ආමේචරය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:09, 11 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Armature). චුම්බක-විද්‍යුත් යන්ත්‍රයක අත්‍යවශ්‍ය ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Armature). චුම්බක-විද්‍යුත් යන්ත්‍රයක අත්‍යවශ්‍ය කොටස් දෙකෙන් එකක් වන මෙය විද්‍යුත් ජනකයක (ඩයිනමෝවක) නම් විද්‍යුත්ගාමක බලය උපදින කොටස ද මෝටරයක නම් ව්‍යාවර්තනය (torsion) උපදින කොටස ද වේ. සමහර යන්ත්‍රවල එය භ්‍රමකය (rotor) වන අතර අනෙක් ඒවායෙහි එය ස්ථායුකය (stator) වෙයි.

සරල ධාරා යන්ත්‍රයක (ජනකයක නැතහොත් මෝටරයක) ආමේචරය හැම විට ම භ්‍රමකයයි. එකිනෙකින් පරිවෘත මෘදුයකඩ තැටි රාශියක් එක පිට එක තැබීමෙන් තැනූ සිලින්ඩරයක අක්ෂයට සමාන්තර ලෙස කපන ලද ඇලි තුළ පිහිටන සේ ඔතා ඇති දඟර සමූහයක් වෙයි. මෙම දඟරවල කෙළවරවල් පරිවර්තකයක (commutator) ඛණ්ඩවලට සම්බන්ධ කොට තිබේ. දැඩි ලෙස එකක් අනෙක හා සවි වන පරිදි යකඩ සිලින්ඩරයත් පරිවර්තකයත් පොදු ඊෂාවක නැංවීමෙන් ලැබෙන සංයුක්තය ආමේචරයයි. පරිවර්තකය හා ස්පර්ශ වන ලෙස සවි කළ අචල ඇතිලි දෙකක් වෙයි. ප්‍රබල නිත්‍ය චුම්බකයක හෝ විද්‍යුත් චුම්බකයක හෝ ක්ෂේත්‍රයෙහි පිහිටි ආමේචරය එහි ඊෂාව වටා කැරකූ විට එහි දඟරවල ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ගාමක බල ප්‍රේරණය වේ. මේ නිසා ඇති වන ප්‍රත්‍යාවර්තක ධාරා, පරිවර්තකයෙන් ඇතිලිවලට ගැලීමේ දී ඍජු වීමෙන් බාහිර පරිපථයට සරල ධාරාවක් ලැබේ. ආමේචරය නිසල ලෙස තිබිය දී ඇතිලි හරහා සරල විද්‍යුත් ගාමක බලයක් යෙදුවොත් ආමේචරය කැරකෙන්නට පටන් ගනියි.

ප්‍රත්‍යාවර්තකධාරා මෝටරයක ද ආමේචරය හැම විට ම භ්‍රමකයයි. එය ඉහත සඳහන් පරිදි දඟර එතූ එකක් හෝ මෘදු යකඩ සිලින්ඩරයේ ඇලි තුළ තඹ නැතහොත් ඇලුමිනියම් දඬු එබ්බීමෙන් තැනූ එකක් හෝ විය හැකියි. දෙවනු සඳහන් ආමේචරයේ සන්නායක පිහිටියේ ලේන කූඩුවක කූරු යොදා ඇති ආකාරයට බැවින් එය ලේන කූඩු ආමේචරය නම් වේ. එවැනි ආමේචරයක් තුළින් ප්‍රදාන ධාරාව ගමන් කරවනු නොලැබේ.

ප්‍රත්‍යාවර්තක ධාරා ජනකයක ආමේචරය භ්‍රමකය හෝ ස්ථායුකය හෝ විය හැකියි. විශාල ජනකවල එය හැම විට ම පාහේ ස්ථායුකයයි.

(2) විද්‍යුත් චුම්බක ප්‍රතියෝජකය (relay) හෝ විදුලි සීනුවක් වැනි උපකරණයක චුම්බක පරිපථයෙහි ඇති අසව් කළ කොටසට ද ආමේචරය යැයි කියනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමේචරය&oldid=5818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි