්දවීම, ඉදින් ආගන්තුක භික්ෂුව නවකයෙක් වේ නම් තමන් වාඩි වී පාත්‍ර සිවුරු තබන තැන්, වාඩිවන අසුන්, පිවයුතු පරිභෝග කළයුතු ජලය, වහන් පිසින රෙදිකඩ, සෙනසුන් ආදිය පෙන්නාලීම කළමනායි. සිඛවළඳ, සිඛවළඳ විනිස, හෙරණසිඛ විනිස යන ග්රන්ථයන්හි ද ආගන්තුක භික්ෂූන් කෙරෙහි පැවැත්විය යුතු වත්පිළිවෙත් විස්තර වේ. ජාතක අටුවා ගැටපදයෙහි ආගන් තුකසංගහං පාදධොවන තෙලමක්ඛන පානීයපුච්ඡන (ආගන්තුක සංග්‍රහය යනු පාදෙවීම, තෙල් ගෑම, බොනදයක් විමසීම) ඈ අමුතුවත් අමුතු සඟරා '" යයි දැක්වේ. ඒවා භික්ෂූන් ඔවුනොවුන්ට කරන ආගන්තුක සත්කාරයෝයි. බුදුරජාණන්වහන්සේ ද ආගන්තුක සත්කාරය උසස් ලෙස සැලකූ බව බෞද්ධ ග්රන්ථවලින් හෙළි වේ. පළමුවෙන් ජෛන භක්තිකයකුව සිටි සීහ සේනාපතියා ජෛන ප්‍රව්‍රජිතයන්ට (නිගණ්ඨයන්ට) කරගෙන ආ සත්කාර බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසු ද නොකඩවා පැවැත්වීමට ඔහුට බුදුරජාණන් වහන්සේ නියම කිරීම මීට සාධකයකි. වීථි කෞශල්‍ය හා ගෝචර කෞශල්‍ය නොමැති භික්ෂූන්ට යාවජීව ආගන්තුකබත් දීම විශාඛාව බුදුරජාණන්වහන්සේගෙන් අයැද සිටි වර අටෙන් ද එකකි. අජාතශත්‍රැ, ලිච්ඡවි යන රජුන්ගේ රාජ පුරුෂයන් පාටලිපුත්‍ර නගරයට පැමිණ එහි වැසි ගෘහස්ථයන් පලවා හැර මසක් හෝ අඩ මසක් පමණ එහි ගෘහයන්හි කල් යවන සිරිතක් පැවතියේය. එයින් පීඩාවට පත් පාටලිපුත්‍ර වැස්සෝ යථෝක්ත ආගන්තුකයන් සඳහා නගර මධ්‍යයෙහි විශාල ශාලාවක් කරවා එහි ඉසුරුමතුන්ගේ භාණ්ඩ (වස්තු) තැන්පත් කර තබන තැන් හා වාසාගාර ද ආගන්තුක, යාත්‍රික, දරිද්‍ර, යාචක හා රෝගී යන මොවුන්ට වාසස්ථාන ද කරවූහ. පළමුවෙන් බුදුරදුන් ලවා පරිභෝග කරවන ලද මේ ආගන්තුක ශාලාව ආවසථාගාර නමින් හැඳින්වුණු බව උදානට්ඨකථාවෙහි සඳහන් වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි පැවති ආගන්තුක ශාලා වලින් එකක් හැටියට සැලකිය හැක. තමතමන්ගේ ආගම් ගැන පමණක් නොසලකා සියලු ම ආගම්වලට අයත් පූජකයන්ට සංග්‍රහ කළ යුතු බව අශෝකාධිරාජයන්ගේ ශිලා ලිපි කීපයක ද ඒ රජු ආගන්තුකයන්ගේ ප්‍රයෝජනය සඳහා තන්හි තන්හි නිශාගෘහයන් කළ බව තවත් ලිපියක ද සඳහන් වේ. පෙර පටන් ලක්වැසියා ආගන්තුක සත්කාර කිරීම ගැන කීර්තියක් ඉසිලීය. ලක්වැසියන් අනුකම්පා සහිතව ආගන්තුක සත්කාරය කරන බව රොබට් නොක්ස් සඳහන් කරයි. වෙසක් උත්සව දිනයන්හි වන්දනාකරුවන් සඳහා දන්සැල් පැවැත්වීම ද ලක්වැසියන්ගේ ආගන්තුක සත්කාර විශේෂයකි. භික්ෂූන්ගේ හා දුගී, මගී, යාචකාදීන්ගේ ප්‍රයෝජනය සඳහා දානශාලා, ආරෝග්යශලාදිය පැවැත්වීම ද ඇතැම් සිංහල රජුන් දවස සැලකිය හැක. කුඩ්ඩනාග රජු (ක්‍රි. ව. 186–187) කරවූ මහාපාළි නම් බත්ගෙය එම රජුගේ රාජ්‍ය සමයෙහි ද දෙවන උපතිස්ස, අඹ හෙරණ සල මෙවන්, දෙවන අග්බෝ ආදි රජුන් කල ද භික්ෂූන්ගේ හා දුගී මගී යාචකාදීන්ගේ ප්‍රයෝජනය සඳහා පැවැත්වූ බව සැලකිය හැක. පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 – 1186) සිවු දිගින් වඩනා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා ආවාස267 ක් ද ආගන්තුකයන් උදෙසා ආරාම දොළසක් හා ආගන්තුක ශාලා 376 ක් ද කරවා එබඳු ශාලා 55 ක් පිළිසකර කරවූ බව මහාවංසයෙහි සඳහන් වේ. හින්දු: පැරණි ඉන්දියාවේ ද ආගන්තුක සත්කාරය බහුලව පැවැත්තේය. එහි මඟට පිළිපන්නකුට මුදල් හෝ මාර්ගෝපකරණ කිසිවක් නොමැතිව අන්‍යයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරයෙන් ම කැමති තැනකට යා හැකිව තිබිණැයි කියත්. විෂ්ණු, මනු, යාඥවක්යාදි ස්මෘති ග්රන්ථයන්හි ද වසිෂ්ඨාදි ධර්ම සුත්රයන්හි ද බෞද්ධායන, ආපස්තම්බ, අශ්වලායන, පාරස්කර, ගෝභිලාදි ගෘහ්‍ය සූත්‍රයන්හි ද අතිථි සංග්‍රහය හෙවත් ආගන්තුක සත්කාරය පිළිබඳ කරුණු ඇතුළත්ය. අතිථි පූජනය හින්දුවරුන් අතර පවත්නා පඤ්චමහා යඥයන්ගෙන් ද එකකි. අතිථින් පිදීමේ දී ඔව්හු බ්‍රාහ්මණ ක්ෂත්රිය වෛශ්‍ය ශුද්රාදි වංශ හා වේද ඥානය ගැන විශේෂ සැලකිලි දැක්වූහ. වේද දත් බ්‍රාහ්මණයා හැමට ම වඩා ශ්‍රේෂ්ඨ අතිථියා වශයෙන් හින්දුහු සැලකූහ. හින්දුවරුන් අතර පැවති ආගතුක සත්කාරයේ ප්‍රධාන අංග නම්, ඉදිරියට ගමන් කර අතිථියා පිළිගැනීම, ඔහුට පා සේදීමට ජලය දීම, වාඩි වීමට අසුනක් දීම, ඔහු ඉදිරියේ පහනක් දැල්වීම, ආහාර සහ නවාතැන් දීම හා අතිථියාගෙන් පිටත්ව යන විට ඔහු සමඟ ස්වල්ප දුරක් ගොස් හැරී ඊමත්ය. යමකු ළඟ ආගන්තුකයාට දීමට ආහාර නොමැති නම් භූමි, උදක, තෘණ, කල්‍යාණ වචන යන මේවායින් සංග්‍රහ කළ යුතු බව යාඥ වල්කාස්මෘති ආදි ග්‍රන්ථවල දැක්වේ. ප්‍රියයෙක් වේවා අප්‍රියයෙක් වේවා මුඛයෙක් වේවා පණ්ඩිතයෙක් වේවා ගෘහයට සම්ප්‍රාප්ත වූ කල ස්වර්ගය කරා යාමට ඉවහල් වන ඒ අතිථියාට සත්කාර කළ යුතු බව පරාශරස්මෘතියෙහි කියැවේ. තමා සිඳින්නා කෙරෙන් පවා සෙවණ ඉවත් නොකරන්නාවූ රුකක් මෙන් ගෘහයට සම්ප්‍රාප්ත වූ සතුරකුට වුව ද ආගන්තුක සත්කාරය කළයුතු බව මහා භාරතයෙහි සඳහන් වේ. අතිථි සංග්‍රහය හුදෙක් ගෘහස්ථයන් පමණක් නොව වනවාසී තවුසන් ද අගය කොට පැවැත්වූවකි. අසපුව කරා පැමිණෙන ආගන්තුකයන්ට ජලය, වනජ ආහාර වර්ගාදිය හා සුදුසු අවස්ථාවල දී නවාතැන් දීම ද තවුසන් විසින් කළයුතු ආගන්තුක සත්කාර වශයෙන් දැක්වේ. අභිඥාන ශාකුන්තලයෙහි වෛඛා නස තවුසා දුෂ්‍යන්ත රජු අමතා ආශ්රමයෙන් පිටතට ගිය කණ්ව එහි පැමිණෙන තෙක් ආගන්තුක සත්කාර කිරීම ශකුන්තලාවට පවරා ගිය බව සඳහන් කිරීම තවුසන් අතර ද ආගන්තුක සත්කාරය පැවති බවට සාක්ෂ්‍යයකි. අනසූයා ශකුන්තලාවට කථාකොට “ විශේෂ අතිථි ලාභයක් වූ බැවින් අසපුවට ගොස් ඵල සහිත අර්ඝ ගෙන එව එය ම පා දෝවනය වන්නේය " යි කී බවත් ඒ ඇසූ දුෂ්‍යන්ත රජු පින්වතියන් ප්‍රිය වචන තෙපලීමෙන් ම ආගන්තුක සත්කාර කරන ලදැයි කීම ද එහි ම සඳහන් වේ. විශේෂ ආගන්තුකයකු පැමිණි කල ඔහුට සංග්‍රහ කිරීම් වස් ගවදෙනකු මැරීමේ සිරිතක් ද පුරාණ කාලයෙහි පැවති බව ඇතැම් ග්රන්ථවලින් හෙළි වේ. මේ නිසා ආගන්තුකයා ගෝඝන යන අපර නාමයකින් ද හැඳින්විණ. ආරෝග්‍යශාලා තැනීම ද ආගන්තුක සත්කාරයේ ම අංගයක් වශයෙන් සැලකිය හැක. ක්‍රිස්තියානි : ක්‍රිස්තු භක්තිකයන් අතර ද ආගන්තුක සත්කාරය ඉතා පුරාණ කාලයේ පටන් පැවති බව ශුද්ධ වූ බයිබලයෙන් හා ක්‍රිස්තියානි පූජකාදීන් පිළිබඳ ලියකියවිලිවලින් ද හෙළි වේ. ආගන්තුකයා සාදරයෙන් පිළිගැනීම, ඔහුට පා සේදීමට ජලය දීම, වීඩා සංහිඳුවා ගැනීමට හා රාත්‍රිය ගත කිරීමට අයැදීම, ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම, ඇතැම් විට සතකු මරා මස් සමඟ පාන්, වෙඬරු, කිරි, මුද්‍රිකපානය ආදියෙන් උසස් ලෙස සංග්‍රහ කිරීම, ආගන්තුකයාට අයිති, ඔහු ගෙන ආ ඔටු, කොටළු ආදි සතුන්ට ආහාරපාන හා ලැගුම්හල් පිළියෙල කරදීම ආදිය ඔවුන්ගේ ආගන්තුක සත්කාරයෙහි ප්‍රධාන අංග විය. විඩාවට පත් වූ මගීන්ගේ හා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ගිමන්හල් හා ආරෝග්‍යශාලා තැනීමේ සිරිතක් ක්‍රිස්තුභක්තිකයන් අතර ද විය. ආගන්තුක සත්කාරය උසස් කොට සැලකූ බටහිර දේශවාසීහු ආරෝග්‍යශාලා හා ආගන්තුක ශාලා කරවා ඒවා සාමාන්‍යයෙන් බිෂොප්වරයකු භාරයේ තැබූහ. ආගන්තුක සත්කාරය බිෂොප්වරුන්ට නියමිත ප්‍රධාන සුචරිත ධර්මයන්ගෙන් ද එකකි. බිෂොප්වරයා ආගන්තුක සත්කාරයෙහි නිරත විය යුතු යයි ශුද්ධ වූ පාවුලුතුමා කියයි. මේ සම්බන්ධයෙන් අවවාදයක් කරන ක්රිසොස්ටොම්තුමා බිෂොප්වරුන්ගේ මන්දිර ආගන්තුකයන් හා සත්‍යය නිසා පීඩාවට පත් වන්නවුන් සඳහා විවෘතව තිබිය යුතු බවත් ඔවුන්ගේ කෑම මේස දුගීන්ට සේවය සඳහා යෙදිය යුතු බවත් එසේ කිරීමෙන් ඔවුන් සැබවින් ම වෙස්වළා ගත් ක්‍රිස්තුස්වහන්සේට සත්කාර කරන බවත් කියයි. ස්වකීය ගෘහයෙහි ම ආරෝග්‍යශාලාවක් ආරම්භ කළ ශුද්ධ වූ අගොස්තීනුතුමා නොයෙක් විට ආගන්තුකයන් සමඟ එක ම මේසයේ ආහාර අනුභව කළේය. එතුමාගේ මේ ආදර්ශය ගරු කොට සැලකූ සමිති සමාගම් ඒ සඳහා ගොඩනැඟිලි තනා ආගන්තුක සත්කාරය පිළිබඳ කටයුතු බිෂොප්වරුන්ට භාර කළ බව සඳහන් වෙයි. දේවස්ථානයකින් ලබා ගත් ලිපියක් රැගෙන යන ක්‍රිස්තු භක්තිකයකුට ආහාරපානාදිය හෝ නවාතැන් පිළිබඳව අවහිරයක් නොමැතිව රෝම රාජ්‍යයේ එක් කෙළවරක සිට අනික් කෙළවරට යා හැකිව තිබුණේය. ක්‍රිස්තියානි දේවස්ථානයක් තිබුණ හැම තැනක දී ම ඔහුට අවශ්‍ය ආහාරපාන ඖෂධ හා රක්ෂාවරණාදිය ලැබිණ. ක්‍රිස්තුභක්තිකයන් දිළිඳු හැම මගියකුට ම පාහේ ආගන්තුක සත්කාර කළ බව සඳහන් වේ. අයර්ලන්තය ඉතා පුරාණ කාලයේ පටන් ඒ පිළිබඳ කීර්තියක් ඉසිලූ රටකි. රජකු හෝ ප්රධානයකු විසින් ආගන්තුකයා පිළිගෙන ඔහුගෙන් කිසිවක් නොවිචාරා සංග්‍රහ කළයුතු යයි ද එය ඉටු නොකිරීම වැසියාගේ උදහසට හා දඬුවම් පැමිණවීමට සුදුසු වරදකැයි අයර්ලන්තයේ පැරණි නීති සංග්‍රහයේ සඳහන් කොට තිබිණ. මධ්‍යකාලීන ආගන්තුක ශාලා හේතුකොටගෙන මං පහරන්නන්ගෙන් ද හිම, පිනි ආදියෙන් ද මගීන් ආරක්ෂා වීම් වශයෙන් වටිනා සේවයක් ඉටුවිය. ස්විට්සර්ලන්තය, ප්රංසය, ඉතාලිය ආදී රටවල ආගන්තුක සත්කාරය සඳහා යෙදවූ මිනිසුන් හා ඔවුන්ගේ සුනඛයන් ද පිහිට කොට ගෙන, හිමපතනය වූ අවස්ථාවල දී දහස් ගණන් ජීවිත බේරා ගැනීමට හැකි වීමෙන් මගීන්ට මහත් සෙතක් සැලසුණේය. සැල්වේෂන් හමුදාව මගින් ද මේ පිළිබඳ අගනා සේවයක් සිදු වෙයි. ඉස්ලාම් : ආගන්තුකයා සතුටින් පිළිගෙන ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ආගන්තුක සත්කාරය වශයෙන් කුරාන් පොතේ සඳහන් වේ. එහි ම අන් තැනක දුර්භික්ෂ දිනක කුසගිනි සහිත දිළින්දකුට හෝ ඥාති සම්බන්ධය ඇති අනාථ දරුවකුට හෝ ආහාරපානාදියෙන් කරන සංග්‍රහය ආගන්තුක සත්කාරය වශයෙන් හැඳින්වේ. මීට ලියාෆා යන නම අරාබිවරුන් අතර ව්‍යවහාර වේ. එය එකවිට ආහාර ගැනීමෙහි යෙදෙන සමූහයකට ව්‍යවහාර වන ලෆෆ් යන්නෙන් සෑදුණු ශබ්දයක් වශයෙන් සලකති. යම්කිසි ගෘහයකින් ආහාරපානාදියෙන් සංග්‍රහ ලබන ආගන්තුකයා පවුලේ තාවකාලික සාමාජිකයකු වශයෙන් ඉස්ලාම් භක්තිකයෝ සලකති. ආගන්තුකයා සමඟ එක් ව පාන් හා ලුණු මිශ්‍ර ආහාරානුභවයෙන් ඇතිවන මේ සම්බන්ධය ආහාර ශරීරගතව පවත්නා කාලය වූ දින තුනක් දක්වා පවතී යයි අරාබිවරු විශ්වාස කරති. ආගන්තුක සත්කාරයේ ආරම්භය ආබ්‍රහම් අනාගත වක්තෘවරයාගෙන් වී යයි ඔව්හු සලකති. අරාබිවරුන් මහ රෑ දැල්වූ ගිනි පවා මගීන් ඇදී ඒමට හේතු වීම, සුනඛයන් පවා ආගන්තුකයන් සතුටින් පිළිගැනීම, ආගන්තුකයා කෙබඳු කෙනෙක් දැයි වග විභාගයක් නොකර පැමිණි වහා ම ඔටුවකු මරා පිසන්නට දීම, අවශ්‍ය ඇඳුම් ආදිය දී ආරක්ෂාකිරීම, ආගන්තුකයන්ගෙන් සිදුවන කවර ගැහැටක් වුව ද ඉවසීම යනාදී දෑ අරාබි කාව්‍යයන්හි නොයෙක් විට වර්ණනා මුඛයෙන් කියැවේ. අරාබිවරු ආගන්තුකයකු දුටු හැටියේ ම තම තමන්ගේ කූඩාරම්වලට ඔහු කැඳවා ගැනීමට උනුන් හා තරහ කරති. ආගන්තුකයා පවුලේ අය සමඟ ම නවත්වා ගැනීම හෝ ඔහුට විශේෂ කූඩාරමක් තනාදීම ඔවුන්ගේ සිරිතය. ආගන්තුක සත්කාරය කළ යුත්තේ දින තුනකැයි ද ඉන්පසු කරන සත්කාර පුණ්‍යාධාර යයි ද මහමත්තුමා කියයි. චීන ජපන් ආදි රටවල : චීනුන්ගේ ආගන්තුක සත්කාරය ද ඉතා පැරණි යුගයක පටන් පැවත එන්නකි. ක්‍රිස්තු වර්ෂයට පෙර 2205 පමණේ දී කළ චීන ග්‍රන්ථයක ආගන්තුක සත්කාරය රජයේ ප්‍රධාන කාර්යය අටෙන් එකක් හැටියට හැඳින්වේ. ඒ පිළිබඳ විවිධ ව්‍යවස්ථා කොන්ෆියුසියස් ධර්මයෙහි ද සඳහන් වේ. " නවාතැනක් සොයාගත නොහැකිව පැමිණෙන ආගන්තුකයාට පණ තිබෙන තුරු මා සමඟ නැවතීමට ඉඩ දෙමි. ඔහු මළොත් ඔහුගේ මෘත ශරීරයට අවසාන කෘත්‍යය සිදුකිරීම මට භාරය යි කොන්ෆියුසියස් කියා තිබේ. ජපන් රටවාසීහු ආගන්තුක සත්කාරය ඉතා උසස් සුචරිත ධර්මයක් වශයෙන් සැලකූහ. හැම ආගන්තුකයකු ම සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කිරීම ඔවුන් අතර මේ දක්වා පවත්නා සිරිතකි. බැබිලෝනියාව, මිසරය ආදි රටවල ද ආගන්තුක සත්කාරය ආගමික චාරිත්‍රයක් ලෙස සලකන ලදි.