මිල පාලනය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:48, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Price control). පාරිභෝජකයාගේ පහසුව සඳහා ආණ්ඩු මඟින් දු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Price control). පාරිභෝජකයාගේ පහසුව සඳහා ආණ්ඩු මඟින් දුම්රිය සේවය වැනි ඇතැම් විශේෂ සේවාවන් සම්බන්ධයෙන් අය කළයුතු ගාස්තු නියම කරන්නාක් මෙන් ලෝක සංග්‍රාම කාලවල දී හැකිතාක් භාණ්ඩ හා සේවාවන් මිල පාලන ක්‍රමයක් යටතේ සංවිධානය කිරීම සිරිත විය. පාරිභෝජක කර්මාන්ත මඟින් සැපයිය යුතු භාණ්ඩ ප්‍රමාණය භාණ්ඩ පාලන මණ්ඩල මඟින් කල්තියා නියම කිරීමෙන් භාණ්ඩ නිෂ්පාදන පාලනය කරන ලදි.

භාණ්ඩ හා සේවාවන් සඳහා උපරිම, අවම හෝ නිශ්චිත මිල රජය නියම කරනු ලැබීමෙන් සකස් කරන ලද මිල පාලන ක්‍රමය විවිධ ලෙස ක්‍රියාත්මක කරනු ලැබී ය. භාණ්ඩ අලෙවි කිරීමේ දී අය කළ හැකි මිල රුපියල් සත වශයෙන් නියම කිරීම එක් විධියක් විය. එහෙත් එක ම වර්ගයේ ඇතැම් භාණ්ඩ, ගුණය, ස්වරූපය ආදිය අතින් වෙනස් වීමට පිළිවන් හෙයින් ඒවාට එකම ප්‍රමිත මිලක් නියම කිරීම උගහට විය. අන්තිමේ දී ඒ දුෂ්කරතාව මඟහරවා ගැනීම සඳහා ඒවාට එකම ප්‍රමිත මිලක් නියම කිරීම උගහට විය. අන්තිමේ දී ඒ දුෂ්කරතාව මඟහරවා ගැනීම සඳහා බලයෙන් භාණ්ඩ ප්‍රමිත කිරීමට ආණ්ඩුවලට සිදුවිය. වෙළෙන්දා භාණ්ඩයක් පිළිබඳව මුලින් නියම කරගත් මිල නැවත ඔහුට වැඩිකර ගැනීමට නොහැකි වන සේ නීති පැනවීම තවත් මිල පාලන විධියකි. මෙසේ කිරීමේ දී වෙළෙන්දා මුල දී භාණ්ඩය විකුණූ මිල දැනගත යුතු වූ නිසාත් කලින් කල වෙළෙන්දා භාණ්ඩයේ ගුණය, ස්වරූපය ආදිය වෙනස් කළ නිසාත් මේ මිල පාලන විධිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර විය. භාණ්ඩයක මිල එක්තරා සීමිත ප්‍රමාණයකින් නිෂ්පාදන වියදම ඉක්මවූවාට පසු තවදුරටත් මිල වැඩි කිරීමට නොහැකි වන සේ නීති පැනවීම තවත් විධියකි. භාණ්ඩ නිෂ්පාදකයාගේ සියලු වියදම් පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබාගතයුතු වීම මෙසේ නීති පැනවීමේ දී මූණපාන්නට සිදු වූ දුෂ්කරතාවකි.

මිල පාලන ක්‍රමය කවර විධියකට ක්‍රියාත්මක කළ ද සම්පූර්ණ වශයෙන් සාර්ථක කරගත නොහේ. සාර්ථක කරගැනීමට නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මෙන් ම ඒවායේ ආදේශකවලත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලත් මිල පාලනය කළ යුතු ය. එසේ නොකළොත් ආදේශකවල හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල මිල අධික ලෙස වැඩිකර ගැනීමට වෙළෙන්දන්ට අවස්ථාව ලැබෙන හෙයිනි.

භාණ්ඩයක විකුණුම් මිල පමණක් පාලනය කිරීමෙන් සීමිත මිලක් ඇති නොවේ. සීමිත මිලක් ඇති නම් භාණ්ඩය නිෂ්පාදනය සඳහා යොදනු ලබන අමුද්‍රව්‍යවල හා වෙනත් ආර්ථික වස්තුවල මිල ද පාලනය කළයුතු වෙයි. එපමණකින් නොනැවතී තොග වෙළෙන්දන් හා සිල්ලර වෙළෙන්දන් මිල පිළිබඳව හොර බොරු කිරීමෙන් වැළැක්වීමට ද විධිවිධාන සැලැස්සිය යුතුය. නිෂ්පාදන කාර්‍ය්‍යක්ෂමතාව හැකිතාක් දුරට රැකගැනීම මිල පාලනය කිරීමේ දී වගබලාගත යුතු තවත් වැදගත් කරුණකි. ඉතා දිළිඳු ජනයාටත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකිවන සේ ඒවායේ මිල හැකිතාක් දුරට පහත්ව තබාගැනීමත් ඒවා නිපදවීමට නිෂ්පාදකයන් උනන්දු කිරීමත් යන කරුණු දෙක ද මිල පාලනය කරන්නවුන්ගේ සැලකිල්ලට භාජන විය යුතු ය. එහෙත් මේ කරුණු දෙක එකිනෙකට පටහැණි ය. අත්‍යවශ්‍ය භාණ්ඩ නොඅඩුව නිපදවීමට නම් නිෂ්පාදකයා ඊට පොලඹවන යම් කිසිවක් තිබිය යුතු වුව ද මිල පාලන ක්‍රමය යටතේ ඒවායේ මිල පහත් ව තබාගැනීමට සිදුවන නිසා ඔහු උදාසීන වනු නිසැක හෙයිනි. මිල පාලන ක්‍රමයෙන් හා භාණ්ඩ නිෂ්පාදන පාලන ක්‍රමයෙන් පමණක් වෙළෙන්දන් භාණ්ඩවලට අධික මිල අය කිරීම මැඩපැවැත්වීමට නොහැකි ය. යුද්ධ කාලවල දී සිරිත් පරිදි ඇතිවන වැඩිමහත් ඉල්ලුම අතිරේක අයබදු පැනවීමෙන් මැඩලා ගතයුතු වේ. පාරිභෝජක භාණ්ඩ ස්ථිර වශයෙන් සීමා කොට බෙදාදීමේ ක්‍රමයක් හෙවත් සලාක ක්‍රමයක් සකස් කරගැනීම ද අත්‍යවශ්‍ය ය. ඉතුරු කිරීමේ ව්‍යාපාර මඟින් මුදල් ඉතිරිකිරීම සඳහා ජනතාව පොලඹවාලීමෙන් ද අතිරේක ඉල්ලුම අඩුකර ගත හැක්කේ ය.

1950 දී ලංකා පාර්ලිමේන්තුව මඟින් භාණ්ඩ මිල පාලනය පිණිස මිල පාලන පනතක් (Ceylon control of Prices, 1950) සම්මත කරන ලදි. එහි භාණ්ඩ යනුවෙන් කෑම් බීම් සහ වෙනත් වෙළෙඳ භාණ්ඩ (miscellaneous goods) අදහස් කෙරෙතැයි අර්ථය පැහැදිලි කොට ඇත. පනත ක්‍රියාවේ යෙදවීම පිණිස කෑම් බීම් සම්බන්ධයෙන් මිල පාලකයකු හා සහකාර පාලකයන් ගණනක් ද වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් මිල පාලකයකු හා සහකාර පාලකයන් ගණනක් ද වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් මිල පාලකයකු හා සහකාර පාලකයන් ගණනක් ද වශයෙන් පනතේ 2 වන ඡේදයට අනුව නිලධාරීහු පත් කරනු ලැබෙති.

ලංකාවේ කිසියම් පළාතක යම්කිසි භාණ්ඩයක හිඟයක් පවතී නම් හෝ යම්කිසි භාණ්ඩයක මිල අයුතු ලෙස වැඩි කොට තිබේ නම් හෝ ඒ සම්බන්ධයෙන් මිල පාලකයාට ආඥා මාර්ගයෙන් ගත හැකි පියවර දෙකක් පනතේ 4 වන ඡේදයෙහි සඳහන් වෙයි. තොග වෙළෙඳාමේ දී හා සිල්ලර වෙළෙඳාමේ දී ඒ විශේෂ භාණ්ඩය එක්තරා මිලකට ඉහළින් අලෙවි කිරීමට නොහැකි වන සේ උපරිම මිලක් නියම කිරීම පළමුවැන්නයි. අලෙවි කරන භාණ්ඩයේ ගුණය හා අලෙවි කළ හැකි භාණ්ඩ ප්‍රමාණයත් එසේ කළ හැකි වේලාවල් හා ව්‍යාපාර ස්ථානත් පිළිබඳ ව රෙගුලාසි පැනවීම දෙවැන්න ය.

වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ බලය ද මිල නියම කර ඇති ඕනෑම භාණ්ඩයක් විකිණීම තහනම් කිරීමට හෝ විකුණුම්කරුවන් එවැනි භාණ්ඩයක් සඟවා තැබීම තහනම් කිරීමට හෝ රෙගුලාසි පැනවීමේ බලය ද පවත්නා ආඥාවක් හෝ රෙගුලාසියක් කඩකරමින් වෙ‍ළෙඳාම් කරනු ලබන එවැනි භාණ්ඩ රාජසන්තක කිරීමේ බලය ද මේ පනතේ 6 වන ඡේදයේ 2 වන අතුරු ඡේදයෙන් මිල පාලකයාට පවරා තිබේ. සම්මත කර ඇති කිසියම් වගන්තියක් හෝ රෙගුලාසියක් උල්ලඞඝනය කරන වෙළෙන්දන්ට නීත්‍යානුකූලව දඬුවම් පමුණුවන බව පනතේ 8 වන ඡේදයෙන් කියවේ.

වෙළෙන්දන් අයුතු ලාභ ගැනීම හැකිතාක් දුරට වළක්වාලීම පිණිස ලංකා ආණ්ඩුව ගන්නා නොයෙක් ක්‍රියාමාර්ග මෙසේ මේ පනතෙහි ඇතුළත් වෙයි.

(කර්තෘ: ඇල්.ඇස්. ගුණසේකර: 1961)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මිල_පාලනය&oldid=5882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි