ක්ලෝඩ් මොනේ

සිංහල විශ්වකෝෂය වෙතින්
17:00, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
Claude Monet.jpg
(1840-1926). (Claude Monet). ප්‍රංශ ජාතික දර්‍ශන චිත්‍ර ශිල්පියෙක් වූ මොහු ප්‍රභාවශීලී චිත්‍ර කලා පීඨයෙහි ආදි කර්‍තෘවරයෙකි.

පැරිසියෙහි උපන් මොනෝගේ පියා හාව්ර්හි සිල්ලර බඩු වෙළෙන්දකි. මොනෝගේ ළමා අවදිය ගෙවුණේ ලා හැඩේර්හි ය. චිත්‍ර ඇදීමට කැමැත්තක් දැක්වූ මොනෝ නොයෙක් පුද්ගලයන්ගේ විකට චිත්‍ර ඇඳීමෙන් කාලය ගත කළේය. ස්වල්ප කාලයක් යුද හමුදාවට බැදී ඇල්ජීරියාවේ සේවය කිරීමෙන් පසු 1862 දී පැරිසියේ ස්තුරියේ චිත්‍ර කලාගාරයෙහි ඉගෙනීම කළේ ය. මේ අතරතුර රිනෝඅර්, සිසිලේ, බැසිලේ යන චිත්‍ර ශිල්පීන් හඳුනා ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණ. එවක ජනප්‍රිය ව පැවැති ශාස්ත්‍රීය චිත්‍ර සම්ප්‍රදායය ප්‍රිය නොකළ මැනේ, තමාගේ අදහස්වලට ගැලපෙන චිත්‍ර ශිල්පින් කණ්ඩායමකට එකතු විය. 1865 සිට 68 දක්වා ඔහුගේ චිත්‍ර සැලොන්හි ප්‍රදර්ශනය විය. 1863 පටන් ස්වාධීන ව ඇඳීමට පටන් ගත් ඔහුගේ චිත්‍ර 1869-70 අවුරුදුවල දී සැලගිනි ප්‍රදර්ශනයට පත් නොකොට ප්‍රතික්ෂේප කරන ලදි.

ප්‍රංස-ජර්මනි යුද්ධ අවදියේ ප්‍රංශයේ බැහැර වූ මොනේ ඕලන්දයේ සහ එංගලන්තයේ ද පසු වූයේ ය. මොනේගේ නිර්දේශ චිත්‍ර ශෛලිය හැඩ ගැසුණේ මෙම කාලය තුළ ය. තරුණ දර්‍ශන චිත්‍ර ශිල්පීන්ගේ කණ්ඩායමේ නායකයා වශයෙන් පිළිගැනුණු ඔහු, යුද්ධයෙන් පසු ව ප්‍රංශයට ගොස් ස්වකීය චිත්‍ර ප්‍රදර්ශනයට තැබී ය. ඒ කාලයේ විචාරකයන් විසින් පිළිකුල් කරනු ලැබූ එම චිත්‍ර පසු ව කීර්තියට භාජන විය.

මෙම තරුණ චිත්‍ර ශිල්පීන් කණ්ඩායම විසින් නිමවනු ලැබූ චිත්‍ර එවක චිත්‍ර ශිල්පීන් විසින් සලකන ලද්දේ විරූපී විප්ලවවාදී කෘතීන් වසයෙනි. එහෙත් 1800 අග හරියේ දී එම චිත්‍රවල විශිෂ්ටත්වය ලොව පුරා පැතිරිණි. ප්‍රභාවශීලී චිත්‍ර ශිල්පීන් වශයෙන් හැඳින්වෙන මොවුන්ගේ නව ශෛලියට එම නාමය හිමි වූයේ ඩෝන්ගේ 'ප්‍රභාවශාලිය නගින හිරු' නම් වූ චිත්‍රයෙනි. 1874 දී එම චිත්‍රය ප්‍රදර්‍ශනය කිරීමෙන් පසු මොනේ නිතිපතා තමාගේ චිත්‍ර ප්‍රභාවශීලි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර අතර ප්‍රදර්‍ශනයට තැබී ය. ඔහුගේ චිත්‍ර, විවේචකයන්ගේ දෝෂ දර්ශනයට භාජන වූයෙන් ඔහුගේ චිත්‍ර මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් ඔහුගේ ආර්ථික තත්වය ද බෙහෙවින් අසීරු විය. ඔහුගේ චිත්‍ර ප්‍රදර්‍ශනයට සිටි එක ම හිතවතා වූ ඩියුරන්ඩ් 1883 දී මොනේගේ චිත්‍ර සඳහා ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පැවැත්වී ය. ඒ අවදිය වන විට ඔහුගේ නිර්‍මාණ ශක්තිය බෙහෙවින් පිළිගැනි තිබිණ.

ඔහුගේ චිත්‍ර නිර්‍මාණය වූයේ ඔහුගේ ම ශෛලියක් පෙන්නුම්කොට ගෙන ය. කිසි ම අරමුණකට නියම වර්‍ණයක් නොයෙදූ, එහෙත් ආලෝකය ගන්නා පරිද්දෙන් පැහැගැන්වීම ඔහුගේ සිරිත විය. දීප්තිමත් වර්ණ යෙදීමෙන් ලා අඳුර මැද එළියක් ඔහු සතු විය. ඔහුගේ කෘතීන් අතර, 'The Luncheon' (1868), 'La Grenouillére' (1869), Women in the Garden (1866–1867) වැනි චිත්‍ර සුප්‍රකට ය.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ක්ලෝඩ්_මොනේ&oldid=5914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි