ආමාසෝනාස්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:55, 11 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙනමින් යුත් පළාත් 4ක් දකුණු ඇමෙරිකාවේ කොලොම්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙනමින් යුත් පළාත් 4ක් දකුණු ඇමෙරිකාවේ කොලොම්බියා, පීරු, බ්‍රසිල් සහ වෙනිසුවෙලා යන රාජ්‍ය සතරෙහි ඇත්තේය.

කොලොම්බියාවේ ආමාසෝනාස් ප්‍රදේශය වර්ග සැතැප්ම 48,005ක් විශාලය. මෙය වැදගත් වන්නේ එහි කාකොටා සහ පූටුමායෝ යන ගංගා අසබඩ පවත්නා රන්, රිදී, තඹ, යකඩ සහ ප්ලැටිනම් ආදි ආර්ථික ඛනිජ නිසාය. රබර් ගස් සහ තෙල් උපදවන තාල වර්ගයේ ගස් ද මෙහි වැවේ. ආමාසෝනාස්හි ප්‍රධාන නගරය ලෙටීෂියා ය. එහි ජනගහනය (1962) 8,730කි.

පිරූහි ආමාසෝනාස් ප්‍රදේශය උතුරු කඳුකරයෙහි මාරාඤ්ඤෝ ගඟ ආශ්‍රිතව පිහිටා තිබේ. උක්, කපු, කෝපි, දුම්කොළ, කොකෝවා සහ ධාන්‍ය වර්ග වගා කරන මෙහි ප්‍රධාන නගරය වන චාචා පෝයාස් (7,143) අඩි 7,600ක් උසින් පිහිටි කාර්මික නගරයකි. මේ පළාත වර්ග සැතැප්ම 15,945ක් විශාලය. ජනගහනය (1960) 129,623කි.

බ්‍රසීලයේ ආමාසෝනාස් ප්‍රදේශය වර්ග සැතැප්ම 614,913ක් විශාලය. බ්‍රසීලයේ විශාලතම ප්‍රදේශ රාජ්‍යය මෙයයි. මෙය පිහිටා තිබෙන්නේ ඇමසන් නිම්නයේ බටහිර කොටසෙහි නේග්‍රෝ, ෂාපුරා, සෝලිමෝයිංස්, ෂූරුවා, පුරූස් සහ මාඩියරා යන විශාල අතු ගංගා ගලන පුළුල් තැනිතලාවෙහි ය. රබර් කිරි රැස් කිරීම පිළිබඳව විශේෂ ප්‍රසිද්ධියක් උසුලන මෙහි ඇති අනික් ප්‍රධාන වෙළෙඳ භාණ්ඩ අතර කොකෝවා, (ඝර්ම කලාපික) පලතුරු, හම් සහ දැව ද වෙයි. ඇමසන් ගංගාධාරයේ උපදවන ද්‍රව්‍ය රාශියක් රැස් කර පිට ප්‍රදේශවලට යවන්නා වූ ද ගං මෝයේ සිට සැතැප්ම 1,000ක් ඉහළින් පිහිටියා වූ ද මනවුස් නගරය වැදගත් ගං තොටක් මෙන් ම මේ පළාතේ ප්‍රධාන නගරය ද වේ. එහි ජනගහනය (1960) 175,300කි. පළාතේ ජනගහනය (1962) 721,275කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමාසෝනාස්&oldid=5813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි