මක්කම
(Mecca). ඉස්ලාම් භක්තිකයන්ගේ ශ්‍රේෂ්ඨතම ශුද්ධ නගරය වූ මෙනුවර වර්තමාන සවුදි අරාබියේ හෙජස්හි ප්‍රධාන නගරය ද වේ. රතු මුහුදේ ප්‍රසිද්ධ ජිඩ්ඩා නම් නැවුතොටින් හැ. 45ක් පමණ නැගෙනහිරින් කඳු අතර මිටියාවතක මෙනුවර පිහිටියේ ය. සාමාන්‍යයෙන් ජලය හිඟ වූ කාන්තාරවත් දේශගුණයක් ඇති මක්කම ශීත ඍතුවේ තද වැසි පවතින කාලවල දී අවට කඳුවලින් ගලා එන ජලයෙන් යට වේ. මෙහි වර්තමාන ජනගහණය ලක්ෂයක් පමණ වේ.
මහමත්තුමා ඉපදීමට බොහෝ කලකට පෙර සිට ම මෙනුවර වෙළෙඳ හා ආගමික වැදගත්කමක් ඇතිව පැවති නගරයකි. ප්‍රධාන තවලම් මාර්ග දෙකක මධ්‍යස්ථානයක් වූ මක්කම හෙවත් මැකා නගරය ටොලමි දැන සිටියේ මැකෝරබා යන නමිනි.
මහමත්තුමා විසින් ශුද්ධ යයි අනුදන්නා ලද ශ්‍රේෂ්ඨ වස්තූන් මෙම නගරයෙහි තිබීමත් එතුමාගේ උත්පත්තියෙන් පවිත්‍ර වීමත් නිසා මක්කම ලොව අන් හැම මුස්ලිම් ස්ථානයකට ම වඩා ඉස්ලාම් භක්තිකයන්ට වැදගත් ය, පූජනීය ය.
මක්කම මහා පල්ලිය ශුද්ධ නගරය තුළ ඇති ප්‍රධාන ගොඩනැගිල්ල ය. ක්‍රි.ව. 750 පමණ කාලයේ දී උමයියාඩ් කාලිප්වරයා විසින් ඉදිකරවන ලද මේ ශුද්ධස්ථානය පසුව කලින්කල නවකම් කරනු ලැබීමෙන් හා විශාල කරනු ලැබීමෙන් ද දැන් පවත්නා තත්වයට පැමිණියේ ය. කාබා නමැති ප්රාග්-ඉස්ලාම් සිද්ධස්ථානය මක්කම මහා පල්ලියට ම ඇතුළත් ය. ඉස්ලාම් ජනයා විසින් මහත් භක්තියෙන් සිපීමෙන් පුදනු ලබන කාලපාෂාණයක් කාබා සිද්ධස්ථානය තුළ තිබේ. ප්රාග්-ඉස්ලාම් සමයේ මැකාවාසීන්ගේ ශුද්ධවස්තූන් සියල්ලක් ම වාගේ මහමත්තුමා විසින් විනාශ කරවන ලද නමුත්, එතුමා ඔවුන්ගේ පූජ්‍යතම වස්තුව වූ කාලපාෂාණයත් ඒ පිළිබඳ පූජා විධානත් ආරක්ෂා කොට ඒවා සිය ආගම හා සම්බන්ධ කළේය. මේ කාල පාෂාණය වූ කලී මැකාහි ඇති අත්‍යුත්තම ඉස්ලාමික ශුද්ධ වස්තුවයි. මහා පල්ලිය තුළ ඇති අනිකුත් පූජනීය වස්තූන් වූ 'සෙම් සෙම්' නම් ළිඳ ද 'මකාම් ඉබ්රාහිම්' නම් ගල ද ප්රාග්-ඉස්ලාම් සමයේ ශුද්ධ වස්තූහු වෙති. තම ජීවිත කාලය තුළ'දී එක්වරක් හෝ වන්දනාව පිණිස මක්කම යාම ඉස්ලාම් භක්තිකයෝ ප්‍රධාන ආගමික කාර්ය පසෙන් එකක් කොට සලකති. හජ් නමින් හැඳින්වෙන මේ ඉස්ලාම් වන්දනාව අරාබි ලිතේ 12 වැනි මාසයේ දී සිදුකරනු ලැබේ. හජ් වන්දානාකරුවන් පිළිපැදිය යුතු පිළිවෙත් කීපයක් නම් අරෆට් තැනිතලාව මත සිට ගැනීම, මූනාහි සාතන් (යක්ෂයා) වෙත ගල් ගැසීම, මක්කමට ගොස් ටවාෆ් නමින් හැඳින්වෙන කාබා ප්රදක්ෂිණාවෙහි යෙදීම සෆා හා මාර්වා නම් කඳුගැට අකර සක්මන් කිරීම යනුයි. මක්කම වන්දනා කළ ඉස්ලාම් භක්තිකයා ඒ සමය අදහන සෙස්සන්ගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. හජ් යන ගෞරවාන්විත උපපදය ද ඔහු හිමි වේ. අවුරුදු පතා ලෝකයේ සෑම මුස්ලිම් රටකින් ම මෙහි පැමිණෙන වන්දනාකාරයන්ගේ ගණන ලක්ෂයකට නොඅඩු ය.
ක්‍රි.ව. 570ටත් 580ටත් අතර දිනයක මහමත්තුමා මක්කම දී මෙලොව එළිය දුටුවේ ය. තමා අවබෝධ කර ගත් ධර්මය එනුවර වැසියනට පිළිගැන්වීමට එතුමා මහන්සිගත් නමුත් එය ව්‍යර්ථ වූයෙන් 622 දී සිය අනුචරයන් කීපදෙනකුන් සමඟ මැඩිනා නගරය කරා ගොස් එය යටත් කොටගෙන එහි පාලකයා බවට පත්විය. ඉක්බිති 630 දී මක්කමට පැමිණ කලක් සටන් කොට එනුවර ද අත්පත් කර ගත්තේ ය. ක්‍රමයෙන් එතුමා මැකාවාසීන් සිය ආගමට හරවා ගෙන පැරණී ආගම් හා ඒවා සම්බන්ධ සිද්ධස්ථානත් පූජ්‍ය වස්තු ආදියත් විනාශ කර දැම්මේ ය. එහෙත් ඉහත දැක්වූ පරිදි කාලපාෂාණය සහිත කාබා පල්ලියත් ඒ සම්බන්ධ පූජා විධානත් ආරක්ෂා කොට ඒවා තම ආගමට ඇතුළත් කර ගත්තේ ය. (මහමත්තුමා බලනු.)
මුස්ලිම්වරුන් බලයට පත් වූ පසු ය, එහි නිත්‍ය පාලනක්‍රමයක් ඇති වූයේ. මහමත්තුමාගේ මරණින් පසු මැකාහි පාලනය එම පරපුරේ කාලිප්වරුන් විසින් ද ක්‍රි.ව. 750 දක්වා උමයියාඩ් නම් පෙළපතට අයත් කාලිප්වරුන් විසින් ද එතැන් සිට 951 දක්වා අබාසිඩ් නම් පරපුරේ කාලිප්වරුන් විසින් ද ගෙන යන ලදි. 951න් පසු මක්කම පාලනය කළ නිලධාරී තැන ෂරීප් නමින් හඳුන්වනු ලැබී ය. ෂරීප්වරු වරක් මිසරයේ ද වරක් බැග්ඩෑඩ්හි ද පසුකල තුර්කියේ ද ආධිපත්‍යය පිළිගත්හ. 1926 සිට මක්කම සවුදි අරාබියේ ඉබ්න්සාවුද් රජුගේ පාලනය යටතට පත් විය.
ඉස්ලාම් නොවන්නන්ට මක්කමට ඇතුළුවීම තහනම් ය. මේ තහනම උල්ලඞනය කිරීමේ බරපතලකම නොතකා එහි ගොස් පැමිණි අන්යාගම්කරුවන් නොමැත්තේ ද නොවේ. එහෙත් කෙතරම් අරපරිස්සම් ඇතිව වෙස්වලාගෙන මේ ගමන ගිය ද ඉස්ලාමික ශුද්ධනගරයට ඇතුළු වී දිවි ගලවාගෙන ආපසු පැමිණි අන්යාගම්කාරයන්ගේ සංඛ්‍යාව එහි ගොස් ජීවිත පරිත්‍යාගයෙන් දඬුවම් වින්දවූවන්ගේ සංඛ්‍යාවට වඩා අඩුය යනු පිළිගැනීමයි.
(කර්තෘ: පණ්ඩුල ඇඳගම)
(සංස්කරණය නොකළ)