ආගොස්

සිංහල විශ්වකෝෂය වෙතින්
23:37, 8 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රීසියේ නගර හා ප්‍රදේශ කිහිපයක් මෙනමින් හැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රීසියේ නගර හා ප්‍රදේශ කිහිපයක් මෙනමින් හැඳින්වේ. ඒවායින් විශේෂ ප්‍රසිද්ධියක් උසුලනුයේ පෙලොපනීසස්හි ප්‍රධාන නගරය වූ ආගොස්ය. ලැරියා හා ඇස්පිස් කඳු අතර පිහිටි එය ස්වභාවයෙන් ම ආරක්ෂිත ස්ථානයකි.

ක්‍රිස්තු යුගයෙන් අවුරුදු තුන් දහසකටත් පූර්ව කාල පරිච්ඡේදයකට අයත් වූ මෙම නගරය ක්‍රිස්තු පූර්ව 2000–1000 අතර කාලය තුළ ග්‍රීසියේ ඉතාමත් ප්‍රබල රාජධානියව පැවැත්තේය. හෝමර් (ක්‍රි.පූ. 700ට පෙර) යුගයේ දී ආගොස් රාජධානිය පිරිහුණේ වී නමුදු ඩෝරියන් ආක්‍රමණයෙන් පසු නැවතත් එය බලයට පත් විය. ක්‍රිස්තු පූර්ව 6 වන ශතවර්ෂයේ දී ස්පාටා නගරය ග්‍රීසියේ ප්‍රධාන එහෙත් නගරය වීමෙන් පසු ආගෝස්හි බලය බිඳ වැටිණ. එහෙත් රෝමවරුන්ගේ ආධිපත්‍යය යටතේ සමෘද්ධියට පත් ආගොස් නගරය වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ විය. ක්‍රමයෙන් ඇතීනියන් බයිසන්ටයින් හා ප්‍රෑන්ක් ජාතිකයන් යටතට පත් වූ ආගෙව්වරු තුර්කීන් හා වැනීසියන් ජාතිකයන් අතර සිදු වූ සටනක දී මහත් විනාශයකට මුහුණ පෑහ. ඇල්බේනියානුන්ගේ ජනපදයක් බවට පත් ආගොස් නගරය 1820 දී ඇල්බේනියාවේ ඇති වූ නිදහස පිළිබඳ විප්ලවයේ මධ්‍යස්ථානය විය. 1825 දී ඉබ්‍රාහිම් පාෂා විසින් ආගොස් නගරය සම්පුර්ණයෙන් ම පුලුස්සා දමන ලද්දේය.

විසිවන ශතවර්ෂය ආරම්භයේ දී මෙහි පවත්වන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් ඇපොලෝගේ හා ඇතීනාගේ දේවස්ථානයක් ද නෘත්‍ය මණ්ඩපයක් හා මහජන ගොඩනැගිලි රාශියක් ද සොයාගත හැකි විය. එහෙත් පසුව සොයා ගනු ලැබූ හිරා දෙව් දුවගේ ශුද්ධ භූමිය ආගොස් නටබුන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම ශුද්ධ භූමිය තුළ වේදිකා තුනක් මත ගොඩනගන ලද ප්‍රධාන දේව මන්දිර දෙකක් ද සංස්කාර මණ්ඩපයක් ද දේව දාසීන්ගේ වාසස්ථාන, ස්නානාගාරයක් හා ක්‍රිඩා මණ්ඩපයක් ද විය. මුදුන් වේදිකාව මත වූ පෞරාණික දේවමන්දිරය ඩෝරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනන ලද්දකි. ක්‍රි.පූ. 423 දී මෙය ගින්නෙන් විනාශයට පත් විය. අනතුරුව දෙවන වේදිකාව මත ගොඩනගන ලද දේව මන්දිරය අගනා මූර්ති හා කැටයම් යනාදියෙන් ගහනය. ග්‍රීක මූර්තිශිල්පය පිළිබඳ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සලකනු ලබන හීරා දෙව්දුවගේ ස්වර්ණමය ප්‍රතිමාවක් මෙම දෙව්මැදුර තුළ විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආගොස්&oldid=5767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි