ආගම් කෙලෙසීම
(Sacrilege). පූජනීය ස්ථාන සහ පූජනීය වස්තු විනාශ කිරීමෙන් හෝ දූෂණය කිරීමෙන් හෝ ඒවාට අලාභහානි පැමිණ වීමෙන් හෝ යම් ආගමික පිරිසකගේ සිත් වේදනා කරවීම සහ ආගමික වස්තු සොරකම් කිරීම ආගම් කෙලෙසීම යනුවෙන් හැඳින්වේ. කයෙන් හෝ වචනයෙන් හෝ අන්‍ය ආගමිකයන්ගේ සිත් පෑරෙන අන්දමින් හැසිරීම ද ආගම් කෙලෙසීමට අයත් වේ. ආගමක් කෙලෙසීම සිර දඬුවම් දිය හැකි බරපතළ අපරාධයකි. සෑම රටකම මේ පිළිබඳව පවත්නා නීති ඉතා දැඩිය. දහනවවන සියවස තෙක් සමහර රටවල ආගම් කෙලෙසීමේ වරදට මරණීය දණ්ඩනය පවා නියම කරන ලදි.
ලංකා නීති සංග්‍රහයේ 15 වැනි පරිච්ඡේදය හෙවත් දණ්ඩනීති සංග්‍රහය ආගම් කෙලෙසීම යනු කුමක්දයි පැහැදිලිව විස්තර කොට ඒ පිළිබඳව දිය යුතු දඬුවම් ද පෙන්නා දෙයි. එහි 290 වගන්තිය අනුව හෙළා දැකීමේ චේතනාවෙන් කිසිවෙක් යම් ආගමකට අයත් පූජනීය ස්ථාන සහ වස්තු විනාශ කිරීම් ආදී වශයෙන් කෙලෙසයි ද හේ බරපතළ වැඩ ඇතිව හෝ නැතිව හෝ, දඩයක් ඇතිව හෝ නැතිව හෝ, දෑවුරුද්දකට අධික නොවන සිර දඬුවමක් විඳිය යුතු වන්නේය. තවද යමෙක් නිත්‍යනුකූලව වන්දනමානනාදි ආගමික කටයුතු වල යෙදී සිටින පිරිසකට ඕනෑකමින් අවහිර කරයි ද ඔහු බරපතළ වැඩ ඇතිව හෝ නැතිව හෝ, දඩයක් ඇතිව හෝ නැතිව හෝ, අවුරුද්දකට වැඩි නොවන හිර දඬුවමක් විඳිය යුතු යයි 291 වන වගන්තියෙන් ප්‍රකාශ වේ. යමෙක් ද්වේෂසහගත සිතින් යුතුව තවෙකකුගේ ආගමික හැඟීම් පෞද්ගලිකව කයෙන් හෝ වචනයෙන් හෝ ඕනෑකමින් දුෂ්‍ය කරයි ද ඔහු ද 291 වන වගන්තියෙහි සඳහන් දඬුවම් විඳිය යුතු යයි එම වගන්තියෙන් පළ වේ. එහෙත් මෙම වගන්තියේ සඳහන් වන ආගම් කෙලෙසීම නිසා කෙනෙකුට උසාවිය දඬුවම් පමුණුවන්නේ සිත් තැවුලට පත් තැනැත්තහු විසින් ඇටෝර්නි ජනරාල්ගේ අවසරය ඇතිව ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුයි. එසේ පැමිණිල්ලක් ඉදිරිපත් නොවුවහොත් ඒ පිළිබඳව උසාවිය ක්‍රියා නොකරන්නේය.
(සංස්කරණය: 1965)